Thursday, April 28, 2011

අමාවැස්ස


"බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥා මහිමය, කරුණාව, දයාව, උපේක්ශාව හා ලෝක සත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කරමින්,උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප්නංවන,සමාධි සුව සිසිල දනවන මෑතයුගගේ බෞද්ධ සාහිත‍ය්‍යට එක්වූ විශිෂ්ටතම කෘතිය" ලෙසයි ජයසේන ජයකොඩි විසින් රචිත අමාවැස්ස නවකතාව හදුන්වා ඇත්තෙ.

ඔන්න මම නම් මේ පොත දෙවනිපාරටත් කියල ඉවර කරා.මේ වෙද්දි නම් මේ පොත ගොඩක් අය කියවල ඇති.ගොඩක් හිත සන්සුන් වෙනව කතාව කියවගන යද්දි.සරල භාෂාවෙන්,කතාවක් ආකාරයට ලියල තියන නිසා කියවන්නත් ආස හිතෙනව.

අද අපේ ගෙදර බත් උයනව


කලක් අප්පච්චි ගුරුසේවයෙන් අනියුක්ත වෙලා හිටියා, පුනුරුත්‍ථාපන කදවුරකට.ඒ මගෙ මතකෙ හැටියට 90 දශකයේ මුල් කාල සීමාවෙ.පුනුරුත්‍ථාපන කදවුර කිවට ඒකෙ ලොකු විශේෂත්වයක් තිබ්බා.ඒ කදවුරේ හිටිය ඔක්කොම කලබල කාලෙ විවිධ හේතු නිසා රෑදවුම් භාරයේ හිටපු පිරිමි අය.

අප්පච්චිලාට වෙන්වෙලා තිබ්බ රාජකාරිය වුනේ ඒ අයත් එක්ක එයාලගෙ ගම් වලට ගිහින් දවස් 2ක් 3ක් ඉදල(බොහෝවිට පන්සලේ) ගමේ ඉන්න වගකියයුතු අයත්(ග්‍රාමනිලධාරීවරයා, විදුහල්පතිවරයා, පන්සලේ හාමුදුරුවෝ, අදාල කෙනාගෙ දෙමව්පියන්, පවුලේ අය, යාලුමිත්‍රාදීන්) එක්ක කතා බහ කරල,ඒ කෙනාව නිදහස් කරල නැවත ගමට එවන්න සුදුසු වාතාවරණයක් තියෙනවද කියල හොයල බලන එක.

මම් දන්නෙ විදියට ඒ අයට අප්පච්චිල කතාකරේ පුතා කියල,එයාල අප්පච්චිලට කතාකරේ  "පියතුමා" නමින්.අප්පච්චිනම් කිවෙ ඒකට අහුවෙච්ච් අය,ඒ කියන්නෙ වැරදිකරපු අය ගොඩක් දෙනා අතරේ,අහිංසක-කිසි වරදක් කරල නැතුව පුද්ගලික තරහ-මරහ පිරිමහන්න,වැරදිකරා කියල අල්ලල දීපු අයත් හිටිය කියල.


 එකේදි එයාලට නොයෙකුත් කර්මාන්තත් කියල දීල තියනවා.ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර හැම පළාතකම අය හිටියලු මේ කදවුරේ.සමහර අය නම් කැමතිවෙලා නෑ ආය ගමට ගිහින් ඉන්න,මොකද ඒ තරම්ම ඒ අයට මරණතර්ජන තිබිල.සමහරුනම් යන්නෙ කොයි වෙලේද කියල ඉදල තියෙන්නෙ.

ඔන්න ඔයවගේ ගමට එක්ක යද්දි සිද්ද වෙච්ච කතා ටිකක් අපිත් එක්කත් කියල තියනව අප්පච්චි,එක්කෙනෙක් නුවරට ආසන්න ප්‍රසිද්ද නගරයක කෙනෙක්,එයා කැමතිවෙලාම නෑ ගමට යන්න.එත් ඉතින් කොහොම හරි එක්ක ගිහින්,ගමේ අයගෙනුත් මෙයාට එච්චර හොද ප්‍රතිචාර හම්බවෙලා නෑ,මිනිස්සුත් කියල තියෙන්නෙ,ආය ගමට එවන්නම් නම් එපා!... ඕකා මැරුම් කනව... කියල.ඒ මෙයා ගොඩක් මිනි මැරුම් වලට සම්බන්ද නිසාලු.

ඒත් ගෙදර ගියාම  මිනිහට ආස හිතිල ගෙදර ඉන්න,කාලෙකින් නිසා.ගමේ මිනිස්සුත් ඩිම් වෙල ඉන්නවලු,ආං...අර මිනිහ අය ගමට ඇවිත්!... කියල කියන්නා වගේ.කාලෙකට පස්සෙ ඒ මනුස්සය නිදහස් වෙලා ගමට ගිහින්,එදාම ඒ මනුස්සයගෙ අවසානෙ සිද්දවෙලා තියනව.

ඔය ගමන් වලදි අප්පච්චි පාවිච්චි කරේ ලා කොලපාට ගමන් මල්ලක්, ඕකත් අරන් ලියකියවිලිත් අරන් තමා හැමතැනම යන්නෙ.දවසක් මනුස්සයෙක් අහනවලු ආ...මහත්තය!...මදුරු තෙල් ගහන්න නේද එන්නෙ කියල.

තව සිද්දියක් මතකයි,ඒ ගියපු ගෙදරත් මිනිස්සු ගොඩාක් දුප්පත්ලු.ගෙදර ගියා කියල වාඩිවෙන්න පුටුවක් දෙන්න තරම්වත් වත්කමක් නැතිගානයිලු.අදාල කෙනත් එක්ක ගමට ගිහින් පන්සලේ ඉදල,පහුවදා ඒ ගෙදර ගිහින් තියෙන්නෙ.එතකොට ටිකවෙලාවකින් ඒ ගෙදර පොඩි ලමයි දෙන්න අල්ලපු ගෙදර වැට ලගට වෙලා කතාවලු.කියනව ඇහෙනවලු,අද අපේ ගෙදර බත් උයනව!... කියල.

සමහර විට එයාල උදේ-දවල් වේල පිරිමහන්න බත් වෙනුවට වෙන ආහාරයක් ගන්නව ඇති,ඒත් එදා අප්පච්චිට ගොඩක් දුක හිතුනලු,අපිට ඇවිල්ලත් කිව්වෙ, කෑම නාස්ති කරන්න එපාතියනව කියල,මෙහෙම  සිදුවීමක් උනා කියල.

දවසක් දෙකක් තුනක් අපිත් ඔය කියන කදවුරට අප්පච්චිත් එක්ක ගිහින් තියනව,වැව් මාලු උයන්නෙ කූරියම පිටින්,මාරම රහයි.ඒකෙ සමහර හිටපු අය, අපේ ගෙදරත් ඇවිත් තියනව.එක වෙසක් එකකට මට ලොකු අටපට්ටම් කූඩුවකිත් හදල දුන්න.පස්සෙ තමා අප්පච්චි කීවෙ ඔය මනුස්සයත් මිනීමැරුම් කීපයක් වෙනුවෙන් වග කියන කෙනෙක් කියල,අනේ මටනම් බැලූබැල්මට එහෙම පෙනුනෙ නැ.එයා ගාල්ල පැත්තෙ කෙනෙක්,මට විහිලුවට, හීන් හාමිනේ... කියලත් කියනවා.එතකොට මම් 3 වසරේ විතර. 


ප.ලි: ඒ කදවුර තිබ්බ ගොඩනැගිල්ලෙ, මේ වෙනකොට වන්දනාවෙ එන අය වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් පවත්වගන යනව.

Wednesday, April 27, 2011

ත්‍රිකෝණේ වලවල් හෑරීම


ලගදි දවසක අවුරුදු 32ක් වෙච්ච ගුරු ජීවිතෙන් අම්ම සමුගත්ත.ඒ අම්මට වයස අවුරුදු 60ක් පිරිල නිසා.අම්ම ඉගැන්නුවෙ 6 වසරෙ ඉදල 11වසර පංති දක්වා ගණිතය.ඒ අවුරුදු 32 කාලෙ පුරාවටම නොයෙකුත් ආකාරයේ සිද්දි වලින් ඉස්කෝල ජීවිතේ පිරිල තිබ්බ,සමහර වෙලාවට ඒ සිදුවීම් අපිත් එක්කත් බෙදාගන්න අම්මා අමතක කරේ නැ.මේ ඒවගේ සිද්දියක්.

මේ කාලෙ වෙනකොට අම්ම ඒ  ඉස්කෝලෙ අවුරුදු 5කට වඩා කාලයක් උගන්නල තිබුන,නගරෙ තිබ්බ ,සාපේක්ශව වැඩි ලමයි ප්‍රමාණයක් ඉන්නව කියපු ඉස්කෝලයක්.ඔය අතරෙ 5 වසර විහාගෙ පාස් වෙලා අලුතෙන්ම ඒ ඉස්කෝලෙට ආව ළමයිනුත් ඉදල තියනව.පාසල් වාරේ පටන් ගත්ත මුල් කාලෙ දවසක්  6වසරේ ලමයින්ට පාඩමක් කියල දීල ගණන් හදපු අයට පොත ගේන්න කියල,ඒ වෙද්දි අලුත් ලමයි නිසා නමුත් එච්චර හුරු නෑනේ.

ඉස්සරවෙලාම පිරිමි ලමයෙක් පොතත් අරන් එනවලු,ඒ ලමය ගණන් හදල තිබ්බ පොත ගොඩක් ලොකු පොතක්ලු.පිටු 360 වගේ මට මතක විදියට.බලද්දි "ගණන් ඔක්කොම ශෝක් එකට හදල තිබ්බ "කියල අම්ම කිව්වෙ.අම්මට ආස හිතිල,ඒ ලමය ගොඩක් පිලිවෙලට වැඩ කරල තිබ්බලු. ඉතින් ඒනිසා අම්ම ඒ ලමයගෙ ඔලුව අතගාල, ඔයාගෙ නම මොකද්ද පුතා ?... කියල එහෙමත් අහල.ඊට පස්සෙ අහල තියනව කවුද ඔයාට මෙච්චර ලොකු පොතක් අරන් දුන්නෙ කියල,අර ලමය උත්තර දීල "අරන් දුන්නෙ අපේ තාත්ත..." කියල.

ආ...පුතාගෙ තාත්ත මොකද කරන්නෙ කියලත් ඒත් එක්කම අහල,එතකොට තමා " තාත්තා ත්‍රිකෝණෙ වලවල් හාරනව " කියල පුදුම හිතෙන උත්තරයක් දීල තියෙන්නෙ.හිතාගන්න පුලුවන්ද එයා ඒ කිව්ව එකේ තේරුම?

ප.ලි: ඒ කතාව මට මතක් වුනේ ලගදි අපි ගමනක් ගිය වෙලාවක අය්ය කෙනෙක් ඇවිල්ල  "මිස්ට මාව අදුරන්න පුලුවන්ද?"  කියල අම්මගෙන් ඇහුව වෙලාවෙ,අම්ම දීපු උත්තරේත් එක්ක.පස්සෙ අම්ම කිව්ව ඔන්න ඔය ලමය තමා අර ත්‍රිකොණේ වලවල් හාරනවා කියල කිව්වෙ කියල.එයාගෙ තාත්තගෙ රෑකියාව වෙලා තියෙන්නෙ,සංස්කෘතික ත්‍රිකෝණෙ කැනීම් කරන එක.

කරේ යන්නෙ බලාගන


මේ කතාවත් අවුරුදු 20කට වඩා පරණ කතාවක්.මේකට සම්බන්ද අපේ අක්කයි,මමයි.අපේ අක්ක හරියටම මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල්,එයා ගොඩක්ම කෙට්ටුයි පොඩි දවස් වල.ඒකටත් එක්ක මම මහතම මහතයිලු.අම්ම නම් කියන්නෙ ටික වෙලාවක් වඩාගන හිටියොත් අතේ අමාරුවත් හැදෙනව කියල.මමත් ටිකක් ලොකු උනාම,ඒ කියන්නෙ අවුරුදු 3ක් 4ක් වෙන්න ඇති,දවසක් අපි දෙන්න හැංගිමුත්තන් සෙල්ලම් කර කර ඉන්නවලු.

ඕකෙදි ඉතින් හැංගිලා ඉන්න එකා ඉස්සරහට කඩන් පනින එකනෙ කරන්නෙ  හූ...දැක්කා!!...කියාගන.අක්කා හැංගිලා ඉන්න වෙලාවක මම හොයන්න යද්දි අක්කව හම්බවෙලා,එයා ඉදල තියෙන්නෙ පිටිපස්සට හැරිල,එක පාරටම ආ...මේ ඉන්නෙ! කියල හිතලා මමත් එයාගෙ කරේ එල්ලිලා.මම් කරේ එලිච්ච පාරට අක්කගෙ  උරහිසේ අස්ථියකුත් බිදිලා,අර රූපෙ තියන අස්ථිය තමයි බිදිල තියෙන්නෙ.

කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් ලගට ගිහිල්ලු ඒක හදාගත්තෙ,තෙල් ටිකක් එහෙම උරහිසේ ගාල කතා කර කර ඉන්න ගමන් අක්කගෙන් නම එහෙම ඇහුවලු.එක පාරටම ටොක් ගාල කැඩිච්ච අස්ථි කෑල්ල යටට එබුවලු.ඊට පස්සෙ එක පාරම හරි ගියා කියල තමයි අම්ම කිව්වෙ.මේ කතාව මම් අහගත්තෙ ලගදි දවසක් නැචුරල්ව ලුනු කරේ ගෙනියන්න ගිහින්.

Tuesday, April 26, 2011

වවමුද?

කෘෂිකර්මය,ගෙවතු වගාවන් ගැන සිංහලෙන් ලියවුනු බ්ලොග් එකකට මම් දැක්කෙ නුවන් අය්ය ලියන  NUWAN"s lane බ්ලොග් එක,සමහර විට තවත් ඒවා ඇති.ඒකෙ දාලා තියන සමහර එලවලු හදන හැටි දැක්කම මටත් හිතුන නිකන් ඉන්න වෙලාවට ඒව හදල බලන්න.අපේ ගෙවත්ත නම් ටිකක් ඉඩකඩ අඩුයි.ඒක නිසා පොඩි ගස් තමයි හිටවන්න වුනේ. මල් වවල තිබ්බ පෝච්චි තමා එලවලු හදන්න පාවිච්චි කරේ,මල් පැල ගලවනව කියල අම්මගෙන් පොඩ්ඩක් බැනුනුත් ඇහුව,ඒක නිසාම මට ගනකම්,කලු පොලිතින් උර ගෙනත් දුන්න,එලවලු හදන්න කියල.

මේ බීජ තමයි හිටවන්න ගත්තෙ

එලවලු බීජ ගෙනල්ල දුන්නෙ නම් රජරට විශ්වවිද්‍යාලගෙ කෘෂිකර්ම පීඨයෙ අවසාන වසරේ ඉගනගන්න,මම් අදුරන මල්ලි කෙනෙක්.තවත් පැල වර්ග ගත්තෙ අපි හැමදාම උපදෙස්,මල් ගස්,එලවලු, පොහොර එහෙම ගන්න "මල් අය්ය"ගෙන්.

"රෙඩ් ලේඩි"

 මේ තියෙන්නෙ මම් හිටවපු රෙඩ් ලේඩි පෑපොල් ගහ,තාම පොඩියි.මම් හිතන්නෙ මේ ගස් එච්චර උස යන්නෙ නෑ.කොහොමත් ඉතින් ඉඩකඩ අඩු නිසා පොඩි පැල තමයි හිටවන්න වෙන්නෙ.

කුරු ඇඹරෑල්ලා
 මේ තියෙන්නෙ කුරු ඇඹරෑල්ල පෑලේ.හිටවල නම් දැන් ටිකක් කල් වෙනවා. ටිකක් විතර උස ගිහින්.

මුරුංගා
 මේකත් වැඩිය උසයන්නෙ නැති මුරුංගා වර්ගයක් කියල තමයි මල් අය්ය දුන්නෙ,දැන් චූටි මලකුත් ඇවිල්ල තියනව.

තිබ්බටු
 මේ තියෙන්නෙ තිබ්බටු පැලේ, රතු කූබින්ගෙන් බේරගන්න එක තමයි දැනට මේකට තියන එකම ප්‍රශ්නේ....කොලවල යටි පැත්තෙ උන් බිත්තර දාල කොල ඇකුලනව.පස්සෙ ඉතින් ගහ මැරෙනව,ගස් දෙකක් තිබ්බ,ඒත් දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මේක විතරයි.

බණ්ඩක්කා
බණ්ඩක්කා 
 බණ්ඩක්කා නම් හැදුවෙ මල් හදල තිබ්බ ලොකු පෝච්චි වල.අද මුල්ම ඵලදාවත් ගත්ත.මේ තියෙන්නෙ චූටි කරලක් ඉතුරුවෙලා.

තක්කාලි
 තක්කාලි ගස් ටික හිතුවට වඩා උසට හැදෙනව වගේ,ඒ නිසා කෝටු ටිකකුත් හොයාගන හයිකරල දැම්මා,කදට ටිකක් හයියක් වෙන්න.  නැචුරලුත් ගොඩක් ආසයි තක්කාලි කන්න,විශේෂයෙන් අමුවෙන් කන්න.ඒ නිසා තමයි තක්කලි ගොඩක් හැදුවෙ.බෝංචිත් කන්න එයා ගොඩක් ආසයි, ඒනිසාම බීජ ගෙනල්ල පැල කරත් පැල වුනේ නැ.

සුදු පාට ඉරි
 තක්කාලි ගස් වල කොළවලට ලෙඩක් හැදිල, "ලීෆ් මයිනර්" ද මොකද්ද කියල තමයි මට උදව් කරපු මල්ලි කිව්වෙ,කොහොඹ ඇට තලල දැම්මොත් හරියනවලු,තාම නම් දාල බැලුවෙ නැ.තව දාස්පෙතිය මල් ගස් හදන්නත් කිව්වා.ගෙදර හදන නිසා කොම්පොස්ට් ඇරෙන්න වෙන මොනවත් රසායනික දේවල් දාන්නෙත් නැති නිසා මේක නම් වලක්වගන්න එක ප්‍රශ්නයක් වෙයි වගේ.ඒත් එච්චරම ලොකු බලපෑමකුත් නෑවගේ පේන්නෙ.

වැටකොලු මල්
වැටකොලු කරල්
 වැටකොලුත් හැදුවා,ඒවත් තාම පොඩියි.මුල් කාලෙ පොඩි කරල් කහපාට වෙලා නරක් වෙන්න ගත්තා,පස්සෙ තමයි සුදු පාට ඉටි කවර දැම්මෙ ඒවා ආවරණය වෙන්න,අර මල්ලිගෙ උපදෙස් අනුව,එයා කිව්වෙ නම් පළතුරු මැස්ස ඇවිල්ල පොඩි කරල් හිල් කරල බිත්තර දාන නිසාලු එහෙම වෙන්නෙ.

සුදුපාට ඉරි
 මේ බලන්නකො වැටකොලු වලත් අර සුදු පාට ඉරි තියනවා.

කරවිල
 කරවිල නම් තාම පොඩි පැල තියෙන්නෙ.

මිරිස්
මාලු මිරිස්
 මිරිසුයි,මාලු මිරිසුයි පැල ගොඩක්ම පොඩියි තාම.මේවා ඔක්කොම පෝච්චි වලයි,පොලිතින් උර වලයි හිටවන්න උනේ බිම හිටෙව්වොත් ගොලුබෙල්ලො ඇවිත් එක දවසින් කාල දාන නිසා.

කංකුන්
අගුන කොල
කිරි අගුන
කංකුන් කන්න මම් එච්චර ආස නැ.ඒත් අනිත් අය කනවනේ ඒ නිසා හැදුවා.මේ අගුන වැල යවල තියෙන්නෙ තාප්පෙ දිගට,සමහර අයනම් මේ කොළවල තිත්ත රසට ආස නැ.මම් නම් ගොඩක් ආසයි.සම්බෝලෙ වගේම මැල්ලුමත් ගොඩක් රහයි.කිරි අගුන පැලයක් හම්බුනේ මේ ලගදි.ඒවා නම් තිත්ත නැ.

තෙබු
සාරණ
නිවිති
අලුතෙන්ම හැදුවෙ තෙබු,සාරණ, නිවිති ටික.මේවා කන්නත් මම නම් වැඩිය ආසනෑ,ගෙදර අනිත් අය කන නිසා හිටෙව්වා.තව බෝංචි,වට්ටක්කා,බුශිටා මෑ බීජත් හිටවල තියනව.තාම පැල ඇවිත් නෑ.ගස් හිටවන්නත් ලේසියි අමාරුම වැඩේ තමයි, නැචුරල්ගෙන් බේරගන්න එක, වෙලාවකට එයා එවයෙ මල් කඩනව.

Monday, April 25, 2011

ගොගලයිස් මාලුකාරයා


ගොඩක් අය දන්නව ඇති අර ඇස් එලියට පැනල වගේ ඉන්න ගොගලයිස් මාලු ගැන.අද මම් කියන්න යන්නෙ ඒවගේ මනුස්සයෙක් ගැන. අපි එයාට  කිව්වෙත් "ගොගලයිස්"  කියල.එයා මාලු විකුණන කෙනෙක්, බයිසිකලයක මාලු පෙට්ටිය තියන් පාරෙ යනව මලෝ.... මාලෝ... කිය කිය.වැව්මාලු තමයි විකුණන්නෙ, උදේ 9.30-11 අතර වෙලාවට තමයි පාරෙ යනව දකින්නෙත්.

දවසක් අපිත් මේ මනුස්සයගෙන් මාලු ගත්ත,ඇස් දිහා බලන්න අමාරුයි ටිකක් විතර ඇයි ඇස් එලියට ඇවිල්ල නිසා.මූනෙ හරියටම ඇහැ ලගම කැපුම් පාරකුත් තියනව.මට නම් පෙනුනෙනෙම හරියට නිකම් මැරයෙක් වගේ කියල.

දවස් කීපයකට පස්සෙත් මේ මාලු කාරය යනව ගේ ලගින් මාලෝ ...කියාගන, එතකොට අල්ලපු ගෙදර සීයා තමයි විස්තරේ කිව්වෙ සිංහල දෙමළ කලබල කාලෙ අපේ ගෙවල් ලග ඉදල තියනව දෙමළ මිනිස්සු වගයක් පදිංචිවෙලා, අපි මෙහෙට එන්න කලින්.

මේ මාලු කාරය ඒදවස් වල ඔය රන්ඩුවලටත් යනවලු.අර දෙමළ කට්ටියගෙ ගෙදර කඩන්නත් ගිහින් පොල්ලකින් ගෙදර ජනේලයක වීදුරුවකට ගහන්න ගිහිල්ලා, ඒ වීදුරු කටු ඇහේ ඇනිලලු ඔය ඇස් එලියට ඇවිල්ල තියෙන්නෙ.සීයනම් කිව්වෙ අනුන්ට කලදේ තමන්ට පලදේ කියල.

ඒ ගෙදර හිටපු දෙමළ අයව බේරගන තියෙන්නෙ සීයල,පස්සෙ ඒ ගොල්ලො ගෙවල් අත ඇරල දෙමල අය ඉන්න පැත්තකට ගිහින් තියනව.මට මතක විදියට අපි පුංචි කාලෙ රාජා කියල අය්ය කෙනෙක් නිතර ආව ගියා සීයලගෙ ගෙදරට.අපිට ටොපිත් අරං එනවා.ඒ අර දෙමළ කට්ටියගෙ පුතෙක්ලු.

මාලු පිස්සුව


මට මතකෙ හැටියට මාලු ඇතිකිරීමේ පිස්සුව මට බෝවුනේ 7 වසරේදි විතර.ඒත් ඒ පිස්සුව බෝවුනේ කොහොමද කියල නම් හරිහැටි මතකයක් නෑ.ගෙදර අයත් කවුරුත් කැමති වුනේ නෑ හැබෑයි මේ අදහසට. පව් කාර වැඩ කරන්න යනව,අනික ඔය ආසාව දවසයි දෙකයි,අපිට තමා අන්තිමට කරගහන්නෙ වෙන්නෙ,පූසා එක්ක කොහොමද මාලු හදන්නෙ,උන්ට වෙලාවට කෑම දාන්න ඕනෙ, උන් හදන්න බෑ අපිට මැරෙනව,අනික ටැංකි සුද්ද කරන්නයි,ජරාවයි,අපෝ...ඊ.... අරව මෙවා කතා ගොඩයි.

ඔය අස්සෙ කොහොම කොහොම හරි සියලු වගකීම මම් බාරගන්නව කියල තරයේ කීවම අප්පච්චි කැමතිවුනා අරන් දෙන්න මාලු ටැංකියක්.ඒත් එච්චර ලොකු එකක් නෙමේ සාමන‍ය්‍ය තරමේ එකක්.ඒත් එක්ක මාලු කෑමයි,ටැංකියට දාන්න ගස්, එහෙමත් ගෙනල්ල දුන්න.මතකෙ හැටියට මුලින්ම අරන් දුන්නෙ සාරි ගප්පි ජෝදුවක්,උන් ලස්සනයි,එක එක පාට,පීනද්දි පාට පාට සාරි වනනව වගේ...හරි ලස්සනට පෙනුන.ඒ කාලෙ සාරි ගප්පි ජෝදුවක් රුපියල් 40ක් විතර.

සාරි ගප්පි
ඒදවස්වල ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල කරේම  මාලු ටැංකිය දිහා බලන් ඉන්න එක,උන්ට කැම දාන එක.අන්තිමට එතන තමයි පාඩම් කරන ස්ථානය වුනෙත්.ටික දවසකින් වල් ගප්පිත් එකතුවුනා.මුන් ඉක්මනට පැටවුනුත් දානව,එකෙක්ගෙ බඩ ලොකුවෙලා තියනවනම් පෑටව් දානකම් ඉවසිල්ලක් නෑ.දවසක් හවස බලද්දි පැටව් ගොඩක් දාල තිබ්බ,උදේ බලද්දි ඔක්කොම වගේ කාල තිබුන කීපදෙනෙක් ඇරෙන්න. එදානම් ගොඩක් දුක හිතුන.

ගප්පි

පස්සෙ කාලෙක ප්ලෙටි ජෝදුවකුත් හම්බුනා.අල්ලපු ගෙදර මල්ලිත් මාලු ඇතිකරන්න ගත්තට පස්සෙ,එයාගෙ යාලුවන්ගෙන් හුවමාරු විදියට කහපාට, තෑඹිලි පාට ප්ලේටි පැටව් ටිකකුත් හම්බුනා.ආ...අර පුල්මුඩේ පැත්තෙ තියන සම්බහාල් ඇට වගේ වැලිත් හම්බුනා ටැංකියට දාන්න.

ප්ලේටි
 ටෑන්ක්ලීනර් ජෝදුවකුත් ගෙනත් දුන්න අප්පච්චි,ටැංකියෙ තියන දිය සෙවල උන් කනව,එතකොට නිතර නිතර ටැංකිය අස් කරන්න ඕනෙ වෙන්නෙ නෑනේ කියල.ඒත් මම් උන්ට වැඩිය කෑමතිවුනේ නෑ.උන් කෑතයි,වෙලාවකට පොඩි මාලු පස්සෙත් පන්නනවා.කොච්චරවත් ටැංකිය බිත්තියෙ එල්ලිලා ඉන්නව,කිසි හැලහොල්මනක් නෑ.

ටෑන්ක්ලීනර්
 ඊට පස්සෙ ඇතිකරේ ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක්,උන්ව හදන්න අමාරුයි,ඉක්මනටම මැරිල යනව,එහෙමම කියන්නත් බෑ,සමහර විට මගෙ රෑකබලාගැනීමේ දක්ශතාවය වෙන්නැති ඒ.
ගෝල්ඩ් ෆිශ්
අන්තිමට ඇතිකරේ කලුම කලුපාට උන් දෙන්නෙක්,එතකොට මම් ඒලෙවල් කරනවා.ඒ වෙද්දි අනිත් මාලු ඔක්කොම උන් මැරිල ගිහින් හිටියෙ.විභාගෙත් ලග නිසා මාලුන්ට තියෙන සැලකිල්ලත් අඩුවුනා,විභාගෙ දවස් වල අප්පච්චිගෙ මරණෙත් සිද්දවුනා,හත්දවසේ දානෙ දෙන දවස්වල තමා දැක්කෙ මුන් දෙන්නත් මැරිල වතුරෙ පාවෙනව.එදායින් පස්සෙ මාලු ඇතිකරන එක නැවැත්තුවා.

ගොගලයිස්


 මේ ලගදිත් ආයම මාලු පිස්සුව බෝවෙන්න ගියා,විසික්කරල තිබ්බ මාලු ටැංකිය ආයෙම හෝදල ගත්තා. ඒත් අම්මගෙන් බැනුම් අහලම නිකන් හිටිය,විකාර...ආයෙත් පව් පුරවගන්න හදනව...පොඩි උන් වෙන්න හදනව!...

Friday, April 22, 2011

Think Green, Act Green, Live Green


අප්‍රේල් 22 වෙනිදා අපි සමරන්නෙ ජාතය්‍යන්තර මිහිකත දිනය(International Earth Day).ලෝකවාසී බොහෝදෙනා මෙදිනට පරිසරය ආරක්ශා කිරීම හා පරිසරය පිළිබද අවධානය වැඩිවශයෙන් යොමුකිරීම වෙනුවෙන් පවත්වනු ලබන විවිධ කටයුතු,අවස්ථාවන්ට සහභාගී වෙනවා.

ලෝකේ දෑනට සිද්ධවෙන සිදුවීම්,මූණපාන පාරිසරික ප්‍රශ්ණ එක්ක බලනකොට ගොඩක් දෙනාගෙ අවධානය දෑන් පරිසරික සංරක්ශණය කෙරෙහි යොමුවෙලා.ඒක නිසයි අපිත් පරිසරය වෙනුවෙන් කරන්නට පුලුවන් සුලු දෙයකින් හරි එයට දායක විය යුත්තේ.

 කසළ  ප්‍රතිචක්‍රීකරණය, පරිසරය අපවිත්‍රකරණය අවමකිරීමට ප්ලාස්ටික් වැනි දේවල් වෙනුවට ජවහායනය(biodegradable) වන ද්‍රව‍‍ය්‍ය භාවිතය,ජලය, විදුලිය අරපරිස්සමෙන් පරිහරණය කිරීම අපට කලහැකි දේවල් අතර මූලිකත්වයක් ගන්නා කරුණු.

ඒ අතර තමතමන්ට පුලු පුලුවන් හැටියට ගෙවත්ත ගස්/පැලෑටි වවල අලංකාර කරගන්නව නම් තවත් වටිනාකමක් එකතුවේවි.මෙන්න මේ ලින්ක් එකෙන් ජාතය්‍යන්තර මිහිකත දිනය  ගැන තවත් තොරතුරු දෑන ගන්න පුලුවන්.

මරු පහර


අපි මෙයාලව දැක්කෙ හෝටර්න්තැන්න බලන්න යද්දි, හෝටර්න්තැන්න නරඹන්න යන අයට නම් මේ සත්තු   සුලභ දර්ශනයක්.,ඒවගේම හෝටර්න්තැන්නට සෑහෙන වටිනාකමක් එකතුවෙනව මේ සත්තු  නිසා.එයාල, යන වාහන දිහා සෑහෙන් විම්සිල්ලෙන් බලන් ඉන්නවා,පස්සෙ එකවරම තණකොල අස්සෙ අතුරුදහන් වෙනවා.අපිත් සෑහෙන වෙලාවක් බලන් හිටිය එයාල දිහා.

ටික දුරක් ඉස්සරහට යද්දි ටිකක් දුක හිතෙන සිදුවීමක් දෑක්ක,බලන්නකො මේ පහල තියන පින්තූරෙ,පාරෙ අයිනෙ කානුවක වෑටිල හිටිය ගෝනෙක්, ලස්සන අං තට්ටුවකුත් තියනවා,අපිත් වාහනෙන් බෑහෑල ටිකක් ලංවෙලා බෑලුව.එතකොට තමයි මෙන්න මේ සිද්දිය දෑක්කෙ.සමහර අයටනම් ටිකක් බලන්න අමාරුවෙයිද මන්ද?


වනජීවී එකේ  මහත්තුරුනම් කිව්වෙ සතෙක්ගෙ දරුනු නියපහරක ප්‍රතිඵලයක් කියල.මට හිතුනෙම අම්මෝ!...මේ සතාට කොච්චර වේදනාවක් දෑනෙන්න ඇතිද කියල.

Wednesday, April 13, 2011

රතිඤ්ඤා


පොඩිම කාලෙ නම්  අප්පච්චි ගෙනත් දෙන රතිඤ්ඤා පෙට්ටිය අක්කටයි මටයි කියල දෙකට බෙදල වෙන්කර ගන්නවා.ඒත් පත්තු කරන්නෙ අප්පච්චි.:) අපි දෙන්න ටිකක් ලොකු කාලෙත් අපේ ගෙදර රතිඤ්ඤා පත්තු කරේ අප්පච්චි.ඒ අපි දෙන්නම බය නිසා රතිඤ්ඤා වලට.ඇයි ඉතින් අර ටීවී එකෙ එහෙම පෙන්නනවනෙ අනතුරු වෙනව කියල.:( පස්සෙ කාලෙ මටත් ඕනෙ වුනා තනියම රතිඤ්ඤාවක් පත්තු කරල බලන්න.

පත්තර කොලයක් අරන් දිග තීරුවක් ඉරල රතිඤ්ඤා කරල කොලේ අගම තියල කොලේ මුලට ගිනි පෙට්ටියෙන් කූරක් ගහල පත්තු කරල දුවන් එනවා.;;) ගේ ඇතුලටත් දුවන් ඇවිත් කන් වහගන බලන් ඉද්දි තමා රතිඤ්ඤාව ඩෝං!...ගාල පත්තු වෙන්නෙ:)). පස්සෙ කාලෙ රතිඤ්ඤා කීපයක් එහෙමත් ඒ මෙතඩ් එකට පත්තු කරා.අහස් කූරුනම් කවදාවත් පත්තු කරල නෑ.අප්පච්චි මිදුලෙ අහස් කූරු පත්තු කරල චූස්ස්ස්ස්....ගාන සද්දෙට තමා ගේ ඇතුලෙ ඉදන් දුවන් ඇවිල්ල උඩ බලන්නෙ.:))

දවසක් ගිනි පෙට්ටිය ඉවර වෙලා රතිඤ්ඤා පත්තු කරන්න ගින්දර නෑති නිසා අක්ක ගිහින් එලියෙ තියන ලිපෙන් ගින්දර ගේන්න.ඒකත් නිමිල නිසා නිකන් ඉදලා.හවස අම්ම වතුර උනු කරන්න ගිහින් ලිප පත්තු කරල ටිකක් වෙලා යද්දි ඩෝං... ගාල ලිපේ රතිඤ්ඤාවක් පත්තු වෙලා.:p අමතක වෙලා අක්ක එදා පත්තු කරන්න ආව රතිඤ්ඤා එක ලිපේ දාල ගිහින්.අම්ම නම් කිව්වෙ 99න් බේරුනා කියල :).

නිලා කූරු,බමරචක්‍ර වලට නම් බයක් වුනේ නෑ.පත්තු කරන්නත් ලේසියිනේ.එහා ගෙදර මල්ලි නම් සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්නෙ පරණ සෑමන් ටින් එකක් යටින් රතිඤ්ඤාව තියල.සද්දෙත් නියමයි.ටින් එක උඩ ගිහින් විසි වෙන්නෙ :)).සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරල උඩත් ගහනවා.:p

 තවත් දවසක් අල්ලපු ගෙදර අන්කල් යවපු අහස් කූරක් ඒ ගෙදර කුස්සියට ගිහින් මාර ජංජාලයක් වුනා.ආය, පාර දිගේ ඇරපු අහස් කූරක් මෝටර්සයිකලයක පිටිපස්සෙ ගිය ගෑනු කෙනෙක්ගෙ වෑදිල තිබ්බ,ඒත් ලොකු අනතුරක් නම් වුනේ නෑ.බෑනුම් ඇහුව එක විතරයි ටිකක්:D.  මම් කලිනුත් දවසක ලිව්ව අහස්කූරක් නිසා වුන තවත් අනතුරක් ගෑන:(. ඒ අනතුරින් එයාට ඇහෑකුත් අහිමි වුනා.

රතිඤ්ඤා පත්තු කරන්න,විනෝද වෙන්න.ඒත් පරිස්සමෙන්!!!