ගේට්ටුවෙ සද්දයක් ඇහෙනව නේද?
කවුද කියල බලනවකෝ වාඩි වෙලා ඉන්නෙ නැතුව, මම් මේ බබාගෙ ඇදුම් අයන් කරනව...
කාමරේ ඉදලා අක්ක හයියෙන් බෙරිහන් දෙනව.
නිල්පාට කොටු කොටු සරමක් ඇදලා දිරච්ච කමිසයක් ඇදගත්ත මැදිවයසේ කැහැටු පිරිමියෙක් ගේට්ටුව ඉස්සරහ.
ආහ් නජීම්!...
මූණපුරා රෑවුල වවාගන,වෙනදා වගේ කකුලක් ඇද ඇද ගේට්ටුව ඇරගන එනවා...
අම්මා ඉන්නවද...?
ආ... ඔව් නජීම්... එන්ඩ.
සෙරෙප්පු දෙකක්වත් නොදා දූවිල්ලෙන් පිරිලා තිබ්බ යටිපතුල් දෙක, ගේ ඉස්සරහ තිබ්බ පාපිස්සෙ උලලා උලලා,නජීම් සාලේ කොනේ තිබ්බ පුටුවක වාඩිඋනා.
අම්මේ!....අම්මේ!....
නජීම් ඇවිල්ලා...
ආ...නජීම්!...දැක්ක කාලයක් හැබෑට?කතාකරන්ඩවත් විදියක් නෑනේ...ෆෝන් නොම්බරයක් වත් නෑනේ...
ඉතින්?...
අම්ම නජීම් එක්ක කතාවට වැටුනා,වෙනද වගේම මමත් පැත්තක ඇනතියාගන ඒ කතාවට ඇහුම්කන් දුන්න.
හෙහ්...වරදක් නෑ...ඔහෙ ඉන්නව!...
කුඹුරු වැඩ කොහොමද?
මේ සැරෙත් වතුර මදි උනා...,එච්චරම සරුවකුත් නෑ....
අපේ ඒව කොහොමද දන්නෙ නෑ...? බලන්ඩවත් යන්ඩ බැරිඋනා නජීම්...
පාර ළග කුඹුර නම් හැම සැරේම පැහෙන එකනේ... මේපාරත් හොදයි.ඒකට නම් වතුර තියනව...නුගගහ අක්කරේට වතුර මදි උනාලු කිව්වෙ,මට එද්දි ඇඩ්ඩින් හම්බුනා...,ඇවිත් යන්ඩ එන්නම් කියල කියන්ඩ කිව්වා...
හ්ම්...
අපේ නංගි ඉස්පිරිතාලෙ නැවැත්තුවා...කහටද්දිලියේ මහ ඉස්පිරිතාලේ ඉදලා මෙහෙ දැම්ම...
ආහ්...ඒ මොකද?
කොන්දේ අමාරුවක්...ටිකක් අමාරුයි කිව්ව හින්දා අරන් ආව මෙහෙ. පරීක්ශණ වගයක් කරන්ඩ තියනව කිව්ව.
ම්...නංගි බැදලත් නෑනේ?
බැන්ද...
නංගි බැන්දද...? අපි දන්නෙවත් නෑනේ....
බැන්ද,ඒක දැන් අත් ඇරිලා වාගේ තමා ඉන්නෙ.නංගි ඉන්නෙත් අපිත් එක්ක...
නජීම් ඉතින් ඔය හැමදේම බලනව,එතකොට නෝනා...?
ඉදලා හිටලා කතා කරනව.එකසැරයක් ඇවිල්ලත් ගියා,මාත් එක්කත් රන්ඩුවෙලා කියන එක අහන්නෙ නැතුවනේ ගියෙ.
එහෙනම් සල්ලි එවනව ඇති?
මුලින් මුලින් එව්වා...ඇවිත් ගියාට පස්සෙ තාම නෑ.දැන් මාස 2 - 3ක් ම වෙනව.
ළමයි ?
ගෙදර...,අපේ අම්ම ඉන්නවනෙ බලාගන්ඩ,නංගිත් ඉන්න හින්දා මේ ටිකේ අවුලක් නෑ...
ආ...එහෙනම් හොදයි!.
තේ ටිකක් බීල ඉන්ඩ නජීම්!...
හ්ම්...
හදලා දුන්න කිරිතේ එක නජීම් එක හුස්මට බීගන බීගන ගියා.
මේ ලගදී පොලිසියෙන් ආවනේ...ගෙදරට.
ආ...ඒ මොකද?
ලෙඩ ලමයා තනියම ගෙදර දාල යනව කියල කවුද පොලිසියට කියල, කුඹුරු වැඩට යනවනි.
අම්මයි නංගියි ඉන්නව කිව නේද?
අම්මත් දැන් වයසයි ඇහැපේන්නෙත් නෑ.නංගිට ඇවිත් සතියක්වත් නෑ...ඊට කලින්...
ඉතින්?...
පොලිසියෙන් ඇවිත් ලියාගන ගියා.
කලින් ඔය දුව මෙහෙ ඉස්පිරිතාලෙටත් ගෙනාව නේද?
ඔව්,හරි ගියෙ නෑනේ.කන්නෙ නෑ...දියර ජාති බොනව.හිට්ටවල තිබ්බොත් ඉන්නව ඇවිදින්ඩ බෑ.
හ්ම්...
ඔහොම තමා ඉතින් ජීවිතේ ගෙවෙන්නෙ,කුඹුරු කෙරුවෙ නැත්තන් ලමයිට කන්ඩ නෑ,ගෙදර ඉදලා හරියන්නෙ නෑනේ.ගම් පැත්තේ ආවොත් එන්ඩ, මම් වැව් බන්ට් එක සුද්ද කරනව,ලූල්ලු නම් පොඩි උන් ඉන්නෙ,තෙප්පිලි වේලනව මේ දවස් වල.
ආ...ආවොත් එන්නම්කො.
අනේ නජීම් තරහ වෙන්ඩ එපා,පුංචිඅය්යගෙ පුතාල කීපසැරයක්ම ඉල්ලපු නිසා මේ කන්නෙ කුඹුරුටික එයාලට දුන්න.
මටත් වි මිටි 6ක් තියනව නෝනට දෙන්ඩ,ඉතුරු වෙච්ච රුපියල් 10,000 මේ කන්නෙ වී විකුනපුවහම දෙන්නන්.ඒ ටික කියන්ඩත් එක්ක තමා මම් මේ ඇවිත් යන්ඩ ආවේ.
හ්ම්...නජීම් කුඹුරු කරන කොට වී ටික හරියට දෙනවනේ...,වී ටික පුලුවන් නම් දෙන්ඩ මට සල්ලි ඕනේ නෑ.
ඒක කිව්ව විතරයි,නජීම් ගේ මූණට ලා හිනාවක් ගියා.
එහෙනම් යන්නන්,පරක්කු වෙන්ඩ බෑ.දෙකට බස් එක අල්ලගන්ඩත් ඕනේ...
පොඩ්ඩක් ඔහොම ඉන්ඩ නජීම්....!
අම්ම කුස්සිය පැත්තට ගියා...,මාත් ඒත් එක්කම අම්මගෙ පස්සෙන් වැටුනා...
ගෙදර ගෙනල්ල තිබ්බ බිස්කට් පැකට් එකකුයි, බබාගේ චොකලට් පෙති ටිකකුයි, අම්ම පාර්සලයක් වෙන්ඩ හැදුවා.
ආ නජීම්...පොඩි දුවට ගිහින් දෙන්ඩ...!
මට මතක් උනා එකාපාරටම දවසක් නජීම්ගෙ ගෙදර අපි ගිය වෙලාවක ජනෙල්,දොරවල් අතරින් එබුනු ලමයි රොත්ත.ඔක්කොම 10 වත් ඇති,පඩිපේළියක් වගේ.
ඊයේ ගියා අල්ලපු ගමේ කුලී වැඩකට වත්තක් සුද්ද කරන්ඩ.
පන්සලේ බණ...හාමුදුරුවො කෙනෙක් කියනව අපි කරපුවා විදවල ඉවර වෙනකම් මැරෙන්නෙ නෑලු...!
අපේ තාත්තා මැරුනේ 48න්.මට දැන් 40ක්.තව කොච්චර ඉන්ඩ වෙයිද...?
හිහ් නජීම් දැන් බණත් අහනවද?
නෑ,ඒ වත්ත අල්ලපු වැටේනේ පන්සල,එදා පෝයට හාමුදුරුවෝ බණ කියනව ඇහුනා.