Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

Sunday, May 25, 2014

එළබටු |


ගොඩක් දෙනෙක් මේ කාලෙ  කාබනික ගොවිතැන ගැන කතා වෙනව පුලු පුලුවන් විදියට ගෙදර හදාගන වවාගන කන්ඩ කියනව. 

වහ කාල ලෙඩ වෙනවට වඩා ඇත්තටම එහෙම පුලුවන් නම් ගොඩක් හොදයි. ඉඩ කඩක් තියනව නම් පැල කීපයක් හරි හදාගන්න, මානසික තෘප්තියකුත් ලැබෙනව,පැලයක් ඉන්දල ඒක ලොකු වෙලා දල්ලක් මලක් කරලක් එද්දි මාර සතුටක් දැනෙන්නෙ.

ඒත් සමහරු නම් කියනව ,"අනේ අපිට ඔවට කාලෙ නෑ... අනික වතුර දාන්ඩයි... (වතුර බිලුත්  දැන් ගනන් නිසා ) මඩ අනන්ඩයි... එපා වෙනව! ලෙඩත් හැදෙනව පොහොර නොදා කොහොමද ඕව කරන්නෙ? ඊට වඩා හොදයි කීයක් හරි දීල පොලෙන් / කඩෙන් ගේන එක" කියල. 

සමහර වෙලාවට හිතෙනව ඒකෙත් ඇත්තක් තියනව  කියල ඒ උනාට පොඩි හරි ට්‍රයි එකක් දීල ගහක් දෙකක් හදල බලන්ඩකෝ ඒකෙත් අමුතු ගතියක් තියනව :) . 

දවසක් එක එළබටු ගහක් හැදුව.වතුර එහෙම දාල ගස් වලින් වැටෙන් කොල එහෙම ලන් කරල පොඩි සාත්තුවක් දුන්න, ඔය උඩ තියෙන්නෙ ඒ ගහේ පලදාව. මේ වෙද්දි ගොඩක් වතාවක් ගෙඩි කඩල තියනව අහල පහල අයටත් දීල තියනව. ඉතින් සතුටුයි! 


Tuesday, July 10, 2012

මිස් ඉරට්ටෙද?


උදේම ඇවිත් බස් එකේ ඉදගත්ත විතරයි මෙන්න තඩි මල්ලකුත් කරගහන් වයස 30ක විතර පිරිමි කෙනෙක් බස් එකට නැග්ගා.ගොඩක් වෙලාවට මම් යන්නෙ බස් එකේ ඉස්සරහම, වම්පැත්තෙ තුන්වෙනි පේළියේ කොනේම සීට් එකේ.එතන හිටියාම බහින්නත් ලේසියි.අනික සෙනග වැඩි උනා කියල හිර වෙන්න කරදර විදින්න ඕනේත් නෑනේ.

බස් එක පිටත් වෙන්නෙ 6.35ට විතර.මම් බස් එකට නැගලා ඒ එක්කම වෙලාව බැලුව, හරියටම තව විනාඩි 10කින් විතර බස් එක යනව.ඒ එක්කම අර නැග්ග මනුස්සය එයා ගෙනාව තඩි බෑග් එක ඩ්‍රයිවර්ගෙ ශීට් එක ලගින්ම තියල වට පිට බැලුව.ඒ වෙද්දි බස් එකේ සෙනග සීට් වලට තරම් ප්‍රමාණයක් වත් හිටියෙ නෑ ගොඩක් අය නගින්නෙ මගදි...

වටපිට බලලා ඕන තරම් ශීට් තියෙද්දී මෙයා හරි බරි ගැහිලා මට එහා පැත්තෙන් වාඩි උනා.මම් නොදැක්කා වගේ හිටියා.මොකද ඒකේ විශේශත්වයක් නෑනේ ඉතින්.

බැලූ බැල්මට මෙයා මේ පාරෙ බස් වල ගිහින් පුරුදු කෙනෙක් වගේ.ඒ වෙද්දි මට ඒ පාර එච්චර හුරුවක් තිබ්බෙ නෑ මොකද මේ සිද්ධිය වෙද්දි රස්සාවට යන්න අරන් දවස් දෙකයි.

වාඩිඋන ගමන් අහට්ට මෙහට්ට කැරකෙනව.ෆොර්න් එක අරන් බලනව එක විකාරයයි.මට ටිකක් තරහත් ගියා ඇයි යකෝ මෙච්චර ශීට් තියෙද්දි මේකෙම ඇවිත් වාඩි උනේ කියල. අනේ දෙය්යනේ ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වත් ආවොත් හරි! මෙයාට නැගිටින්න වෙනවනේ...මම් යටි හිතින් එහෙම හිතුව.මෙන්න එක පාරටම...

ගුඩ් මොර්නින්ග් මිස්!

ගුඩ් මොර්නින්ග්! මමත් රිප්ලයි කරා...

මේ බස් එක කීයටද යන්නෙ.?

6.35ට.

*** කෑම්ප් එක ලගට යද්දි කීය විතර වෙනවද දන්නෙ නෑනේද?.

දන්නෑ...

ආහ්! එයා වෙලාව බලනව ඔරලෝසුවෙන්.

මම් එහා පැත්තෙ ජනේලෙන් අහක බලාගත්ත.මට තේරුනා මෙයා තවත් කතා කරන්න තටමනව කියල.

මිස් ඉරට්ටෙද?

........???? (මම් පුදුමෙන් බැලුවා)

ඉරට්ටෙද මිස්?

මොකද්ද?

මිස් කොහෙද?

ම්ම්...

මිස් කොහෙද වර්ක් කරන්නෙ?


මම් කිසිදෙයක් නොකියා හිනා උනා, හහ්... මම් මොකටද නොදන්න කෙනෙක්ට මගෙ විස්තර කියන්නෙ?


ටීචින්ද?

නැහ්...

එහෙනම්?

ම්...


මිස් කතාකරන්න කැමති නෑ වගේ...(එයා තනියම කියවනව හික්:) ).

පස්සෙ ටික වෙලාවකින් ඒ මනුස්සයා නැගිටලා වෙන ශීට් එකක වාඩි උනා.පැ‍යකට විතර පස්සෙ **** හරියෙ තියන  *** කෑම්ප් එක ඉස්සරහින් බැහැල ගියා.

ඔය කතාව මම් අපේ කට්ටිය එක්ක කිව්වම තමා දන්නෙ ඉරට්ටෙ කියල ගමක් තියන විත්තිය.ඒ ගමේ තියනවලු ලොකු ඉස්කෝලයක් ඒකට කියන්නෙ "ඉරට්ටෙ ඉස්කෝලෙ" කියලලු.මම් ඒක දැක්කෙ පස්සෙ.අර කෙනා හිතන්න ඇති මම් ඒකෙ උගන්නන ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් කියල :).ඒ ගමේ නම ඉරට්ටපෙරියකුලම (Irattaperiyakulam).මිනිස්සු පහසුව තකා ඒ ගම හදුන්වන්නෙ ඉරට්ටෙ නමින්.

ඉතින් මම් කලින් දැනගන හිටිය නම් අර මනුස්සයට එහෙම සලකන්නෙ නෑ:) .අන්දුන් කුන්දුන් වෙන්නෙ නැද්ද එක පාරටම මිස් ඉරට්ටෙද? කියල ඇහුවම.මට ඒත් කියන්න හිතුනා නෑ ඔත්තෙ කියල :පි.

Thursday, June 21, 2012

ශුවර් එකටම බාප්පා



බස් එකේ අලුත් රස්සාවට යන්න අරන් දැනට මාස 4 කට ආසන්නයි.මහන්සිය නම් උපරිමයි,උදේ 5ට නැගිටලා සාරි එහෙම පටලවගන ලක ලෑස්ති වෙලා 6ට ගෙදරින් පිටවෙලා පැය 1.5 විතර බස් ගමනකින් පස්සෙ සේවා ස්ථානයට ලගා වෙනව.වැඩ අවසන් වෙලා ආය ගෙදර එද්දි හවස 6යි.මොනව කරන්නද රස්සාව කරන්න එපැයි.ඒකත් මහ අමුතුම තැනක් විස්තර පසුවට.

අද කියන්න යන්නෙ  තවත් බස් කතාවක්.පැය 3ක් දවසට බස් එකේ ගතවෙන නිසා අහන්න දකින්න ලැබෙන දේ බොහොමයි ඒ අතරේ අහම්බෙන් වගේ දවසක් වුන සිදුවීමක් තමයි මේ...

මම් බස් එකට නැගලා පැයක් විතර ගියාට පස්සෙ බස් එකට නගිනවා කෙනෙක්, එයා ලස්සනට ඇදලා කරල සයිඩ් බෑග් එකක් දාගන හැමදාමත් පාරේ අයිනට වෙලා හිටගන ඉන්නව,එයාට තියෙන්නෙ අමුතුම හිනාවක්.හරිම ප්‍රසන්නයි.වයසත් හරියටම 30කට ආසන්න ඇති.සෑහෙන්න උසයි,උසට සරිලන මහත. තලෙළලුයි.

ඔන්න පලවෙනිම දවසෙ දැක්කෙ අහම්බෙන්.ඊලග දවසෙත් ටිකක් හිත ගියපු නිසා උවමනාවෙන්ම බලාගන හිටියා අදත් එයි කියල.කොහෙද එයා හැමදාම බස් එකේ පිටිපස්සෙන් නගින්නෙ,මම් ගොඩක් විට ඉන්නෙ ඉස්සරහම ඉතින් හරියකට බලාගන්න නෑ.දකින්නෙත් බස් එක එද්දි පාරේ හිටන් ඉන්න ටික විතරයි.මොකද පිටි පස්ස හැරි හැරී බලන්න කියලද.


ඔහොම සති කීපයක් ගියා,එයත් එක්කම නගින යාලුව නම් හැමදාම වගේ බස් එකට නගිනව,ඒත් වැඩක්ද!...අදාල කෙනා දකින්නෙ සතියකට දවසයි දෙකයි.ඒත් විනාඩියකටත් වඩා අඩු කාලයක්.


දවසක් ඔය කෙනා ගැන මාත් එක්ක ඉන්න අයත් එක්ක කියවුනා.ඒ පැත්තෙ ඉදලා එන අය හිටියත් කවුරුත් එයාව දන්නෙ නෑ කියල තමයි කිව්වෙ.මෙන්න තවත් දවසක් ඔය විස්තර ඇදිලා එද්දි එකෙක් කියනව,මිස්!...ඔතනින් නගින්නෙ අය්යලා දෙන්නෙක් නේද? මම් එයාලව දන්නව.එක්කෙනෙක් රවී අය්ය...ඒ කියන්නෙ  කලු එක්කෙනා...දෙන්නම එක උස, 5'11" ක් විතර ඇති.ඒ දෙන්නගෙන් සුදු එක්කෙනා තමයි අපේ බාප්පා!...


(ඇහ්!... මළ කෙළියයි!...මමත් කියන්නෙ මේ බාප්ප කියන කෙනා ගැන වෙන්න ඕනේ...ඒත් වෙන්න බෑ මම් කියන කෙනා මෙයාගෙ බාප්පා වෙන්න බෑ....එයාට එච්චර වයසකුත් නෑ අනික මෙයාගෙ බාප්ප වෙන්නෙ කොහොමද එයා??? කොච්චර වෙනස්ද දෙන්නා..............................)


වෙන්න බෑ... එයාට එච්චර වයසක් නම් පේන්නෙ නෑ...


නෑ තමයි එයාට ඕනෙ නම් 30ක් ඇති.අපේ බාප්ප තමයි එයා.අපේ තාත්තගෙ පොඩිම මල්ලි!!!...


මිස් දන්නවද රවී අය්යයි අපේ බාප්පයි දෙන්න පොඩි කාලෙ ඉදන්ම යාලුවෝ... එකටමයි ඉන්නෙ.දැන් වැඩ කරන්නෙත් එකම තැන!...


ආහ් ඔව් එයාලා දෙන්න බහින්නෙ එකම තැනින් තමා...බහින්නෙ අර ********** එක ලගින්?


හෙහ් එහෙනම් ශුවර් එකටම බාප්පා!....


ඒත් මගෙ හිත කියන්නෙම මේ කියන්නෙ එයා ගැන නෙමේමයි කියල.


නෑ නෑ...වෙන්න බෑ...ඔයා වගේ නෙමේ මං කියන කෙනා...



මම් වගේ නෙමේ තමා අපේ බාප්පා, අපි ඔක්කොටම වඩා වෙනස්, හැමවෙලේම හිනා වෙලා වගේ ඉන්නෙ,චූටි බඩකුත් තියනව.


බඩක්?



හික් හික්,මට බඩ නම් මතක නෑ... මූණ නම් මතකයි...ලස්සන හිනාවකුත් තියනව.කොන්ඩෙ කූරු කූරු... මූණු උල් වගේ...


හ...හා...එහෙම නම් ටක්කෙටම බාප්පා!... .මිස් දන්නවද අපේ පුංචිගෙ නමත් නදී...

මොකක්?

ඔව්....ඔය කිව්ව බාප්පගෙ නෝනා!...

ඇහ්...

Monday, April 16, 2012

එයා ඇවිත්!

බල බලා හිටිය ආරංචිය අද උදේ ලැබුන...එයා ඇවිත්.අපි දනි පනි ගාල කෑම බීමත් හදන් අරන් ගියා බලන්න.කොහෙද! එහෙම බලන්න දෙන්න බෑ...ලු.එක්කෙනෙක්ට විතරලු බලන්න දෙන්නෙ....ඒ නිසා අය්යව යැව්ව ගිහින් බලලා එන්න කියල.එයානෙ යායුතු අත්‍යවශ්‍යම පුද්ගලයා... 

මම් ඉතින් කොරිඩෝව දිගේ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා මුළු පැයක් පුරාවටම.එයාල ඉන්න පැත්තට බෙල්ල දික් කරකර බැලුව.ම්හු...කිසි දෙයක් බලාගන්න බැරි උනා.හොද වෙලාවට අය්ය එයාගෙ පින්තූර කීපයක් අරන් ඇවිත් තිබුනා අපිට බලන්න කියල.මේ ඉන්නෙ එයා, නැචුරල්ගෙ නංගි,තවම වයස පැය ගානක් වෙන්නෙ.

මෙන්න දොයි තාම
මේං ඇහැරලා බලන් ඉන්නව
ආයම දොයි
එයාව ගෙදර එක්ක එන්න නම් තව දවස් 2ක් වත් යයි.එතකන් ඇගිලි ගැන ගැන තමා මේ ඉන්නෙ.ආහ්... ඒ විතරක්යෑ නමක් හොයන්නත් එපැයි.

Wednesday, March 7, 2012

මරණය යනු සියල්ල අහිමිවීමක්ද ???


"මරණය යනු සියල්ල අහිමිවීමක් නෙමෙයි.අපි බොහෝ වෙලාවට එහි අනෙක් පැත්ත දකින්නෙ නැහැ.මරණය යනු තවත් උපතක්.

මෙහි අභාවයට යනවා කියන්නෙ ඊලග ක්ශණයේදී තවත් උප්පත්තියක් ලබනවා කියන එක.උපතක කියලා කියන්නෙ තවත් මරණයක්.සාමාන්‍ය ලෝකයා දකින්නට පුරුදුවෙලා තියෙන්නෙ ඇහැට කණට පේන දැනෙන සාමාන්‍යකරණය විතරයි.

නමුත් එහි අනික් පැත්ත ගැන අපි කවදාවත් හිතන්නෙ නැහැ.දරුවෙක් ඉපදෙනකොට අපි කවදාවත් හිතනවද"මේ දරුවා මට කොහින්ද ලැබුනේ" කියලා.

මව්කුසක දරුවෙක් පහළ වෙන්නෙ අනිවාර්යෙන් තවත් තැනක යම්කිසි ජීවිතයක් අභාවයට පත් වෙලාමයි.ඒ විඤඤාණයයි මව් කුසක කලල රූපයක් අල්ලාගන ජීවියෙක් හැටියට ප්‍රතිසන්ධිය ලබන්නේ.

එහෙනම්,දරුවෙක් බිහින්වෙන්නට නම් තව කොතැනක හෝ යම් සත්වයෙක් යම් මනුශ්සයෙක් අභාවයට යා යුතුයි.එහෙම නම් අපිට දරුවෙක් උපදිනවා කියන්නෙ තවත් තැනක අභාවයක්!අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නෙ තවත් උපතක්!"

මේ තමයි මම් කියවපු අලුත් ම පොත.පොතේ නම "නොනිමෙන මරණයේ නොමියෙන අරුත්",ලියල තියෙන්නෙ පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ.

මට මේ පොත ලැබුනේ යාලුවෙකුගෙන්.එයාල මේ පොතට මූල්‍ය දායකත්වය දීල බෙදාහරිනව.ඉතින් මටත් එකක් හම්බුනා.පොඩි පොතක් නිසා එක හුස්මට කියවලා ඉවර කරා.ඔයාලත් හම්බුනොත් කියවලා බලන්න.

Tuesday, February 21, 2012

සත්‍ය සිදුවිමක්ලු



මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.

සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2ක්
අතර හිඩැසක් තියෙනවා.

නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.

උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.

ඔහු මෙය දුටුවාම දුකට සහ කුතුහලයට පත්
උනා. මේ නිවස අවුරුදු 10 කට කලින් නිමවූ එකක් නිසා සතා එතෙක් කලක් ජිවත් උනේ කොහොමද කියලා ඔහු මවිත උනා.

කළුවර බිත්තියක් තුල අවුරුදු 10ක්! එක පියවරක් හෙල්ලෙන්නේ නැතිව..සිදුවිය නොහැක්කක්..!!

ඔහු තමාගේ කාර්යය නවතා සතා නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

පසුව ඔහු දුටුවා තවත් කටුස්සෙකු කෑම රැගෙන විත් හිරවී සිටින සතාට දෙන අයුරු..

ඔහු මේ සිද්ධියෙන් දුකෙන් ගල් ගැසී ගියා.

ඇනයේ සිරවී සිටි සතාව
තවත් සතෙකු අවුරුදු 10ක් රැකගත් අයුරු..

සිතන්න, අවුරුදු 10ක් නොසිදෙන ෛධර්යයෙන්, බලාපොරොත්තු සිදනොගමින් ඔහු තමාගේ සහකරු රැකගත් අයුරු..

ඔබට එසේ කරන්න හැකිදැයි සිතන්න.

"කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."

උපුටාගැනීම: මේල්ලුවකින්.

Wednesday, February 15, 2012

මෙහෙම අය ඉන්නවද?

මේ කතාව මට කිව්වෙ මගෙ ලෙක්චර කෙනෙක්.එයා අපිට මුල්ම අවුරුද්දෙ Moral Studies & Ethics ඉගැන්නුව.අපිට උගන්නන කාලෙත් එයා විවාහකයි, මැදිවයසේ කාන්තාවක්. මේ කතාව කියන්න වසර කීපෙකට කලින් එයා ගොඩක් ලොකු ඔපරේශන් එකකට මූණදීලා තියනව.

ඔපරේශන් එක කරලා සිහිය ඇවිත් අමාරුවෙන් ඇදට වෙලා ඉන්න කොට මෙයාට එකපාරටම වෙනසක් දැනිලා නිකම් වමනේ යන්න වගේ ඇවිත්.කරකියාගන්න දෙයක් නෑලු.හෙල්ලෙන්න වත් බෑලු,ඒ තරමට අමාරුයිලු.ඔපරේශන් එක කරල තියෙන්නෙ බඩේ.ලොකු කැපුමකුත් දාල තිබ්බලු.

වෙලාව කියන්නෙ ඒ වෙනකොට එයා ලග උදව්වට කෙනෙක් ඉදලා නෑ.මෙයා ගොඩක් අපහසුතාවයට ලක් උනාලු.වටපිට බලබලා වමනේ යන්න ඔන්න මෙන්න ඉද්දි,ලග ඇදක හිටපු ලෙඩෙක්ට උපකාර කරන්න ඇවිත් හිටිය කෙනෙක් මෙයාගෙ අපහසුතාවය දැකලා ඇහුවලු, ඇයි නංගී?... කියල.

මෙයාට කතාකර ගන්න වත් බෑලු, වමනේ යන්න ඔන්න මෙන්න.ඒ නිසා මෙයා අතින් කියල වමනේ යන්න එනව කියල. ඒ එක්කම බුවෑක්!....ගාල දැම්මලු.වෙලාව කියන්නෙ අර කතාකරපු ගෑණු කෙනා ටක් ගාල එයාගෙ අත්දෙක එකතු කරල බොකුටු කරල අල්ලලා,අරය දාපු ඒවා ටික  ඒ ගෑනු කෙනාගෙ අතේලු.


පස්සෙ එයා ඉක්මනට ගිහින් පිරිසිදුවෙලා ඇවිත්.අපේ ලෙක්චරට ගොඩක් පුදුම හිතුනලු.එයා උනත් මෙහෙම දෙයක් තව කෙනෙක් වෙනුවෙන් කරන එකක් නෑ කියල හිතුනලු.අනික අදුරන්නෙ වත් නැති කෙනෙක් වෙනුවෙන්!


යන්න කලින් ඒ කෙනා ටික වෙලාවක් කතා කර කරත් ඉදලා තියනව. වමනේ ගිහින් ඔයාගෙ ඇගේ වැටුනා නම් තුවාල වලටත් හොද නෑ...අනික මැහුම් දාල නේද?...හදිසියට භාජනයක් වත් හොයාගන්නෙ කොහෙද?කියපු ගමන් ඔයා දැම්මනේ... ඒකයි මම් එහෙම කරේ... කියල කිව්වලු.

පස්සෙ අපේ ලෙක්චර එයාට නොසෑහෙන්න ස්තූති කරල තියනව.ඒදායින් පස්සෙ එයාව හම්බවෙලා නෑ.


එයා කිව්වෙ අපි හිතන්නෙවත් නැති වෙලාවට ඒ වගේ අදුරන්නෙවත් නැති අය ඇවිත් අපිට නොහිතන උදව් කරනව.අහම්බෙන් හරි ඒ වගේ මිනිස්සු තාමත් හම්බවෙනව කියල.

Tuesday, December 13, 2011

පාර්ට් ටයිම්


එයා සමීර, දැන් අවුරුදු 21ක් විතර වෙන පොඩි කොලු ගැටයෙක්.අපේ ගෙදර ඉස්සරවෙලාම ආවෙ මගෙ යාලුවෙක් වුන මල්ලි කෙනෙක් එක්ක.ඒ සමීර ඒලෙවල් වලට මෙහෙ සෙන්ට්‍රල් එකට ආව අලුත ,බෝඩිමක් හොයන්න යන ගමන්.මොකද එයාලගෙ ගෙදර තිබ්බෙ පදවිය පැත්තෙ.

ඒ ලමය ඇවිත් තිබ්බෙ අපේ ගෙදර ඉන්න පුලුවන්ද බලන්න,මොකද ඉස්කෝලෙටත් ටියුශන් ක්ලාස් වලටත් ලග නිසා.කොහොම හරි මගෙ යාලුවගෙ කීමට ඒ ලමයව අපි අපේ ගෙදර නවත්ත ගත්තා.එයාට පිටින් හදල  තියන කාමරය දුන්න.අවුරුදු 2ම ඉවර වෙනකම් එයා අපේ ගෙදර හිටියා,ගෙදර අයටත් කිසි කරදරයක් නෑ තමන්ගෙ පාඩුවේ ගෙදරම කෙනෙක් වගේ අන්තිම කාලෙ වෙද්දි හිටියේ.

සමීර ගොඩක් අපහසුකම් මැද්දෙ තමයි ඉගන ගත්තේ.මුදල් හදල් ගොඩක් අඩුපාඩුකම් තිබුනා.අම්මයි තාත්තයි කරේ ගොවිතැන්,තව අක්කලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයිත් හිටියා.අපිත් පුලුපුලුවන් හැටියට එයාට උදව් කරා,කෑම ගත්තෙ පිටින් උනාට ගොඩක් වෙලාවට අපි කනදේවල් වලින් එයාටත් දෙන්න පුරුදුවෙලා හිටියා.

කොහොම හරි මුල්මවතාවට එයාට කැම්පස් යන්න පුලුවන් උනා.අපිටත් ගොඩක් සන්තෝස හිතුනා.දැන් එයා කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරනව.ඉදලා හිටලා අපේ ගෙදරත් ඇවිත් යන්න එනව.දවසක් අම්මට කෝල් එකක් ඒ අර සමීර මල්ලි.ආගිය විස්තර කතා කරන බවක් තමා පෙනුනේ.

අම්ම කතාබහ කරලා සංවාදය නිමාකරේ සෑඩ් මූඩ් එකකින් බව පෙනුනා .අපි අහන්නත් කලින් අම්ම එකට හේතුව කියන්න ගත්තා.

සමීර...

ආ...

දැන් 2 සෙමෙස්ටර් එකේ ස්ටඩි ලීව් ලු.හොස්ටල් ඉන්නෙ කිව්වෙ.

එහෙමද?

ලොකු අක්කත් බැදලා,දැන් බබෙක් හම්බ වෙන්නලු.දෙවනි අක්කා අවසාන අවුරුද්දෙලු.

ආ... අර ඒ කාලෙ මෙහෙත් ආවෙ,ඒ දෙවනි අක්ක නේද?

ආ...න්න ඒ ලමය තමා.

ඉතින්.?

වියදමත් වැඩීලු.මහපොලෙන් ඉතින් කීයද හම්බ වෙන්නෙ ඕක ඇතැයි.මේ ලමය ලෙක්චර්ස් ඉවරවෙලා හවසට යනව කියන්නෙ බදාම දෙන්න..

බදාම දෙන්න???......නෑ...කොහෙද?

අදුරන කෙනෙක්ලු සෙට් කරල දුන්නෙ.සතියට කීපදවසක් යනවලු රෑට.කොහෙද මන්ද මොකද්ද වැඩපලක් කිව්ව.හොද ගානකුත් හම්බ වෙනවලු.

කියවිල්ල එතනින් ඉවර උනේ නෑ අපිටත් හොද උපදෙස් ටිකක් ලැබිලයි ඒක නතර උනේ.ආන්න දැක්කනේ ඒ ලමය කොච්චර මහන්සි වෙනවද ඉගන ගන්න.මෙයාලට අගේ නෑ.දැන් ඕනේ කියන්නෙ මොනාද දැන් ගෙනල්ල දෙනව.එක අතකින් අපහසුකම් දැනෙන්න අරින්න ඔනේ... දුක දැනෙන්න අරින්න ඕනේ... අම්ම ඔහොම දිගට දිගට කියවගන කියවගන ගියා.

අය්යට ගොඩක් දුක හිතිලා තිබ්බ.එයා ටීශර්ට්,කලිසම් ගොඩක් එකතු කරල සමීරට දෙන්න කියල අපිට දුන්න.ලගදි දවසක මං එයාට කෝල් එකක් දුන්න පුලුවන් වෙලාවක ගෙදර ඇවිත් යන්න එන්න කියල.

ස්ටඩි ලීව් එකේ ඉන්නෙ අක්කා....හෙට එන ගමන් එන්නම්!... 

කියල එයා කිව්ව.පස්සෙන්දා දවල් මල්ලකුත් කරගහගෙන අපේ ගෙදර ආවා.

ස්ටඩි ලීව් කිව්ව නේද මේ කොහෙද මල්ලකුත් අරන් යන්නෙ?

ඔව් අක්කා, ස්ටඩි ලීව් එකේ තමා ඉන්නෙ.මේ දවස් වල කුඹුරු වැඩ.මම් ගියා ටිකක් උදව් වෙලා එන්ඩ කියලා මේ දවස් වල කුඹුරුවැඩ, හානව.

Wednesday, November 9, 2011

ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


මේ මම් එන ගමන්...අද ටවුන් එක පැත්තෙ එනවද?

කාලෙකට පස්සෙ පුරුදු නොම්බරෙන් මැසේජ් එකක්.මැසේජ් එක එවල තිබ්බෙ උදේ 10.30ට විතර.මම් දකිද්දි 12ට විතර.ඒ අතරේම එක දිගට 4 පාරක් විතර රින්ග් කරලත් තිබ්බ.

මම් රිප්ලයි නොකර නිකන් ඉන්නත් හිතලා.පස්සෙ ආයම මැසේජ් එකක් දැම්ම,මම් දැන් දැක්කේ කියල.එතකොටම මෙන්න ආයම රින්ග් වෙනව.

හලෝ...

හලෝ...ආ... කොහොමද? මම් ටවුන් එකේ ඉන්නෙ.

ඉතින්!

මේ පැත්තෙ එනවද අද?

නෑ මම් එන්නෙ නෑ අද නම්.ඇයි ඇහුවේ?

නෑ නිකන්. 

එනව නම් එන්න ගෙදර ඇවිල්ල යන්න,අම්මත් ඉන්නව.

කමක් නැද්ද මම් ආවට,අම්ම මොනවත් හිතයිද?

මොනව හිතන්නද එන්න එනවනම්.

හා එහෙනම් මම් එන්නම්.එනව එහෙනම් හරිද?දැන් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙ.

හා හා එන්න.

එදා එයා අපේ ගෙදර ආව.අම්මත් එක්කත් ගොඩක් වෙලා කියව කියව හිටියා.ආ ගිය තොරතුරු,අලුත් රැකියා ස්ථානය,ගෙදර පවුලේ තොරතුරු...ගොඩක් දේවල්.ඒ අතරේ සයිලන්ට් දාල තිබ්බෙ නැතුව එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.කට් කරා,මෙන්න ආයම රින්ග් වෙනව.ඔහොම කීප සැරයක් කට් කරා.ඒ නිසාම එයා සෑහෙන අපහසුතාවයකට පත් වෙනව මම් දැක්ක.වෙනස මූණෙන් හොදට පෙනුනා.

ඒත් එක්කම මම නැගිටලා ගියා තේ එකක් හදන් එන්න.ඒ අතරේ කෝල් එකකට ආන්සර් කරනව ඇහුනා.ඒක කෙටි කතා බහක්.ආයෙත් අම්ම එයත් එක්ක කතා කර කර හිටියා.මම් ටිකක් වැඩිපුර සීනිත් දාල කිරි තේ එකක් හදල දුන්න,ගෙදර හදපු තල ගුලිත් එක්ක.

එයා දැන් මෙහෙලු වැඩ කරන්නෙ.සති 2කට පාරක් වගේ ගෙදර යනවලු.

ආගිය කතාවලට පස්සෙ තේ එකත් බීල යන්න හදද්දි මම් තල ගුලි කීපයකුත් ඔතලා දුන්න නැවතිලා ඉන්න තැනට ගිහින් කන්න කියල.මොකද එයා කිව්වෙ ගෙදර ගිහින් එන ගමන් කියල.බොරුවට එපා කිය කිය ඉදලා කොහොමහරි ඒක බෑග් එකට දාගත්ත.

යන්නම් කියල අම්මටත් දන ගහල වැදලා ගේට්ටුවෙන් එලියට ගියා මාත් එක්කම.අම්ම ගේන් එළියට ආවෙ නැතුව ඉස්සරහ දොර ලගට වෙලා බලාගන හිටිය.පස්සෙ ගේ ඇතුලට ගියා.එයා පාරෙ වංගුවෙන් හැරිලා මට අත වැනුව,මමත් හිනා වෙලා අත වැනුව,පස්සෙ නොපෙනී යනකම් බලාගන ඉදලා ගේට්ටුව වහගන ඇතුලට ආව.

අම්ම ඒ ගැන වැඩිය මොකුත් ඇහුවෙ නෑ.

දැන් මෙහෙලු නේද වැඩ කරන්නෙ?

හ්ම්...ඔව්.වැව් හදනවද මොකද්ද කීවනේ.හරියටම දන්නෙ නෑ.

මොකද ඔය අද මෙහෙ ආවේ?

මම් දන්නෙ නෑ, නිකන් එන්ඩැති! එන්ඩද කියල ඇහුවම මම් හා කිව්ව.එපා කියන්ඩැයි?.

හ්ම්...පිස්සු! බදින්නත් කෙනෙක් ඉන්නව කියන්නෙ.

ආ... ඔව් මටත් කිව්ව.

මෙලහට ඒ ළමය වෙන්ඩැති රින්ග් කරන්ඩ ඇත්තේ?

හ්ම්... ඔව් මටත් හිතුනා,ඒකයි මම් නැගිටලා තේ හදන්න ගියෙ.

දැක්කෙ නැද්ද නිකන් මූණ අමුතු උනා.

හ්ම්...

ෆෝන් එක බලද්දි රින්ග් එකකුත් එක්ක මට මැසෙජ් එකක් පුරුදු නොම්බරෙන්ම.

"මට ඔයා ගැන දුක හිතුනා"

මම් රිප්ලයි කරේ නෑ.ඒ වෙලාවෙ තරහක්වත් දුකක්වත් දැනුනෙ නෑ කිව්වොත් ඒ බොරුවක්.දුකද්ද තරහක්ද රීරිසියාවක්ද,මේ ඔක්කොගෙම මිශ්‍රණයක්ද මන්දා ඒ දැනුනේ...

මම් මැසේජ් එකක් යැව්වා මට ආය මැසේජ්, රින්ග් කරන්න එපා කතා කරන්න ට්‍රයි කරන්නත් එපා කියල,ඒකට කිසිම් රිප්ලයි එකක් ඇවිත් තිබ්බෙ නෑ.ඔහොම මාස ගානක් ගෙවෙන්න ඇති.මෙන්න දවසක් මම නැති වෙලාවක ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ඇවිත්.

ආ... දවසක් බැච් එකේ යාලුවෙක් කතා කරල ඔයා ඉන්නවද ඇහුවනේ?

මං??? මට පුදුම හිතුනා.ඇයි යකෝ මොබයිල් එක තියෙද්දි මොකටද ලෑන්ඩ් එකට ගන්නෙ කියල.කතා කරල තියෙන්නෙත් කෙල්ලක්ලු.

මොකද්ද නම කිව්වෙ?

අයේශාද මොකද්ද කිව්ව.මට දැන් මතක නෑ.

එහෙම නම් තියන යාලුවෙක් මට හිටියෙ නෑ.ඒ වෙලාවෙ නම් මම් අම්මටත් දොස් කිව්ව,නොදන්න අයට විස්තර කියන්න යන්න එපා කියල.මෙන්න කාලෙකට පස්සෙ අර නොම්බරෙන්ම මැසෙජ් එකක්.

"නංගි මම් කාර් එකක් ගත්තා!..."

රිප්ලයි නොකර ඉන්නත් හිතලා එහෙම කරොත් මොනව හිතයිද?කියල ආ නියමයි නේ.මොකද්ද වර්ගේ කියල මැසේජ් එකක් යැව්වා.ඊට පස්සෙ රින්ග් එකක්.ඕන එකක් කියල මමත් ආන්සර් කරා.එයාල අලුත් වාහනයක් අරන්,ඔයාගෙ යාලුවෙක් ඉන්නව දෙන්නද කියල කිව්වම කවුද කියල අහන්නත් කලින් මට ගෑණු කටහඩකින් හෙලෝ!...කියල කියනව ඇහුනා.

මම් හිතුවේ එයාගෙ නංගි කියල.ඒ එයා බදින්න ඉන්න කෙනා කියල දැණ ගත්තේ ගෑණු ළමයගෙම කතාවෙන්.අපි ආගිය තොරතුරු කතා කරා,"ඔහෙට වහිනවද?මෙහෙට නම් පායනව" වගේ දේවල්.එච්චර තමයි,මේ වෙනකම් මම් එයාගෙ නමවත් දන්නෙ නෑ,දැන ගන්න ඕනේ කමකුත් නෑ.

ඒ ගෑණු ළමය අපි ඉන්න පලාතට එහෙම ගොඩක් ආසයි කියල කිව්ව.මම් කිව්ව දවසක අය්ය එක්ක එන්න වැදලායන ගමන් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න කියල.

එන නොඑන එක කෙසේ වෙතත් එයා හිනා වෙලා හා...එන්නම්කො වෙලාවක කියල අපේ සංවාදේ නිමා කරා.මට එයත් එක්ක තරහෙන් ඉනන් ඕනෙ කමක් තිබ්බෙ නෑ.කතා කරපු විදියට එයාල සතුටින් ඉන්න බව පෙනුනා.

තවත් මාස කීපයක් ගෙවුනා.ඒ වෙනකොට එයත් එක්ක මම් කතා කරන එක සම්පූර්ණෙන් නවත්තලා ගොඩක් කල්,කරපු එකම දේ ඉදලා හිටලා මැසේජ් එකකට රිප්ලයි යවපු එක.මට හැම වෙලේම හිතුනෙ ඒකත් නොකලයුතු දෙයක් කියල.

ඉදලා හිටලා රින්ග් එකක් තියනව ඒ නොම්බරෙන්,මගෙන් රිප්ලයි නෑ.මැසේජසුත් නෑ.දවසක් මැසෙජ් එකක් එවල තිබ්බ මම් දන්නව දැන් ඔයා මෙහෙ නෑ කියල.මම් අම්මට කතා කරල විස්තර දැන ගත්ත කියල.ඒ කියන්නෙ එදා අයේශා කියල කතා කරල තියෙන්නෙ මෙයා.කාට හරි කියල කතා කරවන්නැති.

 ඔහොම දවසක් රින්ග් කරන කොට වැරදිලා මට ආන්සර් වෙලා.දැක්ක ගමන්ම මම් කට් කරා.ආයෙත් මැසේජ් එකක්.

"මට ඔයාගෙ කටහඩ ඇහුනා"

එදත් මම් නෝ රිප්ලයි.

ඔහොම කාලයක් ගෙවුනා,ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්.ජීවිත වලට අලුත් දේවල්  එකතු වෙලා.මාස කීපයක්ම කිසිම හැල හොල්මනක් නැතුව ගෙවුනා.

ආයෙත් අර නොම්බරයෙන් මැසේජ් එකක්!.

"නංගි මම් මෙහෙන් යනවා!"

මම් එදා රිප්ලයි කළා.

"හොදයිනේ :D " කියල.

එයා ආය රිප්ලයි කරේ නෑ.

ඇයි අපිට යාලුවො වගේ ඉන්න බැරි? ගොඩක් කාලෙකට ඉස්සර දවසක් එයා මගෙන් එහෙම ඇහුවා.ඒත් මම් නම් හිතන්නෙ නෑ එහෙම අපිට ඉන්න පුලුවන් වෙයි කියල,හොදම දේ තමා හිතින් අයින්ම කරල දාන එක.ඒත් එහෙම කරන්න පුලුවන්ද?


*************************************************************************************

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්... ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්...
අපට අප නැති හෙට දිනක දුක අරන්... හඩා කුමටද නොදරුවන් සේ ඉතින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්...සුසුම්ලන්නද අප ගැනකොයි ලෙසින්...
සුබ අසුබ පිරි සිහින විද තුන් සිතින්...සදා හමුවෙමු මග තොටේ මදහසින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


Monday, August 8, 2011

කන්නෙ නැත්තම් බලෙන් ගිල්ලවන්නද? | My baby doesn't want to eat


පොඩි දරුවො ඉන්න ගොඩක් අම්මලා කියන කතාවක් තමයි අනේ!... අපේ බබා කන්නෙ නෑ... කියන එක.

කවන්න කරන යුද්දෙ දන්නෙ ඉතින්,බබාවත් වඩාගන පිගානත් අනිත් අතින් අරන්,පැයක් විතර ගෙදර වටේ ඇවිදින අම්මල විතරයි.

ඒත් ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කටක් දෙකක් උනත් කවාගන්නෙ.සමහර බබාල නම් එහෙම වදයක් දෙන්නෙ නෑ.හොදට කනවා.

මේ ලගදි උන සිද්දියක් නිසා තමයි මේ පෝස්ට් එක ලියන්න හිතුනේ, අපේ බබා,නැචුරලුත් ඔය කෑම නොකන ගොඩක අයිති වෙන කෙනෙක්.

දැන් එයාට අවුරුදු 2.5ක් විතර වෙනවා,දකින දකින අය කියනව,

අනේ!...බබා ගොඩක් කෙට්ටුයි නේද?...බබා බත් කනව හොරයිද?...

කතා ගොඩයි.ගෙදර අයගේ හිතටත් හරි නෑ.

බැරිමතැන ළමාරෝග විශේෂඥ වෙද්‍යවරයෙකුට පවා පෙන්නුව.

දොස්තර කිව්වෙ ලමය කෙට්ටු උනාට කමක් නෑ නිරෝගීනම්, මෙයාට වෙන ලෙඩක් නෑ කියල.

ඒත් ගොඩක් අම්මල කැමතියිනේ බබා ලස්සනට බෝලයක් වගේ ඉන්නවට.

මෙයාට වෙන කිසිම  ලෙඩක් තිබ්බෙ නෑ,හොදට කතා බහ එහෙමත් කරනව.දුවනව පනිනව දාන්න ඕනේ සෙල්ලම් ඔක්කොම දානව.හොදට ක්‍රියාකාරකම් කරනවා.

නොකන ප්‍රශ්නෙ නිසාම වෙද්‍යවරයා කීව විදියට අපි  තුන්වේලට අමතරව වෙන අනම් මනම් කන්න දෙනඑක ටිකක් අඩුකරා,එතකොට තුන්වේලවත් හොදට කයිනේ කියලා.


මොන...මේකා ඒ කන්නෙත් නෑ...අන්තිමට තුන්වේලත් හරියකට නෑ...අමතර කෑමත් නෑ...

වෙනදා නැචුරල්
දේ 5ට විතර නැගිටිනව.

මෙන්න දවසක් ටිකක් දවල් වෙනකම් හොදටම නිදි.

බැරිම තැන බලෙන් ඇහරව්වා.නිදිමත වගේ ඇස් පියවෙනව.කෙලින් කරාම ඔළුවත් කඩන් වැටෙනව.

අක්ක හොදටම බය වෙලා. 

නැචුරල්ව මට වඩාගන්න කියල දනි පනි ගාල ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති උනා.

නින්ද යන්න දෙන්නෙ නැතුව තියාගන්න කියල, මම් බබාව ටිකක් හොල්ලල නැචුරල්... නැචුරල්...කිව්වා.

හ්.. ම්...ම්...හ්...ම්...ම්...ගානව.කතා කරන්නේ නෑ.

මටත් ඇඩෙන්න වගේ...  නැචුරල්ට දාඩියත් දාල හොදටම.ඒත් එක්කම බෝ...බෝ... කිව්ව.

මම් පට් ගාල එයාගෙ වතුර බොතලේ දුන්න.මෙන්න වතුර බෝතලේ අත් දෙකෙන්ම අල්ලගන නිදි, ඔලුවත් කඩාගන වැටෙනව වගේ ආයම.

මම් අක්කට කෑගෑහුවා!...මොකද කරන්නෙ? ඉක්මනට එනවා!...කියල.

ඉස්පිරිතාලෙ ලග නිසා විනාඩි 5ක් වත් ගියෙ නෑ, නැචුරල්ව අරන් ගියා.දොස්තරල ඇවිත් බබාව බැලුවා.අම්මටයි බබාටයි නැවතෙන්න කිව්වා.

ටික වෙලාවකින් අම්මයි මමයි ගෙදර ආව. නැචුරල්ට අවශ්‍ය කළමනා,දවල්ට කෑම අරන් යන්න ලෑස්ති කරන්නත් එපැයි...



නැචුරල්ට කලන්තේ ඇවිත් තියෙන්නෙ ලේ වල සීනි හොදටම අඩුවෙලා නිසාලු.

ඉස්පිරිතාලෙ දවසක් විතර ඉදලා තමා ගෙදර ආවේ.

කෑම කන්න පුලුවන් වෙන්න කියල,විටමින් එකකුත් දුන්න ඒත් අර විදියමයි බර මනින්න ගියාම කැපීපේන බර වැඩිවීමක් නෑ.

හැබැයි මෙයා අඩුබර නෙමේ.අවධානම් කලාපයේ ඉන්නෙ :).

අන්තිමට තීරණේ කරා,එයා කැමති ඕනේම දෙයක් කන්න දෙන්න.


බලෙන් කවන්නෙ නැතුව,බලෙන් කවන්න ගියාමනේ කිසිදෙයක් නොකා ඉන්නෙ.කෑම ටික කටට දානව විතරයි අනිත් පැත්තට බු..වැ...ක්!...ගාලා දානව.

අක්කට වෙලාවකට තරහත් යනව,එක එක්කෙනා උපදෙස් දෙනව,ළමයට කවන්න වෙන මහන්සිය දන්නෙ මම් විතරයි කියල.

අක්කා එක එක විදියට කෑම ජාති හදනව,බබා වෙනුවෙන්ම.

තරහ ගියාම වෙලාවකට බනිනවත් එක්ක,මේකට තිබිලත් කන්න පින නෑ!... කියල.

පොඩි අයට කවන එක නම් යුද්දයක්!

කවනකොට කන්නෙත් නෑ,කවන්න ඇවිදලා ඇවිදලා ඉවරවෙද්දි ආය මුලක ඉදන් ගේ අසකරගන යන්නත් ඕනේ,එයාල අදින සෙල්ලම් බඩු අරව මේවා අස් කරන්න.

ඇයි හැමතැනම දාන කෑම අයින් කරන්න.අතුගාන්න.

Thursday, August 4, 2011

සෙල්ලම් බත් | Kids Cooking Skills



පුංචිම කාලේ සෙල්ලම් බත් උයල නැති ගෑණු ලමයෙක් නම් හොයන්නම බැරිවෙයි,හැම පුංචි ගෑණු ලමයෙක්ටම වාගේ පොඩි වලන් සෙට් එකක් තියනව.අපේ අක්කට පොඩිම කාලේ අරන් දීල තිබ්බ ටී සෙට් එක මේ ලගක් වෙනකම්ම ගෙදර තිබ්බ .

පොඩි නංගි බබාල විතරක් නෙමේ, මල්ලි බබාලත් ඕවට හවුල් කරගන තමා සෙල්ලම් බත් උයන්නේ.ඉස් ඉස්සල්ලම අපිට අරන්දීලා තිබ්බෙ ප්ලාස්ටික් වළං සෙට් එකක්.

මුලින්ම පටන් ගන්නෙ වතුර, ගස්වල කොල,අම්මා උයන්න ගාපු පොල්වල කුඩු, අරව මේවා වලින් තමයි.පස්සෙ ටිකක් ලොකු වෙනකොට පොළෙන් මැටිවළං සෙට් එකක් ගෙනත් දුන්න.

මට මතකේ හැටියට පුංචි වළදක්, අඩිවළදක්, නෑඹිලියක්, බත් උයන්න පොඩි මුට්ටියකුත් තිබ්බා.අල්ලපු ගෙදර නංගියි මල්ලියි එක්ක සති අන්තෙ දවස්වලට හිටපුගමන් අපි "ඇත්ත බත්" උයනවා.ඒවට අපි කිව්වෙ ඇත්ත බත් කියල.

එහාගෙදර නංගි මොකක් හරි උයන්න ලේසි එළවළුවක් අරන් එනව.ගොඩක් විට පරිප්පු ,මෑකරල් වගේ දෙයක් තමා අරන් එන්නේ.අපේ ගෙදරින් හාල්!...තුන්දෙනාටම චූටි මුට්ටියෙ බත් උයනව පොල් කොල දාල,පොඩිදර කෑලි 2ක් 3කුත් දාල.

බත් වලට වතුර තියන හැටි අම්මගෙන් අහගන්නව,එක්කො බෙරි වෙනව,සමහර වෙලාවට අමුයි ටිකක්,මොකද හරියකට ගින්දර දැමෙන්නෙ නැනේ,එළවලු හදන්නත් අම්ම ලගට ගිහින් පින්සෙන්ඩුවෙලා අහගන්නව.ඉතුරු වෙච්ච කිරි ටිකකුත් ඉල්ලගන,තුන පහත් දාගන එනව.

ගේ පිටිපස්සෙ පිළිකන්න පැත්තෙ තමයි ලිප හදාගන්නේ.කාගෙන්වත් කරදරයක් නෑනේ එතකොට.

අඩලා අඩලා තෙල් ටිකකුත් ඉල්ලගන පපඩම් කෑලි ටිකකුත් බැදගන්නව,අම්ම බලන් ඉද්දිම.

ඔහොම උයලා පොඩි ප්ලාස්ටික් පිගන් වලට තුන්දෙනාම බත් බෙදාගනත් කනව,ගොඩක් වෙලාවට බත් දුන් රහයි,ඒත් අපිටනම් අමෘර්තය වගේ,හරිම ආසාවෙන් උජාරුවෙන් තමා කන්නේ.

මොකද අපි තනියම උයාගත්ත එකනේ.!

 පුංචිම කාලෙ සෙල්ලම් බත් උය උයා හිටියට ඉස්කෝල ගමනත් එක්ක වැඩ වැඩිවෙනවනේ,නිදහසක් කියල එන්නෙ ඉතින් ඕලෙවල් ලියලා ගෙදර ඉන්න ටිකේ.

ඔය ටික දවසට තමයි ගෙදර අයට කෑම උයන්න පටන් ගත්තෙ,අහම්බෙන් කරොත් ඇරෙන්න අම්ම උයන්න දෙන එකක් යෑ,ඇයි කුස්සිය විනාස කරනව කියයි,වතුර හලනව කියයි,එක එක කතා...

ඒ නිසාම අම්ම ඉස්කෝලෙ යනකම් බලාගන ඉදලා තමා අත්හදාබැලීම කරන්න පෙලඹුනේ. ඔහොම දවසක් චිකන් කරී එකක් හදලා අප්පච්චි ඔෆීස් යන්න කලින් කන්නත් දුන්න.අප්පච්චිත් ආසාවෙන් කෑවා හරි රහයිනේ කිය කියා...

මෙන්න බොලේ අප්පච්චි ඔෆිස් ගිහින් පැය දෙක තුනකින් ආය ගෙදර ඉස්සරහ වාහනයක් හෝර්න් කරන සද්දේ!...

ගෙදර දොර ඇරලා බැලින්නම් අප්පච්චිත් එක්ක තව සර්ලා දෙන්නෙකුත් එනවා. ආ...මේ ඉන්නෙ පොඩි එකා!...කියල මාව සර්ලට අදුන්වලත් දුන්න.

පස්සෙ බැලින්නම් මම් උයල දුන්න චිකන් එක අප්පිරිය වෙලාද කොහෙද බඩේ අමාරුවක් ඇවිල්ල අප්පච්චිට.

ගෑණු ලමයෙක් උනාම හොදට උයන්න පිහන්න පුලුවන් වෙන්න ඕනේ කියනවනේ.නැත්තම් කවදාහරි ගෙදරින් ගිය දවසකට අම්මටලු බැනුම් අහන්න වෙන්නෙ!...දැන් නම් උයන්න පුලුවන්, පිහන්න ඊටත් වඩා පුලුවන් :) 

Saturday, July 30, 2011

අනේ මගෙ මාලේ!... | I lost my necklace


කාලේකට ඉස්සර මාල වලලු දාගන අත කර පුරවගන යන එක කාන්තා පාශ්වයට විතරක්  වෙන්වෙච්ච සිරිතක්ව තිබ්බ.ඒත් කාලය ගතවෙනවත් එක්ක දැන් දැන් පිරිමි අයත් නොයෙකුත් කනකර විලාසිතා කරනව.

මේ පෝස‍්ට් එක ලියන්න හිතුනේ මේ විලාසිතා ගැන නම් නෙමේ.ඒව නිසා වෙන අකරතැබ්බ ගැන කියන්න.

අපි ලස්සනට ඉන්න ඕනෙ තමයි ,ඒ වගේම ඒ වෙනුවෙන් විවිද ආභරණ විලාසිතා වලින් හැඩ වෙන්නත් ගොඩක් අය කැමතියි.ඒත්...

ඔය දේවල් නිසාම විවිද අකරතැබ්බ වලටත් මූණපාන අය ඉන්නව.විශේෂයෙන් රන් ආභරණ වගේ වටිනා කියන ආභරණ පැලදීම නිසා.

මේ ලගදී දවසක අපේ ගෙදර පාර ඉස්සරහිනුත් පොඩි බබෙක් එක්ක ගිය අම්ම කෙනෙක්ගෙ මාලයක් කඩාගන ගිහින් තිබ්බා,ඒ එයා ගෙදර ඉදන් ගේ ලග කඩේට යන ගමන්.

ඒක පෙන්ඩන්ට් එකක් එක්ක තිබ්බ මාලයක්,සෑහෙන ගානක් වෙනව කියල තමා කිව්වෙ.

පාරේ යන ගමන් ඉස්සරහින් ආව මෝටර්සයිකලයක නැගලා ආව දෙන්නෙක් තමයි මාලේ කඩාගන ගිහින් තිබ්බෙ,කෑගහන සද්දෙට අපි ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.

බෙල්ලත් තුවාල වෙලා.පොඩි එකත් හොදටම බයවෙලා වෙච්ච දේට.

ඔය සිද්දිය වෙලා සතියක්වත් නැ,මම් කලින් පෝස්ට් එකක් ලිව්වනේ ප්‍රේමයෙන් උමතුවිය හැකිද? කියල,එයාගෙ මාලයත් මෙහෙම කඩාගන ගිහින් තිබ්බා.

කට්ටිය නම් කිව්වෙ එයාට කොච්චරවත් කිව්ව ඔය මාලයක් දාගන ඉන්න එපා කියල,කෝ ඇහුවද අපරාදේ මාලේ, ලොකු පෙන්ඩන්ට් එකකුත් තිබ්බ කියල.

දන්න විදියට මේ වෙනකම්  ඒ මාලේත් හම්බවෙලා නම් නෑ.පොලිසියේ "ඇන්ට්‍රියක්" එහෙමත් දාලා කියලයි ආරංචි.

පොසොන් ඒකට කලින් දවසෙත් ඔය වගේම සිද්දියක් උනානේ,වැඩ ඇරිලා යන මගෙ යාලුවෙකුට.

අර විදියටම මෝටර්සයිකලේක ඇවිත් ඒකෙන් බිමට බැහැලා මාලෙ කඩාගන ගෑණුලමයව කාණුවටත් තල්ලු කරලා දාල ගිහින් තිබ්බ.

ඒක වෙලා තිබ්බෙත් පොඩි කඩයක් එහෙම තියන හතරමංහංදියක,කොහොමද හොරුන්ගෙ බය නැතිකම!...

එයාගෙත් බෙල්ල හීරිලා මාලෙ ඇද්ද පාරට,හොදටම බයවෙලත් තිබ්බා.

එයානම් කිව්වෙ ඒක ඉමිටේශන් මාලයක් කියල.

ඔයවගේම දෙයක් වෙලා පස්සෙ දවසක ඉමිටේශන් මාලෙ මූනට දමලාගහල ගිය සිද්දියකුත් ආරංචිඋනා කියල යාලුවෙක් කිව්වා.

මෙහෙම බලද්දි කන්වල තියන කරාම්බු කපාගන යන දවසත් වැඩි ඈතක නෙමේ කියල මට නම් හිතෙන්නෙ.

වෙඩින් එකකට වගේ ලස්සනට සැරසිලා යන්න ඕනේ අත‍ය්‍යවශ්‍ය කාරණේකට ඇර, එදිනෙදා ගමන් වලට වටිනා කියන  ආභරණ දාගන යන එකෙන් මේ විදියේ අකරතැබ්බ ඇතිවෙන්න පුලුවන්.

සමහරු පොළට එන්නෙත් ගෙදර තියන සියලු ආභරණ වලින් සැරසිලා.වැරෑද්දකුත් කියන්න බෑ ඒ එයාලගෙ කැමැත්තනේ.

අනික කාගෙන් තහනමක් ද තමන්ගේ දේ ඇදගන පැලදගන යන්න.

ඒත් ගොඩක් අය දැන් එදිනෙදා පාවිච්චියට රත්තරන් වගේ වටින කියන දේවල් දානව අඩුයි.ඒ වෙනුවට ඕන තරන් ආදේශකත් තියනවනේ.

දාන අයට කියන්න තියෙන්නෙ ඉතින් අර කවුද කිව්ව වගේ තමන්ගේ ආරක්ශාව තමන්ම බලාගන්න ඕනේ නිසා පරිස්සම් වෙන්න කියල තමා.

Thursday, July 14, 2011

ඇලිස් බෑන්ඩ් | Alice Band


කාලෙකට පස්සෙ සති අන්තෙ නිවාඩුවකට ගෙදර ගියා.යනකොට ගේ ඉස්සරහ කීපදෙනෙක්ගෙ සෙරෙප්පු.හ්ම්...ගෙදරට කවුරුහරි ඇවිල්ලා...

ඒත් රබර් සෙරෙප්පු දාගන!...?

කුස්සිය පැත්තෙන්  කතා සද්දෙකුත් ඇහුනා.
සාලෙ වාඩිවෙලා පොඩි ගෑණු ලමයෙකුයි, එයාගෙ මල්ලියි කියන්න පුලුවන් දෙන්නෙක් පත්තර බලනව.මම් හිනාවක් දාගනම බෑග් අඩුම කුඩුම ටික කාමරෙන් තියල කෙලින්ම කුස්සිය පැත්තට ගියා. 

ආ නංගියෝ...දැක්ක කාලයක්...

ආ...මම් ඒත් බැලුව කවුද කියල. මට අදුර ගන්න බැරි උනා.දුවයි පුතයි දෙන්නත් ඇවිල්ලානේ.

ඔව් නංගියෝ හදිස්සියෙ ආවේ.
මොකුත් හදාගන එන්නත් බැරිඋනා.

ඒකට මොකද කාලෙකින් හරි මේ පැත්ත බලාගන යන්න ආවනේ.

මේ සැරේ තල ඉස්සනේ, තලගුලි ටිකක් හදන් ආවා.

ආ...නියමයි මරු කෑම. 
ඉතින්...

නංගියා නම් මහත් වෙලා වාගේ.කාලෙකින්නේ දැක්කේ. 
හැබෑට කොච්චර කාලෙකින්ද නේද?

හෙහෙ...ඒ මගෙ හැටිනේ.කෑම දැක්කත් මහත් වෙනව.

ආය කීවට ඒ හෑටි මහතකුත් නෑ. 



එපා වෙනව අප්ප බස් වල ආවහම හරි මහන්සියි.

ගොඩක් දුරනේ නේද?

හ්ම්...පැය 8ක් විතර එන්න එපැයි.
අම්ම ආව අයට කෑම හදන්න ලෑස්ති කරනව.මම් හිමීට ගිහින් ෆිල්ටර් එකෙන් වතුර එකක් කෝප්පෙට දාගන එක හුස්මට බීගන බීගන ගියා.


අම්මේ ලාවට සීනි දාලා තේ එකක්!...
කියන ගමන් මම් වොශ් එකක් දාන්න නාන කාමරේට ගියා.
එද්දි තේ එකත් එක්ක තලගුලි ටික බැබලි බැබලි තියනව කුස්සියෙ.


තලගුලියක් කාල තේ එක බොන ගමන් ආය කතාවට වැටුනා.

පොඩි උන් දෙන්නත් පත්තර බැලිල්ල පැත්තකින් තියල කුස්සියට ඇවිත් කටදිහා බලාගන ඉන්නව.ගෑණු ලමය ඇලිස් බෑන්ඩ් එකකුත් දාලා,පෙනුමෙන් එච්චර වයසක් කියන්නත් බෑ,කොල්ල නම් ටිකක් මෝරල පාටයි.


මේ දෙන්නත් යන්නෙ ගමේ ඉස්කෝලෙටද?

ඔව් පුතා නම් තවම ඉස්කෝලෙ යනව,මෙයාගෙ ඉස්කෝලෙ ගමන නැවතුනානේ.

ඒ ඇයි? කියන්නක් වගේ මට  ගෑණු ලමය දිහා බැලුන.
ඒ ලමය කිසිදෙයක් නොකිය බිම් බලාගත්ත.


ලමයගෙ අම්ම දිගටම කියවනව.


කරදරයක් උනානේ නංගියෝ...
මම් අම්මට නම් විස්තරේ කිව්වා,නංගියා දන්නව නේද අර ගමේ හිටිය අබේකෝන්?

හ්ම්...මට මතකයි.
හැබයි එච්චරටම මතකයක් නෑ,නමින් දන්නව,මම් ගමෙන් එද්දි අවුරුදු 4ක් වත් නෑනේ.

ආන්...ඒකාගෙන් මෙයාට කරදරයක් උනානේ.
මෙහෙ උසාවි දාල තියෙන්නෙ දැන්.

අහ්...

ලොකු නංගියා හම්බවෙලා මොනාද කරන්ඩ ඕනෙ කියලා බලන්ඩ මේ ආවේ.

හ්ම්...එහෙමද?

එන්ඩ කියල තියනව උසාවියට.
අපිනම් කැමති සමාදාන වෙන්ඩ, ආය නඩු කිව්වා කියල ඔව්වට දෙන්න ඔය හැටි සල්ලියක් කොහෙ තියනවද?.
වෙච්චි දේ උනානේ.නේද?
ඒකා ගන්ඩම හිතාගන කොරානම් කමක් නෑ.වෙන ගමක ගෑනියක් එක්ක හුටපටයක් තියනව කියල කියන්නෙ.ඒකා ඒ ගෑනි ගනී.

මාර මිනිහෙක්නේ!...එච්චර වයසකුත් නෑ නේද?

ඔව් ලොකු නංගියාලට වඩා අවුරුද්දක් දෙකක් විතර ඕනෙනම් වැඩිමල් ඇති.


අපරාදේ නේද ඉස්කෝලෙ ගමන.

ටික කාලයක් ගියා,පස්සෙ පස්සෙ ලමයි අරව මේවා කියනව කියල නැවතුනා.
දැන් ගාමන්ට් එකක වැඩට යනව.ඒකෙන් හම්බවෙච්ච කොල්ලෙක් එක්ක යාලුවෙලානේ ඔය ඉක්මනට බලන්ඩකො.

 ආහ්...

ඒ ලමයත් හොදයි.සේරෝම විස්තර දැනගනයි කැමතිවෙලා තියෙන්නෙ.
එ හින්ද වන්දි නැතත් කමක් නෑ,මේක බේරුමක් කරගන්ඩයි ඕනෑ කරන්නෙ දැන්.

හ්ම්...


පලි: ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමේ ගියා.ආසාවට වැව බලන්නත් යන්න ඕනෙ කියල හිතුනා, බන්ටෙක දිගේ ඇවිදගන යද්දි රෙදි පුරවගත්ත බාලදියකුත් අරන්,හූනූ පැටියෙක් වගේ ලමයෙකුත් කර ගහගන පොඩි ගෑනු ලමයෙක් එනව ඉස්සරහට,නාන මංකඩට යන්න වෙන්නැති.මාව දැකල කතා කරා,ඒ අර ගෑණු ලමය.

Saturday, July 2, 2011

මෙහෙමත් තාත්තලා


කාලෙකට පස්සෙ ඉස්කෝලෙ යාලුවෙක් අපේ ගෙදර ආවා.ආගිය කතා ඉවරයක් නෑ.ඔන්න ඔය අස්සෙ මේ කතාවත් කියවුනා.

මේ ඔයා දන්නවද මාර වැඩක් වෙලා,අපේ අම්මල උගන්නන ඉස්කෝලෙ.

ඉස්කෝලේ?

ඔව්.ඉස්කෝලෙ ගෑණු ලමයෙක්ට!...
ඒ ලමයගෙ අම්ම රට ගිහින්ලු.ඉදල තියෙන්නෙ තාත්තත් එක්ක ගෙදර.

 ඉතින්!...

ඉස්කෝලෙ එනව හොර නිසා අපේ අම්ම අහල තියනව මොකද කියල, එතකොට තමා ටික ටික කියල තියෙන්නෙ.ඒ තාත්තා බීගනලු එන්නෙ හැමදාම රෑට.ඇවිත් ලමයට කරදර කරලා.

නෑ...අනේ මන්ද මෙහෙමත් තාත්තලා!...මුන්ට හෙන ගහන්න එපැයි!...

අනික ඒ පැත්තෙ ඉන්නෙ ගොඩක් දුප්පත් ලමයිලු,අගහිගකම් කියල වැඩක් නෑලු,අම්ම නිතරම ඇවිත් කියනව,අවාරෙට පොල් වැටෙනව වගේලු ඉස්කෝලෙ එන්නෙත් කියල.

ඔව් අපේ අම්ම ඉන්න ඉස්කෝලෙත් එහෙම තමා,එක්කො අම්ම රට,එක්කො ලමයි ටික දාලා අම්ම වෙන කෙනෙක් එක්ක ගිහින්,එක්කො තාත්ත නෑ,එහෙම නැත්තම් තාත්ත බීල ඇවිත් ගහන නිසා ලමයි වෙන ගෙවල් වල නවත්තලා.

අන්තිමට ඕං වෙන දේ!
පව් ලමයි!

වැඩියෙන් හම්බ කරන්න ගිහින් අවසානේ පවුලත් විනාසවෙලා දන්නෙම නැතුව.

එහෙමමත් නෙමේ ඉතින්, කීයක් හරි හොයාගන්නනෙ ඔහොම යන්නෙ,කොහොමහරි ගොඩ එන්න කියල හිතාගන.

ඇයි ඔහොමමම එකක් උනා අපේ අම්මලගෙ ඉස්කෝලෙත්, බොරුනම් අහල බලන්නකො.ඒ කෙල්ල අඩලා අඩලා අම්මල එක්ක කියල තියනව.

ඈ...ඉතින්!...

දක්ශ ලමයෙක්ලු.ශිෂ්‍ය නායිකාවකුත්ලු.ඒ ඉස්කෝලෙ තියෙන්නෙ 11 වසරට විතරනේ.අම්ම රට ගිහින් ඔය වගේම දෙයක් තමා වෙලා තියෙන්නෙ.එතකොට ඒ ලමය 11 වසරේ.බැරිම තැන නෑදෑ ගෙදරක ඉදලා ඉස්කෝලෙ ඇව්ත් තියෙන්නෙ,එහෙත් කරදරලු.

අම්මලත් උඩපැනගන යනවනෙ,ලොකු ගෑණු ලමයිනුත් තනියම දාල.අනේ මන්දා!

පස්සෙ ඒ ඉස්කෝලෙම හිටපු,O/Lවත් පාස් නැති කොල්ලෙක් එක්ක පැනල ගිහින් විභාගෙ ලියන්නත් කලින්. 

නෑ...මහ මෝඩ කෙල්ලක්,විභාගෙ ලියල යන්න තිබ්බනේ,යන දේවාලෙක.

ඒක ආරංචි වෙන්න කලින්,ටික දවසක් ඉස්කෝලෙ ඇවිත්, ගුරුවරු අනම් මනම් කියන නිසා  නැවතිලා,අපේ අම්මට දවසක් කතා කරා,අනේ මිස්, මට එන්න හිතෙන්නෙ නෑ ඉස්කෝලේ! කියල.

දවසක් අම්ම අවුරුදු 10ක විතර Maths Marking Schemes ටිකක් දුන්න, ගෙදර ආව ඒ ලමය අරන් යන්න.

දැක්ක නම් ඒ කොල්ලගෙ හැටි අප්පෝ...
ඒ කෙල්ලට පිස්සුද කියල හිතුනා.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඒ තීරණේ හොදයි කියල හිතන්න ඇති.ඒ කොල්ල මේ ලමයව භාර ගත්ත එකම මදෑ නේද?

හ්ම්....බැලුවම ලමයින්ට තියන ප්‍රශ්න නේද?
අපිට මොන ප්‍රශ්නද තියෙන්නෙ!
අනේ ඒ අතින් අපේ අප්පච්චිල දෙවිවරු!
එක අතකින් කරුම තමා...ඔහොම දේවල් වෙන්නත්..

හ්ම්...ඒ ලමය විභාගෙ ලියල, මැත්ස් වලට A අකුරකුත් අරන් තිබුනා,ප්‍රතිඵල ආවට පස්සෙ අපේ ගෙදර ආව, අම්මව හම්බවෙලා දුන්න Maths Marking Schemes ටික දීල යන්න.

අනේ පව්,දෙන්නත් එක්කම ආවෙ,බිස්කට් පැකට් එකක් එහෙමත් ගෙනල්ලා වැදලා ගියා.මිස් නැත්තම් මම් විභාගෙ ලියන්නෙත් නෑ කියල,ඒ කොල්ල දැන් ත්‍රීවීල් එකක් එලවනවලු.

දවසක් අපි දැක්ක දෙන්න පොලේදි  පළතුරු වගයක් ගන්නව,දැන් එයාට බබෙක් හම්බවෙන්නත්.

Thursday, April 28, 2011

අද අපේ ගෙදර බත් උයනව


කලක් අප්පච්චි ගුරුසේවයෙන් අනියුක්ත වෙලා හිටියා, පුනුරුත්‍ථාපන කදවුරකට.ඒ මගෙ මතකෙ හැටියට 90 දශකයේ මුල් කාල සීමාවෙ.පුනුරුත්‍ථාපන කදවුර කිවට ඒකෙ ලොකු විශේෂත්වයක් තිබ්බා.ඒ කදවුරේ හිටිය ඔක්කොම කලබල කාලෙ විවිධ හේතු නිසා රෑදවුම් භාරයේ හිටපු පිරිමි අය.

අප්පච්චිලාට වෙන්වෙලා තිබ්බ රාජකාරිය වුනේ ඒ අයත් එක්ක එයාලගෙ ගම් වලට ගිහින් දවස් 2ක් 3ක් ඉදල(බොහෝවිට පන්සලේ) ගමේ ඉන්න වගකියයුතු අයත්(ග්‍රාමනිලධාරීවරයා, විදුහල්පතිවරයා, පන්සලේ හාමුදුරුවෝ, අදාල කෙනාගෙ දෙමව්පියන්, පවුලේ අය, යාලුමිත්‍රාදීන්) එක්ක කතා බහ කරල,ඒ කෙනාව නිදහස් කරල නැවත ගමට එවන්න සුදුසු වාතාවරණයක් තියෙනවද කියල හොයල බලන එක.

මම් දන්නෙ විදියට ඒ අයට අප්පච්චිල කතාකරේ පුතා කියල,එයාල අප්පච්චිලට කතාකරේ  "පියතුමා" නමින්.අප්පච්චිනම් කිවෙ ඒකට අහුවෙච්ච් අය,ඒ කියන්නෙ වැරදිකරපු අය ගොඩක් දෙනා අතරේ,අහිංසක-කිසි වරදක් කරල නැතුව පුද්ගලික තරහ-මරහ පිරිමහන්න,වැරදිකරා කියල අල්ලල දීපු අයත් හිටිය කියල.


 එකේදි එයාලට නොයෙකුත් කර්මාන්තත් කියල දීල තියනවා.ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර හැම පළාතකම අය හිටියලු මේ කදවුරේ.සමහර අය නම් කැමතිවෙලා නෑ ආය ගමට ගිහින් ඉන්න,මොකද ඒ තරම්ම ඒ අයට මරණතර්ජන තිබිල.සමහරුනම් යන්නෙ කොයි වෙලේද කියල ඉදල තියෙන්නෙ.

ඔන්න ඔයවගේ ගමට එක්ක යද්දි සිද්ද වෙච්ච කතා ටිකක් අපිත් එක්කත් කියල තියනව අප්පච්චි,එක්කෙනෙක් නුවරට ආසන්න ප්‍රසිද්ද නගරයක කෙනෙක්,එයා කැමතිවෙලාම නෑ ගමට යන්න.එත් ඉතින් කොහොම හරි එක්ක ගිහින්,ගමේ අයගෙනුත් මෙයාට එච්චර හොද ප්‍රතිචාර හම්බවෙලා නෑ,මිනිස්සුත් කියල තියෙන්නෙ,ආය ගමට එවන්නම් නම් එපා!... ඕකා මැරුම් කනව... කියල.ඒ මෙයා ගොඩක් මිනි මැරුම් වලට සම්බන්ද නිසාලු.

ඒත් ගෙදර ගියාම  මිනිහට ආස හිතිල ගෙදර ඉන්න,කාලෙකින් නිසා.ගමේ මිනිස්සුත් ඩිම් වෙල ඉන්නවලු,ආං...අර මිනිහ අය ගමට ඇවිත්!... කියල කියන්නා වගේ.කාලෙකට පස්සෙ ඒ මනුස්සය නිදහස් වෙලා ගමට ගිහින්,එදාම ඒ මනුස්සයගෙ අවසානෙ සිද්දවෙලා තියනව.

ඔය ගමන් වලදි අප්පච්චි පාවිච්චි කරේ ලා කොලපාට ගමන් මල්ලක්, ඕකත් අරන් ලියකියවිලිත් අරන් තමා හැමතැනම යන්නෙ.දවසක් මනුස්සයෙක් අහනවලු ආ...මහත්තය!...මදුරු තෙල් ගහන්න නේද එන්නෙ කියල.

තව සිද්දියක් මතකයි,ඒ ගියපු ගෙදරත් මිනිස්සු ගොඩාක් දුප්පත්ලු.ගෙදර ගියා කියල වාඩිවෙන්න පුටුවක් දෙන්න තරම්වත් වත්කමක් නැතිගානයිලු.අදාල කෙනත් එක්ක ගමට ගිහින් පන්සලේ ඉදල,පහුවදා ඒ ගෙදර ගිහින් තියෙන්නෙ.එතකොට ටිකවෙලාවකින් ඒ ගෙදර පොඩි ලමයි දෙන්න අල්ලපු ගෙදර වැට ලගට වෙලා කතාවලු.කියනව ඇහෙනවලු,අද අපේ ගෙදර බත් උයනව!... කියල.

සමහර විට එයාල උදේ-දවල් වේල පිරිමහන්න බත් වෙනුවට වෙන ආහාරයක් ගන්නව ඇති,ඒත් එදා අප්පච්චිට ගොඩක් දුක හිතුනලු,අපිට ඇවිල්ලත් කිව්වෙ, කෑම නාස්ති කරන්න එපාතියනව කියල,මෙහෙම  සිදුවීමක් උනා කියල.

දවසක් දෙකක් තුනක් අපිත් ඔය කියන කදවුරට අප්පච්චිත් එක්ක ගිහින් තියනව,වැව් මාලු උයන්නෙ කූරියම පිටින්,මාරම රහයි.ඒකෙ සමහර හිටපු අය, අපේ ගෙදරත් ඇවිත් තියනව.එක වෙසක් එකකට මට ලොකු අටපට්ටම් කූඩුවකිත් හදල දුන්න.පස්සෙ තමා අප්පච්චි කීවෙ ඔය මනුස්සයත් මිනීමැරුම් කීපයක් වෙනුවෙන් වග කියන කෙනෙක් කියල,අනේ මටනම් බැලූබැල්මට එහෙම පෙනුනෙ නැ.එයා ගාල්ල පැත්තෙ කෙනෙක්,මට විහිලුවට, හීන් හාමිනේ... කියලත් කියනවා.එතකොට මම් 3 වසරේ විතර. 


ප.ලි: ඒ කදවුර තිබ්බ ගොඩනැගිල්ලෙ, මේ වෙනකොට වන්දනාවෙ එන අය වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් පවත්වගන යනව.

Friday, April 22, 2011

Think Green, Act Green, Live Green


අප්‍රේල් 22 වෙනිදා අපි සමරන්නෙ ජාතය්‍යන්තර මිහිකත දිනය(International Earth Day).ලෝකවාසී බොහෝදෙනා මෙදිනට පරිසරය ආරක්ශා කිරීම හා පරිසරය පිළිබද අවධානය වැඩිවශයෙන් යොමුකිරීම වෙනුවෙන් පවත්වනු ලබන විවිධ කටයුතු,අවස්ථාවන්ට සහභාගී වෙනවා.

ලෝකේ දෑනට සිද්ධවෙන සිදුවීම්,මූණපාන පාරිසරික ප්‍රශ්ණ එක්ක බලනකොට ගොඩක් දෙනාගෙ අවධානය දෑන් පරිසරික සංරක්ශණය කෙරෙහි යොමුවෙලා.ඒක නිසයි අපිත් පරිසරය වෙනුවෙන් කරන්නට පුලුවන් සුලු දෙයකින් හරි එයට දායක විය යුත්තේ.

 කසළ  ප්‍රතිචක්‍රීකරණය, පරිසරය අපවිත්‍රකරණය අවමකිරීමට ප්ලාස්ටික් වැනි දේවල් වෙනුවට ජවහායනය(biodegradable) වන ද්‍රව‍‍ය්‍ය භාවිතය,ජලය, විදුලිය අරපරිස්සමෙන් පරිහරණය කිරීම අපට කලහැකි දේවල් අතර මූලිකත්වයක් ගන්නා කරුණු.

ඒ අතර තමතමන්ට පුලු පුලුවන් හැටියට ගෙවත්ත ගස්/පැලෑටි වවල අලංකාර කරගන්නව නම් තවත් වටිනාකමක් එකතුවේවි.මෙන්න මේ ලින්ක් එකෙන් ජාතය්‍යන්තර මිහිකත දිනය  ගැන තවත් තොරතුරු දෑන ගන්න පුලුවන්.