Tuesday, November 29, 2011

ගිල්ලද? අපි දන්නෙ නෑ බඩේ පැලවෙයි එහෙනම්

මේ කියන්න යන කතාව ගොඩක් ලගකදි සිද්ද වුන දෙයක්.ඔන්න දවසක් අපේ ගෙදරලග ඉන්න ආන්ටි කෙනෙක් එයාලගෙ ගෙදර තියන වෙරළු ගහේ ගෙඩි ඉදිලා කියල යන ගමන් ලොකු ශොපින් මල්ලක් පුරවලා වෙරළු ගෙනත් දුන්නා.අපිත් ඇරියේ නෑ රහ කරකර කෑවා.කොහොමත් ලුනුත් එක්ක වෙරළු වල රහ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මම රහ  කර කර කනව දැක්ක නිසා නැචුරල‍්ටත් ඔනේ උනා රහ බලන්න.

අක්කා නැචුරල‍්ට දෙන්න එපා කියල කිව්ව නිසා අපි කන එකෙන්ම පොඩ්ඩක් දුන්න කන්න කියල. කොහෙද එයාට එහෙම බෑ.තනියම කන්න ඔනෙ උනා.මම් 2ක් විතර කන්න දුන්නා.අවුලක් නැතුව යස අගේට අරන් කෑවා.ඇට ටික මට දුන්නා මදේ කාල ඉවර වෙලා..

අවසාන එක කන්න යද්දිම අම්ම ඇවිත් 

ආ...මෙයාට වෙරළු දුන්නද?... කිව්වනෙ කන්න දෙන්න එපා කියලා...

ඔහොම පොඩි සද්දයක් දැම්මා.එහෙම කිව්ව ගමන්ම නැචුරලුත් බය වෙලා වෙරලු ඇටේ ගිල්ලා.දැන් මොකද කරන්නෙ!...,කට්ටියම මට බනිනව කන්න දුන්නෙ ඇයි කියල.දොස්තර ලගට යන්නත් ලෑස්ති උනා.දොස්තර ඉන්නෙ අල්ලපු වැටේ නිසා හොදයි.

එයා අමාරුවක් පෙන්නුවෙත් නෑ.ගිලලා බඩටම යන්නැති.වතුර එකකුත් දුන්නා බොන්න.ම්...අවුලක් නෑ.ඊට පස්සෙ ඉතින් හෙට උදේ වෙනකම් බලාගන හිටියා කොහොම හරි එළියට එන්නෙනැතෑ කියල.එදත් නෑ...ටිකක් බයවෙලා හිටියෙ කට්ටියම.මෙන්න එදා ඉස්කෝලෙත් ගිහින් එහෙම, හවස කක්කි දාලා,අම්ම ඒක ටෙස්ට් කරද්දි කොමඩ් එකේ වෙරළු ඇටේ තියනව.

ආ...වෙලලු ඇටේ...අර...අර...අම්මත්තා ඒක අරන්...ඉහි ඉහි ඈ...

කෑගහන සද්දෙට මාත් ඒ පැත්තට ගියා.මෙන්න බොලේ නැචුරල් අර කක්කි එකේ තියන වෙරළු ඇටේ ඉල්ලලා අඩනව.

චී...චී...පොතේ ඒවා කක්කි!... 

අම්ම ඒක විගහට අයින් කරා.

මට පස්සෙ තමා කරපු වැඩේ බරපතලකම තේරුනේ.ඇයි දෙය්යනේ හිර උනා එහෙම නම්!...

මම් කිව්වෙ අම්මගෙ කෑගෑහිල්ලට තමා එයා වෙරළු ඇටේ ගිල්ලෙ කියල නැත්තම් යස අගේට කකා හිටියනේ මාත් එක්ක කිසි අවුලක් නැතුව.. එක්කො මට තිබුනේ මදේ හූරලා කන්න දෙන්න කොහෙද මම් කන විදියටම එයාටත් කන්න ඔනේ උනානෙ.

අනික අපිත් පොඩි කාලෙ සතේ, සතපහේ ඒවා, සියඹලා ඇට, රඹුටන් ඇට එහෙම කොච්චර ගිලලා තියනවද? ඒත් ඉතින් පරිස්සම් වෙන්න ඔනේ තමා මෙවගේ දේවල් හිර වෙලා අනතුරක් උනොත්!

Monday, November 28, 2011

ඒකට කියන්නෙ "බීඩීයක්" කියල | Operation BD


මේ සිද්දිය වෙනකොට මං 3 වසරේ විතර වෙන්න ඔනේ .ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කලින්.ඒ කාලෙ අපේ ගෙදරට වඩු වැඩ කරන කෙනෙක් ඇවිත් කණ්නාඩි මේසයක් හැදුවා,වඩුබාස් එක්ක තව ගෝලයෙකුත් හිටියා.

ඒ දවස් වල මගේ වැඩේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන්ම බත් කාලා,වඩු බසුන්නැහැ වැඩ කරන මඩුවට ගිහින් වැඩ කරන දිහා බලන් ඉන්න එක.ලී ගාන කොට එකතු වෙන හීනී සර්පිලාකාර ලී පතුරු එකතු කරන්න බලාගන ඉන්නවා.ඒවා ලස්සනයි එක එක විදියයි.වඩු බාසුන්නැහැ කිව්වට ඒ "සෙනවි අය්යා" අපේ ගමේ කෙනෙක්, එයාගෙ විශේෂයක් තිබ්බා,සමහර වෙලාවට කෝටුවක් වගේ එකක් කනේ ගහන් ඉන්නව ඔය උඩ පින්තූරෙ වගේ දිග පොඩි කෝටුවක්.


ආය දවල්ට එහෙම බත්කාල ඉවර උන හැටියේ වගේ ඒ කොටුවක්  පත්තු කරලා අරන් කටින් පිඹලා දුන් දානව,ඔය දෙවනි පින්තූරෙ වගේ.මේක මට පුදුම දෙයක් උනා.මටත් ආස හිතුනා.කොහොමද එහෙම දුන් එන්නෙ කියලා.පස්සෙ අහපුවාම එයාම කිව්ව ඒකට කියන්නෙ "බීඩීයක්" කියල.

දවසක් වෙලාවට වඩුමඩුවෙ එයාලා පාවිච්චික‍රණ උපකරණ තියන තැන තිබිලා මට පොඩි බීඩියක් හම්බුනා,ඒක එච්චරම දිගට තිබ්බෙත් නෑ,මම් හිතන්නෙ බාගෙට බීලා අයින් කරපු එකක් වෙන්න ඔනේ.මතක විදියට හොරෙන් ඒක ගේ ඇතුලට අරන් ගිහින් කනේ ගහගන  කණ්නාඩියෙනුත් බැලුවා,ගිනි පෙට්ටිය හොයාගන ගිනී කූරකුත් ගහලා පත්තු කරගන හිමින් සැරේ ගේ පිළිකන්න පැත්තටත් අරන් ගියා.

පස්සෙ මම් බයෙන් බයෙන් එක සැරයක් බීඩි කොටේ උරලා බැලුව මොකද වෙන්නෙ කියල.වේලිච්ච කොස් කොළ රහක් වගේ... ශික් මෙලෝ රහක් නෑ,.ඇත්තම කියනව නම් මට ඒ රහ මොකද්ද කියල දැන් මතක නෑ,මේක කොච්චර කාලෙකට කලින් වෙච්ච සිද්දියක්ද? 

ප්‍රියතාවක් දැනුනේ නෑ කියල නම් මතකයි.අහ් දුම් ආවෙත් නෑ.ඒ එක්කම කැස්සක් නම් ආවා.පස්සෙ ඉක්මනට බීඩි කොටේ පිළිකන්නටම විසික් කරලා මම් ගේ ඇතුළට ආවා,එදානම් ටිකක් බයේ හිටියා,කරපු වැඩේ අක්කටවත් මාට්ටු උනොත් ඉදලා ඉවර නිසා.මගෙ වාසනාවට එහෙම උනේ නෑ.එදාට පස්සෙ අද වෙනකම් ඒවගේ දේවල් නම් අත්හදා බලන්න ගියේ නෑ.







Friday, November 25, 2011

සිල් සුවද


"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත‍ය්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?"

"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ."

"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ.එය එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපධය්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටි කරන්නේ,දොසක්දුටු විට බැන වදින්නේ නෑ නොවැ?මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශයයි.ඔබ නොසංසුන්.සංසුන්වන්න ආනන්ද.සිත පැවිදි කරගන්න.පැවිද්ද බන්ධනයකැයි සිතනවා ඇති?ගිහි ජීවිතය සුන්දර යැයි මිහිරි යයි හැගෙනවා ඇති?ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති?එසේ නොවේද ආනන්ද?"

සිල් සුවද
ජයසේන ජයකොඩි
ISBN 955-551-229-9

"සිල් සුවද" කියන්නෙ ජයසේන ජයකොඩි මහාතා ලිව්ව "පිච්ච මල" නව කතා මාලාවේ 6 වැනි කොටස.ඔන්න මම නම් ඒ පොතත් කියවලා ඉවර කරා.කියවලා ඉවර කරලත් සතියක් විතර වෙනව.එකිනෙකට බැදිච්ච සිද්ධි සමුදායක් ඔස්සේ සිල් සුවදේ කතාව ගලාගන යනව.රාහුල තෙරණුවන්ගේ නිවුනු ගතිපැවතුම් ,මැදගත් බව ඒ සිද්ධි සමුදාය ඔස්සේ මනාව පෙන්නුම් කරනව. වෙලාවකට හිතෙනව ඒවගේ නිවිච්ච කෙනෙක් වෙන්න ඇත්තනම් කියල.මම නම් ගොඩක් ඒ චරිතේට ආසයි.කියවලා නැති අය කතාව කොහොමද කියලා කියවලාම බලන්නකො.


පින් කෙත



රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.


"නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර,සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටු වීමට පුලුවන් කමක් නෑ.දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂයයි.තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානකයි.මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතා කර කර හිටියේ ඒ ගැනයි."

 "ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතලොස්සක් දෙනා හැර සෙසු සියලු මනුස්සයෝ වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුර වුවෝ නොවැ.අනුකම්පා කටයුතුයි.එදා හොදය, අද නරකය කියා කම්පවිය යුතු නැහැ මහත්තයා.එයින් තැළෙන්නේ තම සිතයි.බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්තයි.අදුරට දොස් නොනගා එයට පහනක් වනු නම් අගේ නොවැ"

පින්කෙත 
ජයසේන ජයකොඩි
ISBN978-955-551-9

ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල" නව කතා මාලාවේ තවත් කොටසක් කියවලා ඉවර කරා."පින්කෙත" අනිත් කොටස් වලට වඩා ටිකක් විතර ප්‍රමාණයෙන් පොඩි පොතක් නිසා ඉක්මනට කියවලා ඉවර කරන්න පුලුවන් උනා.



පිච්ච මල

  
"මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා.ඒ අනුව ක්‍රියා කරන්න උත්සහ කරනවා.අන් අය කෙසේ සිතනවාද ක්‍රියා කරනවාදැයි කියා මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක්ය, තරුණයෙක්ය, සැලකිය යුතු ධනයක ඇති පන්සලක දෙවැන්නාය, පන්සලේ අධිපතියාවූ කල කරන්නේ මේවාය යනුවෙන් භික්ශුවකට අනුචිත අදහස් මම වැලද ගන්නේ නෑ.මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්යප වැනි ශ්‍රාවකයන් වහන්සේලා මා හා සදන කල, මා කොතරම් නිවට හිස් භික්ශුවක්ද කියායි.බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හදුනාගන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරාණන්වහන්සේ දැකගත හැකියි.ඊට පසු උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමටත්.ඒ අනුව පැවතීමටත් පහසුයි."
-රාහුල තෙරණුවෝ-
  
පිච්ච මල
.ජයසේන ජයකොඩි
 ISBN 955 -551-048-2

මේ විදියට සටහන් වෙන්නෙ ජයසේන ජයකොඩි මහතා ලියල තියන පිච්ච මල නව කතාවෙ පසුපිටේ.ඒ නව කතාවේ ප්‍රධානම චරිතයක් විදියට රාහුල තෙරණුවන් කැපී පේනව.ඒ වගේම මම ගොඩක් ආස කරන චරිතයක්.මට නම් පොත කියවන්න හම්බුනේ මේ ලගදී,කියවලා සති කීපයක් වෙනව."පිච්ච මල" නවකතා මාලාවේ මුල්ම  කොටස  තමයි මේ පොත.නවකතාවලට කැමති අය මේ පොතට ගොඩක් ආස වෙයි කියල හිතෙනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො.








Monday, November 14, 2011

තවත් ක*කි කතාවක්


අද කියන්න යන කතාව අවුරුදු 25කට විතර ඉස්සර වෙච්චි සිද්ධියක්.මේක වෙලා තියෙන්නෙ අපේ අක්කට, ඔන්න මුලින්ම කිව්ව මට නෙමේ.අපි ගමේ ඉන්න කාලෙ අම්මයි අප්පච්චියි ඉස්කෝලෙ උගන්නන්න යන නිසා අක්කවයි මාවයි බලාගන්න ගෑණුකෙනෙක් ගෙදර නවත්තලා ගිහින් තියනව.ඉස්කෝලෙ ඇරිලා එනකම් බලාගන්න කියල.ඒ ගෑණු කෙනා අපිට දුරින් නෑදෑයොත් වෙනව.ටිකක් විතර වයසක කෙනෙක්.

ඉතින් එයා අපිට කවලා... පොවලා... නාවලා... හොදට බලා කියාගන එහෙම තියනව අම්මලා එනකම්.ඉදලා හිටලා වැව පැත්තටත් එක්කන් යනවලු,මොකද වැව තියෙන්නෙ අපේ වත්තට අල්ලපු වැටේනේ.අනික දෙන්නෙක් ආන් බාන් කරන එකත් ලේසි නෑ නේ,අඩන වෙලාවට වගේ එක්කන් යනව ඇති නලවගන්නත් එක්ක.

එතකොට අපේ අක්කට අවුරුදු 4ක් වත් නැතුව ඇති මම් හිතන විදියට.ඒ දවස් වල කොච්චර කෑම කැව්වත් අක්කා මහත් වෙන්නැතිලු.කන එකත් කනවලු හොදට.ඉතින් ඒ කාලේ පොඩි අයට ක*කි දාන වැඩේ කරන්න කොමඩ් එහෙමත් තිබ්බෙ නෑනේ,ක*කි දාල ඉවර උනාම අරන් දානව.මෙන්න දවසක් එහෙම අරන් දාන්න යද්දි ක*කි එකෙන් කුරුමිණියෝ වගේ සත්තු ජාතියක් ඉගිලිලා යනවලු ඒකේ ඉදලා.:O

අම්ම හොදටම බය වෙලා.පස්සෙ චෙක් කරද්දි ඇත්තටම පොඩි සත්තු ජාතියක් ඉගිල්ලිලා යනවලු.දනිපනි ගාලා එකේ සාම්පල් එකකුත් අරන්, අප්පච්චිත් එක්ක අක්කවත් ඩොක්කගන දොස්තර කෙනෙක් හම්බ වෙන්න ගියාලු.

දොස්තර අක්කවත් සාම්පල් එකත් චෙක් කරලා :)),බෙහෙත් දුන්නට පස්සෙ ලෙඩේ හොද උනාලු.ඒ කියන්නෙ අර ක*කි දැම්මට පස්සෙ කුරුමිණියො ඉගිලෙන එක හරිගියාලු.

මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ අර අපිව බලාගන්න වයසක කෙනා අපිව එක්ක යනවනෙ වැව බලන්න.එහෙම ගියපු වෙලාවක වැවේ තියන වේලිච්ච ගොම කෑල්ලක් ඇහිදගන කටේ දාලා. ඒකේන් තමයි ඒ ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ එයාට.ඒ ගොම වල තියෙන්නැති කුරුමිණි බිත්තර ඒවා අක්කගෙ ශරීරේ ඇතුලේදි වර්ධනය වෙලා පැටව් එනව ඇති :)).

පස්සෙ දවසක අපිව බලාගත්ත කෙනා කියල තියනව මම් වැවට එක්ක ගිය දවසක ඇවිදින්න බිම තිබ්බ විතරයි මෙයා මම් අහක බලනකම් ඉදලා මොකද්ද කටේ ඔබා ගත්තා,මම් අරන් දැම්මා කියල.

ඒ කිව්ව දේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් පොඩි අයව පරිස්සම් කරන එකනම් සෑහෙන අමාරු වැඩක් කියල  තේරෙනව අපිටත් දැන් ඒ වයසෙ කෙනෙක් ඉන්න නිසා.දකින දකින දේ කටේ ඔබාගන්නව.ඒ නිසා නිතර අවධානයෙන් ඉන්න ඔනේ.

ටික්කො එක්ක සෙල්ලම් කරල තියනවද?


මේ සතාට "ටික්කා" කියල කිව්වට හරියටම මුන්ගෙ නම සිංහලෙන් කිව්වොත් ක්ලික් බීටල් :).මුන්ට ටික්කා කියන නම හැදුනෙ නම් මේ සතාගෙ පිටිපස්ස කොටස ඇගිල්ලකින් තදකරගන හිටියහම ඌ ඔලුව ගහනව ටික් ටික් ගාලා,අන්න ඒක නිසා වෙන්නැති.කාඩ්බොර්ඩ් එකක් හරි පොතක් උඩ හරි තිබ්බම නම් හොදට ඒ සද්දේ අහගන්න පුලුවන්.එහෙමත් නැත්තම් ගිනි පෙට්ටියක් උඩ තියාලා බලන්නකො. :).

පෙනුම ගත්තම නම් එච්චර විශේෂත්වයක් පෙන්නන්නෙ නෑ.ශරීරය කොටස් දෙකක් විදියට පිහිටලා තියනව අර පින්තූරෙ පේන විදියට මතුපිට ටිකක් ගනකම් ආවරණයකුත් තියනව.ඌට උඩුබැලි අතට වැටුනම "ටික්" ගාලා සද්දෙ දාගනම ආය හරි පැත්තට එන්නත් පුලුවන්.

පොඩි කාලෙ මේක ගොඩක් ලොකු විනෝදයක් උනාට පස්සෙ තේරුම් ගියා ඒ සතා පව් ඌට රිදෙනව ඇති කියල.සමහර දවස් වලට අර ලොකු අලියා ගිනි පෙට්ට් වලට දාගන ඉස්කෝලෙත් අරන් ගිහින් මිස් නැති වෙලාවට හොරෙන් එළියට අරන් යාලුවො එක්කත් සෙල්ලම් කරනව.දැන් උනත් මේ සතෙක් දැක්ක වෙලාවක ඌව අරන් සෙල්ලම් කරන්න අමතක කරන්නෙ නෑ.

මේ තියෙන්නෙ ටික්කෝ ගැන විඩියෝ එකක්,ඒකෙ පොඩි විස්තරයක් තියනව බලන්නකො.

Friday, November 11, 2011

කුරු ඇඹරැල්ලා

අපේ ගෙවත්ත එච්චරම ඉඩකඩ තියන තැනක් නෙමේ.අනික තියන ඉඩත් ඇහිරිලා තියෙන්නෙ ලොකුවට හැදෙන අඹ,කොස්,පොල් ගස් ටිකක් හදලා තියන හින්දා.ඒ නිසා තවත් ලොකුවට හැදෙන ගස් හිටවන්න කොහෙත්ම ඉඩක් නෑ අපේ ගෙවත්තේ.ඔය අතරේ තමා මල් පැල හිටව හිටව ඉදලා එළවළු වාගේ දේවල් හදන්න ඕනේ කියල හිතුනේ.

මම් කලින් පෝස්ට් එකක දැම්මනේ කොහොමද තක්කාලි හැදුනේ කියල.මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක තමයි.

ඉඩත් ගොඩක් නැති නිසා පැල ගන්න මල්අය්යට කියල කුරු ඇඹරැල්ලා පැලයක් අරන් ඇවිත් හැදුවා.අව්වත් හොදට වැටෙන තැනක.

මේ  ඒ පැලේ පුංචි කාලේ.
මේක හිටවලා නම් දැන් මාස කීපයක් වෙනව.පායන කාලේ වතුර දම දමා කොහොම හරි පැලේ ලොකු කරගත්තා.පස්සෙ අතු කීපයකම මල් ඇවිත් පුංචි පුංචි ගෙඩි හැදුනා.ගොඩක් ආස හිතුනා,මොකද තමන් හිටවපු ගහක මල් හැදිලා ගෙඩි එද්දි ඒකේ අමුතුම සතුටක් දැනෙනවා.

වෙලාවකට එළවලු පැල වලට, පෝච්චි වලට, පොහොර වලට, ඇයි පැල වලට වතුර දාන කොට සමහරු ඇවිත් කියනව ඔවට යන වියදමට පොළෙන් සෑහෙන ප්‍රමාණයක් එළවළු ගන්න පුලුවන් කියල.ඒත් අපි සැලෙයි ඕවට,මොකෝ බිල් ගෙවන්නෙ මමයැ අම්මනේ,අනික හිටවපු ගහක මල් පිපිලා එක ගෙඩියක් හරි හැදුනම දැනෙන සතුට,ඒක තේරෙන්නෙ නෑ නේ එයාලට. :)

මෙයාගෙන් බේරගන්න තමා ටිකක් අමාරු උනේ. :D
මේ කාලේ ඇඹරැල්ලා සුලබයි.පොළේ උනත් ගොඩක් ඇඹරැල්ලා ගන්න තියනව.සමහරුන්ට මේ දවස් වල ඇඹරැල්ලා එක එක විදියට හදලා කාලත් එපා වෙලා ඇති.මම් හදපු ගහෙත් ඉස්සර වෙලාම ගෙඩි හැදිලා.ගෙඩිනම් පොඩීයි,කොහොමත් ඒ කුරු ඇඹරැල්ලා ගස් වල ගෙඩි පොඩියට නේ හැදෙන්නෙ.මේ ගස් වල ගෙඩි ඇඹුල වැඩිය නැති නිසා එච්චරම රහ නෑ කියල කියනව.

මේ තියෙන්නෙ ගෙඩි හැදිලා.
පිත් තාම ඇඹරැල්ලා කෑවේ නෑ මේ ගහේ ගෙඩි වලින්.කොහොමත් එච්චර ගෙඩි ලොකුත් නැති නිසා වෙළදපොලේ වටිනාකම නම් අඩුයි මේ ගෙඩි වලට.ඒත් ඉතින් ගෙවත්තක, ඉඩපාඩු අඩු තැනක ලස්සනට හිටවගන්න පුලුවන්.එළදාවත් හොදයි.සෑහෙන ගෙඩි ගොඩක් හැදෙනව.

Wednesday, November 9, 2011

ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


මේ මම් එන ගමන්...අද ටවුන් එක පැත්තෙ එනවද?

කාලෙකට පස්සෙ පුරුදු නොම්බරෙන් මැසේජ් එකක්.මැසේජ් එක එවල තිබ්බෙ උදේ 10.30ට විතර.මම් දකිද්දි 12ට විතර.ඒ අතරේම එක දිගට 4 පාරක් විතර රින්ග් කරලත් තිබ්බ.

මම් රිප්ලයි නොකර නිකන් ඉන්නත් හිතලා.පස්සෙ ආයම මැසේජ් එකක් දැම්ම,මම් දැන් දැක්කේ කියල.එතකොටම මෙන්න ආයම රින්ග් වෙනව.

හලෝ...

හලෝ...ආ... කොහොමද? මම් ටවුන් එකේ ඉන්නෙ.

ඉතින්!

මේ පැත්තෙ එනවද අද?

නෑ මම් එන්නෙ නෑ අද නම්.ඇයි ඇහුවේ?

නෑ නිකන්. 

එනව නම් එන්න ගෙදර ඇවිල්ල යන්න,අම්මත් ඉන්නව.

කමක් නැද්ද මම් ආවට,අම්ම මොනවත් හිතයිද?

මොනව හිතන්නද එන්න එනවනම්.

හා එහෙනම් මම් එන්නම්.එනව එහෙනම් හරිද?දැන් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙ.

හා හා එන්න.

එදා එයා අපේ ගෙදර ආව.අම්මත් එක්කත් ගොඩක් වෙලා කියව කියව හිටියා.ආ ගිය තොරතුරු,අලුත් රැකියා ස්ථානය,ගෙදර පවුලේ තොරතුරු...ගොඩක් දේවල්.ඒ අතරේ සයිලන්ට් දාල තිබ්බෙ නැතුව එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.කට් කරා,මෙන්න ආයම රින්ග් වෙනව.ඔහොම කීප සැරයක් කට් කරා.ඒ නිසාම එයා සෑහෙන අපහසුතාවයකට පත් වෙනව මම් දැක්ක.වෙනස මූණෙන් හොදට පෙනුනා.

ඒත් එක්කම මම නැගිටලා ගියා තේ එකක් හදන් එන්න.ඒ අතරේ කෝල් එකකට ආන්සර් කරනව ඇහුනා.ඒක කෙටි කතා බහක්.ආයෙත් අම්ම එයත් එක්ක කතා කර කර හිටියා.මම් ටිකක් වැඩිපුර සීනිත් දාල කිරි තේ එකක් හදල දුන්න,ගෙදර හදපු තල ගුලිත් එක්ක.

එයා දැන් මෙහෙලු වැඩ කරන්නෙ.සති 2කට පාරක් වගේ ගෙදර යනවලු.

ආගිය කතාවලට පස්සෙ තේ එකත් බීල යන්න හදද්දි මම් තල ගුලි කීපයකුත් ඔතලා දුන්න නැවතිලා ඉන්න තැනට ගිහින් කන්න කියල.මොකද එයා කිව්වෙ ගෙදර ගිහින් එන ගමන් කියල.බොරුවට එපා කිය කිය ඉදලා කොහොමහරි ඒක බෑග් එකට දාගත්ත.

යන්නම් කියල අම්මටත් දන ගහල වැදලා ගේට්ටුවෙන් එලියට ගියා මාත් එක්කම.අම්ම ගේන් එළියට ආවෙ නැතුව ඉස්සරහ දොර ලගට වෙලා බලාගන හිටිය.පස්සෙ ගේ ඇතුලට ගියා.එයා පාරෙ වංගුවෙන් හැරිලා මට අත වැනුව,මමත් හිනා වෙලා අත වැනුව,පස්සෙ නොපෙනී යනකම් බලාගන ඉදලා ගේට්ටුව වහගන ඇතුලට ආව.

අම්ම ඒ ගැන වැඩිය මොකුත් ඇහුවෙ නෑ.

දැන් මෙහෙලු නේද වැඩ කරන්නෙ?

හ්ම්...ඔව්.වැව් හදනවද මොකද්ද කීවනේ.හරියටම දන්නෙ නෑ.

මොකද ඔය අද මෙහෙ ආවේ?

මම් දන්නෙ නෑ, නිකන් එන්ඩැති! එන්ඩද කියල ඇහුවම මම් හා කිව්ව.එපා කියන්ඩැයි?.

හ්ම්...පිස්සු! බදින්නත් කෙනෙක් ඉන්නව කියන්නෙ.

ආ... ඔව් මටත් කිව්ව.

මෙලහට ඒ ළමය වෙන්ඩැති රින්ග් කරන්ඩ ඇත්තේ?

හ්ම්... ඔව් මටත් හිතුනා,ඒකයි මම් නැගිටලා තේ හදන්න ගියෙ.

දැක්කෙ නැද්ද නිකන් මූණ අමුතු උනා.

හ්ම්...

ෆෝන් එක බලද්දි රින්ග් එකකුත් එක්ක මට මැසෙජ් එකක් පුරුදු නොම්බරෙන්ම.

"මට ඔයා ගැන දුක හිතුනා"

මම් රිප්ලයි කරේ නෑ.ඒ වෙලාවෙ තරහක්වත් දුකක්වත් දැනුනෙ නෑ කිව්වොත් ඒ බොරුවක්.දුකද්ද තරහක්ද රීරිසියාවක්ද,මේ ඔක්කොගෙම මිශ්‍රණයක්ද මන්දා ඒ දැනුනේ...

මම් මැසේජ් එකක් යැව්වා මට ආය මැසේජ්, රින්ග් කරන්න එපා කතා කරන්න ට්‍රයි කරන්නත් එපා කියල,ඒකට කිසිම් රිප්ලයි එකක් ඇවිත් තිබ්බෙ නෑ.ඔහොම මාස ගානක් ගෙවෙන්න ඇති.මෙන්න දවසක් මම නැති වෙලාවක ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ඇවිත්.

ආ... දවසක් බැච් එකේ යාලුවෙක් කතා කරල ඔයා ඉන්නවද ඇහුවනේ?

මං??? මට පුදුම හිතුනා.ඇයි යකෝ මොබයිල් එක තියෙද්දි මොකටද ලෑන්ඩ් එකට ගන්නෙ කියල.කතා කරල තියෙන්නෙත් කෙල්ලක්ලු.

මොකද්ද නම කිව්වෙ?

අයේශාද මොකද්ද කිව්ව.මට දැන් මතක නෑ.

එහෙම නම් තියන යාලුවෙක් මට හිටියෙ නෑ.ඒ වෙලාවෙ නම් මම් අම්මටත් දොස් කිව්ව,නොදන්න අයට විස්තර කියන්න යන්න එපා කියල.මෙන්න කාලෙකට පස්සෙ අර නොම්බරෙන්ම මැසෙජ් එකක්.

"නංගි මම් කාර් එකක් ගත්තා!..."

රිප්ලයි නොකර ඉන්නත් හිතලා එහෙම කරොත් මොනව හිතයිද?කියල ආ නියමයි නේ.මොකද්ද වර්ගේ කියල මැසේජ් එකක් යැව්වා.ඊට පස්සෙ රින්ග් එකක්.ඕන එකක් කියල මමත් ආන්සර් කරා.එයාල අලුත් වාහනයක් අරන්,ඔයාගෙ යාලුවෙක් ඉන්නව දෙන්නද කියල කිව්වම කවුද කියල අහන්නත් කලින් මට ගෑණු කටහඩකින් හෙලෝ!...කියල කියනව ඇහුනා.

මම් හිතුවේ එයාගෙ නංගි කියල.ඒ එයා බදින්න ඉන්න කෙනා කියල දැණ ගත්තේ ගෑණු ළමයගෙම කතාවෙන්.අපි ආගිය තොරතුරු කතා කරා,"ඔහෙට වහිනවද?මෙහෙට නම් පායනව" වගේ දේවල්.එච්චර තමයි,මේ වෙනකම් මම් එයාගෙ නමවත් දන්නෙ නෑ,දැන ගන්න ඕනේ කමකුත් නෑ.

ඒ ගෑණු ළමය අපි ඉන්න පලාතට එහෙම ගොඩක් ආසයි කියල කිව්ව.මම් කිව්ව දවසක අය්ය එක්ක එන්න වැදලායන ගමන් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න කියල.

එන නොඑන එක කෙසේ වෙතත් එයා හිනා වෙලා හා...එන්නම්කො වෙලාවක කියල අපේ සංවාදේ නිමා කරා.මට එයත් එක්ක තරහෙන් ඉනන් ඕනෙ කමක් තිබ්බෙ නෑ.කතා කරපු විදියට එයාල සතුටින් ඉන්න බව පෙනුනා.

තවත් මාස කීපයක් ගෙවුනා.ඒ වෙනකොට එයත් එක්ක මම් කතා කරන එක සම්පූර්ණෙන් නවත්තලා ගොඩක් කල්,කරපු එකම දේ ඉදලා හිටලා මැසේජ් එකකට රිප්ලයි යවපු එක.මට හැම වෙලේම හිතුනෙ ඒකත් නොකලයුතු දෙයක් කියල.

ඉදලා හිටලා රින්ග් එකක් තියනව ඒ නොම්බරෙන්,මගෙන් රිප්ලයි නෑ.මැසේජසුත් නෑ.දවසක් මැසෙජ් එකක් එවල තිබ්බ මම් දන්නව දැන් ඔයා මෙහෙ නෑ කියල.මම් අම්මට කතා කරල විස්තර දැන ගත්ත කියල.ඒ කියන්නෙ එදා අයේශා කියල කතා කරල තියෙන්නෙ මෙයා.කාට හරි කියල කතා කරවන්නැති.

 ඔහොම දවසක් රින්ග් කරන කොට වැරදිලා මට ආන්සර් වෙලා.දැක්ක ගමන්ම මම් කට් කරා.ආයෙත් මැසේජ් එකක්.

"මට ඔයාගෙ කටහඩ ඇහුනා"

එදත් මම් නෝ රිප්ලයි.

ඔහොම කාලයක් ගෙවුනා,ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්.ජීවිත වලට අලුත් දේවල්  එකතු වෙලා.මාස කීපයක්ම කිසිම හැල හොල්මනක් නැතුව ගෙවුනා.

ආයෙත් අර නොම්බරයෙන් මැසේජ් එකක්!.

"නංගි මම් මෙහෙන් යනවා!"

මම් එදා රිප්ලයි කළා.

"හොදයිනේ :D " කියල.

එයා ආය රිප්ලයි කරේ නෑ.

ඇයි අපිට යාලුවො වගේ ඉන්න බැරි? ගොඩක් කාලෙකට ඉස්සර දවසක් එයා මගෙන් එහෙම ඇහුවා.ඒත් මම් නම් හිතන්නෙ නෑ එහෙම අපිට ඉන්න පුලුවන් වෙයි කියල,හොදම දේ තමා හිතින් අයින්ම කරල දාන එක.ඒත් එහෙම කරන්න පුලුවන්ද?


*************************************************************************************

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්... ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්...
අපට අප නැති හෙට දිනක දුක අරන්... හඩා කුමටද නොදරුවන් සේ ඉතින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්...සුසුම්ලන්නද අප ගැනකොයි ලෙසින්...
සුබ අසුබ පිරි සිහින විද තුන් සිතින්...සදා හමුවෙමු මග තොටේ මදහසින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


Friday, November 4, 2011

දැන් කොහොමද මම් පාරේ බැහැල යන්නෙ :(


එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලන්න හිතෙනවනේ අපිට.ඔන්න මගෙ යාලුවෙකුටත් මේ ලගදී ඉදන් කොන්ඩෙ ගැන එක එක පිස්සු හැදිලා.එක අතකින් ඒක පිස්සුවකුත් නෙමේ.ගෑණු ලමයි ඉතින් ස්භාවයෙන්ම ලස්සනට ඉන්න එක එක දේවල් කරන්න ආසයිනේ.විශේෂයෙන් බියුටි කල්චර් :).කැම්පස් ආව කාලෙ එයාට තිබ්බෙ හොද කර්ල් කොන්ඩයක් ලේයර් කරපු.අවුරුදු 4ම එහෙම ලේයර් එකම තියාගන හිට්යා කොට කර කර කප කපා.

පස්සෙ ක්‍රේල් කොන්ඩෙ හොද නෑ කියල කෙලින් කරන්න ඔනේ උනා.හා යමන්කෝ එහෙනම් කියල මමත් ඉතින් තනියට පස්සෙන් ගියා.එදා එයා කොන්ඩෙ කෙලින් කරා.රීබොන්ඩින්ද මොකද්ද කියල එකක් තමා කරේ.ඒ ගැන ලිව්ව විස්තරේ මෙන්න මෙතන ඇති.

ඒක නම් කාලයක් යනකම් ඒ කියන්නෙ මාස 10 ක් විතර හොදට මේන්ටේන් කරගන හිටියා.මේ වෙද්දි හොදට දිගට කොන්ඩෙ වැවිලා තිබ්බ.රිබොන්ඩින් එක කරේ ලේයර් එක අයින් කරල,ඒ නිසා කොන්ඩෙ එක ගානට දිගට තිබ්බා.

මෙන්න ආය ටික දවසකට කලින් කියනව,අනේ මේ කොන්ඩෙ මට දැන් ඇති වගේ...කොන්ඩෙත් ටිකක් වැවිලා නේද?...ආය ලේයර් එකක් කරන්න ඕනේ... කියල.මටත් මොකද එයාගෙ ආසාවනේ කියල, තනියට ගියා මේ සැරෙත්.කොන්ඩෙ කපාගන එනකම් සැලූන් එකේ තියන පත්තර බල බලා වාඩිවෙලා ඉන්නනේ තියෙන්නෙ,අහ් ඇයි සැලූන් එකට එන යන අය නරඹ නරඹා ඉන්නත් පුලුවන්නේ.

තිබ්බ කොන්ඩෙ ලේයර් කරන කම් පැය 1/2 ක් විතර බලන් හිටියා.

මෙන්න බොලේ මූණ නරක් කරන් එළියට එනව.පස්සෙ සල්ලිත් ගෙවල හිනාවක් දාගනම අපි දෙන්න එන්න ආව.කිසි කතා බහක් නැතුව ඔහේ යනව.මම් වැලමිටට ඇනල මොකද...කියල ඇහුව.

බලන්නකො මම් කිව්වෙ ලෙන්ත් එක තියල කපන්න කියලනේ.එයත් හා කිව්ව.දැන් කොහොමද මම් පාරෙ බැහැල යන්නෙ?හොදටම කොට කරලනේ.මේ...මට බකස් ගාල හිනා යන්න ආවත් ආයාසයෙන් වලක්ව ගත්ත.හොද වැඩේ කියන්නත් හිතලා....පස්සෙ එච්චරටම කැතක් නෑ... ඔය හොදට තියෙන්නෙ... කියල කිව්ව මොකටද නිකන් හිත රිදවන්නෙ.

ඒ සැරේ ආය කියපි කොන්ඩෙ උඩ හරියෙ කර්ල් ගතිය පේනව,දැන් වැවිලනේ...මම් ඉරිදට දාගත්ත රිලැක්සින් එකක් කරන්න කියල.එතකොට කොන්ඩෙ හොදට සෙට්වෙයි.මමත් ඉතින් හා එහෙනම් එතකොට හරියයි කියල නිකන් හිටිය.ඒ කියන්නෙ මේ ඉරිදා මටත් එයත් එක්ක රිලැක්සින් එකට යන්න වෙනව.

Thursday, November 3, 2011

ඔලුවක් පැලීමි


මතකේ හැටියට එතකොට මට වයස 5ක් විතර අති.අපි හිටියෙ ගමේ ගෙදර.වත්තෙ එක පැත්තකින් වැව,වැවටම අල්ලලා කුඹුරු යාය.අනිත් පැති දෙකෙන් තමයි ගමේ ගෙවල් වලට අපේ වත්ත සම්බන්ධ වෙලා තිබ්බෙ.අපි ගමේ ගෙදර දාලා ආව කතාව ගැන අසූ නමය අවුරුද්ද පෝස්ට් එකෙ මම් දවසක් කිව්වා මතක ඇති.

ඒ වැලෑනවැවේ බන්ට්එක සුද්ද කරන කාලේ... අපිටත් හෙන ජොලි.බන්ට් එක දිගේ දුවන්ඩ.උණබට තුවක්කු වලින් වෙඩි තියාගන්ඩ.අහ්... ආය පොල්පිති හරක් හදාගන බන්ට් එකෙන් පහලට රූටන්ඩ. රූටල ගිහින් වත්තෙ කොනේ තිබ්බ ගහෙන් තිඹිරි කන්ඩ...ඔය වගේ ගොඩක් වැඩ තිබ්බා.

ඒ දවස් වල අක්කටයි මටයි සෙල්ලම් කරන්න හිටියෙ අපේ අල්ලපු වත්තෙ ළමයි දෙන්න,එක්කෙනෙක් ඉන්දුල,එයා මම් හිතන්නෙ අපේ අක්කගෙ වයසෙ විතර.ඕනෙ නම් මට වඩා අවුරුදු 4ක් වත් වැඩිමල් ඇති.එයාගෙ මල්ලි ලලිත්.එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.

දවසක් අපි කට්ටියම බන්ට් එකට වෙලා සෙල්ලම් කර කර හිටියා...මොකක් හරි හේතුවකට මට තරහ ගියා කියල මතකයි. අන්තිමට පෙනුනේ ලලිත් ඔලුවත් අත් දෙකෙන් අල්ලන් බන්ට් එකේ බිමට පාත් වෙන එක!

ලලිත් අඩනවා...එයාගෙ ඔලුව පැලිලා... ලේ ගලනව...ඒත් එක්කම අක්ක අප්පච්චී!...අප්පච්චි!... කිය කිය කෑගහගන බන්ට් එකේන් රූටලා ගේ පැත්තට දිව්වා.මම් තනිවෙලා...හිටගන අඩනවා...ලලිත් වාඩිවෙලා... ඔලුව අල්ලගන කෑ මොර දෙනවා...ඉන්දුල-ලලිත්ගෙ අය්යා,ලලිත් ලගට වෙලා ලලිත්ව අල්ලගන ඉන්නව.


අප්පච්චි ආව ගමන්ම මට ඩෝංගාලා ශොට් එකක් දුන්නා පස්සට.මම් අඩාගන අම්ම ලගට දුවගන ගියා.එයාලගෙ අම්මයි-ගෙදර කට්ටියයි,අපේ අම්මලයි  ඔක්කොම වට උනා... මොකද උනේ? කොහොමද උනේ? කවුද ගැහුවේ? ප්‍රශ්ණ කෝටියයි.අක්ක හැම ප්‍රශ්ණෙකටම යහමින් උත්තර සපයනව.ඒ එක්කම අප්පච්චි ලලිත්ව ඉස්පිරිතාලෙ එක්ක ගියා...මමත් වැඩි වැඩියෙන් ඇඩුවා...ඉකි ගහ ගහ ඇඩුවා...අනිව අප්පච්චි ගෙදර ආව ගමන් මටත් ආය ගුටි පූජාවක් හම්බෙනව ශුවර්!.අනික ලලිත්ට මොනව වෙලාද කවුද දන්නෙ! මොනව හරි වෙලා තිබ්බොත්!

පැය කීපෙකට පස්සෙ ලලිත් බෙහෙත් දමාගන ගෙදර එක්ක ආවා.ඒ වෙද්දි මාමත් අඩලම හෙම්බත් වෙලා.තරහ වෙච්ච පාර මම් ගහපු ගල් පාරක් වැදිලා එයාගෙ ඔලුව පැලිලා තිබ්බ.කවුද හිතන්නෙ වමත් ශොට් එකක් ඔච්චර නිවරදිව ඉලක්කෙ අල්ලයි කියල.

අපේ අම්මයි අප්පච්චියි මට හොදටම දෙහි කැපුව.ලලිත්ගෙ තාත්ත කිව්වෙ පොඩි උන්නේ...ඔහොම තමා සෙල්ලම් කරනව...ගහගන්නව...වැටෙනව...අඩනව... කියල.ගෙදර ගිහින් මොනව කිව්වද මම් දන්නෙ නෑ.සමහර විට මහ වසවර්ති කෙල්ලක් කියල පලු යනකම් බනින්න ඇති!...