Friday, September 23, 2011

පුල්ලෙයාර් කිරිබත්


නුවරකලාවිය පැත්තේ මිනිස්සු  ගොඩක් බාරහාර වෙන්නෙ අයියනායක දෙයියන්ට. අයියනායක දෙයියෝ වන්නිබංඩාර දෙය්යන්නාන්සේ කියලත් හදුන්වනව.

අය්යනායක දෙයියෝ තමයි වන්නි ප්‍රදේශයට අධිපති දෙවියන් විදියට සලකන්නෙ...

ඒ අතරේ තමන්ගේ ගොවිතැන්,ඇතිකරන ගවමහිෂාදී සත්තු ආදීය ආරක්ශා කරල දෙන්න කියලා නුවරකලාවියේ මිනිස්සු පුල්ලෙයාර් දෙවියන්ටත් බාරහාර වෙනව.

සමහරු පුල්ලෙයාර් දෙවියන්ට  "පුල්ලෙයාර් අත්තප්පා" කියලත් කියනව මම් අහල තියනව.

පුල්ලෙයාර් දෙවියන්ට බාරහාර වෙන්නෙ පොල්ගෙඩියක් වෙන්කීරීම මගින්.

බාරය ඔප්පු කිරීමට පුල්ලෙයාර් කිරිබතක් උයනව.පුල්ලෙයාර් කිරිබත් කිව්වම ගොඩක් දෙනෙක් අහල ඇති,අහල නැති අයත් ඒ අතර ඇති.

එහෙම වුන බාරේ අරින්නෙ කිරි උතුරුවල, කිරිබතක් එක්ක පළතුරු පුල්ලෙයාර් දෙවියන් උදෙසා පූජා කිරීමෙන්.

මේ විදියට බාර වීමට නිශ්චිත ස්ථානයක් නෑ...

ගොඩක් වෙලාවට  ගෙවත්තේ පිළියල කරපු ස්ථානයක්,එහෙම නැත්තම් වැවක් ආසන්නයේ,අස්වනු නෙලා ගත්තට පස්සෙ හේන,නැත්තම් කමත පිරිසිදු කරලා මේ කටයුත්ත සදහා යොදාගන්නව.

බාරය සදහා වෙන් කරපු පොල් ගෙඩියත්,ගොවිතැනින් ලබාගන්න මුල් පංගුවත්
පාවිච්චි කරලා හදාගන්න කිරිබත,පළතුරු,බුලත් පුවක් එක්ක දෙවියන්ට පූජා කරල ගොවිතැන් බත් ආරක්ශාකරල දෙන්න කියල පුල්ලෙයාර් අනුරුවක් ඉස්සරහ යාතිකා කරනව.

පුල්ලෙයාර් දෙවියන් අනිත් දෙවියන් වාගේ නෙමේ... ඉතා විනෝදකාමි දෙවි කෙනෙක් විදියට නුවරකලාවියේ මිනිස්සු අතර ප්‍රචලිතව පවතින්නේ...ඒ නිසාම බාරය ඔප්පු කිරීමේදි ගොඩක් විහිලු තහළුවෙන්ම කාලය ගතවෙනව.

විශේෂත්වයක් විදියට  පුල්ලෙයාර් දෙවියන් උදෙසා වන බාර වෙනුවෙන් කෑම පිසීම් සියල්ල කරන්නෙ පිරිමි අයවලුන් විසින්.

දෙවියන්ගේ කොටස වෙන්කරාට පස්සෙ පැමිණි සියලුදෙනාට කිරිබත් සංග්‍රහයක් භුක්තිවිදීමටත් ලැබෙනව.

ගොඩක් වෙලාවට  වටාපිටාවෙ ඉන්න පොඩි ලමයින් එක්කාසුකර ඔවුන්ට මේ දානය පිරිනමනව දකින්න පුලුවන්. 

කිරිබත් උයන්න පටන් ගත් වෙලේ ඉදන් පොඩි ලමයි පැදුරු එලාගන වාඩිවෙලා ඉන්නව,පුල්ලෙයාර් කිරිබත් කන්න.ඒ දවසේ ඇතිවෙනකම් සෙල්ලම් කරන්නත් පුලුවන් වටේ පිටේ පොඩි අය ඔක්කොම එකතු වෙන නිසා.

ගෑනු අයත් එකතුවෙලා ඉන්නව,හැබැයි ඒ අය බාරය වෙනුවෙන් උයන දේවල් වලට අතගැසීමක් සිද්දවෙන්නෙ නෑ. 

පොල් ගෑමේ ඉදලා සියලු කටයුතු සිද්ද වෙන්නෙ පිරිමි අයවලුන් විසින්.

පුල්ලෙයාර් කිරිබත පැණිරහ කිරිබතක්.ඒකට මුංඇට එකතු කරනව,සමහර වෙලාවට කඩලත් එකතු කරනව,සීනි, රටඉදි දානව.කජු,සුවදජාති එහෙමත් එකතු කරනව.

දෙවියන්ට බාරේ ඔප්පු කරලා ඉවරවෙලා තමයි සහභාගි වෙලා ඉන්න අනිත් අයට සංග්‍රහ කරන්නේ...

මුලින්ම පැදුරුවල වාඩිවෙලා ඉන්න අයට කෙහෙල් කොල බෙදාගන බෙදාගන යනව,තව කෙනෙක් දුම්දාන පුල්ලෙයාර් කිරිබතෙන් හැන්ද හැන්ද බෙදාගන යනව.

ඔය අතරේ  ඇතිපදමට අන්නාසි,කෙසෙල්ගෙඩි,උක්,ඇපල්... වගේ පළතුරුත් බෙදාගන යනව...

ඊට පස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ...

32 comments:

  1. මමත් මේ කිරිබත කාලා තියෙනවා තෛපොංගල් වලට අපේ ගම් පලාත්වල හරියට තේ වතු තියෙනව. ඒවායෙ වැඩ කරන ද්‍රඩිඩ අය හදනවා.. අපේ පවුල් එක්ක හිත මිත්‍ර අය අපිට ගෙනත් දෙනව සහ අපි ඒ ගොල්ලන්ගෙ පූජා වලට ගියහම දෙනව.
    මේ ලිපියට අදාල නොවුනත් නදී - මගෙ ඔෆිස් එක තියෙන්නෙ සිරිමාවෝ හෝල් එක තියෙන නම්බර් 2 ගේට් එකෙන් පාරෙ අනිත් පැත්තෙ..සහ මම වැඩ කරන්නෙ පුස්තකාලෙ..ඔය කියන කාරනා දෙක නිසාම මම හැම වෙලාවෙම පොත් ප්‍රදර්ශනේට යනවා. මොකද අපි ගන්න පොත් සැරින් සැරේ තමයි කියන්නෙ..අදත් 22 ගියාහවස 2 ඉඳන් 6 වෙනකන් ඩික්ශනරි වගයක් ගත්තා..

    ReplyDelete
  2. කවුද යකෝ ඉබ්බව ඉස්සුවෙ ! හෆොයි !

    ReplyDelete
  3. දැනන් හිටියේ නැති තොරතුරු ටිකක්...

    ReplyDelete
  4. ඔය වගේ හදන කෑම හරිම රසයි,වතාවක් මම කතරගමදී කන්න ලැබුනා..කතරගම මහසෙන් දේවාලයේ පුජාවට හදන බත නම් දෙවිදියකට හදනවා..එකක් පැණි රසට අනික මිරිස් රසට..

    ReplyDelete
  5. නදී මේ කිරිබත හරියට අර අපි හදන මුරුතන් බත වගේ නේද?වැදගත් කරුණු ටිකක් දැන ගත්තා....ස්තූතියි.......

    ReplyDelete
  6. උදේ පාන්දර නැගිට්ට ගමන් මතක් උනේ මේක.හිහ් හිහ් මටත් ආසයි මේක රහ බලන්න.මම මෙහේ දේවාලෙකදිත් කාල තීනව පැනිරස බතක් ඒක මාර රහයි.මේකමද මන්ද

    ReplyDelete
  7. එක ගම් පළාතක වැව් තාවුල්ලෙ තිබිලා පුල්ලෙයාර් දෙවියන්ගෙ කැඩිච්ච පිළිමයක් ළමයි වගේකට හම්බු වුනාලු. ළමයි ටික මේ පිළිමේ වැල් පටකින් බැඳලා කරේ තියාගෙන සෙල්ලම් පෙරහැරක් යන්න පටන් ගෙන. මේ අතරෙදි ළඟ කෝවිලක පූසාරියෙක් නාන්න ආපු ගමන් ඕක දැකලා ළමයි ටිකට නපුරු විදියට බැනලා පිළිමෙ අරන් ගිහින් කෝවිලෙ තිබ්බා.

    එදා රෑම පූසාරියට නින්ද ගිහින් නෑ. නින්ද යාගෙන එනකොටම පුල්ලෙයාර් දෙය්යෝ හීනෙන් ඇවිත් බය කරනවා " ඇයි උඹ මම ළමයි එක්ක සෙල්ලම් කරද්දි එලවලා දැම්මෙ"

    අන්තිමට පූසාරි ඒ ළමයින්ට රසකැවිලි සංග්‍රහයක් දීලා පිළිමෙත් ආපහු දීලා එන වග පොරොන්දු වෙලා තමයිලු යන්තම් බේරිලා තියෙන්නෙ

    ReplyDelete
  8. ස්තුතියි පැරනි මතකයන් අලුත් කරනවාට.. කාලෙකින් මේ කිරිබතක් කන්න බැරිවුනා. ඒත් ඒ මතකයන් අලුත්වෙවී ඒ රස හැමදාම දැනේවි..

    ReplyDelete
  9. අර කතර ගම දේවාලෙදි දෙන්නෙ මෙව්වා නෙවෙද ?

    ReplyDelete
  10. නදීටයි ඉබ්බන්ටයිත් අයියනායක දෙයියන්ගෙම පිහිටයි!

    මම නම් කාලම නෑ ඔය බත..

    ReplyDelete
  11. // පුල්ලෙයාර් කිරිබත පැණිරහ කිරිබතක්.ඒකට මුංඇට එකතු කරනව,සමහර වෙලාවට කඩලත් එකතු කරනව,සීනි, රටඉදි දානව.කජු,සුවදජාති එහෙමත් එකතු කරනව. \\

    කතරගමදී දෙන්නෙත් මේව තමා.. අපි නම් කියන්නේ මුරුතැන් බත් කියලා..

    ගිය සතියේ ගියා අපි ඓතිහාසික සියඹලාපේ කැබලිත්ත දේවාලෙට යාල කැලේ මැද තියෙන.. එතනදී අපිත් පිළියෙල කරා මේ මුරුතැන් බත් කියන එක.. හැබැයි එතන නම් තියෙන්නේ පුල්ලෙයාර් දෙවියන්නේ දේවාලයක් නෙවෙයි.. ඒක කතරගම දෙවියන්නේ දේවාලයක්..

    ReplyDelete
  12. දෙයියන්ගේ දානය කියල කියන්නෙත් මේකටද?

    ReplyDelete
  13. නුවරකලාවිය කියලා කියන්නේ නුවර වැවයි කලා වැවයි පදවිය වැවයි එකට යා කලාම හැදෙන බිම් කඩට නුවර+කලා+විය

    සමහරු කියනවා කළා ඔයයි පදවිය වැවයි නුවර වැවයි කියලා. නමුත් මෙතන වැවු ගැන කියවෙනම හන්දා ඒක නම් පිලිගන්න බෑ.

    ඔය අයියනායක දෙවියන්ට බාර හාර වෙන එක පුත්තලම පැත්තෙත් තියෙනවා කියලා මට මගේ යාලුවෙක් කිව්වා. එයාලගේ අම්මා එයාට බාරයක් වෙන්න කියලා අයියනායක දෙයියන්ට පොල් ගෙඩියක් වෙන් කලා ලු.

    ඔය පුල්ලෙයාර් දෙයියන්ගේ අඩවියට එනකොට කොල අත්තක් වාහනේටත් තව කොල අත්තක් පුල්ලෙයාර් දේවාලටයත් එල්ලන එක සිරිතක්. ඔහොම එක වතාවක් ඒ දේ නොකර ගිහින් වාහනේ මග හිටියා කියලත් පස්සේ ලඟම තිබ්බ පුල්ලෙයාර් දේවාලටය ගිහින් පවු සමාකරවලා කොල අත්තක් වාහනේට එල්ලුවා ලු. ඊට පස්සෙලු වාහනේ ස්ටාර්ට් උනේ.

    ඔය කතාව කිව්වේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක්.

    ගොඩක් වටින ලිපියක් අක්කේ. ඔන්න මාත් මගේ අදහසුත් එකතු කලා.

    ReplyDelete
  14. ආ මේක මම කාලා තියෙනවා.කෝ හලෝ හදන විදිය?

    ReplyDelete
  15. මම මේ කිරිබත කාලම නෑ නෙ. හොද විස්තරයක් අක්කෙ. ස්තූතියි.

    ReplyDelete
  16. මම නම් මේ කිරිබත් කාලා නෑ..ඒත් මම අහලා තියෙනවා හදන විදිය එහෙම...ඒ වගේම හුඟාක් රසවත් කියලත් අහලා තියෙනවා

    ReplyDelete
  17. වටිනා කියන ලිපියක්! දනුම බෙදාගත්තාට ස්තූතියි!!

    ReplyDelete
  18. ඒ මං කාලා තීනවා මං කාලා තීනවා.. :D

    මගේ යාලුවෝ දැන් ක්ලාස් එක ඉවර වුනාම මං ගෙදර එන්න ලෑස්ති වෙද්දී එහෙම සමහර වෙලාවට කියනවා "පුල්ලයාර් දෙවි පිහිටයි" කියලා.. සමහර වෙලාවට මොකක් හරි කරන්න ගියාමත් උන් මට "පුල්ලයාර් දෙවි පිහිටෙන් වැඩේ හරියන්න" කියලා කියනවා. හේතුව දන්නවානේ ඉතින් ඔයා.. :D :D

    ReplyDelete
  19. වෙනී අන්කල් - දෙමළ අය හදනව තමා ඒ කිරිබත.මේ පළාතේ සිංහල අයත් පුල්ලෙයාර් දෙවියන්ට බාර වෙනව.අපි කියන්නෙ පුල්ලේයාර් දානේ කියල.

    අහ් ඔයා වැඩ කරන තැන ලගයිනේ(අතේ දුරනේ),ඒක තමා හැමවෙලේම බුක් ෆෙයාර් එකේ ඉන්නෙ.

    ඉබ්බොන්ට මොකවත් වෙලා නෑ ඔය ඉන්නෙ තුන් දෙනාම හොදට.

    Dinesh- දැන් දැනගත්තනේ.

    ඡම්මැ-කතරගම හදන ඒවනම් කාලා නැත.

    ReplyDelete
  20. ඝිම්හනි-ඔව් ඒවගේ තමා.

    ආඩම්බරකාරී-ඔයා කෑම හදන්න දන්නවනේ.හදලා බලන්න දවසක.

    විසිතුරු | visituru- ඔව් පුල්ලෙයාර් දෙවියෝ ලමයින්ට ගොඩක් කැමති කෙනෙක්ලු.ඒකනේ මේ දානේ ලමයින්ට දෙන්නේ.

    ReplyDelete
  21. happochchiye mewa kala nat nam jeewat welat wadak na.happe rasa mama nam owa kala,anith ayage ewat kala koleth lewa kanawa.e tharam rahai,danuth katata kela unanawa deyyampa sattai.punchi kale kataragamadi tama mulinma kawe mata muttiyama ussan duwanna hithuna... he hee :)

    ReplyDelete
  22. @Anonymous :
    පෙරේත ඇනෙක් ඔයා.....

    ReplyDelete
  23. "කොල අතු කඩා ගස් දෙබලක දැවටීම - මම නොකෙරුවත් නොකරමි එය ගැරහීම"

    ReplyDelete
  24. RoshanHerath- මේදවස් ටිකේ පුල්ලෙයාර් දානේ කීපයක්ම කෑවා මම් නම්.

    බනී-ඒවා වෙන්න ඕනේ,මම් කාල නැත.

    පැණි දොඩම්-අයියෝ එහෙනම් ඔයාගෙ ජීවිතෙන් භාගයක් වැඩක් නෑ:)

    ReplyDelete
  25. සෝරෝ- එකම විදියට හදනව ඇති මම් ඒවා නම් කාල නෑ.

    Sඅයුරි-පුල්ලෙයාර් දානය කියල තමා කියන්නෙ නම් මේ පැත්තේ මිනිස්සු.

    මධුරංග-ඔව් ඔයා හරි නුවරකලාවිය නම හැදිලා තියෙන්නෙ එහෙම තමා.හ්ම්...පිටින් මෙහෙට එන අය ගොඩක් ඔයවගේ දේවල් කරනව,අනික මේ වෙලාවට යනව කියල එහෙම කියන්නෙත් නෑ.කියන්නෙ අපි යන්න බලනව කියල.හරියටම කීවොත් කවදාවත් යන්න බැරිවෙනවලු ඒ වෙලාවට.

    ReplyDelete
  26. සීතල අයියා-එහෙමද?ඔය කියල තියෙන්නෙ හදන විදිය.

    නිසුපා-ඔයාලගෙ ගම් පොලොන්නරු පැත්තෙ කීව නේද පුදුමයි කාල නෑ කීවම.

    දිල්-ඔව් රහයි.පැණිරහයි.පොඩි අයට විශේශෙන් හදන නිසා පැණිරහට හදනව වෙන්නත් පුලුවන්.පුල්ලෙයාර් දානය පිළිගන්වන්නෙ ලමයින්ට කියනවනේ.

    ReplyDelete
  27. තනි අලියා-ස්තූතියි.

    චතුවා (ළමයා)-මොකද මම් නොදන්නෙ :)

    ඇනොන්ය්මොඋස්-හෙහෙ අපිත් එහෙම තමා.උඩපැනගන යන්නෙ පුල්ලෙයාර් දානයක් කීවම.

    ReplyDelete
  28. ටී.බී-අය්යනායක කවි පන්තියෙන් නේද?

    ReplyDelete
  29. පුල්ලෙයාර් දෙවියන්ගෙද මන්දා මම ඔය වගේ කිරිබතක් කෑවා හලාවත යනකොට සුදු අස්සයෙක්ගෙ පිලිමයක් තියන දේවාලෙන්, මාර රසයි .......

    ReplyDelete
  30. එක එක දවසක් මටත් පුල්ලෙයාර් කිරිබත් කන්න ලැබුණා පංකාදුයි. ඒ වගේම දේවාලවල උයන මුරුතැන් කියන කිරිබත් වගේ කෑම. නියමෙට හදනවා. කජු, මුද්දරප්පලම්, පැණි එහෙම දාලා :))

    ReplyDelete
  31. ඔන්න බලන්න පුල්ලෙයාර් දෙවියන්ට වඳින අපියි දමිල සහෝදර සහෝදරියෝයි මොකට නම් මරා ගත්තාද ?

    ReplyDelete
  32. පන්සල් හංදිය- මේවාගෙම කිරිබතක් වෙන්නැති එහෙනම්.

    Hasitha - හ්ම් ගොඩක් පැණිරහයි තමා.

    සරත් ලංකාප්‍රිය- අනේද කියන්නෙ අය්යා

    ReplyDelete