Tuesday, August 16, 2011

හොට් වෝටර් | Hot Water


අපි කැම්පස් ගිය මුල්ම කාලේ වගේ අපේ අක්කලත් නුවරඑළියේ ට්‍රිප් එකක් ආවා, ඒ නිසා මටත් කිව්ව පුලුවන් නම් මල්ලිත් එක්ක නුවරඑළිය ටවුන් එකට එන්න,එයාල එන්නෙ වෙන පාරකින් නිසා එක්ක යන්න එන්න බැරිවෙනවා කියල.(මල්ලි කිව්වෙ අපේ ගෙදර ලගම හිටපු මාත් එක්කම අපේ යුනි එකට ආව කෙනෙක්.අපේම මල්ලියෙක් වගේ තමා එයාත්.)

පැය තුනක ගමනක් නිසා අපි දෙන්නත්  ලක ලෑස්ති වෙලා බඩුත් පටවගන ගියා බස් එකේ,නොමිලේ ලැබෙන චාන්ස් එකට පයින් ගහන්නෙ මොකටද කියල.

කියන්න ඕනේ නෑනේ ඉතින් බදුල්ලේ ඉදන් නුවරඑළියට යනව කියන්නෙ වංගු වංගු යන්න එපැයි,අනික මට වංගු ඇලජික් කීප සැරයක් කැරකුනාම ඇති බුවැ..ක් ගාන්න.

ඔන්න ඉතින් යනව,යනව ඉවරයක් නෑ,ඒ අස්සෙ මල්ලි හොදටම බය වෙලා අක්කා!...දාන්න නම් එපා!... තව ටිකයි තව ටික...යි කිය කිය යනව. 

දැන් නම් මටත් ඉවසලා ඉන්නම බෑ වගේ බුවෑ...ක් ගාන්න ඔන්න මෙන්න.අනික සෙනගත් වැඩී එතකොට තවත් අමාරුයි.

මල්ලිට ටිකක් ඒක තේරිලාද මන්ද අක්ක සින්දුවක් වත් අහන්නකෝ!...අමාරුම නම්, කියල අයිපොඩ් එක මගෙ කනේ ගැහුව,යාන්තම් නුවරඑළියේ ස්ටෑන්ඩ් එකට එනකම් අමාරුවෙන් ශේප් කරගත්තා. බැස්ස ගමන් බුවෑ...ක්!....

මොනා කරන්නද?... හිතලා කරනවැයි?... බස් වල ගද ඉවසන්නම බැරුව මෙහෙම වෙනවට මම මොනා කරන්නද? :(.

ඒ අස්සෙ අපි අරන් ගිය ගමන්මලු ඔක්කොම මල්ලි එල්ලගන.මට පව් කියලත් හිතුනා...මොනා කරරන්නද.හිහ්.අරන් ගිය වතුර බෝතලයකින් මම් මූණකටත් හෝදගත්තා.

ඉන්නකො මම් අක්කලාට අරන් බලන්නම් තාම සද්දයක් නෑනේ??? මෙලහට දැන් එනව ඇති!....

මල්ලි රින්ග් කරා අක්කලාට. කොහෙද සිග්නල් නෑ...එක ෆෝන් එකක් වත් වැඩ නෑ...

ඔලුවෙත් කැක්කුමයි එකතැනකට වෙලා හිටන් ඉන්නත් බෑ.බස්වල යද්දි කොහොමත් කෑම බීම ගන්නෙ නෑනේ වෙන සන්ගදිය දන්න නිසාම,හොදටම බඩත්ගිනී.

මොකද කරන්නෙ අක්කා...මග ඇති තාම!... ඒකයි සිග්නල් නැත්තේ...අපි මොනා හරි කාල ඉමු කියල පේස්ට්‍රි ශොප් එකකට ගිහින් අපි දෙන්න ශෝට් ඊට් කාල කූල් එකක් බිව්ව,අම්මෝ...එතකොට තමා ඇගට ටිකක් පන ආවේ...

 කෑවට පස්සෙ එතන වාත වෙවී ඉන්නත් බැරි  නිසා අපි දෙන්න එළියට ආව,යන්න පාරක් දන්නෙත් නෑ....

අපි ටිකක් ඉස්සරහට ඇවිදගන යන්... එතකොට ඔය අමාරුගතිය ඇරිලා යයි...මල්ලි එහෙම කිව්ව.

පන්ඩිතයා වගේ ආයම තඩි බෑග් එකත් එල්ල ගත්තා,පව්නේ මල්ලි ඔක්කොම උස්සගන යන්නෙ කොහොමද?...

අපි දෙන්නටම තිබ්බෙ එකම ජාතියෙ ට්‍රැවලින් බෑග්ස් දෙකක්.මාරුවෙලාද කියල බලලම බෑග් එකක් මම් එල්ලගත්තා,එල්ලගන දෙන්නම පාර මාරු උනා...

 රින්ග් කරා රින්ග් කරා අක්කලාගේ ෆෝන් වැඩ නෑ... සිග්නල් නෑ...

ටිකක් බයකුත් දැනුනා...කියපු විදියට මුන් දෙන්න අපිට කලින් එන්න එපැයි...හවස් වෙන්නත් ලගයි.

බදුල්ලෙන් ආවෙත් 12 -1ට විතරනේ.ඒ එද්දිත් මෙයාල එන්න පිටත් වෙලානේ...

මොකද කරන්නේ!....හ්ම්...

අපි ටිකක් ඉස්සරහට ඇවිදගන යන්...ආවොත් කෝල් කරයිනේ....

ඒක හරි!... කියල එකම තැනට වෙලා බකන්නිලාගන ඉන්නත් බැරි එකේ අපි දෙන්න පාර දිගේ ඉස්සරහට ගියා,පාර්ක් එකකුත් පහුකරන්..

අමුතු සීතලක් තියෙන්නේ දැන් නම් අර බුවෑ...ක් වෙච්ච අමාරුවත් අඩුවෙලා යනව වගේ...

මෙන්න එක පාරම පාර්ක් එක හරියෙදී ගහකට මුවා වෙලාවගේ හිටපු මැදිවීයේ පිරිමි කෙනෙක්, මහත්තයා රූම්ස් තියනව... හොට් වෝටර් තියනව,...කිය කිය පස්සෙන් එනව...

මගේ පපුව ඩික් ඩික් ගානව.මල්ලිත් බායවෙලා වගේ ටිකක්.මල්ලි කීවට ඒකා මට වඩා අවුරුද්දකට බාල.

නෑ නෑ ඕනේ නෑ...කියල මල්ලි ටිකක් තදින් කීව.

ඒත් මට හොදට දැනුන එයත් ටිකක් බයවෙලා විත්තිය.අක්කා ඔයා මේ පැත්තට එන්නකෝ...කියල මම් පාරෙන් අනිත් පැත්තට මාරු කරගත්තා...

දැන් දෙන්නම ආයෙත් පාරේ ඉස්සරහට යනව.හතරමං හංදියකුත් පහුකරගන ඉස්සරහටම.

ඒ අස්සෙ මම් අක්කලට කෝල්ස් ගන්නව ශික්!...සිග්නල් නෑ..

පොඩි පිට්ටනියකුත් පහු උනා.මේක හරියන්නෙ නෑ,....මල්ලි අපි ආපහු යන් මල්ලී!... කියලා දෙන්නම ආයෙත් එන්න ආව.

ආය අර මිනිහ පස්සෙන් එනව...මහත්තයා රූම්ස් තියනව...අඩුගානට කරලා දෙන්න පුලුවන්...හොට් වෝටර් තියනව...

මල්ලිට හොදටම තරහ ගිහින් ඇයි එක පාරකුත් පස්සෙන් ආවනේ.එයා හැරි හැරී අර මිනිහට ඔරවනව.

මම් අත කොනිත්තලා ඉක්මනට අඩිය ඉක්මන් කරල යමු කියල,හයියෙන් හයියෙන් එන්න ආව.අම්මෝ බය වෙච්ච තරමක්.

ආයෙත් ස්ටෑන්ඩ් එක ලග.ආව විතරයි මෙන්න අක්කලා කෝල් කරනව.

අපි ආව!... ඔයාල කොහෙද?...කියල.දැක්ක ගමන් ඇහුවේ අවුලක් උනේ නෑ නේද මල්ලි!...කියල.

මල්ලි කතාව කියල චොර කරන්න කලින් මම් මුල ඉදන්ම විස්තරේ කීව.නෑ නෑ මම් එද්දිම ශොපින් බෑග්ස් අරන් රෙඩි වෙලාම ආව කියල.

හොට් වෝටර් කතාවට අය්යටත් හොදටම හිනා. හෙහෙ...හොට් වෝටර්...








Saturday, August 13, 2011

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

සංසාර ගමන් මග සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා සදාකල් රැදෙනු ඇත
සංසාරයේ යලිදු නවාතැන් සොයායන
මගේ මලගම දාට ඇවිත් යන්නට එන්න

එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද අරන් ඈතට යන්න

Monday, August 8, 2011

කන්නෙ නැත්තම් බලෙන් ගිල්ලවන්නද? | My baby doesn't want to eat


පොඩි දරුවො ඉන්න ගොඩක් අම්මලා කියන කතාවක් තමයි අනේ!... අපේ බබා කන්නෙ නෑ... කියන එක.

කවන්න කරන යුද්දෙ දන්නෙ ඉතින්,බබාවත් වඩාගන පිගානත් අනිත් අතින් අරන්,පැයක් විතර ගෙදර වටේ ඇවිදින අම්මල විතරයි.

ඒත් ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කටක් දෙකක් උනත් කවාගන්නෙ.සමහර බබාල නම් එහෙම වදයක් දෙන්නෙ නෑ.හොදට කනවා.

මේ ලගදි උන සිද්දියක් නිසා තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ, අපේ බබා,නැචුරලුත් ඔය කෑම නොකන ගොඩක අයිති වෙන කෙනෙක්.

දැන් එයාට අවුරුදු 2.5ක් විතර වෙනවා,දකින දකින අය කියනව,

අනේ!...බබා ගොඩක් කෙට්ටුයි නේද?...බබා බත් කනව හොරයිද?...

කතා ගොඩයි.ගෙදර අයගේ හිතටත් හරි නෑ.

බැරිමතැන ළමාරෝග විශේෂඥ වෙද්‍යවරයෙකුට පවා පෙන්නුව.

දොස්තර කිව්වෙ ලමය කෙට්ටු උනාට කමක් නෑ නිරෝගීනම්, මෙයාට වෙන ලෙඩක් නෑ කියල.

ඒත් ගොඩක් අම්මල කැමතියිනේ බබා ලස්සනට බෝලයක් වගේ ඉන්නවට.

මෙයාට වෙන කිසිම  ලෙඩක් තිබ්බෙ නෑ,හොදට කතා බහ එහෙමත් කරනව.දුවනව පනිනව දාන්න ඕනේ සෙල්ලම් ඔක්කොම දානව.හොදට ක්‍රියාකාරකම් කරනවා.

නොකන ප්‍රශ්නෙ නිසාම වෙද්‍යවරයා කීව විදියට අපි  තුන්වේලට අමතරව වෙන අනම් මනම් කන්න දෙනඑක ටිකක් අඩුකරා,එතකොට තුන්වේලවත් හොදට කයිනේ කියලා.


මොන...මේකා ඒ කන්නෙත් නෑ...අන්තිමට තුන්වේලත් හරියකට නෑ...අමතර කෑමත් නෑ...

වෙනදා නැචුරල්
දේ 5ට විතර නැගිටිනව.

මෙන්න දවසක් ටිකක් දවල් වෙනකම් හොදටම නිදි.

බැරිම තැන බලෙන් ඇහරව්වා.නිදිමත වගේ ඇස් පියවෙනව.කෙලින් කරාම ඔළුවත් කඩන් වැටෙනව.

අක්ක හොදටම බය වෙලා. 

නැචුරල්ව මට වඩාගන්න කියල දනි පනි ගාල ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති උනා.

නින්ද යන්න දෙන්නෙ නැතුව තියාගන්න කියල, මම් බබාව ටිකක් හොල්ලල නැචුරල්... නැචුරල්...කිව්වා.

හ්.. ම්...ම්...හ්...ම්...ම්...ගානව.කතා කරන්නේ නෑ.

මටත් ඇඩෙන්න වගේ...  නැචුරල්ට දාඩියත් දාල හොදටම.ඒත් එක්කම බෝ...බෝ... කිව්ව.

මම් පට් ගාල එයාගෙ වතුර බොතලේ දුන්න.මෙන්න වතුර බෝතලේ අත් දෙකෙන්ම අල්ලගන නිදි, ඔලුවත් කඩාගන වැටෙනව වගේ ආයම.

මම් අක්කට කෑගෑහුවා!...මොකද කරන්නෙ? ඉක්මනට එනවා!...කියල.

ඉස්පිරිතාලෙ ලග නිසා විනාඩි 5ක් වත් ගියෙ නෑ, නැචුරල්ව අරන් ගියා.දොස්තරල ඇවිත් බබාව බැලුවා.අම්මටයි බබාටයි නැවතෙන්න කිව්වා.

ටික වෙලාවකින් අම්මයි මමයි ගෙදර ආව. නැචුරල්ට අවශ්‍ය කළමනා,දවල්ට කෑම අරන් යන්න ලෑස්ති කරන්නත් එපැයි...



නැචුරල්ට කලන්තේ ඇවිත් තියෙන්නෙ ලේ වල සීනි හොදටම අඩුවෙලා නිසාලු.

ඉස්පිරිතාලෙ දවසක් විතර ඉදලා තමා ගෙදර ආවේ.

කෑම කන්න පුලුවන් වෙන්න කියල,විටමින් එකකුත් දුන්න ඒත් අර විදියමයි බර මනින්න ගියාම කැපීපේන බර වැඩිවීමක් නෑ.

හැබැයි මෙයා අඩුබර නෙමේ.අවධානම් කලාපයේ ඉන්නෙ :).

අන්තිමට තීරණේ කරා,එයා කැමති ඕනේම දෙයක් කන්න දෙන්න.


බලෙන් කවන්නෙ නැතුව,බලෙන් කවන්න ගියාමනේ කිසිදෙයක් නොකා ඉන්නෙ.කෑම ටික කටට දානව විතරයි අනිත් පැත්තට බු..වැ...ක්!...ගාලා දානව.

අක්කට වෙලාවකට තරහත් යනව,එක එක්කෙනා උපදෙස් දෙනව,ළමයට කවන්න වෙන මහන්සිය දන්නෙ මම් විතරයි කියල.

අක්කා එක එක විදියට කෑම ජාති හදනව,බබා වෙනුවෙන්ම.

තරහ ගියාම වෙලාවකට බනිනවත් එක්ක,මේකට තිබිලත් කන්න පින නෑ!... කියල.

පොඩි අයට කවන එක නම් යුද්දයක්!

කවනකොට කන්නෙත් නෑ,කවන්න ඇවිදලා ඇවිදලා ඉවරවෙද්දි ආය මුලක ඉදන් ගේ අසකරගන යන්නත් ඕනේ,එයාල අදින සෙල්ලම් බඩු අරව මේවා අස් කරන්න.

ඇයි හැමතැනම දාන කෑම අයින් කරන්න.අතුගාන්න.

බෝඩිමට මොකෙද්ද ඇවිල්ලා | Who's this?



මේ කතාව මම් කලින් කිව්ව තුන්වෙනි බෝඩිමේ ඉද්දි වුන සිද්දියක්.

මම් ඒ පොස්ට් එක අවසාන කරේ අපිට තිබ්බ වතුර ප්‍රශ්නේ ගැන කියල.ඔය ටැංකියෙන් ගොඩක් වෙලාවට වතුර පාවිච්චි කරේ අපේම කට්ටිය තමයි.

ආන්ටිලාට වෙනම්ම ටැංකියක් තිබ්බ ඒ ගෙදර පිටිපස්සට වෙන්න.එහෙ හිටපු නංගිලත් පාවිච්චි කරේ ඒ ටැංකිය නිසා වතුර බිල් ප්‍රශ්නෙදී ගැටලුවක් උනෙත් නෑ.

අපි හිටපු පළාත කදුකර නිසාම,පස් කන්ඩියක් කපල සමතලා කරල තමයි වතුර ටැංකිය තිබ්බ තැන හදලා තිබ්බෙ,කිසිම ආවරනයක් තිබ්බෙ නෑ හතර වටේට....

ටකරං වහලයක් විතරක් හයි කරල තිබ්බ,තැනින් තැනින් අහස පේන...

ඒ හරියෙම ඊට උඩින් තිබ්බෙ ගෙයක්.ඒකත් කුලියට දීලා,හිටපු ගමන් ඩිලිවරි වලට යන ලොරි වගේ ඒවාත් නවත්තලා තියනව.අපි නාන තැන ඉදන් කෙලින්ම උඩ බැලුවම පෙනුනේ ඒ ගෙදර වත්ත වෙන්කරල තිබ්බ වැට.

ආවරණයක් කරල දෙන්න කියල කරපු කන් කෙදිරිය නිසාම ආන්ටි කලු පොලිතින් ගෙනල්ල දුන්න ඒ පැත්තට විතරක් වත් ආවරණය කරගන්න කියල.

හොස්ටල් වල හිටිය අපිට මේක හෙනම කට්ටක් උනා.(අලුත්ම හොස්ටල් වල තිබ්බ පහසුකම් ගැන වෙනම පෝස්ට් එකක දාන්නම්කෝ.)මොනව කරන්නද කියල ඉවසනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ඒ කාලේ අපිට ගොඩක් ලෙක්චර්ස් තිබ්බෙත් හවස් ජාමේ.උදේවරුවෙත් තිබ්බෙ නැතුව නෙමේ,ඒත් හවස ලෙක්චර්ස් ගිහින් ආවහම තියන දෙයක් කාලා,තේ එකක් එහෙම බීල, ඕපයක් ගහල ඉවර වෙද්දි ටිකක් පරක්කුවෙනව ඇග සෝදගන්න එහෙම.

අනිත් එක කිව් එකේ ඉන්නත් එපැයි,කට්ටිය ඔක්කොම11 දෙනෙක් විතරනේ...

සමහර දවස්වලට හවස ලෙක්චර්ස් ඇරිලා එද්දිත් හවස 6.30 -7 වගේ වෙන වෙලාවලුත් තිබ්බ.ඔන්න ඔය වගේ දවසක ඕප ගහගහ ඉදලා මම් නාලා ආව විතරයි ඇග්‍රි සෙට් එකේ එක්කෙනෙක් ගියා නාන්න.

ටිකවෙලාවකින් එහා පැත්තෙ ජූනියර්ස්ලා එයාලගෙයි අපෙයි කාමර වෙන කරල ගහල තිබ්බ දොරට ගහනව.

ලොක්කක්කේ!!

ඒ කතා කරන්නේ මට.

ඔයා දැන් නේද නාලා ආවේ?...

ඔව් ඇයි?...

ඒයි මේ!...ඉක්මනට එන්නකෝ!...

ඇයි මොකෝ?...මම් විහිලුවට වගේ ඇහුව.
 
මේ විහිලුවට නෙමේ...එන්නකො ඉක්මන්ට!...ආ...මේ...මේ...උඩ ස්ලැබ් එකට යන දොර වහලද?...

නදී අක්කේ!...

ඔව්... ඔව්...බොල! වහල තියෙන්නෙ... මම් මේ දැන් උඩට ගිහින් ආවෙ.

අක්කෙ මේ අර අනිත් නදී අක්ක නාද්දි කවුද කෙනෙක් ස්ලැබ් එක උඩ ඉදන් බලාගන ඉදලා... එන්නකො... මේ ඇන්ටිත් ඇවිත් ඉන්නෙ !...දොරත් වහගන එන්න හරිද?...

මගෙ ඇගේ හිරිගඩු පිපුනා....ඊට ටික වෙලාවකට කලින් මම් ස්ලැබ් එක උඩට  ගිහින් ආවේ!...අම්මෝ....

සමහරු රෑට මල් කඩන්නත් උඩට යනව, හිටපුගමන්!...

අනිත් අයටත් කියල දනිපනි ගාල දොරවලුත් වහගන, ෆෝන් වල ලයිට් එහෙමත් ඔන් කරන්...ටෝච් අරන්...ගියා වතුර ටැංකිය ලගට.සමහරු වෙව්ලනව, බයේ වහල දිහා බලන්නත්.

මෙන්න අනිත් නදී ඉන්නව බය වෙලා වගේ...ආන්ටිත් එක්ක හරි හරියට කතාව!...

අපි යද්දිත් ආන්ටි ප්‍රමුඛ පිරිස වටවෙලා උඩ බලනව ලයිට් ගහ ගහ.

මොන...මොකෙක්වත් හිටිය පාටක් නෑ.

මොකද උනේ!...?

නදීට ඇඩෙන්න ඔන්න මෙන්න.

අනේ මම් දන්නෙ නෑ...මම් නාලා කොන්ඩෙ පිහදදා හිටියේ...

එක පාටටම හෙවනැල්ලක් වැටෙනව වගේ දැනුන...

මම් උඩ බලද්දි...මිනිහෙක් බලාගන ඉදලා ටක් ගාලා අයන් උනා...අර අර...අතනින්...

මේ තාමත් හිරිගඩු පිපිලා...මම් ටග් ගාලා නංගිලාට කතාකරා...

ලයිට් එක දාල තිබ්බෙ නැද්ද?

තිබ්බා!...ඒත්..ස්ලැබ් එකට එළිය වැටෙන්නෙ නැනේ...මම් නිකමට වගේ උඩ බැලුවේ...

මම ටග් ගාල පැනල ඇහුවා,මාව නෙමේ නේද දැක්කෙ?...කියල,මොකද ටිකකට කලින් මම් උඩට ගිහින් ආව නිසා.

පිස්සුද මට ඔයාව අදුරන්න බැරිද?

අනික ඔයා කොහොමද මෙතන්ට එබෙන්නෙ?

අර අයිනෙන් එබුනේ...

මට හරියකට මූන පෙනුනේ නෑ බයවෙච්ච පාරට.මම් බැලුව ගමන් ඒකා අයින් උනා.

ආන්ටි පරළවෙලා!...මේවගේ දෙයක් උපන්තේකට උනේ නෑ...අපේ ගෙදරට!...

ශුවර් එකටම අර උඩ ගෙදර නැවතිලා ඉන්න එකෙක් වෙන්න ඕනේ.හිටහන්කෝ උදේවෙනකම් මම් කොරන්ඩ...

සෑහෙන කතා බහකට පස්සෙ කට්ටිය විසිරුනා,එදා ගොඩක් රෑ වෙනකම් හරියකට නින්ද ගියෙත් නෑ.

කට්ටියගේ උපකල්පන කෝටියයි.

ජරා මිනිහෙක් වෙන්න ඕනේ...ශුවර් එකටම!...

හොරෙක් වෙන්නත් පුලුවන්!...මැශින්ස් එහෙමත් තියනවනේ!...

නැනෑ... ශුවර් එකටම අපිව බය කරන්න  මෙයා ගොතපු කතාවක්!...ඒ මිනිහා ඔතන හිටියනම් අනිත් අයටත් පේන්න එපැයි?...

අනේද කියන්නෙ! මමත් ඊට ටිකකට කලින්නේ ඔතන ඉදන් ආවේ!...ඒ වෙද්දිත් හිටියද දන්නෙ නැ.මම් ඉතින් වට පිට බලන කෙනෙක්යැ?...

ඔහොම කතා ගොඩයි...එදා රෑ.


කොහොම හරි මම්ත් ඇතුලුව රෑට තනියම එළියට බැහැල එන අනිත් අයත් පස්සෙ පස්සෙ තව කෙනෙක්ගෙ පිහිට පැතුවා බයටම.

නිදාගන හිටිය කෙනෙක් උනත් ඇහැරවගන එන්න උනා රෑට එළියට යනව නම්.

ආන්ටි කීපදවසක් ඒ ගැන කිය කිය හිටියා,ඒත් එබිලා බැලුව එකාව නම් හොයාගන්න බැරි උනා.

Thursday, August 4, 2011

තුන්වෙනි බෝඩිම | 3rd Boarding House


අපි අවසානයට කලින් හිටපු බොඩිම තිබ්බෙ හරියටම කැම්පස් එක ඉස්සරහමයි.

4 වෙනි අවුරුද්දෙ අපිට හොස්ටල් වලින් අයින් වෙන්න උන නිසා බොඩින් හොයාගන්න උනා,කොහොම හරි හතර වටේට ඇවිදලා ඇවිදලා අන්තිමට සෙට් උනේ කැම්පස් එක ඉස්සරහම තිබ්බ බෝඩිමක්.

ඒ වෙද්දිත් ගොඩක් කට්ටිය ඇවිත් බෝඩිම බුක් කරලා,වෙන කරන්නම දෙයක් නැති තැන අපි දෙන්න,(මමයි මගෙ යාලුවයි).එදා හවස, තිබ්බ සබ්බසකලමනාවම කරගහගන එතන්ට පදිංචියට ගියා.

ඉන්න විතරක් ඒ කාලෙ හැටියට 1500ක්,ලයිට් වතුර වෙනම, අපි පාවිච්චියෙ හැටියට ගෙවන්න ඕනේ කට්ටිය බෙදාගන.

ක වත්තෙ ගෙවල් දෙකක් තිබ්බ. එකක හිටියෙ බෝඩිම අයිති ආන්ටි තනියම,ආන්ටිට දුවල දෙන්නයි දෙන්නම් විවාහ වෙලා ගිහින්,අන්කල් එක දුවකගේ ගෙදර නැවතිලා.

වටපිටාවෙ අයනම් කිව්වෙ ඔය ගෑණිගෙ කට හොදනෑ!...මිනිහෙක් ඉදීයෑ!...කියල.

ඒ ගෙදරත් අපේ කැම්පස් එකේම ජූනියර් නංගිලා 5 දෙනෙක් හිටිය,අපි හිටපු ගෙදර වෙන් වෙලා තිබ්බෙ ඔක්කොම බොඩින්කාරයොන්ට.

ඒක බොඩින් ආන්ටිගෙ එකම පුතා වෙනුවෙන් අලුතෙන් හදාගන යන ගෙයක්. අපරාදේ කියන්න බෑ අය්ය හරිම හොදයි,මාසෙකට විතර සැරයක් කොළඹ ඉදන් ගෙදර ඇවිත් යනව,හ්ම්,,,සද්දයක් නෑ.ගෙදර ඉන්නවද නැද්ද කියල,ඒ තරමට ගුණයහපත්.

ඒ වෙද්දි එයා බැදලා හිටියෙත් නෑ.දන් නම් බැදලා කියල ආරංචියි :).

අපි හිට්ය ගෙදර යට තට්ටුව හදලා උඩ ස්ලැබ් එකදාලා. තාම දෙවනි තට්ටුව හදලා ඉවර කරල නෑ.කම්බිකූරු ටික විතරක් උඩට තියනව.ඔය කම්බිකූරුවල ලනු බැදලා තමයි අපි රෙදි වේලුවේ.

මොකද අපි හිටපු පළාතේ අව්ව දකින්නෙත් කාලෙකටනේ,උඩ ස්ලැබ් එකට අව්ව නොවැටුනත් රස්නෙට හොදට රෙදි වේලෙනව.


අපේ ගෙදර හිටියෙ අපේ වසරේම ඇග්‍රි කරන සෙට් එකක්,ඇග්‍රි සෙට් එකේ 5 දෙනෙක් වෙනම කාමර දෙකක.

අපේ සුපර් ජූනියර්, මැනේජ්මන්ට් කරපු නංගිලා තුන්දෙනෙකුත් තව කාමරේක හිටියා,එයාලගෙ කාමරේ දොර තිබ්බෙ එලියට විවෘත වෙන්න.

අපේ කාමරේ හිටියෙ කොම්පියුටර් සයන්ස් කරන තුන්දෙනයි,මෙකාට්‍රොනික්ස් එකයි.

ඒදවස් වල බැචස් අතර පොඩි පොඩි අවුල් තිබ්බ නිසා ආන්ටිම අර නංගිලා තුන්දෙනාගෙ කාමරේ වෙනම වෙන විදියට ඇතුලෙන් යන්න බැරි වෙන්න ලෑලි දාල වහල තිබ්බ,යන්න එන්න බැරි වෙන්න.

ඇග්‍රි සෙට් එකත් එක්ක අපි හිටියේ එකට. 

බොහොම අඩු පහසුම් තිබ්බත් තව මාස 6ක විතර කාලයක් ඉතුරුවෙලා තිබ්බ නිසා අපි පාඩුවේ වැඩ ටික කරගන ඉවසගන හිටියා.

අනික මොනවා උනත් කැම්පස් එක ඉස්සරහ වෙච්චි,හවස් වෙලා උනත් තනියම යන්න එන්න පුලුවන් දුරනේ.

අපි හිටපු කාමරේ මැශින්ස් 4ක් තිබ්බ,ලැප්ටොප් දෙකයි අනිත් ඒව ඩෙස්ක්ටොප්.ඉඩපහසුකම් අමාරුවෙන් පිරිමහගත්තා.

ඉඩපහසුකම් මදිපාඩු,අරව මේවා මේස පුටු හිගකම් ගැන කියන්න යන එකෙන් නම් කිසිම වැඩක් උනේ නෑ.

ආන්ටි හැමවෙලේම කර අරින්න උත්සහ කරේ,

මොනා දුව! මට ඇහෙන්නෑ...ටිකක් හයියෙන් කියන්ඩකෝ!...

ඉතින් අපි සද්ද දාලා කතා කරන්න ඕනේ.කතාකරාම,

මොනා කරන්නෙ දුව!...මේ තනි මම්...හැමදේම කරගන්න එපැයි...

කියල.එයා ඒක කපටි කමට පාවිච්චි කරපු වචන කීපයක්.

මොනවා කරන්නද අපේ අම්මල වගේ වයසක මනුස්සයා නිසා මොකවත් කියන්නත් බෑ,අනික එයාගෙ තැන නේ අපි ඉන්නෙ ඒ නිසා හැමදේම ඉවසගන හිටියා.

අනික ඔක්කොමටම වඩා හොද දෙයක් තිබ්බ,පිරිමි නැති ගෙදරක් කියල බයවෙන්න කිසිම කාරණාවක් තිබ්බෙ නෑ.ආන්ටිගෙ කට ගමේ හැමෝම දන්න නිසා,ඒක අවුස්සගන්න කවුරුත් කැමැත්තෙන් ඉදිරිපත් උනේ නෑ.

එකම අවුලකට තිබ්බෙ වතුර ප්‍රශ්නේ,මූණ හෝදන්න,නාන්න රෙදි හෝදන්න තිබ්බෙ ටැංකියකින්, ඒකත් තිබ්බෙ ගෙදරින් එලියෙ ගෙවල් දෙක අතර.

අඩුගානේ තේ එකක් බීලා කෝප්පෙ හෝදගන්නවත් සින්ක් එකක් අපි හිටපු පැත්තේ ඉබ්බෙ නෑ.

ඒකටත් රෑ මැද එළියට එන්න උනා.

සෙල්ලම් බත් | Kids Cooking Skills



පුංචිම කාලේ සෙල්ලම් බත් උයල නැති ගෑණු ලමයෙක් නම් හොයන්නම බැරිවෙයි,හැම පුංචි ගෑණු ලමයෙක්ටම වාගේ පොඩි වලන් සෙට් එකක් තියනව.අපේ අක්කට පොඩිම කාලේ අරන් දීල තිබ්බ ටී සෙට් එක මේ ලගක් වෙනකම්ම ගෙදර තිබ්බ .

පොඩි නංගි බබාල විතරක් නෙමේ, මල්ලි බබාලත් ඕවට හවුල් කරගන තමා සෙල්ලම් බත් උයන්නේ.ඉස් ඉස්සල්ලම අපිට අරන්දීලා තිබ්බෙ ප්ලාස්ටික් වළං සෙට් එකක්.

මුලින්ම පටන් ගන්නෙ වතුර, ගස්වල කොල,අම්මා උයන්න ගාපු පොල්වල කුඩු, අරව මේවා වලින් තමයි.පස්සෙ ටිකක් ලොකු වෙනකොට පොළෙන් මැටිවළං සෙට් එකක් ගෙනත් දුන්න.

මට මතකේ හැටියට පුංචි වළදක්, අඩිවළදක්, නෑඹිලියක්, බත් උයන්න පොඩි මුට්ටියකුත් තිබ්බා.අල්ලපු ගෙදර නංගියි මල්ලියි එක්ක සති අන්තෙ දවස්වලට හිටපුගමන් අපි "ඇත්ත බත්" උයනවා.ඒවට අපි කිව්වෙ ඇත්ත බත් කියල.

එහාගෙදර නංගි මොකක් හරි උයන්න ලේසි එළවළුවක් අරන් එනව.ගොඩක් විට පරිප්පු ,මෑකරල් වගේ දෙයක් තමා අරන් එන්නේ.අපේ ගෙදරින් හාල්!...තුන්දෙනාටම චූටි මුට්ටියෙ බත් උයනව පොල් කොල දාල,පොඩිදර කෑලි 2ක් 3කුත් දාල.

බත් වලට වතුර තියන හැටි අම්මගෙන් අහගන්නව,එක්කො බෙරි වෙනව,සමහර වෙලාවට අමුයි ටිකක්,මොකද හරියකට ගින්දර දැමෙන්නෙ නැනේ,එළවලු හදන්නත් අම්ම ලගට ගිහින් පින්සෙන්ඩුවෙලා අහගන්නව.ඉතුරු වෙච්ච කිරි ටිකකුත් ඉල්ලගන,තුන පහත් දාගන එනව.

ගේ පිටිපස්සෙ පිළිකන්න පැත්තෙ තමයි ලිප හදාගන්නේ.කාගෙන්වත් කරදරයක් නෑනේ එතකොට.

අඩලා අඩලා තෙල් ටිකකුත් ඉල්ලගන පපඩම් කෑලි ටිකකුත් බැදගන්නව,අම්ම බලන් ඉද්දිම.

ඔහොම උයලා පොඩි ප්ලාස්ටික් පිගන් වලට තුන්දෙනාම බත් බෙදාගනත් කනව,ගොඩක් වෙලාවට බත් දුන් රහයි,ඒත් අපිටනම් අමෘර්තය වගේ,හරිම ආසාවෙන් උජාරුවෙන් තමා කන්නේ.

මොකද අපි තනියම උයාගත්ත එකනේ.!

 පුංචිම කාලෙ සෙල්ලම් බත් උය උයා හිටියට ඉස්කෝල ගමනත් එක්ක වැඩ වැඩිවෙනවනේ,නිදහසක් කියල එන්නෙ ඉතින් ඕලෙවල් ලියලා ගෙදර ඉන්න ටිකේ.

ඔය ටික දවසට තමයි ගෙදර අයට කෑම උයන්න පටන් ගත්තෙ,අහම්බෙන් කරොත් ඇරෙන්න අම්ම උයන්න දෙන එකක් යෑ,ඇයි කුස්සිය විනාස කරනව කියයි,වතුර හලනව කියයි,එක එක කතා...

ඒ නිසාම අම්ම ඉස්කෝලෙ යනකම් බලාගන ඉදලා තමා අත්හදාබැලීම කරන්න පෙලඹුනේ. ඔහොම දවසක් චිකන් කරී එකක් හදලා අප්පච්චි ඔෆීස් යන්න කලින් කන්නත් දුන්න.අප්පච්චිත් ආසාවෙන් කෑවා හරි රහයිනේ කිය කියා...

මෙන්න බොලේ අප්පච්චි ඔෆිස් ගිහින් පැය දෙක තුනකින් ආය ගෙදර ඉස්සරහ වාහනයක් හෝර්න් කරන සද්දේ!...

ගෙදර දොර ඇරලා බැලින්නම් අප්පච්චිත් එක්ක තව සර්ලා දෙන්නෙකුත් එනවා. ආ...මේ ඉන්නෙ පොඩි එකා!...කියල මාව සර්ලට අදුන්වලත් දුන්න.

පස්සෙ බැලින්නම් මම් උයල දුන්න චිකන් එක අප්පිරිය වෙලාද කොහෙද බඩේ අමාරුවක් ඇවිල්ල අප්පච්චිට.

ගෑණු ලමයෙක් උනාම හොදට උයන්න පිහන්න පුලුවන් වෙන්න ඕනේ කියනවනේ.නැත්තම් කවදාහරි ගෙදරින් ගිය දවසකට අම්මටලු බැනුම් අහන්න වෙන්නෙ!...දැන් නම් උයන්න පුලුවන්, පිහන්න ඊටත් වඩා පුලුවන් :)