Showing posts with label කියවපුවා. Show all posts
Showing posts with label කියවපුවා. Show all posts

Wednesday, December 19, 2012

අපරාජිත ජීවිතයක්



අම්මේ... කාලෙකින්! අලුත් රස්සාව පටන් ගත්තත් හරි බ්ලොග් එක පැත්තෙ එන්න බැරිඋනා.ඒ එක්කම ලැප් එකත් ලෙඩ උනා.කොහෙද එක හදාගන්නවත් වෙලාවක්.සති අන්තෙ කියලත් ඉස්පාසුවක් නෑනේ..

ඒ අතරේ මීට මාස 2කට විතර කලින් පොත් ප්‍රදර්ශණයකට ගොඩ වදින්න පුලුවන් උනා.ඒකට පින් සිද්ද වෙන්න එක සැරේ පොත් සෑහෙන ප්‍රමාණයක් අරගන්න පුලුවන් උනා.වැස්ස කාලෙට කියාපු බෙහෙත!...පොතත් අරන් ඇදට ගියාම කියව කියව ඉන්න තියනව නම් වෙන මොකවත් ඕනේ නෑ.ඒ නිසාම මේ වෙද්දි ඒ වයින් පොත් කීපයක්ම කියවලා හමාර කරන්න පුලුවන් උනා.

මුලින්ම කියවලා ඉවර කරේ "අපරාජිත ජීවිතයක්",ඒ පොත "අපරාජිතයෝ" නමින් වංග භාෂාවෙන් ලියල තියෙන්නෙ විභූතිභූෂණ බන්දේ‍යාපාධ්‍යාය ලේඛකයානන්, සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි  මහත්මිය.



පස්සෙ කියෙව්වෙ අපූගේ ලෝකය,ඔය උඩින් තියෙන්නෙ ඒ පොත.මේ පොතේ මුල්ම කොටස තමයි 'මාවතේ ගීතය' ඒක නම් ගොඩක් කාලෙකට කලින් කියවලා තිබුනේ.ඒ පොතට ගොඩක් ආස උන නිසා තමයි මේ පොත් දෙකත් අරන් එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් උනේ.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.

Sunday, September 2, 2012

චුම්බන කන්ද


සැප්තැම්බරය කියන්නෙ සාහිත්‍ය මාසය හින්දා ලගදි කියවපු පොත් ගැන සටහනක් තියන්න හිතුනා, මේ එයින් එකක්.'චුම්බන කන්ද' ලියල තියෙන්නෙ ජයතිලක කම්මැල්ලවීර මහත්තයා.මේ පොත රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනපු නව කතාවක්.ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නව කතාවක්.මම් කියවපු වෙනස්ම ආකාරේ පොතක්.එක හුස්මට කියවන් යන්න පුලුවන්.

පොත ලියන්න අදහස පහල වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.කර්තෲගෙ මිතුරෙක් මාර්ගයෙන් අහම්බෙන් මුණගැහිච්ච කෙනෙක්ගෙ ජීවිත කතාව තමයි පොත ලියන්න පාදක වෙලා තියෙන්නෙ.කර්තෲගෙ වචන වලින්ම කියනව නම් මෙන්න මේ විදියට.

"වසර කීපයකට කලින් අරනායක ප්‍රදේශයේ දුෂ්කර ඉසව්වක වණ අරණක තනියම ජීවත් වෙන කැපීපෙනෙන පෞරුෂයකින් යුතු පුද්ගලයෙක් මුණ ගැසෙන්නට මා කැදවාගන ගියේය.මාගෙ පරිකල්පන ලෝකය තුළ චුම්බන කන්ද පිළිබද සිතුවිලි ආරෝපනය වූයේ ඒ ගමනේදීය."

පොත් ගැන පොතේ පසු පිටේ සදහන් වෙන්නෙ මෙන්න මේ විදියට..
"චුම්බන කන්දට ඉහළින් එදා පෑයූ හද වෙනදා පායන හද නොවීය.එය මහලු වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන් ,ප්‍රේමයෙන්,රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටන හදකි. අහස තම පුළුල් වත මුලුමනින්ම හදට වෙන කරදී සිටියාය.සිනාසෙන හදින් විහිදුනේ ගස් ගල් පවා කිසිදු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නා වූ එළියකි."

පොත් කියවන්න කැමති ගොඩක් අය මේ වෙද්දි මේ නව කතාව කියවල ඇති.කියවල නැති අය කියවලා බලන්නකො.

Saturday, September 1, 2012

ගුරුවරයකුගේ ආත්ම කතාව

රස්සාව වෙනුවෙන් වැඩිපුර කාලයක් මිඩංගු කරන නිසාද මන්දා දැන් පොත් කියවෙනව අඩුයි.මොකද උදේ පාන්දර ගෙදරින් ගියාම ආය ගෙදර එන්නෙ 'පාන්'  කියාගන්න වත් බැරුව, ඉතින් මොන පොත් ද?පොතක් අරන් ඇදට ගියාම පොතත් එක්කම දොයි.

ඒ නිසා බස් එකේ යන අතරමග පොතක් කියවන්න කියල හිතුව මොකද පැය 1.5 ගානේ උදේ හවස බස් එකට වැය කරන නිසා.කොහෙද ඒකත් හරියන පාටක් නෑ...පොත් කියවන්නෙ නැති මිනිස්සු පවා, තව කෙනෙක් බස් එකක පොතක් දිග ඇරගන යද්දි ඒකට හොට දාගන ඉන්නව මොනවද කියවන්නෙ බලන්ඩ.

ඒත් ඕව ගනන් ගන්නෙ නැතුව පාඩුවෙ කියවගන යන්න පුලුවන් ඒත් ඒක අපහසුවක්!. ඇදට වෙලා සනීපෙට පොතක් කියවනව වගේ නෑනේ.සමහර දවස් වලට පිටු 3යි නැත්තම් 5යි.එහෙම බැලුවොත් පොතක් කියවලා ඉවර කරන්න සෑහෙන කාලයක් යනව. එහෙම කියල පොත් කියවන එක අතාරින්න පුලුවනැ...නේද?

මෙන්න මම මේ දවස්වල කියව කියව ඉන්න පොතක්.පොතේ නම 'ගුරුවරයකුගේ ආත්ම කතාව', ලියල තියෙන්නෙ 'ඩී.ඒ සී.ජයකොඩි' මහත්තයා.පිටු 350කට වඩා තියනව තාම කියවල ඉවර කරගන්න නම් බැරිඋනා...

පොතේ කර්තෘ, එයාගෙ ජීවිත කතාව තමයි පොතක් විදියට ලියල තියෙන්නෙ.1940 දශකයේ ඉදලා මේ වෙනකම් ජීවිතේ සිද්ද වෙච්ච හැලහැප්පීම්, සමාජ පෙරළි, තරුණ කැරළි, වැඩවර්ජන, අසාධාරණකම් වලට මූණ දීල ජීවිතේ ජයගත්ත හැටි තමයි පොතෙන් කියන්න උත්සහ කරල තියෙන්නෙ.ඔයාලත් කියවල බලන්න.

Monday, August 6, 2012

සක්කාරං


මේ දවස් වල වැඩට යනව ඇරෙන්න සති අන්තෙ ගත වෙන්නෙ සැහැල්ලුවෙන්,ස්ට්‍රයික් නිසා ලෙක්චර්සුත් නෑ.ඒ නිසා පොත් කීපයක් ගත්ත කම්මැලි කමට කියවන්නත් එක්ක.ලයිබ්‍රි එකට බැදිල හිටියත් පොත් ගන්න භාර දෙන්න යන්න වෙලාවක් වෙන්කරගන්න කම්මැලි වෙලා.

ඉතුරු වෙන එකම දවස වෙන ඉරිදා දවස ගෙදරට වෙලා ඉන්නමයි හිතෙන්නෙ.ඒක නිසා යන එන ගමන් බස් එකෙන් බහින තැනම තියන  බුක්ශොප් එකෙන් පොතක් දෙකක් අරන් එන්න පුරුදුවෙලා.සක්කාරං කියන්නෙ එහෙම ගත්ත එක පොතක්.දවසින් දෙකින් කියවල ඉවර උනා.මේ පොත 2011 අවුරුද්දෙ ස්වර්ණ පුස්ථක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නවකතාවක්.ලියල තියෙන්නෙ චම්මින්ද වෙලගෙදර මහත්තයා.

කතාවෙන් කියවෙන්නෙ තමන් ජීවත්ව ඉන්නා ඉඩමේ පවා අයිතියක් නොතිබුනත් සිය රාජකාර්ය අකුරටම ඉටුකරපු,සිය රාජකාරිය දේවකාරිය කරගත්, එක්තරා කුලයකට අයත් උතුම් මිනිසුන් සමූහයක ජීවිත කතාව.

අතීතයේ එක්තරා කාලසීමාවක මේ රටේ තිබිච්ච වැඩවසම් ක්‍රමය තුල සමහර කුලවලට විදින්නට සිද්ද වුන අකටයුතුකම් මෙයින් කියවෙනව. විශේෂයෙන් කාන්තාවන්ට විදින්නට සිද්ධ වුන අතවර, ලිංගික සූරාකෑම්,  අලලා ලියවෙච්ච කතාවක්.ඔයාලත් කියවලා බලන්න.

Wednesday, March 7, 2012

මරණය යනු සියල්ල අහිමිවීමක්ද ???


"මරණය යනු සියල්ල අහිමිවීමක් නෙමෙයි.අපි බොහෝ වෙලාවට එහි අනෙක් පැත්ත දකින්නෙ නැහැ.මරණය යනු තවත් උපතක්.

මෙහි අභාවයට යනවා කියන්නෙ ඊලග ක්ශණයේදී තවත් උප්පත්තියක් ලබනවා කියන එක.උපතක කියලා කියන්නෙ තවත් මරණයක්.සාමාන්‍ය ලෝකයා දකින්නට පුරුදුවෙලා තියෙන්නෙ ඇහැට කණට පේන දැනෙන සාමාන්‍යකරණය විතරයි.

නමුත් එහි අනික් පැත්ත ගැන අපි කවදාවත් හිතන්නෙ නැහැ.දරුවෙක් ඉපදෙනකොට අපි කවදාවත් හිතනවද"මේ දරුවා මට කොහින්ද ලැබුනේ" කියලා.

මව්කුසක දරුවෙක් පහළ වෙන්නෙ අනිවාර්යෙන් තවත් තැනක යම්කිසි ජීවිතයක් අභාවයට පත් වෙලාමයි.ඒ විඤඤාණයයි මව් කුසක කලල රූපයක් අල්ලාගන ජීවියෙක් හැටියට ප්‍රතිසන්ධිය ලබන්නේ.

එහෙනම්,දරුවෙක් බිහින්වෙන්නට නම් තව කොතැනක හෝ යම් සත්වයෙක් යම් මනුශ්සයෙක් අභාවයට යා යුතුයි.එහෙම නම් අපිට දරුවෙක් උපදිනවා කියන්නෙ තවත් තැනක අභාවයක්!අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නෙ තවත් උපතක්!"

මේ තමයි මම් කියවපු අලුත් ම පොත.පොතේ නම "නොනිමෙන මරණයේ නොමියෙන අරුත්",ලියල තියෙන්නෙ පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ.

මට මේ පොත ලැබුනේ යාලුවෙකුගෙන්.එයාල මේ පොතට මූල්‍ය දායකත්වය දීල බෙදාහරිනව.ඉතින් මටත් එකක් හම්බුනා.පොඩි පොතක් නිසා එක හුස්මට කියවලා ඉවර කරා.ඔයාලත් හම්බුනොත් කියවලා බලන්න.

Tuesday, January 24, 2012

පෙරභවයේදී සිරුරට වූ හානියක් යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?


"අභිරහස් පුනර්භව" කියන්නෙ මම අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.ලියල තියෙන්නෙ තිස්ස ජයවර්ධන මහත්තයා.

මිනිස් සිරුරේ දකින්න ලැබෙන ලප කැලල් ,ශරීර කොටස් අඩුවීම් පිළිබදව පුනර්භව පර්යේශණ මගින් හෙළි කරගත්ත අවස්ථා බොහොමයක් ගැන මේ පොතේ සදහන් කරල තියනව.

පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව.

පෙරභවයේදී සිරුරට වූ හානියක්  යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?

පුනර්භවය ගැන පර්යේශණ පවත්වන ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ මනෝ වද්‍යවරුන්ගේත් අවධානය ට පත් වෙලා තියන ඒවගේ සිදුවීම් අභිරහස් පුනර්භව විදියට සැලකෙනව.ඒවගේ අභිරහස් කීපයක්ම පොතේ සදහන් කරල තියනව.

මුල්ම නිදසුන විදියට ලංකාවේ වෙච්ච සිද්දියක් විස්තර කරල තියනව.කෙනෙක් මනුස්සයෙක්ව කඩුවකින් කපලා මරලා හිරේ ගිහින් තියනව.ඒ මනුස්සය මැරිලා ඉදලා තියෙන්නෙ අත්දෙක වෙන්වෙන විදියටම කැපිලා,ඒ වැදිච්ච කඩු පහරට.මරපු මනුස්සයා හිරේ ඉදලා නිදහස් වෙලා ආවට පස්සෙ ඒ මනුස්සයගෙ දරුවෙක් ඉපදිලා තියනව.හරියටම අර මැරිච්ච මනුස්සයා වගේම අත්දෙක උරහිසෙන්ම නැතුව.

මරණ පරීක්ශණ තොරතුරු, සිද්දියට අදාල පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු බොහෝ ප්‍රමාණයක් පොතට අඩංගු කරල තියනව.දොස්තර වරුන්ගේ නිගමනයට අනුව ඒ දරුවට එහෙම Birth Defect එකක් වෙන්න වෙන කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ.ඒ කියන්නෙ හේතුවක් හොයාගන නෑ.

අවසානේදී මරපු මනුස්සයම කියල තියනව සමහර විට  මැරිච්ච කෙනා මගෙ දරුවෙක් වෙලා ඉපදුනාවත්ද කියල එයාට සැකයක් තියනව කියල.

කුතුහලය ඇති වෙන පොතක් එක හුස්මට කියවගන යන්න පුලුවන්.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.


අභිරහස් පුනර්භව
තිස්ස ජයවර්ධන
ISBN 955-1178-57-2

Monday, December 19, 2011

පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්


"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි.මුලු විශ්වයේම සෑම දෙයම කිසියම් සම්බන්ධයකින් එකට සම්භන්ධවී ඇත."

"මොලොව උපත ලබා සුලු කාලයක් සදහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට පළාත හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහිදී වැටහෙයි.මෙම විශ්ව පවුලට අයත් වල සාමජීක සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්ට හදුන්වාදීම මෙම පොත ලිවීමේ එක් අරමුණකි."

"ගන්ධබ්බයා නමින් බෞද්ධ ඉගැන්වීම් වලදී හදුනවා ඇත්තේ ඉතා සියුම් පදාර්ථයකින් නිපැයුණ ශරීරයක් හා එය ඇසුරු කොටගෙන පවත්නා උපාදානස්කන්ධ සංයුතිය ය."

"උපාදානස්කන්ධ සංයුතිය ජීවී සයිලයකට ඇතුලත් වී විකාශනය වන විට හා විකාශනය වූ කළ එහි ලක්ෂණ දැක ගත හැක."

"අද්භූතයක් වශයෙන් බැලීමට වඩා මිනිස් සිතක් ස්වභාවික විද්‍යුතයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සැලකීමට මෙතෙක් සොයාගන ඇති දේවලින් මග පෑදෙයි."

පූජ්‍ය බෙල්ලන ඥාණවිමල හිමි
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්
ISBN 978-955-551-749-2 

මාස කීපයකට කලින් මම් කියවපු පොතක්. නොපෙනෙන මිනිසා,මනෝමය කාය ,භූතාත්මයෝ, ෆෙඩ්‍රික්ගේ සත්මහල් ලෝකය, දෙවියෝ හා දේවදුතයෝ, කර්මය ආදී වශයෙන් විවිධ මාතෘකා යටතේ ගොඩක් කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො .









Monday, December 12, 2011

බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්

අහම්බෙන් කියවන්න හම්බවුන පොතක්, තාම කියවලා ඉවර කරන්න නම් බැරිඋනා.පොතේ සම්පාදිකාව ඉන්දු පෙරේරා,"මිසදිටු බිඳින හඬ - බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්" විදියට ග්‍රන්ථය නම් කරලා තියෙන්නෙ.

පොතේ අඩංගු කරුණු ඔක්කොම පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවන් සමග කරන ලද සාකඡ්චා ඇසුරෙන් ප්‍රශ්ණය හා ඒ සදහා වන විග්‍රහය විදියට පිළිවෙලට සකස් කරල තියනව.
  • බුදු දහමට වින කරන ජන කාන්ත බුදු දහම
  • දෙවියන්ගෙන් සිගමන් යැදීම බුදු දහමට කරන නිගරු කිරීමක්
  • මිනිස් සාරධර්මත් විකිණෙන කාලයක්
  • පිරිත් පැන්,පිරිත් නූල් ගැන වැරදි විශ්වාස තබනු එපා!
  • කිරි අම්මලා දානයෙන් සෙතක් ශාන්තියක් ලැබේද?
  • බුදු රැස් විහිදෙන්නේ බුදුන්ගෙන් පමණයි
  • දෙවියන්ට පහන් දල්වන්නා යන්නේ දුගතියටයි
ඔන්න ඔය වගේ තවත් කරුණු කාරණා රාශියක් මේ පොතේ විස්තර කරලා තියනව.මිත්‍යා විශ්වාසවල ඇලීගැලී ඉන්න අය වගේම බොදු අපි කාටත් කියවන්න හොද පොතක්.කියවලා බලන්නකො හම්බුන වෙලාවක.

මිසදිටු බිඳින හඬ 
බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්
ISBN-955-551-30-8
 


Monday, December 5, 2011

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය


සංසාර මන්දිර, මිනිසා කායික පීඩා විදින්නේ කවර හෙයින්ද යන ප්‍රශ්නය සම්භන්ධයෙන් ප්‍රබෝධකර වූ අනේක චින්තන මාර්ගවලට අප ගෙන යයි.

අපගේ සාමාන්‍ය පංචීන්ද්‍රිය ප්‍රත්‍යක්ශයෙන් අපට දැකිය හැක්කේ පැටලුම් සහිත විශාල විචිත්‍ර ජවනිකාවක සීමිත කොටසක් පමණෙකි.අපට පෙනෙන මෘදු මතුපිටට යටින් අපමණ යටිපැති නූල්ද අප්‍රමාන වූ නොපෙනෙන පැටලිලි ද ඇත.එකම නූලක් වත් උපත යයි නම් කරනු ලබන මායාකාර සීමාවෙන් පටන් ගනිතැයි හෝ මරණය යයි කියනු ලබන ඒ තරම්ම මායාකාර සීමාවෙන් කෙළවර වෙතැයි හෝ කිව නොහැකිය.

සත්‍ය වශයෙන් පුනර්ජන්මය,මනුෂ්‍යා පරිණතියටත්,පාරිශුද්ධියටත් පමුණුවන ජීවිත නියාමය නම්...

ඉතා හොදින් කරුණු පැහැදිලි කර දෙන්නා වූ ද අතිශයින් ප්‍රාණදායක හා සංස්කරණ වන්නා වූ ද මේ මතය ඔප්පුකළ හැකිදැයි පරීක්ෂා කර බැලීම ගැඹුරු සිත් ඇති මිනිසුන්ගේ අවධානයට යොමුවිය යුතු බව සහතිකය.

සත්තකින්ම මිනිසාගේ ආත්මයට බොහෝ මන්දිර තිබේ නම් හැම කාලයකටම වැඩියෙන් එහි සත්‍යය සොයාගතයුතු කාලය මෙයයි.

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය
කන්නිමහර සුමංගල හිමි
ISBN-955-569-185-1

මේක තමයි මම් අලුතින්ම කියවන්න ගත්ත පොත.ඉස්කොලෙ යන කාලෙ නම් කියවල තියනව,ඒත් ඒ හැටි තේරුමක් තිබ්බෙ නෑ පොතේ අඩංගු කරුණු ගැන ඒ කාලේ.

ඒ නිසාම  ආයෙත් කියවන්න ඔනේ කියල හිතුනා.MANY MANSIONS THE EDGAR CAYCE STORY ON REINCARNATION by Gina Cerminara පොතේ සිංහල පරිවර්තක තමයි කන්නිමහර සුමංගල හාමුදුරුවෝ.ගොඩක් අය කියවල තියන පොතක් මම් හිතන්නෙ.


Friday, November 25, 2011

පින් කෙත



රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.


"නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර,සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටු වීමට පුලුවන් කමක් නෑ.දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂයයි.තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානකයි.මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතා කර කර හිටියේ ඒ ගැනයි."

 "ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතලොස්සක් දෙනා හැර සෙසු සියලු මනුස්සයෝ වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුර වුවෝ නොවැ.අනුකම්පා කටයුතුයි.එදා හොදය, අද නරකය කියා කම්පවිය යුතු නැහැ මහත්තයා.එයින් තැළෙන්නේ තම සිතයි.බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්තයි.අදුරට දොස් නොනගා එයට පහනක් වනු නම් අගේ නොවැ"

පින්කෙත 
ජයසේන ජයකොඩි
ISBN978-955-551-9

ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල" නව කතා මාලාවේ තවත් කොටසක් කියවලා ඉවර කරා."පින්කෙත" අනිත් කොටස් වලට වඩා ටිකක් විතර ප්‍රමාණයෙන් පොඩි පොතක් නිසා ඉක්මනට කියවලා ඉවර කරන්න පුලුවන් උනා.



පිච්ච මල

  
"මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා.ඒ අනුව ක්‍රියා කරන්න උත්සහ කරනවා.අන් අය කෙසේ සිතනවාද ක්‍රියා කරනවාදැයි කියා මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක්ය, තරුණයෙක්ය, සැලකිය යුතු ධනයක ඇති පන්සලක දෙවැන්නාය, පන්සලේ අධිපතියාවූ කල කරන්නේ මේවාය යනුවෙන් භික්ශුවකට අනුචිත අදහස් මම වැලද ගන්නේ නෑ.මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්යප වැනි ශ්‍රාවකයන් වහන්සේලා මා හා සදන කල, මා කොතරම් නිවට හිස් භික්ශුවක්ද කියායි.බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හදුනාගන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරාණන්වහන්සේ දැකගත හැකියි.ඊට පසු උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමටත්.ඒ අනුව පැවතීමටත් පහසුයි."
-රාහුල තෙරණුවෝ-
  
පිච්ච මල
.ජයසේන ජයකොඩි
 ISBN 955 -551-048-2

මේ විදියට සටහන් වෙන්නෙ ජයසේන ජයකොඩි මහතා ලියල තියන පිච්ච මල නව කතාවෙ පසුපිටේ.ඒ නව කතාවේ ප්‍රධානම චරිතයක් විදියට රාහුල තෙරණුවන් කැපී පේනව.ඒ වගේම මම ගොඩක් ආස කරන චරිතයක්.මට නම් පොත කියවන්න හම්බුනේ මේ ලගදී,කියවලා සති කීපයක් වෙනව."පිච්ච මල" නවකතා මාලාවේ මුල්ම  කොටස  තමයි මේ පොත.නවකතාවලට කැමති අය මේ පොතට ගොඩක් ආස වෙයි කියල හිතෙනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො.








Friday, October 28, 2011

බෝදිලිමා කියන්නෙ යක්ෂණියක්ද? කටුස්සෙක්ද?


බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.

ඒත් මිනිස්සු අතර බෝදිලිමා කිව්වම ටිකක් බයකුත් ඇතිවෙනව,බෝදිලිමා කියන්නෙ යකෙක් කියල.

ඇත්තටම ඉස්සර මිනිස්සු බෝදිලිමව සලකලා තියෙන්නෙ ගෑනු කෙනෙක් මැරිලා ඉපදිච්ච යක්ශණියක් විදියට.

දරුවෙක් ලැබෙන්න ගිය ගෑණුකෙනෙක් එයාගෙ මනුස්සයා එක්ක තිබ්බ වෙරයකින් මැරිලා මේ විදියට යක්ශණියක්ව ඉපදිලා පිරිමි අයව බය කරනව කියල තමා ඉස්සරකාලෙ ගැමියන්ගෙ විශ්වාසය.

එහෙම බය කරල එයා එයාගෙ වෙරය සංසිදව ගන්නවලු.

විශේෂයෙන් තනියම රෑට හේන්, කුඹුරු වල පැල් රකින වෙලාවල් වලට මේ බෝදිලිමා කියන යක්ශණී ඇවිත් පිරිමින්ව බය කරල යනව කියල  තමයි එයාල විශ්වාස කරල තියෙන්නෙ.

බෝදිලිමා ගෑණු යක්ශණියක් නිසා, ගෑණු අයව මේ විදියට බය කරන්නෙ නැතිලු.බොදිලිමගෙ සද්දයක් ඇහුනොත් 

"තොට ගන්ඩද බොල ඉදලත්ත!..." 

කියල ගෑණුකෙනෙක් හයියෙන් බැණලා කෑගෑහුවොත් ක්ශණයකින් ඌ අතුරුදහන් වෙනවලු.

රෑට තනිපංගලමේ පැල් රකින පිරිමි ඉන්න ඉසව්වට ඇවිත් හීන් කෙදිරියක් විදියට ශබ්ද කරන්න පටන් අරන්, පස්සෙ ඒක මහා අදෝනාවක් කරනවලු.ඒකට බය උනොත් පැල් වලට ඇවිත් පිරිමින්ව හූරල බය කරල පැනල යනවලු.

ඒ නිසා පැල් ර‍කින්ඩ යන පුරාණ මිනිස්සු, එක එක ක්‍රම අතරේ කෙම්ක්‍රම එහෙමත් මේ බෝදිලිමාගෙන් බේරෙන්න පාවිච්චි කරල තියනවලු.

බෝදිලිමා ඇවිත් කෙදිරිගාන්න පටන්ගන්නකොටම, රෑට හපන්න ගේන බුලත් මල්ලෙන් ගිරයත් හුනු කිල්ලොටයත් අරන් එකට එක වද්දලා

"ටොක්... ටොක්... ටොක්..." 

කියල සද්ද කරන්න ඔනේලු එතකොට ඌට කරදරයක් කරන්න හිතන් තොල් මතුරනව කියල හිතල පැනල දුවනවලු.

ඒවගේම "සීමා බැදීම" කියල එකකුත් කරල තියනව බොදිලිමගෙන් බේරෙන්න,ගල් 4ක් අරන් 

"ඉතිපිසො භගවා..."

ගාථාව කියල පැලේ කොන් හතරේ දාන්න ඕනෙලු,එතකොට බෝදිලිමට ඒ සීමාව පැනලා එන්න බෑලු,

තව පොල් කට්ටකට මොනවහරි තෙල්වර්ගයක් අරන් 

"සබ්බ පාපාස්ස අකරණං...." 

කියන ගාථාව කියල  තියාගන ඉදලා බෝදිලිමගෙ සද්දෙ ඇහෙන පැත්තට 

"ඕං... උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා... ගාගනින්!..." 

කියල සද්දෙ එන පැත්තට විසික්කරාම ඌ බය වෙලා යනවලු.එහෙම තෙල් විසික්කරාම් ඌ ඒ තෙල් ගාගන්නවලු,උදේ වෙලා බලන කොට ඒ පොල්කට්ටෙ පණුවනුත් දකින්න ලැබෙනවලු.
 
සාර්ථකම අභිචාර ක්‍රමයක් විදියට, බෝදිලිමාගේ සද්දෙ ඇහිච්ච පමණින්ම ක්ශණිකව ධාතු මෝචනය කරල පොල්කට්ටකට අරන් ගබ්දය එන දිශාවට 

"ඉදා...උඹේ රුදාවට තෙල් ටිකක් මැතිරුවා මේක අරගන යටිබඩේ ගාගනිං..."

කියල විසිකරනවලු.

මේ ක්‍රමයෙන් බෝදිලිමා ආයම පැලට එන එක වලක්ව ගන්න පුලුවන්ලු.ඒ නිසා අභිචාර ක්‍රමයන්ගෙන් සාර්ථකම එක විදියට සලකන්නෙ මේ ක්‍රමයලු.

මේ ක්‍රම සහ විධි,යක්ශ කතාවල ඇත්ත නැත්ත මොකක් උනත් මේවාගේ බය ඇතිවෙන හැමවෙලේම හිතේ එකග කම තබා ගැනීම වඩාත් සුදුසුයි කියල තමයි කියන්න තියෙන්නෙ.

ප.ලි: විස්තර හොයාගත්තේ මම් ලගදී කියවපු පූජ්‍ය හොරොව්පතානේ පඤ්ඤානන්ද හිමියන්ගේ" කල්පේ කෝරලේ ඇදහිලි හා පුදසිරිත්"  පොතෙන්.

Wednesday, September 28, 2011

මෝහිනී


මෝහිනී ගැන කවුරුත් අහල ඇති,සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.සමහර විට තවත් තේරුම් ඇති.

කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි,මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.

ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.වචනේ තේරුම හිතාගන්නකෝ ඔයාලම.

ඔය සමහරු වැඩ ඇරිලා,දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා...එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති!... අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.

හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන... සුදුසාරියක් ඇදගන... අත දරුවෙක් වඩාගන එන... ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු.අය්යා!... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද?,මගෙ මේ සාරිය හදාගන්න කියල.

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න,මම් සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.

ඔන්න ඔය විදියට  ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා... කෙට්ටු වෙලා... යනවලු.නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.

සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.

ඉස්සර කාලේ මිනිස්සු නම්  ඔහොම ලක්ශණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.ඒතකොට "ඔය ගතිය" එක සැරේටම සනීප වෙනවලු.

ඒත්...අලුත් පරම්පරාවේ අය කියන්නෙ මේ ලක්ශණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.

නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ  ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.

එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු.ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න.