Thursday, June 23, 2011

ගේ දොර හරි උකස් කරන් මෙහෙට හනික වරෙන් මචං රස්සා දෙක තුනක් කරන් සල්ලි හොයමු එළට මචං

කම්මැලිකමට සිංදුවක් අහන්න හිතිල නෙට් එක පීරද්දි තමා මේ සිංදුව අහන්න ලැබුනේ,බලන්නකො ඔයාලත් අහල, මතුපිටින් පෙනෙන සුන්දරත්වයට වඩා එහා ගිය දෙයක් මේකෙන් කියවෙනවද කියල.

ගේ දොර හරි උකස් කරන්
මෙහෙට හනික වරෙන් මචං
රස්සා දෙක තුනක් කරන්
සල්ලි හොයමු එළට මචං

කොලෙජ් එකට ගියත් මචං
වැඩක් නෑනේ මරුනෙ මචං
මාරම ෆන් මෙහෙදි මචං
උඹ එනවද ලගදි මචං

මෙහෙ කෙල්ලන් පිස්සු මචං
දැක්කොත් උඹ අඩයි මචං
උඹ ආවොත් අපි දෙන්නම
පැනලා ලව් කරමු මචං 

ලිපියේ මම් නොලීවාට
තව තව වැඩ ගොඩයි මචං
මම දැන් මෙහෙ පොරනෙ මචං
යාලුවො සෙට් ගොඩයි මචං

මෙහෙ ආමුල් දිනේ පටන්
කරන්න වැඩ ගොඩයි මචං
බැලු බැලු අත පිස්සු මචං
මටත් පිස්සු ඩබල් මචං

සල්ලි අතේ ඇතොත් මචං
සුරලොව මේ රටනෙ මචං
කන පැලෙන්න බොන්න මචං
විස්කි ජාති ගොඩයි මචං

ලංකාවේ ඉද්දි මචං
නිදහස නෑ අපිට මචං
මාරම හැපි මෙහෙදි මචං
උඹත් වරෙන් වීසා අරන්

 නෙට් එකට අප්ලෝඩ් කරල තිබ්බෙනම් මෙන්න මේ විදියට.
machan _ratagiya kaalakanniya_Akalanka Mallawa ft Gayan C

නම වෙනස් කිරීමයි!


විවාහ වුනාට පස්සෙ ලැබෙන මුල්ම දරුව දුවෙක් වෙනව දකින්න ගොඩක් අය කැමතියි.එහෙම උනාම ගෙදරටත් හොදයිලු.ඉස්සර කාලෙ නම් එහෙම හිතල තියෙන්නෙ,ගෙදර මහ දෙන්න ගොවිතැන් වැඩවලට යන නිසා,උයන පිහන ඒවට, පොඩි උන් බලා කියාගන්න ඒවට, දුවව උදව් කරගන්න පුලුවන් වෙන නිසා වෙන්න ඇති.

කොහොමත් දුවෙක් ගෙදර හිටියහම ලෙඩක් දුකක් උන වෙලාවට,හොයල බලන්න,බෙහෙත් පොවන්න, කෙනෙක් ඉන්නව කියල හිත හදාගන ඉන්න පුලුවන්නේ.අඩුගානේ කෑම ටික හදල කන්නවත් දෙයිනේ.(අපි එහෙම හිතමුකෝ :) )

අපේ ගෙදරටත් මුලින්ම ආවෙ කෙලි පැටික්කියක්,බලාපොරොත්තුවත් තිබුනෙ කෙල්ලක් නිසා,ඒ ගැන හැමෝම සතුටු උනාලු.

ඊට අවුරුදු 4කට පස්සෙ තව එකෙක් හම්බවෙන්න හිටිය නිසා,අප්පච්චි ගොඩක් බලාපොරොත්තුවෙන් හිට්යලු,ආ...මේ සැරේ නම් කොල්ලෙක් ඉපදුනොත් හොදා,පරම්පරාවෙ නම අරන් යන්නත් එක්ක කියල.

කොහොමත් දෙජාතියෙන්ම ඉන්නව නම් හොදයි නේ.ඒ කාලෙ ඉතින් ඔය දැන් වගේ ස්කෑන් පරීක්ශණ කරල කලින් මොකාද ඇතුලෙ ඉන්නෙ කියල හොයන්න විදියක් තියෙන්න නැතුව ඇති.

දැන්නම් කලින්ම දැනගන්නවනෙ,කෙල්ලද කොල්ලද,හම්බවෙන්න ඉන්නෙ කියල.ඊට පස්සෙ රෝස පාටින් ද නිල් පාටින්ද ඕන කරන ඒව ගන්නෙ කියලත් තීරණය කරන්න පුලුවන්නෙ ,බබා ලැබෙන්නත් කලින්ම.

අප්පච්චි හිතාගන ඉදල තියනව කොල්ලෙක් හම්බවුනොත් මිගාර කියල නම තියනව කියල.අනේ වෙලාවට ආයෙත් හම්බ වෙලා තියෙන්නෙ කෙල්ලක්.මොනා කරන්නද?...ලැබිච්ච දේනේ.

අම්ම කියන්නෙ මාව දැක්ක මුල්ම වෙලේ කෙල්ලෙක් කියල දැනගත්තම,අප්පච්චිගෙ මූන හරිනැති වුනා කියල.මොකද බලාපොරොත්තුව නැතිවුනානේ.

ඒ වුනාට අන්තිමේදි වැඩියෙන්ම ආදරේ වුනේ දෙවනි කෙල්ලට,(එහෙම තමා තාමත් හිතන්නෙ)මොකද හිතුවත් වගේ එයා තමා අප්පච්චි වගේම වෙලා තිබ්බෙ,හැසිරීම වගේ දේවල් වලින් පවා. ගොඩක් අය කිව්වෙත් පොඩි එකී අප්පච්චි වගේමයි,අපරාදෙ කෙල්ලක් වුනේ කියල.

අක්කට දාල තිබ්බෙ ඉන්දියාවෙ  එක කදු වැටියක නමක්,ඒ කදුවැටිය ලගින් ගලාගන යන එක්තරා ගංගාවක නමක් තමා දෙවනියාට දාල තිබ්බෙ.ඒ වෙද්දි අක්කට අවුරුදු 4ක් නිසා අහන අයට එයා කියන්නෙ අපේ නංගිගෙ නම,"නරුමදා" කියලලු.

ඕකට කට්ටිය හිනාවෙන නිසා අම්මයි අප්පච්චියි තීරණය කරල තියනව ඒ නම වෙනස් කරන්න,ඔන්න ඔහොමයි අද තියන මේ කැතම කැත නම ආවෙ.

පලි: අපිටත් පුතෙක් හම්බවුනොත්,අප්පච්චිව මතක් වෙන්නත් එක්ක,මම හිතාගන ඉන්නව මිගාර කියල නම තියන්න. 

Monday, June 20, 2011

තවත් බලු කතාවක්


මෙයා අපේ ගෙදරට ගෙනල්ල දුන්නෙ අල්ලපු ගෙදර මල්ලි.ඒ එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර දාලා හිටිය බලු පැටව් 6 දෙනාගෙන් කෙනෙක් කියල,ඒ වෙද්දි අපිත් ගෙදරට බලු පැටියෙක් හොය හොයා හිටියෙ.

කොහොමත් බලු පැටව් පොඩි කාලෙ ගොඩක් හුරුබුහුටියිනේ.මේකත් කලුම කලුයි,බෝලයක් වගේ, ලස්සනයි.හැමෝම ආදරය කරා.

ඒත් එක පරහක් තිබ්බ,බලු පැටිය හිටපු ගමන් කූන්... කූන්... ගානව ඇරෙන්න වෙන සද්ද දාන්නෙ නැ. හැමෝම කිව්වෙ මේකා ගොලු සතෙක් කියල.මෙයා තනිකරම කලුම කලුපාටයි.අපි නමකුත් දැම්ම කලූ කියල,වෙලාවකට කලු මල්ලි, කලු පුතා,කලු බබා එහෙමත් කියනව :))

ගෙනල්ල දුන්න මල්ලිටත් හිතට හරි නැ.ඇයි හැමෝම කියනවනෙ...අපෝ!...ඔයා ගෙනල්ල දීල තියෙන්නෙ ගොලු එකෙක්නේ කියල.

පස්සෙ බැලින්නම් හැමවෙලේම කන්න දෙන නිසා තමයි මෙයා සද්ද දාන්නෙ නැතුව ඉදල තියෙන්නෙ.කොහෙන්ද හම්බවෙච්ච ත්‍රීපෝශ වගයක් දුන්නනෙ මෙයාට පොඩිම කාලෙ.ඒක නිසා, බඩගිනිත් නොවන එකේ සද්ද දාල නැත්තෙ.

පස්සෙ අපේ ගෙදරට එකතුවුනා කොහෙන්දෝ ආව බැල්ලක්,දන්වැලත් කඩාගන ඇවිත් තිබ්බෙ,හෙන සැර එකෙක්.ඌට අපි කීවෙ "නංගි" කියල.ඒක නිසා කලූටත් ගෙදරින් පිට කොහෙවත් යන්න ඕන කමක් වුනේ නෑ.අර ආව බැල්ලත් කලුම කලුයි,හොම්බ දිගයි,දෙන්නෙක් ඉන්න නිසා කවදාවත් කෙනෙක් ගේට්ටුව ඇරන් කෙලින්ම ගෙදරට ආවෙ නෑ.මුන් දෙන්න කොයේ හිටියත් ගේට්ටුවෙ සද්දෙ ඇහුන ගමන් බුරාගන යනව.

ඔන්න දවසක් මම හවස ගෙදර ලග කඩේට යනව,මුන් දෙන්නත් මගෙ පස්සෙන් එනව,දන්නවනේ ඉතින් කාලෙකට පස්සෙ එලියට දැම්මම මුන් දෙන්නටත් මාර හැපී,නට නටා මගෙ පස්සෙන් එනව,ඇගේ එල්ලෙනව,අංශක 90 විතර ඇඹරි ඇඹරි එන්නෙ.හරියට පාරෙ යන්නත් බෑ මුන් දෙන්න නිසා,වෙලාවකට කරච්චලේ.

බඩුටිකත් අරන්  ගේට්ටුවෙන් ඇතුලට ආව විතරයි මෙන්න මුන් දෙන්න මගේ ඇගේ එල්ලුනා,අත් දෙකේම බෑග් එල්ලගන.ඇදන් හිටපු ස්කර්ට් එක බිම.හොදවෙලාවට ගේට්ටුවෙන් මෙහාට ආවම වුනේ,අනික ඒ වෙද්දි ටිකක් අදුරුත් වෙලා.ඒ නිසා ගානක් ගියෙ නෑ.

ඒ දවස් වල මම් උදේ 6 වෙද්දි, කැම්පස් යන්න නුවර බස් එකට නගින්න යනව,දෙන්නම පස්සෙන් එනව,අහල පහල ඉන්න බලුනඩේටත් පාට් එක දාගන යන්නෙ,අපි ඉන්න නිසා.මම් බස් එකට නගිනකම්ම ස්ටෑන්ඩ් එකට වෙලා ඉදල එක පිම්මෙ ගෙදර දුවනව,බස් එකේ යන ගමන් මම් හැරිල බලනව.

කලාතුරකින් ගෙදර යන කාලෙ, ගෙදර ගේට්ටුව අරින සද්දෙට දුවගන ඇවිත් උඩ පැනලා පෙරලිළා මාව පිලිගත්ත විදිය නම් කවදාවත් අමතක වෙන්නෙ නැ.ඒත් එක පාරටම දවසක් "නංගි" මැරිලා ඉදල,මතුපිටින් පේන්න ලෙඩක් වත් තිබිල නැතුව.හැමෝම වගේ කිව්වෙ අවුරුදු 8ක් විතර හිටියනේ වයසට වෙන්න ඇති කියල.

ඊට මාස කීපෙකට පස්සෙ, ඉන්ටවිව් ගොඩ ගිහින් ඉස්සරවෙලාම ඉන්ටර්න් එකට යන දවසෙ,පාන්දරින්ම සිද්ද වුනා කොළඹ එන්න.හවස ඉදල කලූගෙ අමුතු බිරුම් සද්දයක් තිබ්බ,පාන්දර වෙද්දි ඒක වැඩි වුනා.කළුට අමාරුයි.දිගෑදිලා කෑගහනව,ඒ එක්කම ඇස් වලින් කදුලු බේරෙනව.අම්ම කටට වතුර ටිකක් වක්කරා.දුකහිතෙන විදියට අපි දිහා බලන් හිටිය,ඉදල ඇස් පියාගත්ත එච්චරයි.

අපි මේ වෙනකම් ආය බල්ලො හැදුවෙනෑ.මිනිස්සුන්ට වඩා බල්ලොන්ට කලගුණ තේරෙනවලු..ආරක්ශාවට ලගින් ඉන්නව,සමහර වෙලාවට ගොඩක් හිතවත් මිනිස්සුන්ටත් වඩා .හරියට වෙලාවකට පවුලේම සාමාජිකයෙක් වගේ,ඒ තරම් ලෙන්ගතු වෙනව.

Wednesday, June 15, 2011

පංච තන්ත්‍රය



දඹදිව "මහිලාරොප‍‍ය්‍ය" කියන නගරයක රාජධානිය පිහිටුවාගන රජකම් කරා අමරශක්ති කියල රජතුමෙක්.ඒ රජතුමාට හිටියා පුත්තු තුන්දෙනෙක්, "බහු ශක්ති,උග්‍ර ශක්ති,අනන්ත ශක්ති" කියල.


ඒ අය ටිකක් විතර දුර්බුද්ධිමත්.ඒ අය වෙනුවෙන්  තමයි මේ පොත ලියල තියෙන්නෙ,ඒ මීට අවුරුදු 2000කට විතර ඉස්සර, ඒ කාලෙ ඉන්දියාවේ හිටිය "විෂ්ණු ශර්මන්" කියන  මහා පඩිවරයා.


කෙටියෙන් කියනව නම්,මේ පොත යහපත් චරිතයක් ගොඩනගා ගන්නේ කෙසේද? යන්න පැහැදිලි කරන දේශනා ආශ්‍රයෙන් සකස් වූවක්.මේකෙ සිංහල අනුවාදයකුත් තියනව.ලියලා තියෙන්නෙ හේමපාල මුනිදාස විද්වතානන්,දැනට භාෂා 70වකට විතර පරිවර්තනය වෙලත් තියනවා.ලොකු කුඩා කාටත් කියවන්න සුදුසුයි.

මම් කියවු පොත් අතරට එකතු වෙන එක පොතක් පංචතන්ත්‍රය,මේ පොත මට තෑගිකරේ මගේ සා.පෙල ප්‍රථිපල වෙනුවෙන් අප්පච්චි.ඔයාලත් කියවල නැත්තම් කියවල බලන්න,එකිනෙකට ඈදෙන පුංචි පුංචි කතා ගොඩක් තියනව.

ප්‍රේමයෙන් උමතු විය හැකිද?


කාලෙකට පස්සෙ සතිඅන්ත නිවාඩුවකට ගෙදර ගිහින් හිටිය මට ගේට්ටුවේ සද්දෙ ඇහිලා,ගිහින් බැලුවා,බලද්දි සාරියක් ඇදගත්ත කෙට්ටු, අවුරුදු 35ක 40ක විතර ගෑණු කෙනෙක් ගේට්ටුව ඉස්සරහ.හෑන්ඩ් බෑග් එකකුත් එල්ලගන.මම් අදුරන්නෙ නැති කෙනෙක් නිසා ටිකක් විමසිල්ලෙන් බලද්දි එයාම කතාකරා මට කලින්.

ඇය: මිස් ඉන්නවද?...
මම:  අම්ම ඉන්නව,එන්න.
ඇය: මේ ලොකු දුවද?
මම: නෑ. මම් පොඩි එක්කෙනා...
ඇය: ආ..

මාත් එක්ක කතා කරේ එච්චරයි.එකවරම මට හිතුනේ අම්මගෙ ඉස්කෝලෙ මිස් කෙනෙක් වෙන්න ඕනෙ කියල.වාඩිවෙන්න කියල මම් අම්මට කතාකරා.මම් හිතුවත් වගේ ඒයා අම්ම හිටපු ඉස්කෝලෙ මිස් කෙනෙක්,කතාබහට එච්චරම ඇහුන්කම් දෙන්න වුනේනෑ.ආගන්තුක සත්කාර එහෙමත් කරන්න එපැයි ඉතින්.

පස්සෙ දැන ගත්ත විදියට,ඒ අම්මලත් එක්ක ඉස්කෝලෙ එකට හිටිය මිස් කෙනෙක්,ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්.එයාට හැමෝම කියන්නෙ ටිකක් "ඔලුව අවුල්" කියලලු.එයා තරුණ කාලෙ හරි ලස්සනයිලු.දැන් වුනත් ඒ ලස්සන මැකිල ගිහින් නෑ.කෙට්ටුයි,සුදුයි,ප්‍රියමනාපයි.දිගටි මූණ.මතුපිටින් බලපුවාම නම් ඔය කියන"ඔලුව අවුල්" ගතියක් පේන්න තිබ්බෙ නෑ.

ඒත් අම්ම කිව්ව විදියට එයා කලින් දොස්තර කෙනෙක් එක්ක යාලුවෙලා ඉදල,කොහොම හරි මොනයම් හේතුවක් නිසා හෝ,ඒ සම්බන්දෙ නතර වෙලා.

ඒ නිසාලු එයා ඔය විදියට ඉන්නෙ.ඉස්කෝලෙ වුනත් එන්නෙ යන්නෙ එයාට ඕනෙ වෙලාවටලු,උගන්නන්නෙත් නෑලු හරියට.ගොඩක් වෙලාවට ස්ටාෆ් රූම් එකට වෙලා ඔහේ ඉන්නවලු.එදත් කිලෝමීටරයක් විතර දුර කුඩයක්වත් නැතුව පයින් ඇවිල්ල තියෙන්නෙ, ගිනිමද්දහනේ.

අනිත් සහෝදර සහෝදරියො ඔක්කොම විවාහ වෙලා වෙන්වෙලා ගිහින්,ඉන්නෙ වයසක අම්මත් එක්ක.ඉස්කෝලෙත් වැඩිය කාත් එක්කවත් එච්චර කතා බහක් නෑලු,ඔහේ ඉන්නවලු.

ප්‍රේම සම්බන්දයක් බිදවැටීම සමහර අයටනම් ගානක් වත් නෑ.මතකයි දවසක් මම් අදුනන මල්ලි කෙනෙක් කිව්ව,අක්කා!... කෙල්ලො නම් මොනාද?..., හරියට 138 බස් වගේ.එකක් ගියගමන් තව එකක් එනව,ඒ නිසා මොකටද දුක් වෙන්නෙ,එකක් මත්තෙම නැහෙන්න ඕනෙද කියල.

QR ප්‍රොජෙක්ට් | වරදකරුවන් විශෝධනය



කැම්පස් එකේ පලමුවසරෙද්දි මුල්ම සමාසිකයේ තිබුන "Quantitative Reasoning" කියල සබ්ජෙක්ට් එකක්,ඒ සබ්ජෙක්ට් එක වෙනුවෙන් අපිට පැවරුමක් කරන්න වෙලා තිබ්බ,ඒක සාමූහික ව‍‍ය්‍යාපෘතියක් (Group Project).


දත්ත ටිකක් එකතු කරල සාම්පල් කරල,අදාල නිගමනයකට එලඹෙන්න තමා තිබ්බෙ.අවසානේ අපිට Report එකක් දෙන්නත් වුනා. Presentation එකෙන් තමයි අවසාන ලකුනු තීරණය කරන්නෙ.


මේ වෙනුවෙන් අපේ කණ්ඩායම තෝරගත්තෙ වරදකරුවන්ගේ විශෝධන මද්‍යස්ථානයක්(Offenders Center).අවුරුදු 18 ට වඩා වැඩි, විවිධ නීතිවිරෝධි වැඩ කරපු පිරිමි,350 කට ආසන්න පිරිසක් එතන නේවාසිකව හිටියා.


කලින් තීරනය කරගත් විදියට, කැම්පස් එකෙන් ලියුමක් එහෙමත් අරන්, දිනයක් වෙන්කරගන අපි අදාල ස්ථානයට ගියා, අපිට අවශ්‍ය වුනේ ප්‍රශ්නාවලියක් (Questionnaire) මගින් තොරතුරු එක්‍ රෑස් කරන්න.


කතාබහ කරද්දි තමා දැනගත්තෙ ගොඩක් දෙනා සොරකම් කිරීම්,මිනී මැරුම්, මත්දව‍‍ය්‍ය ආදිය ලග තබා ගැනීම්, විකිනීම්, ප්‍රවාහනය, ඒ වගේම තවත් විවිධ දූෂණ චෝදනා සම්බන්දව වරදකරුවන් වූ අය. 


එයාලට එතනදී විවිධ කර්මාන්ත හුරුකිරීම් එහෙමත් තිබුනා,තම තමන් කැමති දෙයක් ඉගන ගන්න අවස්ථාවත් ලැබිල තිබ්බා.ගොවිතැන්, ගව පාලනය, ඉදල් - මල්පෝච්ච් සෑදීම, ගඩොල් කැපීම් ආදී මෙකී නොකී ගොඩක් දේවල්.


මටත් ඒ දෙන්නෙක් එක්ක කතාබහ කරන්න හම්බවුනා,එයින් එක්කෙනෙක් ගොඩක් විශේෂයි.ප්‍රසිද්ධ ආයතනයක දූෂණ චෝදනාවකට ලක් වුන කෙනෙක්,නිදහස් වෙන්න මාස 6ක් විතර කාලයක් ඉතිරිවෙලා තිබ්බෙ. 


විවාහ වෙලා පොඩි දුවල දෙන්නෙකුත් ඉන්න තාත්තා කෙනෙක්,එයා තල්කෙදි වලින් ලස්සන මාල හදනව,එකක් හදන්න මාස තුනක් විතර කාලයක් යනවලු,මුදු මුදු අමුනල,හරිම ලස්සනයි.ඒ වෙද්දි ඒවලින් දෙකක් හදල තිබ්බ,එයින් එකක් මටත් හම්බවුනා,අදටත් ඒක මම් ලග තියනව.


මට ඇතිවුන ප්‍රශ්ණය තමයි, එක එක ආකාරයේ,විවිධ වරදවල් සම්භන්ද චෝදනා ලබපු අය ඔක්කොම හිටියෙ එකම තැනක,ඒ නිසා ඇත්තටම ඔය බලාපොරොත්තුවෙන විශෝධනය වෙනවද කියන එක .දැනුන විදියටනම් මෙයාල එලියට යන්නෙ තවත් ගොඩක් දේවල් ඉගනගෙන, මොකද ඔක්කොම ඉන්නෙ එකටනේ.

අනිත් කෙනා කොළඹ පැත්තෙ වත්තක ජීවත්වුන කෙනෙක්.වයසින් ඒ වෙද්දි මටත් වඩා බාලයි,වැරෑද්ද වෙලා තිබුනෙ මත්ද්‍රව‍‍ය්‍ය ප්‍රවාහනය කිරීම,කිව්ව විදියට නිදහස් වෙලා ගියත් කරන්නෙ ඒකම තමා.

ඒකෙන් මිදෙන්න අවශ්‍යතාවයක් වත් පෙන්නුවෙ නැ,ලේසි පහසු රස්සාවනේ,අනික එකවර සල්ලි ගොඩක් ලැබෙනව."වෙන්න තියන හැමදේම වෙලා,කරන්න පුලුවන් හැමදේම කරලා ඉන්නෙ" කියල කිව්වටත් පස්සෙ මට හිතාගන්න පුලුවන් වුනා මාත් එක්ක කතා කරන කෙනා කොයි වගේ කෙනෙක්ද කියන එක.

පස්සෙ තමයි දැක්කෙ පැත්තකට වෙන්න ආරක්ශාවටත් කීපදෙනෙක් රදවල තිබුන විත්තිය,එතකොටනම් ටිකක් බයත් හිතුනා. එසේ මෙසේ අය නෙමේ නේ ඉන්නෙ කියල.

අවුරුදු හතරක් තටමල තටමලා

කැම්පස් කවි ගැන අහල ඇතිනේ.අපිට තිබ්බ System Level Programming  Theory ලෙක්චර් එක පැය තුනක එකක්, උදෙ 9 ඉදන් 12 වෙනකම්.ලෙක්චර් එක බොරින් නම් නෑ එච්චරම :)) ,එත් අන්තිම වෙද්දි ටිකක් විතර එක විදියකට ඉන්න හිටින්න අමාරුයි.


ඔය නිසා අපෙ ගුරුතුමා අපුරු උපක්‍රමයක් පාවිච්චි කරා ප්‍රසන්ටේශන් ස්ලයිඩ්ස් අතරට කැම්පස් කවි, පොඩි විහිලු කෑලි වගේ පුංචි පුංචි කතා කෑලි දානවා.ඉතින් අර ලෙක්චර් එකේ බෝරින් ගතිය නිකම්ම නැතිවෙලා යනව.


ඒකේ එකදවසක් කැම්පස් කවි වගයක් පෙන්නුවා.ඒ අතරෙ තිබ්බ උපාධිය ගැන ලියපු කවියකුත්,මොකටද මන්ද ඒක මට හොදට මතක හිට්ය.මෙන්න මේකයි කවිය.

අවුරුදු හතරක්
තටමල තටමලා
දාපු *...ට 
කාට නැතත්
මට වටිනව 

මටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි තමයි ඉතින් :D

Tuesday, June 14, 2011

සුදු බදපටිය | White Belt - 04

සුදු බදපටිය | White Belt - 01
සුදු බදපටිය | White Belt - 02
සුදු බදපටිය | White Belt - 03

තරුණ වයසේ පිරිමි කෙනෙක් ඇවිල්ල හිටියෙ බෝඩිමේ අක්කලගෙ ගෙදරට,එලියෙ ඉදන් ටිකක් හයියෙන් කතා කරනව,ඒ ගෙදරයි අපේ බෝඩිමයි ගෙවල් දෙකක් වුනාට එකලග, එකිනෙකට මුහුනලා තමයි තියෙන්නෙ.

පිරිමිකෙනා: රසිකා ඉන්නෙ මෙහෙද?
බෝඩිමේ අක්කා: ඔව් මෙහෙ තමයි!...ඔයා කවුද?
පිරිමිකෙනා: මම?, මම් කවුද කියල, කියල දෙන්න එයාට එන්ඩ කියන්ඩ,කෝ... එයා ඉන්නවද බෝඩිමේ?...
බෝඩිමේ අක්කා: ඉන්නව.රසිකා!....රසිකා!....

ඒ සද්දෙට මූණ හෝද හෝද හිටපු අර නංගි එලියට ආව,එයා හරියටම අපේ බෝඩිම ඉස්සරහ  තියන දොර ලගට වෙලා බලන් ඉන්නව.අපි දෙන්න අපේ කාමරේ දොර ලග.

පිරිමිකෙනා: ආ...මේ ඉන්නෙ මෙහෙ වර තෝ කොහෙද යකෝ ඊයෙ ගියෙ?...
නංගි: මම් ෆිල්ඩ් ට්‍රිප් එකක් ගියා...එද්දි ටිකක් රෑ වුනා.බෝඩිමේ අයට කියල ගියෙ.
පිරිමිකෙනා: ආ එහෙමද?මම් කතා කරා උබේ ෆැකල්ටියෙ ඉන්න එකෙක්ට ඌ කිවෙ එහෙම එකක් ගියෙ නෑ කියල?
නංගි: නෑ ගියා...කාටද කතාකරේ?...
පිරිමිකෙනා:  සුපුන්ට!...
නංගි:  එයාල කරන්නෙ වෙන සබ්ජෙක්ස්,එයාල ගියෙ නැ අපිත් එක්ක.
පිරිමිකෙනා: එහෙනම් දීපන් ගිය සර් කෙනෙක්ගෙ හරි නොම්බරයක් මට කතා කරල බලන්ඩ ,උඹ කියන්නෙ ඔක්කොම බොරු.මේකි මාව රෑවැට්ටුව මදිවට තව බොරු කියන්නත් එනව.
බෝඩිමේ අක්කා: මේ මෙතන තව ගෑණු ළමයි ඉන්නව,ඔයාට ඔහොම කෑගන්න අයිතියක් නෑ.කරුණාකරල යන්න.ගෙදර මහත්තයත් නෑ මේ වෙලාවෙ?ඔයා කවුද කියල අපි කොහොමද දන්නෙ?
පිරිමිකෙනා: මම් කවුද කියල මෙයාගෙන් අහන්ඩ,මම් වැඩ කරන්නෙ ....මාධ‍‍ය්‍ය ආයතනයේ.මෙයා මාත් එක්ක අවුරුදු 3ක් එක කාමරේ හිටියෙ,කියපන් මම් කියන්නෙ බොරුද? කියපන්!...

එහෙම කියල එක ආයතනයක අයිඩී කාඩ් එකකුත් අක්කට පෙන්නුව. අර නංගි හිමින් සැරේ ඔලුව වැනුව.සෑහෙන්න බය වෙලා වගෙයි තේරුනේ.අපිට හරියට පෙනුනෙ නෑ,අපි හිටිය කාමරේ ඇතුලට ගිහින් ඒ වෙලාවෙ.අපි දෙන්නත් බය භීතවෙලා!...මේ මොකෑ බොල මේ වෙන්නෙ කියල.

පිරිමිකෙනා: මේකි මේ හතර වෙනි බෝඩිමේ ඉන්නෙ,එක බෝඩිමකවත් සතිකීපෙකට වඩා ඉන්ඩ බෑ,පාඩම් කරන්න ඕනෙ කියල බෝඩිමකට යන්න ඕනෙ කිව්වෙ.මේකිට තියන ......විසේ.තෝ දැනගන් තෝ...කැම්පස් එක ඉස්සරහ ත්‍රීවීල් කාරයො එක්ක යනව කියලත් මම් දන්නව,තෝ විතරක් නෙමේ තොගෙ යාලුව අර....ත් එහෙම....ක් තමා.දැනගන් මම් කැම්පස් නොගියට මට ඔය විස්තර කියන්න ඕන තරම් උන් ඉන්නව ඕක ඇතුලෙ.මම් අද තෝ මරණව,වරෙන් යන්ඩ මාත් එක්ක,යමන් මේ දැන්ම.
නංගි: මට බෑ,
පිරිමිකෙනා: වරෙන් යන්ඩ!...
නංගි:  බෑ මම් යන්නෙ නෑ.මට අම්මලට කතාකරන්න ඕනේ.
පිරිමිකෙනා:  තෝ ඔච්චර හරියක් කරේ තොගෙ අම්මලට කියලද යකෝ.වරෙන් යන්ඩ තෝ අද මගෙන් මැරුම්කනව.
බෝඩිමේ අක්කා:  මෙ මේ...ඔයා කවුද කියල හරියටම අපි දන්නෙ නෑ.කවුද රසිකා මේ?ඔයා අදුරනවද මෙයාව?
නංගි ඔලුව වැනුව.
බෝඩිමේ අක්කා: එහෙනම් ගිහින් ප්‍රශ්නෙ විසදගන එන්න,මෙහෙම කතා කරල විසදගන්න බෑනේ,අනික මේක බෝඩිමක්, මේ ගෑනු ලමයි ඉන්නෙ.මෙහෙම හැසිරෙන්න දෙන්න බෑ.අපිත් පාරෙ බැහැල යන්න ඕනෙ.

අර නංගි කෙලින්ම කාමරේට ආව,අපි දෙන්න තාමත් ගල් ටික් වෙලා බලන් ඉන්නව.අපි දෙන්නගෙ මූණවත් බලන්නෙ නැතුව ෆීල්ඩ් ට්‍රිප් එක අරන් ගිය ට්‍රැවලින් බෑග් එක අදින්න ගත්ත,ඒකෙන් මගෙ යාලුව දුන්න බෙඩ්ශීට් එකත් ගුලියක් වෙලා විසික් වුනා.ඒකෙ තිබ්බ ඇදුමක්ම ඇදගන හෑන්ඩ් බෑග් එකත් අරන් මෙයා කාමරෙන් එලියට ආවා.


හ්ම්...යමන්... කියල දෙන්න එක්ක ගේට්ටුවෙන් එලියට ආව,පස්සෙ ඇවිත් තිබ්බ මෝටර් සයිකලයට නැගල, සෑහෙන වේගෙන් ඈතට ගිහින් නොපෙනී  ගියා. 

ඒ මම් එයාව දැක්ක අවසාන වතාව, බෝඩිමේ අය අතර කසුකුසුව ගොඩක් දිග්ගැස්සුනා,අපි බය වුනා මොනව හරි දෙයක් වුනොත් කියල,අර කිව්වත් වගේ ඇත්තටම මැරුවොත්!...ඒ නිසා අපි කිව්වෙ ගෙදර නොම්බරේ දීලනෙ ඇත්තෙ, අක්ක කෝකටත් කෝල් එකක් දෙන්න කියල.ගෙදරට ෆෝන් නෑ කියල අහල පහල ගෙදරක නොම්බරයක් දීල තිබ්බලු,ඒකට අරන් තියනව කතා කරල විස්තරේ කියන්න ගෙදරට.ඒ නොම්බරෙත් වැඩ කරල නෑ.


ඒත් ගෙදරින් කතාකරන්නෙ කියල සමහර දවස් වලට බෝඩිමට කෝල්ස් ආව නොම්බරයක් තිබිල තියනව,හැමදාම කතා කරන්නෙ පිරිමි කෙනෙක්ලු.ඒකට ගත්තම එහෙම කෙනෙක් නෑ...කියල.

අපි හිතුව ඔය කීවට සමහර විට හවස් වෙද්දි ආයම බෝඩිමට එයි කියල,බලන් හිටිය ඒත් එන පාටක් තිබ්බෙ නෑ.බෝඩිමේ අක්ක කිව්වෙ ඔය වගේ අයට ඕන තරම් තැන් තියනව,අනික කිසි බයක් සැකක් නෑ.එහෙම තියනව නම් මේ වගේ දේවල් කරයිද?මොකක් හරි ගුබ්බෑයමක ඉදල හෙට උදේට ආපහු මොකුත් නොවුන ගානට එයි.ආවහම මම් යන්න කියනව,හොයල බලන්නෙ නැතුව නතර කරගන්නවට ඕව අපිට හොද පාඩම්!...කියල.එයාලටත් ඕනෙ කරේ සල්ලි විතරයි,ඒත් ඔහොම බෝඩින් හොයාගන එන අය කොච්චර නම් ඉන්නවද?කාල බලල ගන්නැයි මිනිස්සු!...


කීප දවසක්,මම් හිතන්නෙ දවස් 5ක් 6ක් විතර යනකම් එයාගෙන් තොරතුරක් ලැබුනේ නෑ.විසිකරලා දාපු රෙදි ටිකත් ට්‍රැවලින් බෑග් එකේ එහෙම්මම තිබ්බ.


ඒ අස්සෙ දවසක් බෝඩිමේ පොඩි එකා ඇවිත් කියනව,ඒකනෙ අක්කි මම් ඔයාලට කිව්වෙ අර එයා ඇදන් යන එක නෙමේ ඇදන් එන්නෙ කියල...ඔයාල ගනන් ගත්තෙ නෑනේ...


එක දවසක් අපි වැඩ ඇරිල එද්දි එයාගෙ ඇද හිස් වෙලා,ට්‍රැවලින් බෑග් එකෙන් ගුලියක් වෙලා එලියට විසික් වුනු මගෙ යාලුවගෙ බෙඩ් ශීට් එක විතරක් ඇද උඩ තියනව.


බෝඩිමේ පොඩි එකා දුවගන ඇවිත් කිව්ව,රසික අක්කි එදා ආව අය්යත් එක්ක ඇවිල්ල බඩුටික අරන් ගියා, අලුත් බෝඩිමකට යනව කියල,අක්කිගෙන් ගත්ත කිව්ව සල්ලි ටිකත් අම්ම ඉල්ලගත්ත,පස්සෙ දෙයි...


මට එකපාරටම මතක් වුනේ වයිට් බෙල්ට් එක!...දවසක් මට වයිට් බෙල්ට් එකක් ඕන වෙලා, ඒ නංගි ලග තිබ්බ බෙල්ට් එක මට දුන්න, අක්ක මේක දාගන යන්න...මම් වැඩිය මේක පාවිච්චි කරන්නෙ නැ...කියල.ඒදා සිකුරාදා දවසක්,අපි කැශුවල් අදින දවස,මම් ඒක ඔෆිස් දාගන ගියා.තාමත් ඒ බෙල්ට් එක මම් ලග.

Monday, June 13, 2011

සුදු බදපටිය | White Belt - 03


සුදු බදපටිය | White Belt - 01
සුදු බදපටිය | White Belt - 02

ඊට ටික දවසකට පස්සෙ බෝඩිමේ අක්ක කිව්ව, එයා බෝඩිමට ආවෙත් යාලුවෙක් එක්ක,අම්මල තාත්තල වත් නෙමේ ගෙනල්ල බාර දුන්නෙ කියල.ඒක නම් අපි එච්චර ගනන් ගත්තෙ නෑ.


මොකද කැම්පස් අය හිටිගමන් ඔහොම බෝඩින් මාරු කරනවනේ.ඒත් එක්කම කියපි,කලින් ඉදල තියෙන්නෙත් මම් දන්න මේ ලග පාත තැනක,එතනින් යන්න කියලයි මෙයා මෙහෙ ඇවිත් තියෙන්නෙ ...කෝකටත් ඔයාල ටිකක් පරිස්සමෙන් ඉන්න කියල.අපි දෙන්නගෙ කාමරේ ඉන්න නිසා ඒ ඔක්කොම කතා බෝඩිමේ අක්කා අපිත් එක්ක කියනවා,අපිත් අහන් ඉන්නව.

එක දවසක් ෆීල්ඩ් ට්‍රිප් එකක් යනව,රෑක් නවතින්න වෙනව කියල බඩුත් පැක් කරගන ගියා.අවශ‍‍ය්‍ය අඩුම කුඩුම සමහර ඒවා ඉල්ලගත්තෙ මගෙ යාලුවගෙන්,අමතර බෙඩ්ශීට් එකක් වත් එයාට තිබ්බෙ නෑ.මගෙනුත් සල්ලි කීයක්ද ඉල්ලගනයි ගියේ.


එදා ගිහින් ආවෙ රෑ 11.30ට විතර,බෝඩිමේ අනිත් ඔක්කොම හොදටම නිදි.ගියාට පස්සෙ එන්නෙ මේ වෙලාවට වගේ කියන්න කෝල් එකක් වත් එයා දුන්නෙ නැ.ඇවිල්ල බෝඩිමේ දොරට ගහද්දි ඇහැරිලා බෝඩිමේ ලොකු අක්ක කෙනෙක්ට,දොර ඇරල තියෙන්නෙ,ටිකක් විතර දෝස්මුරයකුත් දාලා.

අනිත් උන් ඇහුනත් සමහර විට සද්ද නැතුව ඉන්න ඇති,කවුද ඔය මහ රෑ නිදිමරගාතේ නැගිටලා දොර අරින්නෙ,අනික එන වෙලාවක් කිව්වෙත් නෑනේ.අනිත්, සමහර අය දන්නෙත් නෑ මෙයා මෙහෙම ට්‍රිප් එකක් ගියා කියල.


බනින සද්දෙට තමයි මටත් ඇහැරුනේ.මොකද අපේ කාමරේ තියෙන්නෙ ටිකක් පිටිපස්සට වෙන්න.ඒ වෙලාවෙනම් මේ නංගිත් කට ගහගන ගිහින් එක එක ඒව කියන්න ගත්ත.තරහටද මන්ද අපිත් එක්කවත් එදා උදේ එච්චර කතාබහක් තිබ්බෙ නෑ.

එදා සෙනසුරාද දවසක් නිසා අපිත් බෝඩිමේ.දවල් 10ට විතර පිරිමි කෙනෙක්ගෙ හයියෙන් හයියෙන් කතාකරන සද්දයක් ඇහිලා,අපි දෙන්න බයෙන් බයෙන් හිමීට දොර රෙද්ද මෑත් කරල බැලුව.ඒ වෙද්දි අර නංගි කාමරේ හිටියෙ නෑ.මුණ හෝදන්න ගිහින්.

සුදු බදපටිය | White Belt - 02


සුදු බදපටිය | White Belt  - 01

බෝඩිමේ අක්කගෙ දුව කිව්ව දේ අපි එච්චර ගනන් ගත්තෙ නෑ.පොඩි එකානෙ තව,ඔහෙ කටට එන දේ කියනව ඇති කියල.අනික මමනම් කෙනෙක් ඇදගන ඉන්න ඇදුම් ගැන එච්චර  උනන්දුවකින් බලන්නෙ නැති නිසා ඒ ගැන මතකයක් හිටින්නෙම නැති තරම්.


සතිඅන්තෙ දවසක, අපිත් බෝඩිමේ ඉන්න වෙලාවක,එයාගෙ හොදම යාලුවගෙන් කියල කෝල් එකක් ආව,කිව්ව විදියට එයාගෙ තාත්තට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරල.

නොයා බෑ කියල දනි පනි ගාල ඇදගන යන්න ගියා.ඇහුවහම කිව්වෙ  ටිකක් හවස් වෙයි කියල.දන්නෙම නැතුව වෙලාව ගිහින් ඇදිරි වැටීගනත් එනව,මෙයා තාම නෑ.ඒ මදිවට එදා හෙන වැස්සකුත් වැස්සා.අපිට එයාගෙ ෆෝන් නොම්බරේවත් දීල තිබ්බෙ නැ කතාකරල බලන්න වත්.බලෙන් අපි ඉල්ලන්න ගියෙත් නෑ.

ඒත් එයා එදා එද්දි රෑ 9ත් පහුවෙලා.බෝඩිමේ අක්කගෙන් ටිකක් බැනුනුත් ඇහුව,බලාගන හිටිය... පරක්කුවෙනව නම් කෝල් කරන්න තිබ්බෙ නැද්ද?...අපි මෙහෙ බය වෙලා හිටියෙ, අනික මේ වැස්සෙ!...කියල.

බෝඩිමේ අනිත් අයගෙ හිතත් එච්චර හරි නෑ මෙයත් එක්ක,ඒ කාටවත් මෙයාව එච්චර ඇල්ලුවෙත් නෑ.කාමරේ අපිත් එක්ක ඉන්න කෙනා නිසා අපිට එයාව අතාරින්නත් බෑ.අපි කෑම කද්දි එයාවත් හවුල් කරගන්නව,සමහර වෙලාවට.


දවසක් කිව්ව,දැන් ෆෝන් එක මම් පාවිච්චි කරන්නෙ නැ.කලින් සම්බන්දයක් තිබ්බ ඒක වදයක් වුනා,ඒ නිසා ෆෝන් එක අයින් කරා කියල. අපි දෙන්නත් ඉතින් පන්ඩිතයො වගේ  උපදෙස් දුන්න,නොගැලපෙන දෙයක් නම්,ඕව පැත්තක තියල ඉගනීමේ වැඩේ ඉවර කරගන්න,පස්සෙ බැරියැ කොල්ලෙක් හොයාගන්න කියල.


ඊට පස්සෙ අපිත් එක්ක හොදින් හිටිය ටිකකාලයක්,වැඩ ඇරිල එද්දි හවසට කන්න මොනාහරි ගෙනාවත් කාමරේ ඉන්න එකානෙ කියල එයාටත් අපි ගෙනාව දෙයක් තියල තියනව,තේ බොන වෙලාවට හිටියොත් තේ එකකුත් හදල දෙනව.එයා සමහර වෙලාවට කැම්පස් කැන්ටිමෙන් තේ බීල එනව කියනව,බෝඩිමේ තේ බොන්න කලමනා එයා ලග තිබ්බෙ නැ.


අනිත් අයට එයා කොච්චර ඇල්ලුවෙ නැද්ද කියනව නම්  කිසිම කෙනෙක් එයා එක්ක හරියට මූණ බලලා කතා කරේ නෑ,අපි දෙන්න ඇරෙන්න.ඒ දවස් වල අපේ දිලා අසනීපෙන්, මහරගම කැන්සර් හොස්පිටල් එකේ.අපි දෙන්න යන්න දන්නෙ නැතුව මේ නංගි තමයි අපිව එක්කගන ගියෙ.

සුදු බදපටිය | White Belt - 01


අලුත් බෝඩිම හොයාගත්තෙ මාත් එක්කම හිටිය යාලුවෙක් මාර්ගයෙන්,මාස 6යේ පුහුණුවට එයාට මටත් කලින් කැදවීම ලැබිල තිබුන.ඒ වෙද්දිත් බෝඩින් කීපයක ඉදල තිබ්බ නිසා මටත් අමාරුවක් වුනේ නෑ අලුත් බෝඩිමට හුරු වෙන්න.

ඒක වෙනම ගෙයක්,ඔක්කොම හිටියෙ බෝඩින් කාරයෝ,එකම වත්තෙ තිබ්බ අනිත් ගෙදර තමයි අයිතිකාරයො හිටියෙ,අයිතිකාරයො කිව්වට හිටියෙ ගෙදර අයිති අය්ය,එයාගෙ බිරිද එක්ක අවුරුදු 13ක විතර,ඉස්කෝලෙ යන දුව.

ලයිට්,වතුර බිල ගෙවාගන්න තිබ්බෙ අපිටමයි.ඉන්න විතරක් 1500ක් අය කරා.බෝඩිම ගෙයක් කීවට තිබ්බෙ කාමර 3ක් එක්ක පොඩි කුස්සි කෑල්ලක්.පුහුණුවේ තිබ්බ "බරපතලකම" එක්ක අපිට නම් උයාගන කන්න හැකියාවක් තිබ්බෙ නෑ.හවස එන ගමන් කඩේන් මොනාහරි ගේන එක තමා පුරුද්ද වුනේ.

එක කාමරයක හිටියෙ  උපාධිය හමාර කරල රෑකියා සදහා යන අක්කල තුන් දෙනෙක්,එයාල නම් කාලෙක ඉදන් මේ බෝඩිමේ ඉන්න අය,ඒ නිසාම බෝඩිමේ ලයිට්,වතුර බිල් ගෙවීම් වගේ සමහර තීර‍ණවලදී එයාලගෙ තීරණය තමයි අවසාන තීරණය වුනේ,අනික බෝඩිමේ වැඩිමහලුම අය වුනේත් ඒ කට්ටිය.

අනිත් කාමරේ හිටියෙ  ඒ වෙද්දි හෙද උපාධිය හමාර කරල,කැම්පස් එකක ඩිමෝල විදියට ඉන්න තුන් දෙනෙක්.එයාලත් අපේ වයසෙම වගේ,එච්චරම වයස් පරතරයක් තිබ්බෙ නෑ,ඒත් එච්චර සම්බන්දයක් තිබ්බෙත් නැ.දැක්කොත් හිනා වෙනව,කොහොමද? කියනව එච්චරයි.


අනිත් කාමරේ හිටියෙ මමයි මගෙ යාලුවයි විතරයි මුලදි.ටික දවසකින් තව නංගි කෙනෙක් ආව,එයා අපි හිටිය බෝඩිම ලගම තිබ්බ කැම්පස් එකේ තුන් වෙනි වසරෙ ඉගනගන්නව ඒ වෙද්දි.අපිට තිබ්බ වැඩත් එක්ක එයා එක්ක කතාබහ කරන්න එච්චරම වෙලාවක් වෙන්කරගන්න පුලුවන් වුනේ නැ.


පුහුණුවට අදාල වැඩරාජකාරි වලට අමතරව වසරක ඒකපුද්ගල ව‍ය්‍යාපෘතිය වෙනුවෙන් අපිට වෙහෙසෙන්න වෙලා තිබ්බ,ඒ අතරේ පුහුණුවේ ප්‍රගති සමාලෝචන,මෙකී නොකි ගොඩක් දේවල්.


එහෙන් මෙහෙන් කතාබහ කරල දැනගත්ත විදියට,එයත් ටිකක් දුර පලාතකින්  කැම්පස් ආව කෙනෙක්.පෙනිච්ච විදියටනම් අහිංසක කෙනෙක් වගේ.ඒත් ටිකක් විතර අමුතු පෙනුමකුත් තිබ්බ.සමහර දවස් වලට අම්ම එනව කියල යනව,අම්ම එනවලු පමුණුවෙන් කෑලි රෙදි අරන් යන්න,අරන් ගිහින් මහනවලු. 

එහෙම ගිය ගොඩක් දවස් වලට එයා එන්නෙ ටිකක් විතර රෑ වෙලා,පුරුද්දක් විදියට අපි එලියට යද්දි,කියල යන්නෙ බෝඩිමේ අක්කට, අපි එලියට යනව එන්නෙ මේ වෙලාවට වගේ කියල.ඒත් එයා එහෙම කවදාවත් කියල ගියෙ නැ,අනික එක කාමරේ ඉන්න අපිටවත් එහෙම කියන්නෙ නැ. අපිත් සැකයක් ඇතිකරගත්තෙ නෑ.අම්ම බස් එකට දාල එද්දි පරක්කු වෙනව ඇති නේ කියල.


සමහර දවස් වලට ඇදගන යන එක නෙමේ එයා ඇදන් එන්නෙ කියල,කිව්වෙ බෝඩිමේ අක්කගෙ ඉස්කෝලෙ යන දුව...

සුදු බදපටිය | White Belt - 02

Friday, June 10, 2011

විවාහ යෝජනාව | බලන්න යාම


මේ දවස් වල මගුල් වැහි වැහැලා,හරියට අර කිව්වත් වගේ "ලොවම මගුල් සක්වලක් වෙලා".මම් අදුරන අය ,මගේ යාලුවො ගොඩක් මේ මාස කිපයේදි විවාහවුනා,ඉතින් මේ නිසා මගුල්තුලා වලට එහෙ මෙහෙ යන්න එන්නත් සිද්ද වුනා.

වියදමත් ටිකක් වැඩි මේ දවස් වල,මොකෝ එකම සාරිය ඇදන් යන්න කියලද, හැම එකටම වගේ එන්නෙ එකම සෙට් එකනේ.අනික කාලෙකින් සෙට් වෙන නිසා ඕප දූප ගොඩකුත් තියනව කතා කරන්න. 

ඔය  ගියපු මගුලක මට කතා කරන්න හම්බවුනා යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් එක්ක,දුවත් මේ මාසෙ විවාහ වෙන්න ඉන්නෙ...බ්ලා බ්ලා විස්තර ගොඩක් කියාගන කියාගන ගියා...ඔහොම කතා කරකර ඉන්න ගමන් මනමාලිලා බලන්න යන විස්තරත් ඇදිලා ආව.


එයාගෙ අය්යගෙ පුතාට යෝජනා එනවලු,ඉතින් කෝල් කරල කියන පමාවෙන් මේ ආන්ටිත් ලෑස්තිවෙලා යනවලු,එයාටත් මොකද වාහනේ ගෙදරටම ඇවිත් එක්ක යනව,හොදට ඇදගන ගිහින් කාල බීල එන එකනේ තියෙන්නෙ.එයාලත් එක්ක තව අය්යගෙ අම්මයි අප්පච්චිටයි අමතරව යාලුවෙක් එහෙමත් යනවලු.


බලන්න යන හැම ගෑනු ලමයගෙම මොකක් හරි දෝෂයක්ලු,එක්කො ඒ අය්ය කැමති නෑ, එක්කො අය්යගෙ අම්ම කැමති නෑ,,එක්කො පවුල හරි නෑ.එක්කො උස මදි,එක්කො මහත වැඩී,එක්කො කලු නිසා,දෙන දෑවැද්ද මදි...ඔයවගේ දහසකුත් එකක් හේතු කියනවලු.


ඒත් ඉතින් යන තැන් වලින් හොදට සප්පායම් වෙලා එනවලු,10ට විතර ගිහාම තේවලටත් මොනාහරි දෙනවනේ,ආය දවල්ට."ෆස්ට් ඉම්ප්‍රෙශන්" එක නිසා ආය දෙවනි නොවෙන්න පුලුවන් උපරිමෙන් කෑම ටික හදල තියනවනේ.


ඔහොම ගිහින් කාල කාල අන්තිමට කාර් එකේ එද්දි දෝස කිය කියා බැන බැන එනවලු.අරක හරි නෑ,මේක හරි නෑ කිය කියා...කට්ටියම එක්ක.ඔහොම ගිහින් ගිහින් එයාට නම් ඒ වෙද්දි වැඩේ එපා වෙලාද කොහෙද?...


අනේ දුව!..මටත් කෙල්ලෙක් ඉන්නව.හොදවෙලාවට එයාම යාලුවුනේ.ඒකත් අපිට ගැලපෙන තැනකින්ම වුන එක හොදට ගියා,දැන් තියෙන්නෙ බන්දල දෙන එක විතරයිනේ.අරහෙම වුනා නම් කොච්චර දුකක්ද?කොච්චර බරක්ද හිතට නිදහස් වෙනකන්?...


එන එන මිනිස්සුන්ට කන්න දෙන එකත්ලේසි නැනේ මේ කාලේ ...,අනික එකකින් ඉවර වෙනවනම් කමක්නෑ...බලලා ප්‍රතික්ශේප වෙද්දි ලමය කොහොමද ඒක දරාගන්නෙ?.

අනේ මම් නම් ඔහොම වැඩ කරන්නෙ නෑ.අපි ලමයි හැදුවෙ මල් වගේ...අනික 10ක් 15ක් ඉන්න එකක්යැ...ඔහොම උනානම් මම් කියනව,උබට මගුල් ඕනෙ නෑ ගෙදර හිටපන්, අපිට පුලුවන් කල් කන්ඩ අදින්න දෙනව...කතා ගොඩයි.

එක ගෙදරකින් ඒ ගෑනු ලමය බුලත් හෙප්පුවත් අරන් ආවලු.එතකොට හෙප්පුවට සල්ලිත් දාන්න ඕනෙලු කීයක් හරි,අර අය්ය ලෝස් නැතුව 1000ක් දාල.ඒකත් කෙරිල නෑ.


ටිකක් කල්පනා කරල බලද්දි ආන්ටි කිව්ව එකේත් ඇත්තකුත් නැතුව නෙමේ...දැන් කාලේ වියදම් එක්ක බැලුවම,ඒත් ඉතින්...අනේ මන්දා...


මම් නම් කිව්වෙ, ඉතින් ආන්ටි යෝජනාවක් ආවාම කේන්දර එහෙම බලල ගැලපෙනව නම්, ගෙදරටම ගෙන්නන්න ඕනෙද?

කොල්ලට බැරිද යාලුවෙක් එක්ක හරි එන්න,අම්මට දුවත් එක්ක ඇවිල්ල කොහෙහරි හොදතැනකට  ගිහින් කතාබහ කරල,දැකල කරල එන්න පුලුවන්නේ...වියදමත් අඩුයි...


ඒක ඕකේ වගේ නම් පස්සෙ කට්ටියටම ගෙදර එන්න කියල දෙන්න බැරියැ දන්සලක්වත් කියල.එක්කො දැන් හැමෝටම වගේ ඉන්ටනෙට් තියන එකේ, ඉන්ටනෙට් එකෙන් කතා බහ කරල බලාකියාගන හොදනම් ගෙදර එන්න කියන්නත් පුලුවන්නේ....


මොනාද ඔයාල මේ ගැන හිතන්නෙ?කියන්නකො බලන්න ඔයාලගෙත් අදහස්!...

Thursday, June 9, 2011

ගුරුමාරුව


මේ කතාවත් 90 දශකයේ මුල් කාලෙ සිද්ද වෙච්ච එකක්.ඒදවස වල අවුරුදු 10ටද කොහෙද වැඩි කාල සීමාවක්, එකම ඉස්කෝලෙ සේවය කරල තියන ගුරුවරු මාරු කරන කාලේ,ඔය අතරම අලුත් පත්වීමුත් දුන්න,.

ඒත් එක්ක පත්වීම හම්බවුනු තරුණ ගුරුවරියක් එයාගෙ ගම් ප්‍රදේශයට මාරුවක් වෙනුවෙන් වෙහෙසුනා.ගුරු මාරුත් ලේසි නෑ...අනික එයා මරුව ඉල්ලල තිබ්බෙ අති දුශ්කර ප්‍රදේශෙක තියෙන ඉස්කෝලෙක ඉදල  බස්නාහිර පලාතෙ ඉස්කෝලෙකට.

ඉතින් ඔය මාරුවට අවශ්‍ය ලියකියවිලි ගැන තොරතුරු කතා කරගන්න දවසක ඒ ගුරුවරිය එයාගේ අම්මයි අප්පච්චියි එක්ක අපේ ගෙදර ආවා,එතකොට මම් 5 හෝ 6 වසරේ වෙන්න ඕනේ.මට ගොඩක්ම ඇහැගියේ මට මතකෙ හැටියට එයාගෙ කොන්ඩෙට.

පෝනි ටේල් එකක් තමයි දාලා හිටියෙ එයා,අර එක කාලයක් තිබ්බෙ පෝනි ටේල් එක දාල අර පින්තූරෙ වගේ ඉස්සරහින් කොන්ඩෙ කපල පුම්බල වගේ කොන්ඩෙ හදන කාලයක්.


ඔන්න ඕක බලාගන ඉදල මටත් ගොඩක් ආස හිතුන ඒවගේ කොන්ඩෙ කපාගන්න,එතකොට ඉස්කෝලෙ 5 වසරේ විතරනේ,එච්චරම තේරුමකුත් නෑ.

ගෙදර කට්ටිය ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදල,කතුරත් අරන් හෙමීට කොන්ඩෙ ඉස්සරහින්, මමත් අර ගුරුවරීගෙ වගේ තට්ටුවක් කපාගත්ත.කපපු කොන්ඩෙ ටික දැම්ම ලාච්චුවක් අස්සට.වැඩේ ඉවරයි.ඒත් අර බුම්බපු ගතියනම් ආවද මතකයක් නෑ හරියකට.

ඒත් ටික වෙලාවකින් අක්කට වැඩේ මාට්ටු උනා. ලාච්චුවෙ තිබ්බ කොන්ඩ ගුලිය දැකල.අම්මේ!... මේං නංගි කොන්ඩෙ කපාගන............කියල අක්ක විස්තර විචාරය දුන්න.

බැනුම් කෝටියයි මට.මොනව කරන්නද මම්ම කරගත්ත දේනේ.පස්සෙ ඉතින් ටික කාලයක් යනකන් ඉස්කෝලෙ ගියෙත් කොන්ඩ කටු සෑහෙන ප්‍රමාණයක් ගහගෙන.දකින දකින් දේ අත්හදා බලන්න යනවට  ඔව්ව හොද පාඩම් කියල තමා කට්ටියම කිව්වෙ.

Tuesday, June 7, 2011

තක්කාලි

මේවා හිටවලා නම් ටිකක් කල් වෙනව,ඒ මම් ගෙදර ඉන්න කාලෙ.අපේ නැචුරලුත් ගොඩක් කන්න ආස නිසාම තමා මේවා හදන්න කියල හිතුවෙ.එයා ගොඩක් තක්කාලි අමුවෙන් කන්න ආසයි,පොළෙන් ගෙනාව ගමන් කීපයක් කාල තමා නතර වෙන්නෙ.මේවා තියනව නම් බත් ටිකක් වුනත් කවන්න ලේසී.

පොඩිම කාලෙ,මේව පරිස්සම් කර ගන්න නම් ගොඩක් අමාරු වුනා,නැචුරල් හිටපු ගමන් පැල ගලවල දානව.නැත්තම් ගොලු බෙල්ලො ඇවිත් කනව.හවස තියන පැල උදේ වෙද්දි නෑ.ඒක නිසාම පැල හදන්න වුනේ මල් පෝච්චි වල.
 
මේ වෙද්දි ගෙඩි හැදිලා,ඉදිලත් එක්ක,පෝච්චිවල හැදුව නිසා වෙන්න ඇති එච්චරටම ලොකුවට හැදිලා නෑ.පිටිමකුණා කියන ජාතිය තක්කලි ගස් වලට ඇවිල්ල, මේ පේනවද සුදු පාට පිටි වගේ තියෙන්නෙ.
 













Friday, June 3, 2011

පෙම් හසුන් | ලව් ලේටර්


මේ පිලිබද මුල්ම අත්දැකීම තියෙන්නෙ 90 දශකයේ මැද භාගයේ,පාසල් යන අවදියේදී.අපිත් එක්ක හිටිය යාලුවෙක් නගරෙන් ටිකක් විතර ඈත ඉදන් තමයි දිනපතා බස් රථයෙන් පාසලට ආවේ.

ඔය කාල සීමාවෙදි එයා අදුනන අය්ය කෙනෙක්,අපේ ඉස්කෝලෙම අක්ක කෙනෙක් එක්ක යාලුවෙන්න උත්සහ කරා,ඒ දෙන්න එකම ඉස්කෝලෙ නොවන නිසා මුල්කාලෙ ලියුම් එහෙම හුවමාරු වුනේ මේ කියන මගේ යාලුව හරහා.

ඒ අය්ය, මයේ යාලුවත් එක්ක එකම බස් එකේ යන එන අය,ඉතින් විශ්වාසෙටයි පහසුවටයි ලියුම් හුවමාරු වුනේ මගෙ යාලුවා හරහා,එතකොට අපි 10 වසරේ විතර.කොහොම හරි අපි උදේම ඉස්කෝලෙ ඇවිල්ල ඒ දවස් වල කරන ලොකුම වැඩේ තමයි,යාලුවගෙ වටේ කැරකි කැරකි අදත් ලියුමක් තියනවද කියල බලන එක.

ඒ අය්ය ලියුම් දෙන්නෙ සෑහෙන්න ස්ටෙප්ලර් කටු ගහල,අපිට සෑහෙන වෙලාවක් යනව,කටු ටික හිමින් සීරුවෙ ගලවන්න,ක්ශනිකයෙන් ලියුමනම් කියවනව,ආයම ඒ විදියටම ස්ටේප්ලර් කටු ගහල තිබ්බ විදියටම අක්කට ගිහින් දෙනව.කොහොමද විශ්වාසය රෑක්ක හැටි!...

 **********************************************************************************

මේ කතාව අපේ නෑදෑවෙන අය්ය කෙනෙක්ගෙ,එයා අපේ ගෙදර ඇඩ්‍රස් එක තමා ඉස්සර දාල තිබ්බෙ,රෑකියාවට ගිය අලුත,එතකොට මම 3 ,4 වසරේ විතර.හැමෝටම ලියුම් එනව මට විතරනේ එන්නෙ නැත්තෙ,ඒ කාලෙ මට කවුද ලියුම් එවන එකා!...

දවසක් මේ අය්යට එවපු ලියුම් කඩදාසියක් මම් කඩල කියවල හංගලා තිබ්බ,ලියුම ආ බව අම්මලත් දැක්ක,අය්ය අපේ ගෙදර ආව වෙලාවක ආ පුතා ඔයාට ලියුමක් තිබ්බ කියල අම්ම ලියුම් තියන තැන බලද්දි මෙන්න ඒ ලියුම කඩල :O.

මාව තමා අහුවුනේ...ඒ අය්යගෙ යාලුවෙලා හිටපු අක්ක තමා ඒ ලියුම එවල තිබ්බෙ,කන්ටෙන්ට් එක නම් දැන් මට මතක නෑ...එදා ඉදන් අපේ ගෙදරට ඒ අක්කගෙන් ලියුම් ආවෙ නෑ,පස්සෙ ආව ඒව බැංකුවෙන් ,එක්කො ඉන්ශුවරන්ස් එකෙන්. :(.

************************************************************************************

අවසාන කතාව නම් මට වුන දෙයක්.ඒ දවස් වල අය්ය කන්දෙ, ට්‍රෑන්ගියුලේශන් ගිහින්, අර ෆෝන් බිල් කතාව වුනෙත් මෙන්න මේ කාලෙදිම තමා.(එතකොට මම් කැම්පස් එකේ පළමු වසරේ :))ඔන්න එහෙ ගත්ත පින්තූර 3කුත් එක්ක මට අය්ය ගෙදරට ලියුමක් එවල තිබ්බ,මැනුම් උපකරණ එහෙමත් තියාගන කට්ටියත් එක්ක ගත්ත පින්තූර 3ක් තමා තිබ්බෙ.

පස්සෙ දවසක ෆෝන් බිල් කතාව දැනගත්තට පස්සෙ පින්තූර 3න නම් අම්මලාට පෙන්නුවා,ඒත් එක්ක එවල තිබ්බ ලියුම (එහෙම පෙන්නනවද? නේ...) තියාගන.

මේ ලගදි දවසක ඒ ගැන මතක්වෙලා (ඔය සිද්දිය වෙලා දැන් අවුරුදු 4ක් විතර ගියාට පස්සෙ),මගෙ අඩුම කුඩුම තියන තැනින් ඇදල ගත්ත ලියුම ආයම බලන්න කියල,ඇහ්...මෙන්න බොලේ...පින්තූර 3න නම් ඒ විදියටම තියනව,ලියුම නෑ...

Thursday, June 2, 2011

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය කියල කියන්නෙ ලංකාවෙ  14 වෙනි ජාතික විශ්වවිද්‍යාලය.2005 වසරේදී තමයි විශ්ව විද්‍යාලයට මුල් ගල තියල තියෙන්නෙ. 2006 වසරේ ඉදලා සිසුන් ඇතුලත් කරගන තියනව,මේ වෙද්දි මුල්ම බැච් එකත් පාස් අවුට් වෙලා.

මේ තියෙන්නෙ මම් ගත්ත පින්තූර නම් නෙමේ,මම් ලග අවුරුදු කීපයක් තිස්සෙ එකතු කරන් තියාගන ඉන්න පින්තූර එකතුවෙන් කීපයක්.ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ගැන වැඩි තොරතුරු බලාගන්න පුලුවන්, විශ්ව විද්‍යාලයේ වෙබ්සයිට් එකෙන්, මෙන්න මෙතනින්.

ප.ලි: මේ පින්තූර අරන් තියෙන්නෙ 07'බැච් එකේ පරිඝනක විද්‍යාව හා තාක්ශණය හදාරන මදුරංග මල්ලි,පින්තූර වල සම්පූර්ණ අයිතිය එයාගෙ,ඒ නිසා ඔන්න එයාගෙන් අහල කියලම දැම්මා.මෙන්න කැම්පස් එකේ තවත් පින්තූර තියනව,මේ එයාගෙ වෙබ් ඇල්බම් එක. ගිහින් බලන්නකො.

මේ තියෙන්නෙ A බ්ලොක් එක
මුල්ම කැන්ටීන් එක
මීදුම පැතිරී ගිහින්
මේ C බ්ලොක් එක
කන්ද උඩ හොස්ටල්
මේ තියෙන්නෙ Special Computer Lab(SCL)එක
මේ Main Computer Laboratory(MCL) එක
නිවාඩු පාඩුවෙ කතාබහ කරන්න,කුප්පි දාන්නත් හොදයි මෙතන
මීදුම වසාගන්න ඔන්න මෙන්න
C බ්ලොක් එක
ඇඩ්මීන් බිල්ඩිම ආසන්නය
C බ්ලොක් එක
බදුල්ල පස්සර පාරට මුහුනලා නිමවා ඇති විශ්ව විද්‍යාල නාම පුවරුව
අර ඈත පේන්නෙ හොස්ටල්
රෑවෙලා
ඇඩ්මින් එකේ ඉදලා ලෙක්චර් හෝල්ස් පැත්තට
පරණ ලයිබ්‍රි එකට යන පාරනෙ මේ තියෙන්නෙ
ලෙක්චර් හෝල්ස් ඈතට පේන්නෙ

ඇඩ්මින් එකේ ඉදල ඔය ඈතින් පේන්නෙ බදුල්ල ටවුන් එක.
අපි හිටපු හොස්ටල් එක (Silver Tips)