Thursday, February 13, 2014

මම ආයෙත් | Started Dating Again - 3




ඒත් දිගටම මම දුකෙන් හිටියෙ, මට ආදරේ ගොඩක්ම ඕනෙ වෙලා තිබ්බෙ. ඒ කාලෙදි මම මගේ ඉලක්ක, බලාපොරොත්තු හැම දෙයක්ම අහිමි කර ගනිමින්, හැම වෙලාවකම එයා ගැනම හිතමිනුයි හිටියෙ. 

මගේ ගෙදර කටයුතු, සමාජ සම්බන්ධකම්, අධ්‍යාපනය සහ අනිත් මගේ ව්‍යාපෘති, ඒ හැම දෙයක්ම සෑහෙන්න අඩපණ වුණා. ඒක නිසා ගිය අවුරුද්දෙ ඉඳන් මම එයාව හම්බ වෙන එක නැවැත්තුවා. දැන් මට කියන්න පුලුවන් මම ආයෙමත්  ප්‍රකෘති තත්වයට ඇවිත් කියල.

දැන් මට ඕනෙ මම ගිය අවුරුදු වල අතපසු කරල දාල තිබ්බ දේවල් ගැන අවධානය යොමු කරන්න, රස්සාවෙ තත්වය උසස් කර ගන්න එක , අධ්‍යාපනය වගේ දෙවල්. මම මගේ පරණ සම්බන්ධකම් ගැන මතක් කළේ , මගේ පළවෙනි , දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් අතරේ ලොකු කාල පරතරයවල් තිබ්බේ නෑ කියන එක පැහැදිලි කරන්නයි. 

දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් පටන් ගනිද්දි , පළවෙනි සහ දෙවෙනි සම්බන්ධකම් බිඳිච්ච එකෙන් ඇති වෙච්ච වේදනාවෙන් මං සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්වයට ඇවිත් හිටියෙ නෑ. මට ඕනෙ නෑ ඒ දේ නැවත වෙන්න.

ඒක හින්දා මට ඕන උනේ ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක යාලුවො විදිහට එහෙම නැත්තන් අනාගතයේ වෙන්න පුලුවන් විවාහ සහකාරිය විදිහට කතාබහ කරල මගේ හදවතට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන එක අඩුම තරමින් මාස කීපයකටවත් සහ ඒක නතර වෙන්නෙ කොතනද කියල බලන එක. 

මම දන්නවා මේ මට්ටමේදී ඒක ටිකක් අමාරු වැඩක්, අනික මට ඕනෙ නෑ මගෙ අතීතේ හංගන්න. විශේෂයෙන්ම වෙලාවෙ වෙනස හින්දා මේක තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.

මම ගෙදර ඉන්න වෙන් කර ගත්ත වෙලාව හැරුන කොට ජිම් එකට යන්න, උයන්න, ඇඳුම් හෝදන්න, පාඩම් කරන්න, ගෙදර පිරිසිදු කරන්න යන වෙලාවත් එක්ක කෙනෙක්  එක්ක සම්බන්ද වෙන්න මට වෙලාවක් හදාගන්න අමාරුයි.

මට හැමදේම තියනව එකක් ඇර, ඒ මගේ හිතේ සතුට, මගෙ ලගට වෙලා මට ආදරය කරන්න කෙනෙක් නැතිකම. ඒත් මට ඕනෙ මට නැති වෙච්චි ජීවිතේ ආයෙමත් මං ලගට ගන්න. සමහර විට එහෙම දෙයක් සදහටම නොවෙන්නත් පුලුවන්, ඒත් මං තාමත් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව.

මම ආයෙත් | Started Dating Again - 2




හැබැයි කවදාවත්ම මට පළවෙනි එක්කෙනා ගැන තරම් දෙවෙනි එක්කෙනා ගැන ආදරයක් ඇති වුණේ නෑ, අඩුම තරමින් 50% ක් වත්. ඒ දවස් වල එයාට කෝල් දෙන එක ගොඩක් වියදම් අධිකයි, එයාට ඊමේල් තිබ්බෙත් නෑ.

හැබැයි හැම මාසෙම එයා එයාගෙ චූටි අත් අකුරු වලින් ලියාපු A - 4  කොළ කීපයක් මට තැපෑලෙන් එවුවා. මට දිග ලියුම් ලියන්න ඕනෙ වුනේ නෑ. ඒකෙන් වෙන්නෙ මගේ දුක වැඩි වෙලා, තනිකම , පාලුව වැඩිවෙලා මම ආපහු ලංකාවට යැවෙන එක. 

මම මෙහෙ තනි වෙලා නිසා, මට ඕනෙ වුණේ මේ රටෙන් සම්බන්ධයක් හදා ගන්න. ඒක නිසා මම එයත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවැත්තුවා.අන්තිමේදි මම ගොඩක් වයසෙන් අඩු කෙල්ලෙක් එක්ක යන්න එන්න පටන් ගත්තා. 

වයසෙන් වැඩි වෙද්දි එයා ගොඩක්ම වෙනස් වුණා.ඒත් අපි අවුරුදු කීපයක්ම එකට හිටියා. සමහර විට ඒ අපි දෙන්නම වැඩි කලබල නැති ගෙදරටම වෙලා ඉන්න කැමති අය හින්ද වෙන්න ඇති. 

සමහරවිට මෙහෙ දැන ඇඳුනුම්කම් අඩු හින්ද වෙන්නත් ඇති. හැබැයි ලොකුම හේතුව අපි අතරෙ  තිබ්බ ආර්ථික බැඳීමයි අපිට එකිනෙකාගෙන් හම්බ වෙච්ච උදව් උපකාරයි වෙන්න ඕනෙ. 

ඒකත් කාලයක් යද්දි අවසානෙ කරා ලගා උනා. ඊට පස්සෙ මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් විජාතික කෙල්ලෙක් එක්ක මම් සම්බන්ද උනා .අපිට ලොකු අනාගතයක් නැති බව හොඳටම දැනගෙන වුණත් මම එයාට ගොඩක් ආදරේ වුණා. සමහර විට අර පළවෙනිම කෙල්ලට ආදරේ වුණාටත් වඩා.මට ඕන වෙලා තිබ්බෙ ආදරේ...මට ලගින් ඉන්න කෙනෙක්...

ඒත් එයා මාව සෙල්ලමකට ගත්තා විතරයි.එහෙමත් නැත්තන් එයාට හැඟීම් ඇතිවෙනවා, නැති වෙනවා වෙන්න ඕනෙ. ඒත් නැත්තන් එයාට ඕනෙ වුණේ කායික සම්බන්ධයක් විතරක් වෙන්න ඇති.

මම ආයෙත් | Started Dating Again - 1



ඔයා දන්නව මම ලගකදි ඉඳන් ආපහු ඩේට් කරන්න පටන් ගත්ත බව. මට ගෑණු ළමයි කීප දෙනෙක්වම ආශ්‍රය කරන්ඩ හම්බ වුණා. ඔයාට නිකමට වගේ කියන්න ඕනෙ උනේ මගේ හිතේ තිබ්බ අදහස. මම කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන දේවල් ගැන.

මට මීට කලින් සම්බන්ධකම් කීපයක් තිබිල තියනවා. පලවෙනි එක මට වයස 16 - 19 විතර කාලෙදි. මම අවුරුදු 2 ක් විතර පළවෙනි කෙල්ල පස්සෙන් ගියා. ඒ අවුරුදු දෙකේදිම අපි යාලු වෙමුද කියල එයාගෙන් ඇහුවෙ නෑ. එහෙම අහන්ඩ මම් ගොඩක් ලැජ්ජා වුණා. 

කොහොම හරි අන්තිමේදි ඒ සම්බන්දෙ පටන් ගත්තා. ඒක අවුරුද්දක් විතර වගේ තිබුන. සමහර විට ඊටත් වඩා අඩු ඇති. ඒ දවස්වලම තවත් කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම් ඒ කාලෙ ගොඩක් හැන්ඩ්සම්. ඉතින් ඒ දෙන්නවම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යාලුවො හිටිය නිසා ඒ දෙන්න එකිනෙකාව දන්නවා. 

එයාල දෙන්නම හොඳ පෙනුමයි, එකම සයිස්,එකම වගේ පෙනුම, ගොඩක් පැහැපත්, හැබැයි මට වඩා වැඩිමල්. මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පස්සෙන් ආපු ගෑණු ළමයි කීප දෙනෙක් හිටියා. ඒත් මම ලැජ්ජාවෙන් හිටියෙ, ඒ දවස් වල මම ගොඩක් අහිංසක පෙනුමයි.මගෙ යාලුවොත් මට හිනාවෙන වෙලාවල් තිබ්බ ඔහොම ඉදල නම් හරි යන්නෙ නෑ කියල.

ඒ දෙවෙනි කෙල්ල ටිකක් කොල්ලෙක් වගේ.එයා සමහර වෙලාවට මට කැමති වෙලා හිටපු අනිත් කෙල්ලන්ට ගහන්න, රණ්ඩු කරන්න පවා ගියා. එකපාරක් එයාට එහෙම දෙයක් හින්දා ඉස්කෝලෙදි ප්‍රශ්නයක් ඇති වෙන්නත් ගියා. ඒත් එයා ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටපු හින්දයි, එයා ගොඩක් දක්ෂ කෙනෙක් හින්දයි ඒ ප්‍රශ්නෙන් බේරුණා.

දැන් ඒ දෙන්නම කසාද බැඳල, දෙන්නටම දුවල දෙන්න ගානෙ ඉන්නව. පලවෙනි එක්කෙනා බැංකුවක ඉහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්, දෙවෙනි එක්කෙනා විශේෂඥ වෛද්‍යවරියක්.  

මගේ පළවෙනි සම්බන්දෙ නැතිවෙච්චි ගමන්ම දෙවෙනි කෙල්ල ඇවිත් තව පාරක් මගෙන් ඇහුවා කැමතිද කියල. මට ඒ වෙලේ එයාට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ මොකද කියනව නම්, පළවෙනි කෙල්ලව නැති වෙච්ච එක ගැන මම ගොඩක් දුකෙන් හිටියෙ, මට වෙනස් වෙන්න ඕනෙ වෙලා තිබ්බ. 

අපි දෙන්න අවුරුද්දක් විතර එකට ගමන් බිමන් ගියා. ඔහොම කාලෙ ගෙවිල ගියා. පස්සෙ මම මේ රටට ආවා. අපේ සම්බන්දෙ තවත් අවුරුදු ගාණක්ම තිබ්බා. ඒ සම්පූර්ණ කාලෙදිම මම එයාට බොහොම අවංකවයි හිටියෙ.ඒක මම් කියන්නෙ වගකීමෙන්.

ප.ලි:- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. 

කෙල්ලෙක්ට හොදම රස්සාව | Best Job for a Girl


http://www.tangischools.org/cms/lib3/LA01001731/Centricity/Domain/62/teacher.gif

අපේ අත්තම්මලාගෙ කාලෙටත් ඉස්සර කෙල්ලො ඉස්කෝලෙ යන්නෙ 5 පංතියට වගේලු.ඇයි ඉතින් ගියා කියල මොක කරන්ඩද ගෙදර වැඩ පල කරගන ඉන්නව මිසක්. පස්සෙ පස්සෙ අපේ අත්තම්මලගෙ කාලෙ විතර වෙද්දි ඕක ටිකක් වෙනස් වෙලා.ඉස්කෝලෙ යවන්ඩ  පටන් අරන් යන්තන් අත්සන ගහගන්ඩ පුලුවන් වෙන්ඩවත් කියල.

දැන් එහෙම වෙනසක් නෑ කෙල්ලො කොල්ලො කෝකත් එකයි. ඉගන ගන්න ඕනේකම උනන්දුව තියනව නම් ඉහලටම යන්ඩ චෑන්ස් එක තියනවා. මුලින් මුලින් ගෑණු අය ගොඩක් දෙනෙක් ටයිපින් ශෝට් හෑන්ඩ් වගේ දේවල් වලට තමයි කැමැත්ත තිබිල තියෙන්නෙ.පස්සෙ ක්ලැරිකල් වර්ක් වගේ ඒවට. 

දැන් එහෙම බේදයක් නෑ.පහලම මට්ටමේ ඒ කීවෙ කා.කා.ස. මට්ටමේ ඉදන් පරිපාලන, කලමණාකරන මට්ටමේ රස්සාවල් වල පවා ගෑනු අය නිරත වෙලා ඉන්නවා. ඒත් තාමත් ගෑනු කෙනෙක්ට නිදහස්ම ගැලපෙනම රස්සාව මේකයි කියල ගොඩක් දෙනෙක් නිශ්චිත කරන් ඉන්න ජොබ් එකක් තියනව. ඒක ගෑනු අයට කියාපු රස්සාවලු. නිදහස තියනවලු, විවේකෙ තියනවලු බ්ලා... බ්ලා... ගොඩයි. ඒ උනාට දැන් ඉස්සර වගේ නෙමේලු. ඒ රස්සාව කරන අය කියන හැටියට දැන් ඔය කියන තරන් නිදහසක් නෑලු. ඉස්සර කාලෙ වගේ නෙමේ ලු. 

දැන් ඉන්න රස්සව ඉගන ගත්ත දේට අදාල නොවුනට ආසාවෙන් කරනව. එක එක ආයතන විවිධ තනතුරු දරන අය එක්ක රාජකාරි මට්ටමෙන් සම්බන්ධ වෙනව, ඒක හොදයි කියල හිතෙනව ඉතින්. අනික අවුරුදු 5ක් යනකම් දෙයියනේ කියල ගෙදර ඉදන් රස්සවට යන්ඩ පුලුවන්,පැය 1/2 න් ගෙදර. මේකට ගියොත් ඉතින් දුශ්කර තපින්ඩ වෙනව අවම අවුරුදු 5ක්. සමාජ ආශ්‍රය අඩුයි. 

ඒත් ගොඩක් දෙනාගෙ කීම තමයි ඔයා යන්ඩ... මේකේ ඉන්ඩ එපා... අපරාදේ ඉගන ගත්ත දේ.. නිදහස... විවේකේ... තියනව, පස්සේ කාලෙක ලමයිට හරි හොදයි. එයාලට ඉගන ගන්න ගෙදර වාතාවරණය සැකසෙනව... කතා ගොඩයි.

දැන් බලන්ඩ ඔයාල උනත් අම්ම අප්පච්චි නිසානේ ඔහොම ඉගන ගත්තෙ!... මට ඔය කතාව තමයි පේන්ඩම බැරි, ඇයි යකෝ, දෙමව්පියෝ ගුරුවරු උනා කියල ඉබේ ලමයි ඉගන ගන්නවද, උත්සහය උනන්දුව නැත්තම්, හරියට අපෙ මොලෙන් මොකවත් කරන්න නැතුව ඉබේ විභාග පාස් වෙනව වගේ නේ කතාව.

ඒ කියනව වගේ ගොඩක් වෙලාවට ගෙදර පරිසරයත් බලපාන්න ඇති සමහර විට.ඒත් මට ඒ රස්සාව ගැන ආසාවක් නෑ.අම්මගෙ කීම අහක දාන්ඩ බැරි නිසා ඇප්ලයි කොලා ඇරෙන්ඩ කිසිම කැමැත්තක් නෑ.

කඩේ හාල් | Buying Rice

මේ කන්නෙ ඒ කිව්වෙ 2013/2014  මහ කන්නෙ වැස්සෙ හිගයත් එක්ක කුඹුරු කරන්ඩ බැරුව ගොඩක් දෙනා අත ඇරල.වැස්ස නැතුව මොන කුඹුරුද?...

සමහරු කුඹුරු පාලුවට ඇරල සමහර ඒවල නම් අතිරේක බෝග වගා කරල තියනව, බඩඉරිගු යායවල් තමා ගොඩක්ම පේන්ඩ තියෙන්නෙ.

වතුර තියෙන කන්න වල කුඹුරු කරත් ගොඩක් දෙනා තෙල් බෙහෙත් ගහන්ඩ ටැට්ටර් කුලි වලට තව ගොඩක් දේවල් කරන්නෙ ණය වෙලා.ඒ නිසා හොද අස්වැන්නක් ලැබුනත් අන්තිමට වීගෝනි ටික ගෙට ගේන්ඩ කලින් කුඹුරෙදිම විකුනලා දාන්ඩ සිද්ද වෙනව, එකතු වෙච්ච ණය බේරන්ඩ.

කොහොම හරි එන කන්නෙ වෙනකම් ගෙදර කන්ඩ හාල් ටික ඉතුරු කරගන්නව සමහරු. සමහරුන්ට එහෙම ඉතුරු කරගන්නෙ නැතුව ඔක්කොම ටික විකුනලා දාන්ඩ වෙනව ණය වල හිලව්වට. ඉතින් මේ කන්නෙ ඒ අයට හුලං තමා... කඩේ හාල් කන්ඩ වෙනව.
 
ඉස්සර කඩේ හාල් වල අමුතුම ගදක් තිබ්බ අහම්බෙන් හරි ඉස්කෝලෙට කෙනෙක් දවල්ට බත් කන්ඩ ගෙනාහම ඒ බත් වල අර සැර එනව. මම් ඒවට කීවෙ ගද බත් කියල. එහෙම කියද්දි අම්ම සැර කරනව බත්වලට එහෙම කියන්ඩ එපා පව් කියල.පස්සෙ කාලෙක තමා දැනගත්තෙ ඒ වී තම්බන්ඩ වතුරේ දාල පල් කරන නිසා එහෙම ගද එනව කියල.

සමහරු ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බත් ගේන්නෙම නෑ. සීනි බනිස්/මාලු බනිස්/ ඉදි ආප්ප/රොටි ඔය වගේ එක එක කෑම ගේනව.එයාලගෙ කෑම පෙට්ටි අරිද්දිම ඒ සුවද පැතිරිලා යනව.ඉතින් කෙළ ගිලෙනව සුවදට ඉව අල්ලලාම, කොහෙද අපේ ඉතින් තුන් වේලම බත්නෙ!. 

හොද වෙලාවට මේ කන්නෙ වී ටික විකුණන්නෙ නැතුව ඉතුරු කර ගත්තෙ. නැත්තම් අපිටත් කඩේ හාල් තමයි කන්ඩ වෙන්නෙ.ලංකාව සහල් වලින් ස්වයංපෝෂිතයි කීවට හාල් මිලේ අඩුවක් නෑ, කිලෝ එකකුත් දැන් සෑහෙන ගානක්නෙ!

Tuesday, February 4, 2014

නිදහස වැඩිහිටියන් එක්ක | Independance Day Celebration


සීයා බර කල්පනාවක වගෙයි.
අද අපේ 66 වෙනි  නිදහස් දිනය. ල0කාවේ හැමතැනම නිදහස සමරනවා, එක එක විදියට. අපි මේ සැරේ නිදහස සැමරුවේ අනුරාධපුරේ සාලියපුර වැඩිහිටි නිවාසෙ ඉන්න වැඩිහිටියොත් එක්ක. 

හැම අවුරුද්දෙම අපි වැඩකරන කාර්යාලයෙ අය නිදහස් දවස සමරන්න මෙතන්ට එනව.ජාතික ගීය කියල නිදහස සමරන ගමන්ම හාමුදුරුනමක් වඩම්මල වැඩිහිටියො වෙනුවෙන් පොඩි අනුශාසනාවකුත් කරනවා.

ස0ගීත සාදය
ස0ගීත සර් කෙනෙකුත් එයාගෙ ගෝලයො ටිකකුත් එක්ක එනව ආච්චිල සීයල එක්ක සින්දු කියන්න. එයාල සමහරු අපිත් එක්ක සින්දු කියල නටල විනෝද උනා. සින්දු කියල ටිකක් මහන්සි වෙනකොටම වගේ තේ වෙලාව. එතකොට එයාලට සීනි බනිස් එකකුත් තේ එකකුයි හම්බෙනව.

බනිස් ! තාම තේ ටික නෑ
බනිස් බෙදලා ඉවරවුනාම ආය මහන්සි නැති අය සින්දු කියන්නයි නටන්නයි පටන් ගන්නව. සමහරු බනිස් කකාත් නැටුව. ඒ අතරේ දවල් දානේ පිළියල වෙනව. සමහරු ඒකට උදව් වෙන්න යනව. 

සි0දුවක් කියන්ඩ යන්නෙ මම්

මේ අපේ කාර්යාලයෙ සමාජ සේවා නිලධාරිනිය. එයාටත් හොදට සින්දු කියන්න පුලුවන්. අද එයත් ලස්සන සින්දු ටිකක් කිව්ව ආච්චිල සීයලත් එක්ක එකතුවෙලා. සින්දු කියන්න දන්නෙ නැති අපි වගේ අය අප්පුඩි ගහල පොඩි සහයෝගෙකට එයාලට තාලෙ ඇල්ලුව. 




මේ සීයටත් හොදට නටන්න පුලුවන් පින්තූරයක් ගන්න කියල එයා හිටිය විදිය තමා මේ. එයාට කාත් කවුරුවත් නෑලු. ඒ නිසා මෙහෙ ඇවිත් ඉන්නව කියල කීවා.

දානෙ උයල ඉවර වෙනකම් අපේ කට්ටිය සෙල්ලමේ.

දානේ ගන්න පෝලිමේ


ඇවිදින්න කරන්න පුලුවන් අය මෙහෙම ඇවිත් දානෙ ගන්නව සමහරු වාට්ටු වලම ඉන්නෙ. එයාල ලගට ගිහින් කෑම දෙනව.

දවල් දානෙ බෙදනව
ගොඩක් සීයල ආච්චිල මේ නිවාසෙ ඉන්නව.සමහරුන්ට කාත් කවුරුවත් නෑ. සමහරුන්ට ලමයි සලකන්නෙ නෑලු. සමහරු කියන්නෙ  එයාලට පාඩුවෙ ඉන්න පුලුවන් මෙතන නිදහස්!... කියල.