Showing posts with label බෝඩින් ජීවිතය. Show all posts
Showing posts with label බෝඩින් ජීවිතය. Show all posts

Tuesday, December 13, 2011

පාර්ට් ටයිම්


එයා සමීර, දැන් අවුරුදු 21ක් විතර වෙන පොඩි කොලු ගැටයෙක්.අපේ ගෙදර ඉස්සරවෙලාම ආවෙ මගෙ යාලුවෙක් වුන මල්ලි කෙනෙක් එක්ක.ඒ සමීර ඒලෙවල් වලට මෙහෙ සෙන්ට්‍රල් එකට ආව අලුත ,බෝඩිමක් හොයන්න යන ගමන්.මොකද එයාලගෙ ගෙදර තිබ්බෙ පදවිය පැත්තෙ.

ඒ ලමය ඇවිත් තිබ්බෙ අපේ ගෙදර ඉන්න පුලුවන්ද බලන්න,මොකද ඉස්කෝලෙටත් ටියුශන් ක්ලාස් වලටත් ලග නිසා.කොහොම හරි මගෙ යාලුවගෙ කීමට ඒ ලමයව අපි අපේ ගෙදර නවත්ත ගත්තා.එයාට පිටින් හදල  තියන කාමරය දුන්න.අවුරුදු 2ම ඉවර වෙනකම් එයා අපේ ගෙදර හිටියා,ගෙදර අයටත් කිසි කරදරයක් නෑ තමන්ගෙ පාඩුවේ ගෙදරම කෙනෙක් වගේ අන්තිම කාලෙ වෙද්දි හිටියේ.

සමීර ගොඩක් අපහසුකම් මැද්දෙ තමයි ඉගන ගත්තේ.මුදල් හදල් ගොඩක් අඩුපාඩුකම් තිබුනා.අම්මයි තාත්තයි කරේ ගොවිතැන්,තව අක්කලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයිත් හිටියා.අපිත් පුලුපුලුවන් හැටියට එයාට උදව් කරා,කෑම ගත්තෙ පිටින් උනාට ගොඩක් වෙලාවට අපි කනදේවල් වලින් එයාටත් දෙන්න පුරුදුවෙලා හිටියා.

කොහොම හරි මුල්මවතාවට එයාට කැම්පස් යන්න පුලුවන් උනා.අපිටත් ගොඩක් සන්තෝස හිතුනා.දැන් එයා කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරනව.ඉදලා හිටලා අපේ ගෙදරත් ඇවිත් යන්න එනව.දවසක් අම්මට කෝල් එකක් ඒ අර සමීර මල්ලි.ආගිය විස්තර කතා කරන බවක් තමා පෙනුනේ.

අම්ම කතාබහ කරලා සංවාදය නිමාකරේ සෑඩ් මූඩ් එකකින් බව පෙනුනා .අපි අහන්නත් කලින් අම්ම එකට හේතුව කියන්න ගත්තා.

සමීර...

ආ...

දැන් 2 සෙමෙස්ටර් එකේ ස්ටඩි ලීව් ලු.හොස්ටල් ඉන්නෙ කිව්වෙ.

එහෙමද?

ලොකු අක්කත් බැදලා,දැන් බබෙක් හම්බ වෙන්නලු.දෙවනි අක්කා අවසාන අවුරුද්දෙලු.

ආ... අර ඒ කාලෙ මෙහෙත් ආවෙ,ඒ දෙවනි අක්ක නේද?

ආ...න්න ඒ ලමය තමා.

ඉතින්.?

වියදමත් වැඩීලු.මහපොලෙන් ඉතින් කීයද හම්බ වෙන්නෙ ඕක ඇතැයි.මේ ලමය ලෙක්චර්ස් ඉවරවෙලා හවසට යනව කියන්නෙ බදාම දෙන්න..

බදාම දෙන්න???......නෑ...කොහෙද?

අදුරන කෙනෙක්ලු සෙට් කරල දුන්නෙ.සතියට කීපදවසක් යනවලු රෑට.කොහෙද මන්ද මොකද්ද වැඩපලක් කිව්ව.හොද ගානකුත් හම්බ වෙනවලු.

කියවිල්ල එතනින් ඉවර උනේ නෑ අපිටත් හොද උපදෙස් ටිකක් ලැබිලයි ඒක නතර උනේ.ආන්න දැක්කනේ ඒ ලමය කොච්චර මහන්සි වෙනවද ඉගන ගන්න.මෙයාලට අගේ නෑ.දැන් ඕනේ කියන්නෙ මොනාද දැන් ගෙනල්ල දෙනව.එක අතකින් අපහසුකම් දැනෙන්න අරින්න ඔනේ... දුක දැනෙන්න අරින්න ඕනේ... අම්ම ඔහොම දිගට දිගට කියවගන කියවගන ගියා.

අය්යට ගොඩක් දුක හිතිලා තිබ්බ.එයා ටීශර්ට්,කලිසම් ගොඩක් එකතු කරල සමීරට දෙන්න කියල අපිට දුන්න.ලගදි දවසක මං එයාට කෝල් එකක් දුන්න පුලුවන් වෙලාවක ගෙදර ඇවිත් යන්න එන්න කියල.

ස්ටඩි ලීව් එකේ ඉන්නෙ අක්කා....හෙට එන ගමන් එන්නම්!... 

කියල එයා කිව්ව.පස්සෙන්දා දවල් මල්ලකුත් කරගහගෙන අපේ ගෙදර ආවා.

ස්ටඩි ලීව් කිව්ව නේද මේ කොහෙද මල්ලකුත් අරන් යන්නෙ?

ඔව් අක්කා, ස්ටඩි ලීව් එකේ තමා ඉන්නෙ.මේ දවස් වල කුඹුරු වැඩ.මම් ගියා ටිකක් උදව් වෙලා එන්ඩ කියලා මේ දවස් වල කුඹුරුවැඩ, හානව.

Friday, November 4, 2011

දැන් කොහොමද මම් පාරේ බැහැල යන්නෙ :(


එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලන්න හිතෙනවනේ අපිට.ඔන්න මගෙ යාලුවෙකුටත් මේ ලගදී ඉදන් කොන්ඩෙ ගැන එක එක පිස්සු හැදිලා.එක අතකින් ඒක පිස්සුවකුත් නෙමේ.ගෑණු ලමයි ඉතින් ස්භාවයෙන්ම ලස්සනට ඉන්න එක එක දේවල් කරන්න ආසයිනේ.විශේෂයෙන් බියුටි කල්චර් :).කැම්පස් ආව කාලෙ එයාට තිබ්බෙ හොද කර්ල් කොන්ඩයක් ලේයර් කරපු.අවුරුදු 4ම එහෙම ලේයර් එකම තියාගන හිට්යා කොට කර කර කප කපා.

පස්සෙ ක්‍රේල් කොන්ඩෙ හොද නෑ කියල කෙලින් කරන්න ඔනේ උනා.හා යමන්කෝ එහෙනම් කියල මමත් ඉතින් තනියට පස්සෙන් ගියා.එදා එයා කොන්ඩෙ කෙලින් කරා.රීබොන්ඩින්ද මොකද්ද කියල එකක් තමා කරේ.ඒ ගැන ලිව්ව විස්තරේ මෙන්න මෙතන ඇති.

ඒක නම් කාලයක් යනකම් ඒ කියන්නෙ මාස 10 ක් විතර හොදට මේන්ටේන් කරගන හිටියා.මේ වෙද්දි හොදට දිගට කොන්ඩෙ වැවිලා තිබ්බ.රිබොන්ඩින් එක කරේ ලේයර් එක අයින් කරල,ඒ නිසා කොන්ඩෙ එක ගානට දිගට තිබ්බා.

මෙන්න ආය ටික දවසකට කලින් කියනව,අනේ මේ කොන්ඩෙ මට දැන් ඇති වගේ...කොන්ඩෙත් ටිකක් වැවිලා නේද?...ආය ලේයර් එකක් කරන්න ඕනේ... කියල.මටත් මොකද එයාගෙ ආසාවනේ කියල, තනියට ගියා මේ සැරෙත්.කොන්ඩෙ කපාගන එනකම් සැලූන් එකේ තියන පත්තර බල බලා වාඩිවෙලා ඉන්නනේ තියෙන්නෙ,අහ් ඇයි සැලූන් එකට එන යන අය නරඹ නරඹා ඉන්නත් පුලුවන්නේ.

තිබ්බ කොන්ඩෙ ලේයර් කරන කම් පැය 1/2 ක් විතර බලන් හිටියා.

මෙන්න බොලේ මූණ නරක් කරන් එළියට එනව.පස්සෙ සල්ලිත් ගෙවල හිනාවක් දාගනම අපි දෙන්න එන්න ආව.කිසි කතා බහක් නැතුව ඔහේ යනව.මම් වැලමිටට ඇනල මොකද...කියල ඇහුව.

බලන්නකො මම් කිව්වෙ ලෙන්ත් එක තියල කපන්න කියලනේ.එයත් හා කිව්ව.දැන් කොහොමද මම් පාරෙ බැහැල යන්නෙ?හොදටම කොට කරලනේ.මේ...මට බකස් ගාල හිනා යන්න ආවත් ආයාසයෙන් වලක්ව ගත්ත.හොද වැඩේ කියන්නත් හිතලා....පස්සෙ එච්චරටම කැතක් නෑ... ඔය හොදට තියෙන්නෙ... කියල කිව්ව මොකටද නිකන් හිත රිදවන්නෙ.

ඒ සැරේ ආය කියපි කොන්ඩෙ උඩ හරියෙ කර්ල් ගතිය පේනව,දැන් වැවිලනේ...මම් ඉරිදට දාගත්ත රිලැක්සින් එකක් කරන්න කියල.එතකොට කොන්ඩෙ හොදට සෙට්වෙයි.මමත් ඉතින් හා එහෙනම් එතකොට හරියයි කියල නිකන් හිටිය.ඒ කියන්නෙ මේ ඉරිදා මටත් එයත් එක්ක රිලැක්සින් එකට යන්න වෙනව.

Friday, September 16, 2011

පීස්සෙ දිය ඇල්ල බලා...


මගෙ හොදම යාලුවෙක් එයාලගෙ ඇනිවසරි එක වෙනුවෙන්, අපි කට්ටිය එකතු වෙලා නිවාඩු වෙලාවක කොහෙ හරි යං!... කියල යෝජනා කරා. මගෙ උපන්දිනේත් යෙදිල තිබබේ එයාල දෙන්නගෙ ඇනිවසරි එක දවසෙමයි.ඒ නිසාම නෑ...බෑ... නොකියා මම් ඇතුලුව කවුරුත් එක පයින් කියා හිටිය, කොහෙහරි යං කියල.

මතක විදියට විභාගෙටත් ලග දවසක්.විභාග ආතතිය අඩු වෙන්නත් එක්ක යන්න හොද තැනක් ගැන කල්පනා කර කර ඉද්දි කට්ටිය ගෙම අදහස උනේ,අපි කවුරුත් ගිහින් නැති තැනකට යන්න තියනව නම් හොදයි කියල.

ඔන්න ඔහොමයි පීස්සෙ දිය ඇල්ල බලන්න යන්න කට්ටියව සෙට් කර ගත්තේ.

කට්ටිය කිව්වට අපි 6 දෙනෙක් විතරයි ගියේ. මමයි ශානීයි,ජනකයි,ගිටාරියි,පැතලියයි,පනුවයි. 

බෝඩිමේ හිටිය මගෙ යාලුවො දෙන්න තමයි ශානියි,ගිටාරියි.


ජනක අපි කට්ටියටම ඇති වෙන්න  කඩල තම්බලා හොදට මිරිස් දාලා,පොල් කෑලි එහෙමත් කපලා දාලා අරන් ඇවිත් තිබ්බා.කොල්ලො උනාට එයාල බොඩිමේ උයාගන එහෙමත් කෑව,අපි වගේ නෙමේ :) .


මමයි ශානියි ගිටාරියි එකතුවෙලා පෙතිපාන් අරන් මාගරින් ගාල හදාගත්ත,ඒක කෝකටත් ලේසිනේ.ලොකු වතුර බෝතල් කීපයකුත් ලෑස්ති කරගත්ත,මොකද වතුර ශුවර් නෑ ඒ පැති වල.


තව පෙන්ඩෝල්, සිද්ධාලේප...වගේ අත‍ය්‍යවශ්‍ය දේවල් ටිකකුත් පටවගත්තා, කියන්න බෑනේ මේ වගේ ගමනකදී හදිස්සියේ වෙන දේවල්... 

අපි කට්ටියම කැම්පස් එක ඉස්සරහට එකතුවෙලා බදුල්ල ටවුන් එකට ගියා.බදුල්ලේ ස්ටෑන්ඩ් එකෙන් පනුවවත් අල්ලගෙන පස්සර බස් එකට නැග්ගා.

ටිකක් දුර යද්දි ඔන්න මට අර ලෙඩේ...දැන් නම් ශුවර් එකට යන්නම එනව.කොහොම හරි වාවගන හිටියා බහිනකම්ම.

බහින්න ලංවෙද්දිම පැතලියා බුවෑක්...ගාල දැම්මෙ නැතෑ...එහෙම නොවෙනව නම් තමා පුදුමේ...යන වංගු වල හැටියට.

මම නම් එදා බේරුනා බුවෑක්...ලෙඩෙන් ඒත් බස් එකෙන් බැස්සට පස්සෙත් ටිකක් ඔලුව කෑරකැවෙන ගතිය තිබ්බා.

පාරත් සෑහෙන්න පාලුයි,කෙනෙක් දෙන්නෙක් ඉදලා හිටලා පාරේ එහෙ මෙහෙ යනව.වාහනත් නෑ.බැස්ස තැනම තිබ්බ බස් හෝල්ට් එකක් වෙනුවෙන් හදලා තිබ්බ,පොඩි ආවරණයකට වෙලා අපි උදේ කෑම ගත්තා,ඒ වෙද්දි ඔක්කොටම හෙනටම බඩගිනි හැදිලා තිබ්බෙ.


ගෙනිච්ච පාන් ටික කාල බඩ පුරවගන කට්ටිය තේ වත්ත මදින් පල්ලම් බහින්න පටන් ගත්තා...මග තිබ්බ කඩේකින් ලොකු බීම බෝතල් කීපෙකුත් ගත්තා.වතුර මදිවුනොත් කියල.


සෑහෙන දුරක් පයින් ගියාට පස්සෙ මෙන්න වතුර ගලන සද්දේ ඇහෙන්න පටන් ගත්තා.තෙතබරිත පරිසරයක් තමා තිබුනේ,අහන ආහන අය නම් කිව්වෙ මේ දවස් වල නම් ඇල්ල බලන්න යන එක එච්චරම හොද නෑ...,වතුරත් වැඩී අනික යන්න බෑ... ලිස්සනව! කියල.


මෙච්චර දුර ආපු එකේ හැරිල යන්නැයි,ඔන්න ඔහෙ ආව එකේ ගිහින්ම යන් කියල අපි ඇතුලටම ගියා.අපි දන්නවැයි ඉතින් ඒ කිව්ව එකේ භායානක කම.මගක් ගියාට පස්සෙ තමා වැඩේ බරපතලකම තේරුනේ.


යනකොටම පොඩි වානකින් වගේ එකකින් තමා ඇල්ල පැත්තට යන්න ඕනේ,වතුර ගලනව හෝ ගාලා කොහොමින් හරි අත් අල්ලගන ලිස්සලා යන්නෙ නැතුව එගොඩ උනා.

අම්මෝ ලිස්සලා ගියානම් කොහෙන්නවතීද කියල හිතාගන්නවත් බෑ. 

ඔහොම කැලේ ඇතුලෙන් ගිහින්... ගිහින්... යන්තම් පාර හොයාගන ගියා කැලේ ඇතුලටම.යනව... යනව... ඉවරයක් නෑ.ඇල්ලේ සද්දේ ඇහෙනව ඒත් පේන්නේ නෑ,වෙලාවකට අපිට හිතුනා පාර වැරදිලාවත් ද කියලත්.

අන්තිමට තිරණය කරා බැදලා තිබ්බ කානුව දිගේ යන් කියල,ඒක සෑහෙන ලොකු කාණුවක්, වතුර ගලා යන යනව පිරිලා ඉතිරිලා.ඕන එකක් වෙච්චාවේ කියල ගැට්ටෙන් අඩිය තිය තියා හිමීට හිමීට ගියා...,වැටුනා එහෙම නම් සෑහෙන පහතකට රූටල යනව.

ඔහොම ගිහින්... ගිහින්... කැලේ අස්සෙ  හැදිලා තිබ්බ පොඩි අඩි පාරක් දිගේ ඇවිත් අපි ගල් පොත්තක් ලගට ආව,ඇවිත් ගෙනාව බීම වලින් පිපාසේ නිවාගන,කඩල වලට වග කිව්වා,ඒ වෙද්දී සෑහෙන බඩ ගින්නකුත් තිබ්බා.

ඒ අස්සේ කූඩැල්ලොත්  සමහරුන්ගෙ කකුල් වල එල්ලිලා.සිද්ධාලේප අරන් ගිය එක හොදට ගියා.


ගමන පටන් ගද්දි තිබ්බ පොද වැස්ස එන්න එන්නම වැඩිත් කරනව.කරන්න දෙයක් නෑ,ලගටම ඇවිත් ආපහු හැරිලා යන්නත් බෑනේ.ඒ අස්සෙ ගස් එහෙමත් කඩාගන වැටිලා,අපේ ගමන අඩාල කරන්න ඒකත් හේතු උනා.බාගෙට තෙමිලා කට්ටියම.කැලේ ඇතුලේ කුඩ ඉහලගන යන්න කියලැයි!...

මෙන්න ඇල්ලේ සද්දි ටික ටික වැඩි වෙනව,එතකොටම  එකෙක් කියපි අන්න ඇල්ල කියල,එතකොටම අපි දැක්ක ඈතින් පීස්සෙ ඇල්ල!.


පුදුම හදිස්සියක් තිබ්බෙ ඇල්ල ලගට යන්න,ඇයි සෑහෙන කට්ටක් කෑවනේ මේක බලන්න එන්න.

මාර ලස්සනයි එකපාරටම උඩ ඉදන් වතුර කඩාගන වැටෙනව.එතන ඇල්ල බලන්න එන අයටත් ටිකක් උඩට නැගලා බලන්න ආරක්ශිත ආවරණයක් හදලා තිබ්බ.ඇල්ල බලන අයගේ ඇගවල් පිණිවලින් නෑ වෙනව.ඒ වෙලාවෙත් වැස්ස,අනික ඇල්ලෙන් වැටෙන වතුර වල පිණි.


ගොඩාක් වෙලා  අපි  ඇල්ල දිහා බලාගන හිටියා.එන්න සිහියක් නෑ එක්කෙනෙක්ට වත්.ඒත් ඉතින් හවස් වෙන්න කලින් එන්නත් එපැයි.ටික වෙලාවක් ඉදලා එන්න ආව.යද්දි බැහැගන බැහැගන ගියාට උඩට එද්දි සෑහෙන මහන්සියි.කන්දක්නේ නගින්න තියෙන්නෙ.බෑ කියල බෑනේ කොහොම හරි නැගලා නැගලා ආවා.



සෑහෙන වෙලාවකට පස්සෙ කැලෙන් එලියට ඇවිත් වානත් පහු කරලා එනවත් එක්කම,පොඩි වෙලාවකින් මෙන්න තඩි වැස්සක් පාත් උනා.කිලෝමීටර් ගානක් අපි වැස්සේ බාගෙට තෙමි තෙමී තේ වත්ත මැදින් වැටිලා තිබ්බ පාරේ ඇවිදගන ආවා.අවට ගොඩාක් ලස්සනයි,කදු...මීදුම...හැමදේම එක්ක අමුතුම ලස්සනක් එකතුවෙලා තිබ්බ.


ඔහොම සෑහෙම දුරක් පයින් ඇවිත් තමයි බස් එකකට නැග්ගේ ආයම බෝඩිමට එන්න.

පස්සරට ඇව්ත් බදුල්ල හරියට එද්දි ටිකක් විතර හවස් වෙලා.අපි කට්ටියම කැම්පස් එක ලගින් බැස්සා,පනුව බදුල්ලටම ගිහින් කොළඹ බස් එකක නැග්ගා කියල මැසේජ් එකක් එවල තිබුනා..ගියපු ගමන් වලින් සෑහෙන්න විනෝද වුන ඒවගේම බොහොම භයංකර ගමනක් තමා ඒක.

මෙන්න අපි ගිය පාර: අපි නම් බදුල්ල ටවුන් එකේ ඉදලා පස්සරට ගියා... බදුල්ල - පස්සර බස් එකේ,ගිහින් බිබිල පාරේ 10 කිලෝමීටර් විතර යන්න ඔනේ.එහෙම ගිහින් පීස්ස හන්දියෙන් බැස්සා.ඊට පස්සෙ ඉතින් පයින් සරණං ගච්චාමී කියල, තේ වත්ත මැද්දෑවෙන් යන්නයි තියෙන්නෙ උඩටම.


(ප.ලි: මට අමතක වෙලා තිබ්බ පාර මතක් කරලා දුන්නෙ ශානි.ස්තූතියි ඔයාට. )

Monday, August 8, 2011

බෝඩිමට මොකෙද්ද ඇවිල්ලා | Who's this?



මේ කතාව මම් කලින් කිව්ව තුන්වෙනි බෝඩිමේ ඉද්දි වුන සිද්දියක්.

මම් ඒ පොස්ට් එක අවසාන කරේ අපිට තිබ්බ වතුර ප්‍රශ්නේ ගැන කියල.ඔය ටැංකියෙන් ගොඩක් වෙලාවට වතුර පාවිච්චි කරේ අපේම කට්ටිය තමයි.

ආන්ටිලාට වෙනම්ම ටැංකියක් තිබ්බ ඒ ගෙදර පිටිපස්සට වෙන්න.එහෙ හිටපු නංගිලත් පාවිච්චි කරේ ඒ ටැංකිය නිසා වතුර බිල් ප්‍රශ්නෙදී ගැටලුවක් උනෙත් නෑ.

අපි හිටපු පළාත කදුකර නිසාම,පස් කන්ඩියක් කපල සමතලා කරල තමයි වතුර ටැංකිය තිබ්බ තැන හදලා තිබ්බෙ,කිසිම ආවරනයක් තිබ්බෙ නෑ හතර වටේට....

ටකරං වහලයක් විතරක් හයි කරල තිබ්බ,තැනින් තැනින් අහස පේන...

ඒ හරියෙම ඊට උඩින් තිබ්බෙ ගෙයක්.ඒකත් කුලියට දීලා,හිටපු ගමන් ඩිලිවරි වලට යන ලොරි වගේ ඒවාත් නවත්තලා තියනව.අපි නාන තැන ඉදන් කෙලින්ම උඩ බැලුවම පෙනුනේ ඒ ගෙදර වත්ත වෙන්කරල තිබ්බ වැට.

ආවරණයක් කරල දෙන්න කියල කරපු කන් කෙදිරිය නිසාම ආන්ටි කලු පොලිතින් ගෙනල්ල දුන්න ඒ පැත්තට විතරක් වත් ආවරණය කරගන්න කියල.

හොස්ටල් වල හිටිය අපිට මේක හෙනම කට්ටක් උනා.(අලුත්ම හොස්ටල් වල තිබ්බ පහසුකම් ගැන වෙනම පෝස්ට් එකක දාන්නම්කෝ.)මොනව කරන්නද කියල ඉවසනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.

ඒ කාලේ අපිට ගොඩක් ලෙක්චර්ස් තිබ්බෙත් හවස් ජාමේ.උදේවරුවෙත් තිබ්බෙ නැතුව නෙමේ,ඒත් හවස ලෙක්චර්ස් ගිහින් ආවහම තියන දෙයක් කාලා,තේ එකක් එහෙම බීල, ඕපයක් ගහල ඉවර වෙද්දි ටිකක් පරක්කුවෙනව ඇග සෝදගන්න එහෙම.

අනිත් එක කිව් එකේ ඉන්නත් එපැයි,කට්ටිය ඔක්කොම11 දෙනෙක් විතරනේ...

සමහර දවස්වලට හවස ලෙක්චර්ස් ඇරිලා එද්දිත් හවස 6.30 -7 වගේ වෙන වෙලාවලුත් තිබ්බ.ඔන්න ඔය වගේ දවසක ඕප ගහගහ ඉදලා මම් නාලා ආව විතරයි ඇග්‍රි සෙට් එකේ එක්කෙනෙක් ගියා නාන්න.

ටිකවෙලාවකින් එහා පැත්තෙ ජූනියර්ස්ලා එයාලගෙයි අපෙයි කාමර වෙන කරල ගහල තිබ්බ දොරට ගහනව.

ලොක්කක්කේ!!

ඒ කතා කරන්නේ මට.

ඔයා දැන් නේද නාලා ආවේ?...

ඔව් ඇයි?...

ඒයි මේ!...ඉක්මනට එන්නකෝ!...

ඇයි මොකෝ?...මම් විහිලුවට වගේ ඇහුව.
 
මේ විහිලුවට නෙමේ...එන්නකො ඉක්මන්ට!...ආ...මේ...මේ...උඩ ස්ලැබ් එකට යන දොර වහලද?...

නදී අක්කේ!...

ඔව්... ඔව්...බොල! වහල තියෙන්නෙ... මම් මේ දැන් උඩට ගිහින් ආවෙ.

අක්කෙ මේ අර අනිත් නදී අක්ක නාද්දි කවුද කෙනෙක් ස්ලැබ් එක උඩ ඉදන් බලාගන ඉදලා... එන්නකො... මේ ඇන්ටිත් ඇවිත් ඉන්නෙ !...දොරත් වහගන එන්න හරිද?...

මගෙ ඇගේ හිරිගඩු පිපුනා....ඊට ටික වෙලාවකට කලින් මම් ස්ලැබ් එක උඩට  ගිහින් ආවේ!...අම්මෝ....

සමහරු රෑට මල් කඩන්නත් උඩට යනව, හිටපුගමන්!...

අනිත් අයටත් කියල දනිපනි ගාල දොරවලුත් වහගන, ෆෝන් වල ලයිට් එහෙමත් ඔන් කරන්...ටෝච් අරන්...ගියා වතුර ටැංකිය ලගට.සමහරු වෙව්ලනව, බයේ වහල දිහා බලන්නත්.

මෙන්න අනිත් නදී ඉන්නව බය වෙලා වගේ...ආන්ටිත් එක්ක හරි හරියට කතාව!...

අපි යද්දිත් ආන්ටි ප්‍රමුඛ පිරිස වටවෙලා උඩ බලනව ලයිට් ගහ ගහ.

මොන...මොකෙක්වත් හිටිය පාටක් නෑ.

මොකද උනේ!...?

නදීට ඇඩෙන්න ඔන්න මෙන්න.

අනේ මම් දන්නෙ නෑ...මම් නාලා කොන්ඩෙ පිහදදා හිටියේ...

එක පාටටම හෙවනැල්ලක් වැටෙනව වගේ දැනුන...

මම් උඩ බලද්දි...මිනිහෙක් බලාගන ඉදලා ටක් ගාලා අයන් උනා...අර අර...අතනින්...

මේ තාමත් හිරිගඩු පිපිලා...මම් ටග් ගාලා නංගිලාට කතාකරා...

ලයිට් එක දාල තිබ්බෙ නැද්ද?

තිබ්බා!...ඒත්..ස්ලැබ් එකට එළිය වැටෙන්නෙ නැනේ...මම් නිකමට වගේ උඩ බැලුවේ...

මම ටග් ගාල පැනල ඇහුවා,මාව නෙමේ නේද දැක්කෙ?...කියල,මොකද ටිකකට කලින් මම් උඩට ගිහින් ආව නිසා.

පිස්සුද මට ඔයාව අදුරන්න බැරිද?

අනික ඔයා කොහොමද මෙතන්ට එබෙන්නෙ?

අර අයිනෙන් එබුනේ...

මට හරියකට මූන පෙනුනේ නෑ බයවෙච්ච පාරට.මම් බැලුව ගමන් ඒකා අයින් උනා.

ආන්ටි පරළවෙලා!...මේවගේ දෙයක් උපන්තේකට උනේ නෑ...අපේ ගෙදරට!...

ශුවර් එකටම අර උඩ ගෙදර නැවතිලා ඉන්න එකෙක් වෙන්න ඕනේ.හිටහන්කෝ උදේවෙනකම් මම් කොරන්ඩ...

සෑහෙන කතා බහකට පස්සෙ කට්ටිය විසිරුනා,එදා ගොඩක් රෑ වෙනකම් හරියකට නින්ද ගියෙත් නෑ.

කට්ටියගේ උපකල්පන කෝටියයි.

ජරා මිනිහෙක් වෙන්න ඕනේ...ශුවර් එකටම!...

හොරෙක් වෙන්නත් පුලුවන්!...මැශින්ස් එහෙමත් තියනවනේ!...

නැනෑ... ශුවර් එකටම අපිව බය කරන්න  මෙයා ගොතපු කතාවක්!...ඒ මිනිහා ඔතන හිටියනම් අනිත් අයටත් පේන්න එපැයි?...

අනේද කියන්නෙ! මමත් ඊට ටිකකට කලින්නේ ඔතන ඉදන් ආවේ!...ඒ වෙද්දිත් හිටියද දන්නෙ නැ.මම් ඉතින් වට පිට බලන කෙනෙක්යැ?...

ඔහොම කතා ගොඩයි...එදා රෑ.


කොහොම හරි මම්ත් ඇතුලුව රෑට තනියම එළියට බැහැල එන අනිත් අයත් පස්සෙ පස්සෙ තව කෙනෙක්ගෙ පිහිට පැතුවා බයටම.

නිදාගන හිටිය කෙනෙක් උනත් ඇහැරවගන එන්න උනා රෑට එළියට යනව නම්.

ආන්ටි කීපදවසක් ඒ ගැන කිය කිය හිටියා,ඒත් එබිලා බැලුව එකාව නම් හොයාගන්න බැරි උනා.

Thursday, August 4, 2011

තුන්වෙනි බෝඩිම | 3rd Boarding House


අපි අවසානයට කලින් හිටපු බොඩිම තිබ්බෙ හරියටම කැම්පස් එක ඉස්සරහමයි.

4 වෙනි අවුරුද්දෙ අපිට හොස්ටල් වලින් අයින් වෙන්න උන නිසා බොඩින් හොයාගන්න උනා,කොහොම හරි හතර වටේට ඇවිදලා ඇවිදලා අන්තිමට සෙට් උනේ කැම්පස් එක ඉස්සරහම තිබ්බ බෝඩිමක්.

ඒ වෙද්දිත් ගොඩක් කට්ටිය ඇවිත් බෝඩිම බුක් කරලා,වෙන කරන්නම දෙයක් නැති තැන අපි දෙන්න,(මමයි මගෙ යාලුවයි).එදා හවස, තිබ්බ සබ්බසකලමනාවම කරගහගන එතන්ට පදිංචියට ගියා.

ඉන්න විතරක් ඒ කාලෙ හැටියට 1500ක්,ලයිට් වතුර වෙනම, අපි පාවිච්චියෙ හැටියට ගෙවන්න ඕනේ කට්ටිය බෙදාගන.

එක වත්තෙ ගෙවල් දෙකක් තිබ්බ. එකක හිටියෙ බෝඩිම අයිති ආන්ටි තනියම,ආන්ටිට දුවල දෙන්නයි දෙන්නම් විවාහ වෙලා ගිහින්,අන්කල් එක දුවකගේ ගෙදර නැවතිලා.

වටපිටාවෙ අයනම් කිව්වෙ ඔය ගෑණිගෙ කට හොදනෑ!...මිනිහෙක් ඉදීයෑ!...කියල.

ඒ ගෙදරත් අපේ කැම්පස් එකේම ජූනියර් නංගිලා 5 දෙනෙක් හිටිය,අපි හිටපු ගෙදර වෙන් වෙලා තිබ්බෙ ඔක්කොම බොඩින්කාරයොන්ට.

ඒක බොඩින් ආන්ටිගෙ එකම පුතා වෙනුවෙන් අලුතෙන් හදාගන යන ගෙයක්. අපරාදේ කියන්න බෑ අය්ය හරිම හොදයි,මාසෙකට විතර සැරයක් කොළඹ ඉදන් ගෙදර ඇවිත් යනව,හ්ම්,,,සද්දයක් නෑ.ගෙදර ඉන්නවද නැද්ද කියල,ඒ තරමට ගුණයහපත්.

ඒ වෙද්දි එයා බැදලා හිටියෙත් නෑ.දන් නම් බැදලා කියල ආරංචියි :).

අපි හිට්ය ගෙදර යට තට්ටුව හදලා උඩ ස්ලැබ් එකදාලා. තාම දෙවනි තට්ටුව හදලා ඉවර කරල නෑ.කම්බිකූරු ටික විතරක් උඩට තියනව.ඔය කම්බිකූරුවල ලනු බැදලා තමයි අපි රෙදි වේලුවේ.

මොකද අපි හිටපු පළාතේ අව්ව දකින්නෙත් කාලෙකටනේ,උඩ ස්ලැබ් එකට අව්ව නොවැටුනත් රස්නෙට හොදට රෙදි වේලෙනව.


අපේ ගෙදර හිටියෙ අපේ වසරේම ඇග්‍රි කරන සෙට් එකක්,ඇග්‍රි සෙට් එකේ 5 දෙනෙක් වෙනම කාමර දෙකක.

අපේ සුපර් ජූනියර්, මැනේජ්මන්ට් කරපු නංගිලා තුන්දෙනෙකුත් තව කාමරේක හිටියා,එයාලගෙ කාමරේ දොර තිබ්බෙ එලියට විවෘත වෙන්න.

අපේ කාමරේ හිටියෙ කොම්පියුටර් සයන්ස් කරන තුන්දෙනයි,මෙකාට්‍රොනික්ස් එකයි.

ඒදවස් වල බැචස් අතර පොඩි පොඩි අවුල් තිබ්බ නිසා ආන්ටිම අර නංගිලා තුන්දෙනාගෙ කාමරේ වෙනම වෙන විදියට ඇතුලෙන් යන්න බැරි වෙන්න ලෑලි දාල වහල තිබ්බ,යන්න එන්න බැරි වෙන්න.

ඇග්‍රි සෙට් එකත් එක්ක අපි හිටියේ එකට. 

බොහොම අඩු පහසුම් තිබ්බත් තව මාස 6ක විතර කාලයක් ඉතුරුවෙලා තිබ්බ නිසා අපි පාඩුවේ වැඩ ටික කරගන ඉවසගන හිටියා.

අනික මොනවා උනත් කැම්පස් එක ඉස්සරහ වෙච්චි,හවස් වෙලා උනත් තනියම යන්න එන්න පුලුවන් දුරනේ.

අපි හිටපු කාමරේ මැශින්ස් 4ක් තිබ්බ,ලැප්ටොප් දෙකයි අනිත් ඒව ඩෙස්ක්ටොප්.ඉඩපහසුකම් අමාරුවෙන් පිරිමහගත්තා.

ඉඩපහසුකම් මදිපාඩු,අරව මේවා මේස පුටු හිගකම් ගැන කියන්න යන එකෙන් නම් කිසිම වැඩක් උනේ නෑ.

ආන්ටි හැමවෙලේම කර අරින්න උත්සහ කරේ,

මොනා දුව! මට ඇහෙන්නෑ...ටිකක් හයියෙන් කියන්ඩකෝ!...

ඉතින් අපි සද්ද දාලා කතා කරන්න ඕනේ.කතාකරාම,

මොනා කරන්නෙ දුව!...මේ තනි මම්...හැමදේම කරගන්න එපැයි...

කියල.එයා ඒක කපටි කමට පාවිච්චි කරපු වචන කීපයක්.

මොනවා කරන්නද අපේ අම්මල වගේ වයසක මනුස්සයා නිසා මොකවත් කියන්නත් බෑ,අනික එයාගෙ තැන නේ අපි ඉන්නෙ ඒ නිසා හැමදේම ඉවසගන හිටියා.

අනික ඔක්කොමටම වඩා හොද දෙයක් තිබ්බ,පිරිමි නැති ගෙදරක් කියල බයවෙන්න කිසිම කාරණාවක් තිබ්බෙ නෑ.ආන්ටිගෙ කට ගමේ හැමෝම දන්න නිසා,ඒක අවුස්සගන්න කවුරුත් කැමැත්තෙන් ඉදිරිපත් උනේ නෑ.

එකම අවුලකට තිබ්බෙ වතුර ප්‍රශ්නේ,මූණ හෝදන්න,නාන්න රෙදි හෝදන්න තිබ්බෙ ටැංකියකින්, ඒකත් තිබ්බෙ ගෙදරින් එලියෙ ගෙවල් දෙක අතර.

අඩුගානේ තේ එකක් බීලා කෝප්පෙ හෝදගන්නවත් සින්ක් එකක් අපි හිටපු පැත්තේ ඉබ්බෙ නෑ.

ඒකටත් රෑ මැද එළියට එන්න උනා.

Tuesday, June 14, 2011

සුදු බදපටිය | White Belt - 04

සුදු බදපටිය | White Belt - 01
සුදු බදපටිය | White Belt - 02
සුදු බදපටිය | White Belt - 03

තරුණ වයසේ පිරිමි කෙනෙක් ඇවිල්ල හිටියෙ බෝඩිමේ අක්කලගෙ ගෙදරට,එලියෙ ඉදන් ටිකක් හයියෙන් කතා කරනව,ඒ ගෙදරයි අපේ බෝඩිමයි ගෙවල් දෙකක් වුනාට එකලග, එකිනෙකට මුහුනලා තමයි තියෙන්නෙ.

පිරිමිකෙනා: රසිකා ඉන්නෙ මෙහෙද?
බෝඩිමේ අක්කා: ඔව් මෙහෙ තමයි!...ඔයා කවුද?
පිරිමිකෙනා: මම?, මම් කවුද කියල, කියල දෙන්න එයාට එන්ඩ කියන්ඩ,කෝ... එයා ඉන්නවද බෝඩිමේ?...
බෝඩිමේ අක්කා: ඉන්නව.රසිකා!....රසිකා!....

ඒ සද්දෙට මූණ හෝද හෝද හිටපු අර නංගි එලියට ආව,එයා හරියටම අපේ බෝඩිම ඉස්සරහ  තියන දොර ලගට වෙලා බලන් ඉන්නව.අපි දෙන්න අපේ කාමරේ දොර ලග.

පිරිමිකෙනා: ආ...මේ ඉන්නෙ මෙහෙ වර තෝ කොහෙද යකෝ ඊයෙ ගියෙ?...
නංගි: මම් ෆිල්ඩ් ට්‍රිප් එකක් ගියා...එද්දි ටිකක් රෑ වුනා.බෝඩිමේ අයට කියල ගියෙ.
පිරිමිකෙනා: ආ එහෙමද?මම් කතා කරා උබේ ෆැකල්ටියෙ ඉන්න එකෙක්ට ඌ කිවෙ එහෙම එකක් ගියෙ නෑ කියල?
නංගි: නෑ ගියා...කාටද කතාකරේ?...
පිරිමිකෙනා:  සුපුන්ට!...
නංගි:  එයාල කරන්නෙ වෙන සබ්ජෙක්ස්,එයාල ගියෙ නැ අපිත් එක්ක.
පිරිමිකෙනා: එහෙනම් දීපන් ගිය සර් කෙනෙක්ගෙ හරි නොම්බරයක් මට කතා කරල බලන්ඩ ,උඹ කියන්නෙ ඔක්කොම බොරු.මේකි මාව රෑවැට්ටුව මදිවට තව බොරු කියන්නත් එනව.
බෝඩිමේ අක්කා: මේ මෙතන තව ගෑණු ළමයි ඉන්නව,ඔයාට ඔහොම කෑගන්න අයිතියක් නෑ.කරුණාකරල යන්න.ගෙදර මහත්තයත් නෑ මේ වෙලාවෙ?ඔයා කවුද කියල අපි කොහොමද දන්නෙ?
පිරිමිකෙනා: මම් කවුද කියල මෙයාගෙන් අහන්ඩ,මම් වැඩ කරන්නෙ ....මාධ‍‍ය්‍ය ආයතනයේ.මෙයා මාත් එක්ක අවුරුදු 3ක් එක කාමරේ හිටියෙ,කියපන් මම් කියන්නෙ බොරුද? කියපන්!...

එහෙම කියල එක ආයතනයක අයිඩී කාඩ් එකකුත් අක්කට පෙන්නුව. අර නංගි හිමින් සැරේ ඔලුව වැනුව.සෑහෙන්න බය වෙලා වගෙයි තේරුනේ.අපිට හරියට පෙනුනෙ නෑ,අපි හිටිය කාමරේ ඇතුලට ගිහින් ඒ වෙලාවෙ.අපි දෙන්නත් බය භීතවෙලා!...මේ මොකෑ බොල මේ වෙන්නෙ කියල.

පිරිමිකෙනා: මේකි මේ හතර වෙනි බෝඩිමේ ඉන්නෙ,එක බෝඩිමකවත් සතිකීපෙකට වඩා ඉන්ඩ බෑ,පාඩම් කරන්න ඕනෙ කියල බෝඩිමකට යන්න ඕනෙ කිව්වෙ.මේකිට තියන ......විසේ.තෝ දැනගන් තෝ...කැම්පස් එක ඉස්සරහ ත්‍රීවීල් කාරයො එක්ක යනව කියලත් මම් දන්නව,තෝ විතරක් නෙමේ තොගෙ යාලුව අර....ත් එහෙම....ක් තමා.දැනගන් මම් කැම්පස් නොගියට මට ඔය විස්තර කියන්න ඕන තරම් උන් ඉන්නව ඕක ඇතුලෙ.මම් අද තෝ මරණව,වරෙන් යන්ඩ මාත් එක්ක,යමන් මේ දැන්ම.
නංගි: මට බෑ,
පිරිමිකෙනා: වරෙන් යන්ඩ!...
නංගි:  බෑ මම් යන්නෙ නෑ.මට අම්මලට කතාකරන්න ඕනේ.
පිරිමිකෙනා:  තෝ ඔච්චර හරියක් කරේ තොගෙ අම්මලට කියලද යකෝ.වරෙන් යන්ඩ තෝ අද මගෙන් මැරුම්කනව.
බෝඩිමේ අක්කා:  මෙ මේ...ඔයා කවුද කියල හරියටම අපි දන්නෙ නෑ.කවුද රසිකා මේ?ඔයා අදුරනවද මෙයාව?
නංගි ඔලුව වැනුව.
බෝඩිමේ අක්කා: එහෙනම් ගිහින් ප්‍රශ්නෙ විසදගන එන්න,මෙහෙම කතා කරල විසදගන්න බෑනේ,අනික මේක බෝඩිමක්, මේ ගෑනු ලමයි ඉන්නෙ.මෙහෙම හැසිරෙන්න දෙන්න බෑ.අපිත් පාරෙ බැහැල යන්න ඕනෙ.

අර නංගි කෙලින්ම කාමරේට ආව,අපි දෙන්න තාමත් ගල් ටික් වෙලා බලන් ඉන්නව.අපි දෙන්නගෙ මූණවත් බලන්නෙ නැතුව ෆීල්ඩ් ට්‍රිප් එක අරන් ගිය ට්‍රැවලින් බෑග් එක අදින්න ගත්ත,ඒකෙන් මගෙ යාලුව දුන්න බෙඩ්ශීට් එකත් ගුලියක් වෙලා විසික් වුනා.ඒකෙ තිබ්බ ඇදුමක්ම ඇදගන හෑන්ඩ් බෑග් එකත් අරන් මෙයා කාමරෙන් එලියට ආවා.


හ්ම්...යමන්... කියල දෙන්න එක්ක ගේට්ටුවෙන් එලියට ආව,පස්සෙ ඇවිත් තිබ්බ මෝටර් සයිකලයට නැගල, සෑහෙන වේගෙන් ඈතට ගිහින් නොපෙනී  ගියා. 

ඒ මම් එයාව දැක්ක අවසාන වතාව, බෝඩිමේ අය අතර කසුකුසුව ගොඩක් දිග්ගැස්සුනා,අපි බය වුනා මොනව හරි දෙයක් වුනොත් කියල,අර කිව්වත් වගේ ඇත්තටම මැරුවොත්!...ඒ නිසා අපි කිව්වෙ ගෙදර නොම්බරේ දීලනෙ ඇත්තෙ, අක්ක කෝකටත් කෝල් එකක් දෙන්න කියල.ගෙදරට ෆෝන් නෑ කියල අහල පහල ගෙදරක නොම්බරයක් දීල තිබ්බලු,ඒකට අරන් තියනව කතා කරල විස්තරේ කියන්න ගෙදරට.ඒ නොම්බරෙත් වැඩ කරල නෑ.


ඒත් ගෙදරින් කතාකරන්නෙ කියල සමහර දවස් වලට බෝඩිමට කෝල්ස් ආව නොම්බරයක් තිබිල තියනව,හැමදාම කතා කරන්නෙ පිරිමි කෙනෙක්ලු.ඒකට ගත්තම එහෙම කෙනෙක් නෑ...කියල.

අපි හිතුව ඔය කීවට සමහර විට හවස් වෙද්දි ආයම බෝඩිමට එයි කියල,බලන් හිටිය ඒත් එන පාටක් තිබ්බෙ නෑ.බෝඩිමේ අක්ක කිව්වෙ ඔය වගේ අයට ඕන තරම් තැන් තියනව,අනික කිසි බයක් සැකක් නෑ.එහෙම තියනව නම් මේ වගේ දේවල් කරයිද?මොකක් හරි ගුබ්බෑයමක ඉදල හෙට උදේට ආපහු මොකුත් නොවුන ගානට එයි.ආවහම මම් යන්න කියනව,හොයල බලන්නෙ නැතුව නතර කරගන්නවට ඕව අපිට හොද පාඩම්!...කියල.එයාලටත් ඕනෙ කරේ සල්ලි විතරයි,ඒත් ඔහොම බෝඩින් හොයාගන එන අය කොච්චර නම් ඉන්නවද?කාල බලල ගන්නැයි මිනිස්සු!...


කීප දවසක්,මම් හිතන්නෙ දවස් 5ක් 6ක් විතර යනකම් එයාගෙන් තොරතුරක් ලැබුනේ නෑ.විසිකරලා දාපු රෙදි ටිකත් ට්‍රැවලින් බෑග් එකේ එහෙම්මම තිබ්බ.


ඒ අස්සෙ දවසක් බෝඩිමේ පොඩි එකා ඇවිත් කියනව,ඒකනෙ අක්කි මම් ඔයාලට කිව්වෙ අර එයා ඇදන් යන එක නෙමේ ඇදන් එන්නෙ කියල...ඔයාල ගනන් ගත්තෙ නෑනේ...


එක දවසක් අපි වැඩ ඇරිල එද්දි එයාගෙ ඇද හිස් වෙලා,ට්‍රැවලින් බෑග් එකෙන් ගුලියක් වෙලා එලියට විසික් වුනු මගෙ යාලුවගෙ බෙඩ් ශීට් එක විතරක් ඇද උඩ තියනව.


බෝඩිමේ පොඩි එකා දුවගන ඇවිත් කිව්ව,රසික අක්කි එදා ආව අය්යත් එක්ක ඇවිල්ල බඩුටික අරන් ගියා, අලුත් බෝඩිමකට යනව කියල,අක්කිගෙන් ගත්ත කිව්ව සල්ලි ටිකත් අම්ම ඉල්ලගත්ත,පස්සෙ දෙයි...


මට එකපාරටම මතක් වුනේ වයිට් බෙල්ට් එක!...දවසක් මට වයිට් බෙල්ට් එකක් ඕන වෙලා, ඒ නංගි ලග තිබ්බ බෙල්ට් එක මට දුන්න, අක්ක මේක දාගන යන්න...මම් වැඩිය මේක පාවිච්චි කරන්නෙ නැ...කියල.ඒදා සිකුරාදා දවසක්,අපි කැශුවල් අදින දවස,මම් ඒක ඔෆිස් දාගන ගියා.තාමත් ඒ බෙල්ට් එක මම් ලග.

Monday, June 13, 2011

සුදු බදපටිය | White Belt - 03


සුදු බදපටිය | White Belt - 01
සුදු බදපටිය | White Belt - 02

ඊට ටික දවසකට පස්සෙ බෝඩිමේ අක්ක කිව්ව, එයා බෝඩිමට ආවෙත් යාලුවෙක් එක්ක,අම්මල තාත්තල වත් නෙමේ ගෙනල්ල බාර දුන්නෙ කියල.ඒක නම් අපි එච්චර ගනන් ගත්තෙ නෑ.


මොකද කැම්පස් අය හිටිගමන් ඔහොම බෝඩින් මාරු කරනවනේ.ඒත් එක්කම කියපි,කලින් ඉදල තියෙන්නෙත් මම් දන්න මේ ලග පාත තැනක,එතනින් යන්න කියලයි මෙයා මෙහෙ ඇවිත් තියෙන්නෙ ...කෝකටත් ඔයාල ටිකක් පරිස්සමෙන් ඉන්න කියල.අපි දෙන්නගෙ කාමරේ ඉන්න නිසා ඒ ඔක්කොම කතා බෝඩිමේ අක්කා අපිත් එක්ක කියනවා,අපිත් අහන් ඉන්නව.

එක දවසක් ෆීල්ඩ් ට්‍රිප් එකක් යනව,රෑයක් නවතින්න වෙනව කියල බඩුත් පැක් කරගන ගියා.අවශ‍‍ය්‍ය අඩුම කුඩුම සමහර ඒවා ඉල්ලගත්තෙ මගෙ යාලුවගෙන්,අමතර බෙඩ්ශීට් එකක් වත් එයාට තිබ්බෙ නෑ.මගෙනුත් සල්ලි කීයක්ද ඉල්ලගනයි ගියේ.


එදා ගිහින් ආවෙ රෑ 11.30ට විතර,බෝඩිමේ අනිත් ඔක්කොම හොදටම නිදි.ගියාට පස්සෙ එන්නෙ මේ වෙලාවට වගේ කියන්න කෝල් එකක් වත් එයා දුන්නෙ නැ.ඇවිල්ල බෝඩිමේ දොරට ගහද්දි ඇහැරිලා බෝඩිමේ ලොකු අක්ක කෙනෙක්ට,දොර ඇරල තියෙන්නෙ,ටිකක් විතර දෝස්මුරයකුත් දාලා.

අනිත් උන් ඇහුනත් සමහර විට සද්ද නැතුව ඉන්න ඇති,කවුද ඔය මහ රෑ නිදිමරගාතේ නැගිටලා දොර අරින්නෙ,අනික එන වෙලාවක් කිව්වෙත් නෑනේ.අනිත්, සමහර අය දන්නෙත් නෑ මෙයා මෙහෙම ට්‍රිප් එකක් ගියා කියල.


බනින සද්දෙට තමයි මටත් ඇහැරුනේ.මොකද අපේ කාමරේ තියෙන්නෙ ටිකක් පිටිපස්සට වෙන්න.ඒ වෙලාවෙනම් මේ නංගිත් කට ගහගන ගිහින් එක එක ඒව කියන්න ගත්ත.තරහටද මන්ද අපිත් එක්කවත් එදා උදේ එච්චර කතාබහක් තිබ්බෙ නෑ.

එදා සෙනසුරාද දවසක් නිසා අපිත් බෝඩිමේ.දවල් 10ට විතර පිරිමි කෙනෙක්ගෙ හයියෙන් හයියෙන් කතාකරන සද්දයක් ඇහිලා,අපි දෙන්න බයෙන් බයෙන් හිමීට දොර රෙද්ද මෑත් කරල බැලුව.ඒ වෙද්දි අර නංගි කාමරේ හිටියෙ නෑ.මුණ හෝදන්න ගිහින්.

සුදු බදපටිය | White Belt - 02


සුදු බදපටිය | White Belt  - 01

බෝඩිමේ අක්කගෙ දුව කිව්ව දේ අපි එච්චර ගනන් ගත්තෙ නෑ.පොඩි එකානෙ තව,ඔහෙ කටට එන දේ කියනව ඇති කියල.අනික මමනම් කෙනෙක් ඇදගන ඉන්න ඇදුම් ගැන එච්චර  උනන්දුවකින් බලන්නෙ නැති නිසා ඒ ගැන මතකයක් හිටින්නෙම නැති තරම්.


එක සතිඅන්තෙ දවසක, අපිත් බෝඩිමේ ඉන්න වෙලාවක,එයාගෙ හොදම යාලුවගෙන් කියල කෝල් එකක් ආව,කිව්ව විදියට එයාගෙ තාත්තට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරල.

නොයා බෑ කියල දනි පනි ගාල ඇදගන යන්න ගියා.ඇහුවහම කිව්වෙ  ටිකක් හවස් වෙයි කියල.දන්නෙම නැතුව වෙලාව ගිහින් ඇදිරි වැටීගනත් එනව,මෙයා තාම නෑ.ඒ මදිවට එදා හෙන වැස්සකුත් වැස්සා.අපිට එයාගෙ ෆෝන් නොම්බරේවත් දීල තිබ්බෙ නැ කතාකරල බලන්න වත්.බලෙන් අපි ඉල්ලන්න ගියෙත් නෑ.

ඒත් එයා එදා එද්දි රෑ 9ත් පහුවෙලා.බෝඩිමේ අක්කගෙන් ටිකක් බැනුනුත් ඇහුව,බලාගන හිටිය... පරක්කුවෙනව නම් කෝල් කරන්න තිබ්බෙ නැද්ද?...අපි මෙහෙ බය වෙලා හිටියෙ, අනික මේ වැස්සෙ!...කියල.

බෝඩිමේ අනිත් අයගෙ හිතත් එච්චර හරි නෑ මෙයත් එක්ක,ඒ කාටවත් මෙයාව එච්චර ඇල්ලුවෙත් නෑ.කාමරේ අපිත් එක්ක ඉන්න කෙනා නිසා අපිට එයාව අතාරින්නත් බෑ.අපි කෑම කද්දි එයාවත් හවුල් කරගන්නව,සමහර වෙලාවට.


දවසක් කිව්ව,දැන් ෆෝන් එක මම් පාවිච්චි කරන්නෙ නැ.කලින් සම්බන්දයක් තිබ්බ ඒක වදයක් වුනා,ඒ නිසා ෆෝන් එක අයින් කරා කියල. අපි දෙන්නත් ඉතින් පන්ඩිතයො වගේ  උපදෙස් දුන්න,නොගැලපෙන දෙයක් නම්,ඕව පැත්තක තියල ඉගනීමේ වැඩේ ඉවර කරගන්න,පස්සෙ බැරියැ කොල්ලෙක් හොයාගන්න කියල.


ඊට පස්සෙ අපිත් එක්ක හොදින් හිටිය ටිකකාලයක්,වැඩ ඇරිල එද්දි හවසට කන්න මොනාහරි ගෙනාවත් කාමරේ ඉන්න එකානෙ කියල එයාටත් අපි ගෙනාව දෙයක් තියල තියනව,තේ බොන වෙලාවට හිටියොත් තේ එකකුත් හදල දෙනව.එයා සමහර වෙලාවට කැම්පස් කැන්ටිමෙන් තේ බීල එනව කියනව,බෝඩිමේ තේ බොන්න කලමනා එයා ලග තිබ්බෙ නැ.


අනිත් අයට එයා කොච්චර ඇල්ලුවෙ නැද්ද කියනව නම්  කිසිම කෙනෙක් එයා එක්ක හරියට මූණ බලලා කතා කරේ නෑ,අපි දෙන්න ඇරෙන්න.ඒ දවස් වල අපේ දිලා අසනීපෙන්, මහරගම කැන්සර් හොස්පිටල් එකේ.අපි දෙන්න යන්න දන්නෙ නැතුව මේ නංගි තමයි අපිව එක්කගන ගියෙ.

සුදු බදපටිය | White Belt - 01


අලුත් බෝඩිම හොයාගත්තෙ මාත් එක්කම හිටිය යාලුවෙක් මාර්ගයෙන්,මාස 6යේ පුහුණුවට එයාට මටත් කලින් කැදවීම ලැබිල තිබුන.ඒ වෙද්දිත් බෝඩින් කීපයක ඉදල තිබ්බ නිසා මටත් අමාරුවක් වුනේ නෑ අලුත් බෝඩිමට හුරු වෙන්න.

ඒක වෙනම ගෙයක්,ඔක්කොම හිටියෙ බෝඩින් කාරයෝ,එකම වත්තෙ තිබ්බ අනිත් ගෙදර තමයි අයිතිකාරයො හිටියෙ,අයිතිකාරයො කිව්වට හිටියෙ ගෙදර අයිති අය්ය,එයාගෙ බිරිද එක්ක අවුරුදු 13ක විතර,ඉස්කෝලෙ යන දුව.

ලයිට්,වතුර බිල ගෙවාගන්න තිබ්බෙ අපිටමයි.ඉන්න විතරක් 1500ක් අය කරා.බෝඩිම ගෙයක් කීවට තිබ්බෙ කාමර 3ක් එක්ක පොඩි කුස්සි කෑල්ලක්.පුහුණුවේ තිබ්බ "බරපතලකම" එක්ක අපිට නම් උයාගන කන්න හැකියාවක් තිබ්බෙ නෑ.හවස එන ගමන් කඩේන් මොනාහරි ගේන එක තමා පුරුද්ද වුනේ.

එක කාමරයක හිටියෙ  උපාධිය හමාර කරල රෑකියා සදහා යන අක්කල තුන් දෙනෙක්,එයාල නම් කාලෙක ඉදන් මේ බෝඩිමේ ඉන්න අය,ඒ නිසාම බෝඩිමේ ලයිට්,වතුර බිල් ගෙවීම් වගේ සමහර තීර‍ණවලදී එයාලගෙ තීරණය තමයි අවසාන තීරණය වුනේ,අනික බෝඩිමේ වැඩිමහලුම අය වුනේත් ඒ කට්ටිය.

අනිත් කාමරේ හිටියෙ  ඒ වෙද්දි හෙද උපාධිය හමාර කරල,කැම්පස් එකක ඩිමෝල විදියට ඉන්න තුන් දෙනෙක්.එයාලත් අපේ වයසෙම වගේ,එච්චරම වයස් පරතරයක් තිබ්බෙ නෑ,ඒත් එච්චර සම්බන්දයක් තිබ්බෙත් නැ.දැක්කොත් හිනා වෙනව,කොහොමද? කියනව එච්චරයි.


අනිත් කාමරේ හිටියෙ මමයි මගෙ යාලුවයි විතරයි මුලදි.ටික දවසකින් තව නංගි කෙනෙක් ආව,එයා අපි හිටිය බෝඩිම ලගම තිබ්බ කැම්පස් එකේ තුන් වෙනි වසරෙ ඉගනගන්නව ඒ වෙද්දි.අපිට තිබ්බ වැඩත් එක්ක එයා එක්ක කතාබහ කරන්න එච්චරම වෙලාවක් වෙන්කරගන්න පුලුවන් වුනේ නැ.


පුහුණුවට අදාල වැඩරාජකාරි වලට අමතරව වසරක ඒකපුද්ගල ව‍ය්‍යාපෘතිය වෙනුවෙන් අපිට වෙහෙසෙන්න වෙලා තිබ්බ,ඒ අතරේ පුහුණුවේ ප්‍රගති සමාලෝචන,මෙකී නොකි ගොඩක් දේවල්.


එහෙන් මෙහෙන් කතාබහ කරල දැනගත්ත විදියට,එයත් ටිකක් දුර පලාතකින්  කැම්පස් ආව කෙනෙක්.පෙනිච්ච විදියටනම් අහිංසක කෙනෙක් වගේ.ඒත් ටිකක් විතර අමුතු පෙනුමකුත් තිබ්බ.සමහර දවස් වලට අම්ම එනව කියල යනව,අම්ම එනවලු පමුණුවෙන් කෑලි රෙදි අරන් යන්න,අරන් ගිහින් මහනවලු. 

එහෙම ගිය ගොඩක් දවස් වලට එයා එන්නෙ ටිකක් විතර රෑ වෙලා,පුරුද්දක් විදියට අපි එලියට යද්දි,කියල යන්නෙ බෝඩිමේ අක්කට, අපි එලියට යනව එන්නෙ මේ වෙලාවට වගේ කියල.ඒත් එයා එහෙම කවදාවත් කියල ගියෙ නැ,අනික එක කාමරේ ඉන්න අපිටවත් එහෙම කියන්නෙ නැ. අපිත් සැකයක් ඇතිකරගත්තෙ නෑ.අම්ම බස් එකට දාල එද්දි පරක්කු වෙනව ඇති නේ කියල.


සමහර දවස් වලට ඇදගන යන එක නෙමේ එයා ඇදන් එන්නෙ කියල,කිව්වෙ බෝඩිමේ අක්කගෙ ඉස්කෝලෙ යන දුව...

සුදු බදපටිය | White Belt - 02