Friday, September 2, 2011

කුමාරි


කුමාරි හිටියෙ අපේ අල්ලපු ගෙදර,දැන් ඒ ගෙදරිනුත් කුමාරි ගිහිල්ල ගොඩාක් කාලයක් වෙනව,මම් හිතන්නෙ අවුරුදු 10ක් විතර.

කුමාරි ඒ ගෙදර ඇවිත් හිටියේ අපි හිටපු පළාතට ගොඩක් දුර පළාතකින් නෙමේ.පැය 2කක විතර ගමනකින් එයාගේ ගම් ප්‍රදේශෙට යන්න පුලුවන්.

අල්ලපු ගෙදර ඉන්න කාලේ, ඕනේ නම් කුමාරිට වයස අවුරුදු 11ක් හෝ 12 විතර වෙන්න ඇති.

ඒ දවස් වල ඒ ගෙදර වත්තේ අයිනට වෙන්න හදලා තිබ්බ  ලිද ලග කුමාරි උදේ පාන්දරම දකින එක සාමන්‍ය දෙයක් උනා.

තඩිම තඩි රෙදි බේසම් දෙකක් විතර තියාගන උදේ වරුවේ සෑහෙන වෙලාවක් යනකන් කුමාරිගේ වැඩේ ගලේ ගහ ගහ ඒ ගෙදර අයගේ රෙදි හෝදන එක.

පාන්දරම කුමාරිට කරන්න නියම වෙලා තිබ්බෙ ඉදලත් අරන් ගෙදර වත්ත අතුගාන එක.ඊට පස්සෙ තමා රෙදි සේදීමේ කාරියට බහින්නේ.

කුමාරි කළුයි,තලෙළුයි කියන්න බෑ,ඇත්තටම කළුයි.තිබ්බෙ ගොඩක් කෙට්ටු ශරීරයක්.

හිතාගන්නවත් බෑ එක දවසකට එච්චර රෙදි කන්දක් කොහොම හෝදනවද කියල .

එයාට කලුම කලු කොන්ඩයක් තිබ්බ,කොන්ඩෙ කපල තිබ්බෙ "නෑබිලි කට්" එකක්.

දවසක් මම් කුමාරිව දකිද්දි එයාගේ කොන්ඩේ හිස් මුදුනේ ඉදන්ම සුදු වෙලා.මට මේක සෑහෙන ප්‍රශ්ණයක් උනා.

මොකද කුමාරි ඔය කොන්ඩේ???...

කුමාරි සුදුම සුදු පාට දත්ටික  පෙන්නල හිනා උනා...

එයාගේ දත් එච්චරම සුදු පාටට පේන්න ඇත්තේ ඇගේ පාටත් එක්ක දත් වලපාට කැපිලා පෙනුන නිසා වෙන්නැති කියල මට හිතුන.

මගෙ ඔලුවේ උකුණෝ...

ඉතින් ඔලුව සුදු උනේ???

උකුණෝ ඉන්න හින්ද නෝනා **තියන් ඉස්සා,...රෙදි හෝදන ගමන් කුමාරි උත්තර දුන්නා...

ඔළුවට....???

එහෙම කාලයක් යනකන් කුමාරි සුපුරුදු පරිදි ඒ ගෙදර වැඩ කටයුතු කරගන හිටියා.කාලෙකට පස්සෙ දැක්කෙ නැතුව ගියා.

ඒ ගෙදර හිටිය මගෙ වයසෙම යාලුවෙක්,දවසක් මම් ඇහුව මොකද කුමාරි පේන්න නැත්තේ කියල.

කුමාරිව ගෙදර ඇරලුවා...එච්චර වැඩකුත් නෑනේ... මෙහෙ තියාගන ඉන්න එකේ තේරුමක් නෑ!...

පස්සෙ ආරංචි උනා...අවට කෙනෙක් පරිවාසෙට දන්වලා,...පොඩි ලමයෙක් ඒ ගෙදර වැඩ කරනව කියල,ඒ නිසා තමයි කුමාරිව ගෙදර යවල තියෙන්නේ.

ඊට අවුරුදු 4කට 5කට  විතර පස්සෙ අපි ගෙවල් අවට කට්ටිය එක්ක ගියා සෝමාවතිය,දිඹුලාගල වැදපුදාගන්න.

දිඹුලාගල ගිහින් එන අතරමගදී අල්ලපු ගෙදර අන්කල් අපි ගියපු වාහනේ පොඩ්ඩකට නවත්තන්න කියල බැහැලා ගියා.

ගිහින් ගොඩ උනේ පාර අයිනේම ඈතට වෙන්න තිබ්බ පොඩි  ගේ පොඩ්ඩකට....පොල් අතුවහල මැටි ගහපු ගෙයක්,හරියට පොඩි මඩුවක් වගේ...

අපි අන්කල් එනකම් වාහනේටම වෙලා බලාගන හිටිය...තද පෑවිල්ල නිසා එළියකට බහින්ඩ තියා හිතන්නවත් බෑ.

අව් කාශ්ඨකේ...වේලිච්ච හුලං එක්ක එන දූවිලි ඇස් වලට රින්ගන්ඩ හදනව.

ටික වෙලාවකට පස්සෙ අන්කල් ආවා ...

කුමාරිලාගේ ගෙදර!... මම් ගියා බලලා එන්ඩ කියල ,කුමාරි දැන් බැදලා ලමයෙකුත් ඉන්නලු....මෙහෙ නෑලු දැන්...

එච්චර වයසක් තිබ්බද කුමාරිට??

මයෙ හිතේ දැන් 16ක් විතර ඇති.

50 comments:

  1. ලොකු පුටුවල ඉන්න උදවිය කොලබ ඉදන් කොච්චර කතන්දර කිව්වත් ලංකාවේ දුෂ්කර පළාත් වල ඇත්ත තත්වය ඕක තමයි. මේ අත්දැකීමෙන් කියන්නේ කුමාරිට අවුරුදු 16 ක් වත් ඉන්න හම්බ උනා ඇති. කෙල්ලෙක් ලොකු ළමයෙක් උණු ගමන් කසාද බන්දවලා දීලා දෙමාපියෝ නිදහස් වෙනවා. මිනිහා කෙල්ලව රට යවලා එවන සල්ලි වලින් පිස්සු නටනවා.

    ReplyDelete
  2. ලස්සන කතාවකි...
    හොඳ මාකට් එකක් ඇති ෆෝමැට් එකකි...

    ReplyDelete
  3. ළමා කාලය අහිමි වුණු තවත් පොඩි දරුවෙක්. පරිවාසෙන් මොකද කරන්නෙ කියලා හිතෙන්නෙ මෙහෙම කතා අහනකොට. ඉස්සර මාතලේ රෝහලේ බබාලා හම්බෙන්න එනවා මාරක කියන ගමෙන් අවුරුදු 14-15 ළමයි. මාසෙකට දෙන්නෙක්වත්. අවිවාහකයි. බබාගෙ පියා බොහෝවිට ගමේම වැඩිහිටි මිනිහෙක්.

    එහෙම බලද්දි, අර විදිහට ගෙදරක වැඩ කරගෙන හිටියත් හොඳයි කියලා හිතෙනවා.

    එකම රටේ කිලෝමීටර් කිහිපයක් ඈතින් ඉන්න දරුවන් දෙන්නෙක්ගෙ ජීවිත එකිනෙකින් කොච්චර වෙනස් වෙනවද?

    ReplyDelete
  4. උකුනන්ට මැලතියන් ඉහින්න තරම් ඒ ගෙදර මිනිස්සු නපුරුද ? ඇහැක එහෙම ගැවුනා නම් ?

    ReplyDelete
  5. හ්ම්ම්... තමන්ගේ ළමයෙක්ට ඔහොම කරානම් කියල හිතනවානම්, මිනිස්සු ඔයවගේ පාහර වැඩ කරන්නේ නෑ ..

    ReplyDelete
  6. ළමා මෙහෙකාර සේවය අපි අතර තවමත් අතරින් පතර තියෙනවා. පරිවාසය තිබුනත් මොන මොන නීති තිබුනත් පොඩ්ඩක් බලන්න පාසල් නිවාඩු කාලෙට කොච්චර ළමයි වෙළඳාම් කටයුතුවල යෙදෙනවාද කියලා..

    ReplyDelete
  7. ගොඩක් වෙලාවට ළමයින්ට ඔහොම සළකන්නෙ සමාජයෙ හොඳයි කියල සලකන මිනිස්සුන්ගෙන් සුලුතරයක් තමයි.
    පරිවාසෙ ගැනනම් කතාකරන්න එපා!!

    ReplyDelete
  8. kathawa lassanai habai mewage ewa tawamath wenawa lankawe

    ReplyDelete
  9. ළමා මෙහෙකාර සේවය මේ වෙනකොට නම් ගොඩක්ම අඩුයි. අනික සමාජයත් ඒ ගැන ටිකක් උවමනාවෙන් බලනව මං හිතන්නෙ...
    හැබැයි කුමාරිගෙ තත්වය නම් හොඳ අතට හැරිලා නෑ මෙහෙකාර සේවෙන් ගැලවුනා කියලා... :(

    ReplyDelete
  10. පරිවාසෙනුත් හුඟාක් වෙලාවට කරන්නෙ බොරුව. අවුරුදු 16ක් කියන්නෙ කසාද බඳින්න වයසක්ද ? පව් අසරණ කෙල්ල...අපි නොදන්න අහුමුළු වල මේ වගේ දේවල් මොනතරමක් වෙනවා ඇතිද ?

    ReplyDelete
  11. oyada danneth na kumari

    ReplyDelete
  12. ඇත්තටම අද කාලේ නම් ළමයින්ව වැඩට ගන්නකොට ඒ අයට උගන්වනවා "ඔයා කැමැත්තෙන් මෙතන වැඩ කරනවා කියන්ඩ නැත්තම් පස්සට කරදර වේවි"

    ඔය වගේ දේවල් කියලා බය කරපු අසරණ කොල්ලෙක් අපේ පැත්තේ ගෙදරකත් වැඩ කලා පස්සේ පරිවාසෙන් එයාවත් අරගෙන ගියා ..

    දැන් නම් යන්තමට හරි මේ කුහක වැඩේ අඩුයි .. ඉස්සර නම් ගෙවල් වල හිටියෙම මෙහෙකාර පොඩි ඈයෝ ..

    ReplyDelete
  13. ගොඩක් වෙලාවට ඔය වගේ කතා වල අවසානය ඕක, පරිවාසයෙන් ඔයිටත් වැඩිය දේවල් වෙන වෙලාවල් තියෙනවළ්‍ය් අඩුම තරමේ ඔය තත්වයෙන්වත් නතර වෙලා ඒ ළමයගේ ජීවිතය බේරුණ එක හොඳයි. සමහරු ඔය ළමයින්ව වෙන වෙන වැඩ වලටත් යොදා ගන්නවාලු, පරිවාස පාලිකාවන් මැදිහත් වෙලා එහෙම වෙනවලු. මට මතක විදියට ඔය වගේ දෙයක් ගැන මීට අවුරුදු ගානකට කළින් සුළං කපොල්ල වැඩසටහනෙත් ගියා..

    ReplyDelete
  14. හපොයි හරිම දුක හිතෙන කතාවක්. මට නම් ඔය නෝනා කියන ගෑණිගෙ හොම්බට දෙකක් අනින්නයි හිතෙන්නෙ.
    හැබැයි මම නම් මේ පැත්තෙ පොඩි ළමයින්ගෙන් ඔහොම වැඩ ගන්නවා දැකල නැහැ.

    ReplyDelete
  15. ඉස්සර අපි පොඩි කාලෙත් ගෙදර මේ වගේ දුප්පත් පවුල්වල පොඩි අය හිටිය.ඒත් එයාල හිටියේ වැඩ ගන්න නෙමේ අපිත් එක්ක සෙල්ලම් කරන්න . අපි කනබොන හැම දෙයක්ම අපි එයාලට දුන්න . ගෙදර අනිත් අයත් එක්ක පවුලේ අය වගේම හැදුනා.මේ වගේ දුප්පත් ලමයෙක්ගෙ ගෙදර මට යන්න ඕන වෙලා පොඩි කාලේ මම එහේ ගිහින් දින් 2 නැවතිලා ඉදලා ආවා. මැටි ගහපු පොඩි ගෙයක්..ඒත් එතනින් මම ආවේ ජීවිතේට අමතක නොවන සුන්දර අත්දැකීම් සමුදායක් එක්ක.ලස්සන දොලක් තිබුනා නාන්න..

    ReplyDelete
  16. පව් අහිංසක කුමාරි !!!!
    අච්චර ලොකු රෙදි කන්දක් එකපාරටම හෝදන්නේ කොහොමද පොඩි ළමයෙක්. කවුරු උනත් හොද වැඩක් කරලා තියෙන්නේ පරිවාසේට කියලා. නැත්නම් අර නෝනයි කියාගන්න කෙනා අර ළමයට මොනා කරයිද මන්දා. නැත්නම් කොණ්ඩෙට කෘමිනාශක ඉහියි යෑ.

    ReplyDelete
  17. හ්ම්ම්..පව් අසරණ ළමයා

    ReplyDelete
  18. ඇයි මිනිස්සු මෙහෙම තිරිසන්නු ගානට වැටිලා තියෙන්නෙ, තමන්ටත් ලමයි ඉන්නවා කියලා හිතෙන්නෙ නැද්ද දන්නෙ නෑ ....

    ReplyDelete
  19. මේ කතාව මම දැන් කීප වතාවක්ම ඇවිත් කියෙව්වා.. මොනව කමෙන්ට් කරන්නද කියල තේරෙන්නෙ නැහැ..මට හිතා ගන්න බැරි සමහර මේ වගෙ නෝනල මේ වගෙ දරුනු වෙන්නෙ කොහොමද කියලයි..හිතක් පපුවක් නැද්ද මන්ද ?.. තමන් වගේම තව කෙනෙකුට කුරිරු කම් කරන්න කොච්චර නම් කලු කැත , හිතක් තියෙන්න ඕනිද?

    ReplyDelete
  20. වෙනි වගේම මමත් කල්පනා කලා මොනවද කියන්නේ කියලා.. ඒ තරමට සමාජේ පිරිහිලා කියලා හිතෙනකොට.....
    ඇත්තටම දැන් ඒ උනාට ඉස්සරට වඩා හොදයි කියලා මට හිතෙනවා

    ReplyDelete
  21. අපිට සරසවියේ පලමු වසරෙදි ව්‍යාපෘතියක් කරන්න උනා "ළමා අපචාර" ගැන.. ඔන්න අපි විස්තර හොයන්න ගියා..පොලිස් ලමා හා කාන්තා කාර්යංශයට (කොටුවෙ තමයි තුබුනේ එ දවස් වලනම් ). ඔන්න එතන හිටපු ජේශ්ඨ නිලධාරියෙක් කියුව දේ..(අපිට මතක හිටපු විදිහට )
    අපේ ප්‍රශ්නය: ළමා මෙහෙකාර සේවය ගැන මොකද හිතෙන්නේ?
    පිලිතුර: මෙහෙමනේ පුතා.. ඕකේ දෙපැත්තක් තියනව.. කවුරු හරි දුප්පත් ලමයෙක්ට යමක් කමක් තියන මනුස්සයෙක් ගෙදර ගෙනත් තියාගෙන කන්න බොන්න දෙනව නම් ඒක එක අතකින් පිනක්...ඒ වෙනුවෙන් ගෙදර වැඩත් කරන්න වෙනව, ලමයි බලාගන්නත් වෙනව... ඔව ඉතින් ඔය ලමය ගෙදර හිටියත් කරන්න වෙන වැඩ තමයි බොහෝ දුරට,... සමහර ලමයි ගෙදර වැඩට හිටියට ඉස්කෝලෙත් යනව.. අපිට ඉතින් මොකක් හරි පැමිනිල්ලක් ආවොත් අපි දෙපාරක් හිතනව ඒ ලමය පරිවාස බාරෙට ගන්නවද, අවවාද දීල එතනම තියනවද කියල... මොකද පරිවාස බාරෙට ගත්තට පස්සේ සමහර නිවාස වල තත්වය හරිම කණගාටුයි. කන්න බොන්න ලැබෙන්නෙත් නෑ හරියට... අනික ලමයගේ අනාගතේ ගැන හිතුවහම, පරිවාස ලමයෙක් කියන්නේ සමාජයේ කොන් වෙච්ච චරිතයක්.... ගෙදරක මෙහෙ කාර වැඩ කරපු ලමයෙක් ට වඩා...

    මේ ලැබිච්ච පිලිතුරින් අපි අන්ද මන්ද උනා... හැබැයි ඒ කියුව කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ...
    (මේ අදහස මගේ අදහස කියල වැරදියට තේරුම් ගන්න එපා...)

    ReplyDelete
  22. කිරි අප්පට බල්ලො පැනපි කිවිවලු.. බැදලා??? :O

    සීතල අයියා...

    ReplyDelete
  23. සාමාන්‍යයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අවු 15 න් 16 න් කසාද බඳිනවා කියන එක එච්චර අළුත් දෙයක් නෙමෙයි. ගොඩක් එවැනි සිදුවීම් අහන්න දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් ඒ වගේ බැඳපු ගොඩක් අය වැඩි කාලයක් යන්න කලින් දෙපැත්තකට වෙන අවස්ථාත් ගොඩක් වැඩියි...

    ReplyDelete
  24. මන් දන්නේ නැහැ කොහොමද අපේ රටේ බවුද්දයි කියාගන්න මිනිස්සු තමුන්ගේ දරුවාගේ වයසේ නැත්නම් ඊටත් වැඩ පොඩි එකෙකුගෙන් මෙහෙම මරවල වැඩ ගන්නේ කියලා. ඒ මදිවට සතුන්ටත් අන්ත විදිහට සලකන්නේ කොහොමද කියලා. නොදරුවන් වහල් සේවයේ යෙදීමට විරුද්දව තියෙන ක්‍රියාමාර්ග බොහොම මදි.. රට පුරාම ඒ වහල් සේවය ජයට යනවා. මට මතකයි එක නඩුකර හමුදුරුකෙනේකුන්ගේ ගෙදරත් එහෙම ගනු දරුවෙක් ඉඳලා අතවර වලට ලක් වෙල් අ තිබුනා. එවුව නිකම්ම වැහිලා ගියා.

    ReplyDelete
  25. ඇහ්! එච්චර පොඩි වයසින් බැඳලා ළමයෙකුත් ඉන්නවා.. :\ හෆොයි.. ඔය හැම එකටම මුල ඉතින් දුප්පත්කම තමා නේද?

    ReplyDelete
  26. සමහර ඔය වගේ මිනිස්සු ඒ ළමයින්ව ඉස්කෝලෙ යවනවා පරිවාසෙන් බේරෙන්න. ඒත් කාලෙකට සැරයක් ඒ ළමයි ඉස්කෝලෙට යන්නෙ. ඉතින් ඉගෙන ගන්නෙ කොහොමද...

    ReplyDelete
  27. මේ ඔයාගේ ඉබ්බෝ ට්‍රිබල හරි ස්වීට් මෙය.. කොහෙන්ද අල්ලාගත්තේ..? මුන් නින්ජලගේ? නැත්තම් නින්ජලගේ නන්ගිලද?

    ReplyDelete
  28. අපේ රටේ මේ වගේ කුමාරිලා තව කොච්චර නම් ඉන්නවා ඇත්ද ? ලොකු වලව්වල වළං ඇතිලි හෝදන, බේබිලාගේ, හාමුලාගේ ඇඳුම් කඳු පිටින් හෝදන, හරි හමන් විදිහකට බඩට බත් ඇටයක් නොවැටෙන....!

    ReplyDelete
  29. දුක හිතෙන කතාව

    ReplyDelete
  30. දිළිඳු බවේ විශම චක්‍රය...

    ReplyDelete
  31. දුප්පත් කම හින්දා තමයි කුමාරිව ගෙදර වැඩට එවන්න ඇත්තෙ.

    ReplyDelete
  32. මොන දෙයිහාමුදුරුවන්ට කියන්නද මේවා! :(

    ReplyDelete
  33. hema dekama depaththak thiyenawa api e depaththama hithanna ona... asarana kamai dilidukamai :(

    ReplyDelete
  34. අම්බලම- ඔව් ඔහොම කතා අනන්තවත් මේ පළාත් වල අහන්න ලැබෙනව.

    ඉන්දි-කතාවක් නෙමේ.මේක ඇත්ත සිද්දියක්.

    නලිනී- ඒක ඇත්ත අක්කා.දුප්පත්කම තමා ගොඩක් වෙලාවට මේ දේවල් වලට පෙලඹීමක් ඇති කරන්නෙ.අඩුගානේ තුන් වේල කාලාවත් ඉදීනේ කියල ලමයි වැඩට යවනව,අන්තිමේ බරපතල ඛේදවාචකයකින් අවසාන වෙන්නෙ.

    ReplyDelete
  35. Bunny -මටත් පුදුම හිතුනා ඒත් ඒ ලමයම තමා එහෙම කිව්වෙ කොන්ඩෙට දැම්මේ ඒවා කියල.

    ක්සැන්ඩර් | Xander- එහෙම හිතන්නෙ නැති එකනේ ප්‍රශ්නේ.

    ර්‍ඔශන්Hඑරත්-ඔව් හැබැයි දැන් ඒ තත්වේ ගොඩක් අඩුයි,ඉස්සර තමා ඔය ළමා මෙහෙකාර සේවය ගොඩක් තිබ්බේ,මිනිස්සු ගොඩක් දැනුවත් වෙලා දැන්.ඒත් නැත්තටම නැතිවෙලා නෑ.

    ReplyDelete
  36. ඉන්දික- හ්ම්.කෝකත් එකයි තමා.

    ඇනො-වෙනව ඒත් ඉස්සර තරම්ම නෑ මම් හිතන්නේ,දැන් ගොඩක් අඩුයි.

    චතූ.....- හ්ම්.මොනාකරන්නද නේද?

    ReplyDelete
  37. ගීතක - ඇත්ත කතා...!!!-ඔව් අය්ය දැන් ගොඩක් අඩුවෙලා.හ්ම්...ඒ වෙද්දිත් බැදලා ලමයිනුත් ඉන්නව කියල තමා කිව්වෙ.

    දිල්-16ක් කිව්වට ඊටත් වඩා අඩුද මන්දා අක්කා.පව් තමා.

    Anonymous- අනේ මම් නම් නෙමේ. :)

    ReplyDelete
  38. හිස් අහස-හ්ම්...කෑම ටික හරි ලැබෙන නිසා මෙහෙම එවනව,අනික කීයක් හරිත් හම්බෙනවනේ.පව් අසරණ ලමයි.

    චතුර....-ඔව් මමත් පත්තර වල එහෙම දැකලා තියනව එහෙම ලමයි විකුණපු කතා එහෙම.

    පැණි දොඩම් - [නුවන් කුමාරනායක]-එයා කරදේවල් එයාට තියෙයි.

    ReplyDelete
  39. ඝිම්හනි-ලස්සන මතකයක්.ඔහොම අය අඩුයි.පොඩි එකාගෙන් හරි මරවගන වැඩගන්නනේ බලන්නෙ ගොඩක් අය.

    මධුරංග-ඒ බයට තමා ලමයව ගෙදර ඇරියේ.හිහ්.

    ChammA -ඔව් මල්ලි.

    ReplyDelete
  40. පන්සල් හංදිය-අනේ මන්ද අය්ය.ලමයි විතරක් නෙමේ.එයාටනම් මුනුඹුරොත් ඉන්නව.

    Wඑනි-හ්ම් හැමෝම එකවගේ නෑනේ.ඔන්න ඕකයි ප්‍රශ්නේ,අඩුමුදලකට වැඩි වැඩක් ගන්නනේ බලන්නේ,පොඩි එකාගෙන් හරි.

    දේවා ගේ අඩවිය-ඔව් දැන් නම් ඔයවගේ දෙවල් අදුයි තමා.

    ReplyDelete
  41. නදුන් උයන-එහෙම බැලුවම ඒ කතාවෙත් ඇත්තක් තියනව.කාලා ඇදලා හරි ඉන්නවනේ.

    සීතල අයියා... -හ්ම් ඔව්

    තාරක-ඔව් දැනුම් තේරුම් ඇති අය නෙමේ නේ ගොඩක් විට වෙන්නේ ඒකයි.පොඩි ප්‍රශ්ණයක් ආවත් දෙපැත්තකට වෙන්න බලනව.

    ReplyDelete
  42. සරත් ලංකාප්‍රිය-එව්ව එහෙම තමා.කොච්චර නීති තිබ්බත් ඒවට පිටින් දේවල් සිද්ද වෙන අවස්ථා ඕන තරම්නේ.

    චතුවා (ළමයා)-ඔව් දුප්පත්කම+නූගත්කම.

    මන්තරකාරි-මේ ලමයත් ඉස්කෝලෙ නම් ගියෙ නෑ.

    ReplyDelete
  43. ඪුශ්-දැලක් දාල ඇල්ලුව අනේ.සුවිට් ඉබ්බො ටික නේද?

    දුමී-අපෝ ඇති ඕන තරන්.

    Ranul Hashika- හ්ම්.ඔව්.

    ReplyDelete
  44. කස්සා- දුකයි තමා.පව් මට මැවිලා පේනව.

    ටී.බී. හේරත්- හ්ම්


    නචියා- ඔව්.පොඩිම පොඩි ගෙයක් තිබ්බේ, හරියට පැලක් වගේ.

    ReplyDelete
  45. කස්සා-හ්ම් දුකයි.පව්.

    ටී.බී. හේරත්-දුප්පත් කම තමා ඔක්කොටම මුල.

    නචියා-ඔව් ගෙදරත් පොඩි පැලක් වගේ තිබ්බේ.

    ReplyDelete
  46. තනි අලියා- :(

    shan ප්‍රියන්ත-දුප්පත් අසරණාකම තමා.

    ReplyDelete
  47. අක්කාගේ බ්ලොග් එක හරියට මම කියවන්නේ අද. පුදුමාකාර අත්දැකීම් ගොඩකට ඔයා මූණ දීලා තියෙනවානේ....

    ReplyDelete
  48. Hasitha- මතක් වෙන ඒව ලියනව.ඔක්කොම අහපු දැකපු වෙච්ච දේවල් තමා ඉතින් :)

    ReplyDelete