Showing posts with label කෘෂිකර්මය. Show all posts
Showing posts with label කෘෂිකර්මය. Show all posts

Saturday, June 28, 2014

තක්කාලි | Tomato


තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව.

 මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්‍රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය.

හැමදාම උදේ නැගිට්ට ගමන් මිදුලට ගිහින් පැල ටික දිහා බැලුවම හරිම සතුටක් දැනෙනවා. වතුර බිල වැඩී කියල අම්ම කෑගහන එක තමා ඉවසන්න බැරි . :(  ඒත් අම්මටත් ආස හිතිලද කොහෙද දැන් පැල  වලට සාත්තු කරන්න පටන් අරන්.



Thursday, February 13, 2014

කඩේ හාල් | Buying Rice

මේ කන්නෙ ඒ කිව්වෙ 2013/2014  මහ කන්නෙ වැස්සෙ හිගයත් එක්ක කුඹුරු කරන්ඩ බැරුව ගොඩක් දෙනා අත ඇරල.වැස්ස නැතුව මොන කුඹුරුද?...

සමහරු කුඹුරු පාලුවට ඇරල සමහර ඒවල නම් අතිරේක බෝග වගා කරල තියනව, බඩඉරිගු යායවල් තමා ගොඩක්ම පේන්ඩ තියෙන්නෙ.

වතුර තියෙන කන්න වල කුඹුරු කරත් ගොඩක් දෙනා තෙල් බෙහෙත් ගහන්ඩ ටැට්ටර් කුලි වලට තව ගොඩක් දේවල් කරන්නෙ ණය වෙලා.ඒ නිසා හොද අස්වැන්නක් ලැබුනත් අන්තිමට වීගෝනි ටික ගෙට ගේන්ඩ කලින් කුඹුරෙදිම විකුනලා දාන්ඩ සිද්ද වෙනව, එකතු වෙච්ච ණය බේරන්ඩ.

කොහොම හරි එන කන්නෙ වෙනකම් ගෙදර කන්ඩ හාල් ටික ඉතුරු කරගන්නව සමහරු. සමහරුන්ට එහෙම ඉතුරු කරගන්නෙ නැතුව ඔක්කොම ටික විකුනලා දාන්ඩ වෙනව ණය වල හිලව්වට. ඉතින් මේ කන්නෙ ඒ අයට හුලං තමා... කඩේ හාල් කන්ඩ වෙනව.
 
ඉස්සර කඩේ හාල් වල අමුතුම ගදක් තිබ්බ අහම්බෙන් හරි ඉස්කෝලෙට කෙනෙක් දවල්ට බත් කන්ඩ ගෙනාහම ඒ බත් වල අර සැර එනව. මම් ඒවට කීවෙ ගද බත් කියල. එහෙම කියද්දි අම්ම සැර කරනව බත්වලට එහෙම කියන්ඩ එපා පව් කියල.පස්සෙ කාලෙක තමා දැනගත්තෙ ඒ වී තම්බන්ඩ වතුරේ දාල පල් කරන නිසා එහෙම ගද එනව කියල.

සමහරු ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බත් ගේන්නෙම නෑ. සීනි බනිස්/මාලු බනිස්/ ඉදි ආප්ප/රොටි ඔය වගේ එක එක කෑම ගේනව.එයාලගෙ කෑම පෙට්ටි අරිද්දිම ඒ සුවද පැතිරිලා යනව.ඉතින් කෙළ ගිලෙනව සුවදට ඉව අල්ලලාම, කොහෙද අපේ ඉතින් තුන් වේලම බත්නෙ!. 

හොද වෙලාවට මේ කන්නෙ වී ටික විකුණන්නෙ නැතුව ඉතුරු කර ගත්තෙ. නැත්තම් අපිටත් කඩේ හාල් තමයි කන්ඩ වෙන්නෙ.ලංකාව සහල් වලින් ස්වයංපෝෂිතයි කීවට හාල් මිලේ අඩුවක් නෑ, කිලෝ එකකුත් දැන් සෑහෙන ගානක්නෙ!

Sunday, January 19, 2014

වගා ළිං බැද ගැනීම | Help for Commercial Farming

වගා ලිදක් බැදීමට සකස් කරමින්
මේ දවස් වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ  වානිජ ගොවිපල වැඩසටහන නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි, වානිජ වශයෙන් බෝග වගා කරන අයට අතහිතදිමක් වශයෙන් තමයි මේ ව්‍යාපෘතිය දියත් කරල තියෙන්නෙ.

මේ ව්‍යාපෘතිය මගින් වානිජ වශයෙන් බෝග වගා කරන අයට ඕන වෙන  වගා ලි0 කපා ගන්න වගේම බැදගන්නත්, අවශ්‍ය අයට බීජ /පලතුරු පැල වර්ග ලබා දීම වගේම තාක්ශණික උපදෙසුත් ලබා දෙනව.

බඩ ඉරිගු/ ලොකු ලූණු… /කුරක්කන් බීජ නිශ්පාදනය කරන අය වෙනුවෙන් ඒ බීජ වියලා ගන්න  කමත් සකස් කරන්නත් උදව් දෙනව. මේ හැමදේටම යන වියදම් වලින් 50% ප්‍රමාණයක් රජය විසින් දරනවා.


කෘෂිකර්ම අමාත්‍යා0ශයෙන් දියත් කරලා තියන මේ  වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක වැඩසටහනක් වෙයි කියල තමයි ගොඩක්දෙනාගේ අදහස.

පස් අයින් කරන්න අට්ටාලයකුත් හදලා
මේ කන්නයෙ වර්ෂාව අඩු තත්වයත් එක්ක අතිරේක ආහාර භෝග වලට ප්‍රමුඛතාවය දෙන්න කියල තමයි ගොවියන්ට උපදෙස් දිල තියෙන්නෙ,මොකද වී නිශ්පාදනය  අතිරික්තයක් එන මට්ටමට ඇවිත් තියනව කියල කියනවනේ.

ටිකක් අවදානම්
ඒක නිසා මු0ඇට, බී ලූණු, තල, රටකජු, සෝයා, උදු  වගේ භෝග වලට ගොවිජනතාව නැඹුරු කීරීමක් විදියට මේ වැඩසටහන වැදගත් වෙයි කියල හිතෙනව.

වගා ලි0 සකස් කර ගන්න මේෙකන් උදව්වක් ෙවන නිසා වතුර ප්‍රශ්නෙට විසදුමක්  ලැබෙනව.ඒ කියන්ෙන අතරමැදි කන්නයක් පහසුවෙන් වගා කරන්න පුලුවන් වතුර ගැටලුවක් නැතුව.මේ වගේ ගොඩාක් වගා ලි0 තියනව දිස්ත්‍රීක්කය පුරාම.

තවත් එකක්

මිරිස් තවාන් දැමීම | Preparation of Chilli Nursery

මගෙ තවාන

පොලිතින් බදුන් වල  මිරිස් වගා ව්‍යාපෘතියක් ගැන මම් කලින් කීව්වනේ, අද කියන්න හදන්නෙ කොහොමද මිරිස් ඇට ටික තවාන් දාගන්නෙ කියල. විශේෂයෙන් කියන්න ඕනේ මම් මේ උපදෙස් ටික ලබාගත්තෙ අපි සම්බන්ධ උනු පුහුණු වැඩසටහනේදි.   

මිරිස් ඇට

 මිරිස් ඇට ටික පැල කරගන්න නම් අපි පොඩි තවානක් හදාගන්න ඕනේ. බිම් තවානක හදනවට වඩා තවාන් තැටියක පැල ටික හදාගන්න එක ලේසී කියල තමයි කීවෙ. 

තවාන් තැටි ගන්න තියනව පොහොර එහෙම විකුණන කඩ වල. තැටියක් නැත්තම් අඹ කොළවල නැට්ට කපල රවුම් කරල ටූත් පික් එකක්/ඉරට්ටක් ගහල හදාගන්නත් පුලුවන්.  
 
මෙන්න මේ විදියට ටූත් පික් එකක්/පොල් ඉරට්ටක්  ගහල හදාගන්නත් පුලුවන්

කොල වලින් හදන තාවනේ පැල කෙලින්ම පොලිතින් බදුනේ හිටවන්න පුලුවන්. 

එහෙම නැත්තම් අඹ කොල වෙනුවට නෙස්කැෆේ කප් ,යෝගට් කප් වගේ ඒව හොයගන්න තියනව නම් හරි.නැත්තම් කෙසෙල් පට්ට උනත් ගන්න පුලුවන් ලු.

මුලින්ම මිරිස් ඇට ටික පැය 12ක් විතර වතුරෙ පෙගෙන්න තියන්න ඔනේ.

වතුරෙ දාල පෙගෙන්න පැය 12ක් වත් තියන්න ඔනේ

පස්සෙ දිලීර නාශකයක් එහෙම දානව නම් ඒවා දාල පොඩි රෙදි කෑල්ලක පොට්ටනියක් හදල දවස් 3ක් විතර තියල තියන්න ඕනෙ.ඒ වෙද්දි පැල වෙන්න පටන් ගන්නව/කනු කැපුනු බීජ තත්වෙට පත් වෙනවා.

පස්සෙ මතුපිට පස් ටිකක් බැදල අරන් (තාච්චියකට දාල ටිකක් බැදල ගන්න ) කොම්පොස්ට් 1:1 අනුපාතයට මිශ්‍ර කරල  තවානට දාගන්න. 

ඊලගට අර පොට්ටනිය ලෙහලා මිරිස් බීජ 2 බැගින් සෙන්ටිමීටර් 1ක් වගේ ගැඹුර පොඩි වලවල් වලට දාගන්න ඕනේ.

…තවානට ජල සම්පාදනය කරනන්ත් ඕනේ... මල් බාල්දියකින් වතුර දානව වගේ ස්ප්‍රේ කරන එක හොදයි කියලයි කීවෙ.


දවස් 21 විතර ගියාම පොලිතින් බදුනෙත් හිටවන්න පුලුවන්ලු.. හොදට හිරු එළියට හුරු කරවන්නත් ඕනේ කීව.අඩුම ගානෙ පැය 6ක් වත් හොදට හිරු එලිය වැටෙන තැනක පොලිතින් බදුන් තියන්න ඕනේ. 

මගෙ තවානෙ පැල හැදෙන්න  තව කල් තියනව, මේ දවස් වල පැල එන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ . :)

Saturday, January 11, 2014

මිරිස් වගාකිරීමේ ව්‍යාපෘතිය | Chilly Project 2014



ලංකාවෙ මනුස්සයෙක්ගෙ වාර්ෂික රතු මිරිස් අවශ්‍යතාව කිලෝග්‍රෑම් 2.3ක් විතර වෙනවලු.

ඊට අමතරව අමු මිරිසුත් සෑහෙන ප්‍රමාණයක් අපිට කැවෙනවා. 

අම්මෝ! හිතාගන්න පුලුවන්නේ එතකොට කොච්චර මිරිස් කනවද කියල අපි.

රටේ මිරිස් අවශ්‍යතාවට සරිලන නිශ්පාදනයක් අපේ රටේ වෙන්නේ නැති නිසා විශාල ප්‍රමාණයක් මිරිස්  රටට ආනයනයත් කරනව. 

ඒකට එක විසදුමක් විදියට මිරිස් වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරල තියනව කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. 


ඒක නම් කරල තියෙන්නෙ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව මෙහෙයුම - විශේෂ බදුන් මිරිස් වගාකිරීමේ ව්‍යාපෘතිය කියල. 

 එක ගොවි මහත්තයෙකුට/මහත්මියකට පොලිතින් බදුන් (අර කිලො 5 හාල් උර ප්‍රමාණයේ ඒවා ) 250ක් වගේම ඒවට සරිලන විදියට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙ නිර්දේශිත මිරිස් බීජ නොමිලේම ලබාදෙන්නත් නියමිතයි.

…අවුරුදු 40ට වඩා අඩු පුද්ගලයන්ව තමා මේකට සම්බන්ද කරගන්නෙ,
කෘෂිකර්මට තරුණ දායකත්වය ලබාගැනීමේ වැඩපිලිවලක් විදියටත් මේ වැඩසටහන වැදගත්  වෙයි කියල හිතනව.

මොකද දැන් ගොඩක් තරුණ අය මඩ ගාගන්න එහෙම වැඩි කැමැත්තක් නෑ.... නේ... 

පොලිතින් බදුන් වල හිටෙව්වම එකෙන් මඩ ගෑවීමත් අවම වෙනව වගේම මිරිස් වලට ලෙඩ රෝග බෝවීමත් අවම වෙනව.

ලේසියෙන් පහසුවෙන් අඩු ඉඩ ප්‍රමාණයක වගා කරන්නත් පුලුවන්.

රසායනික පොහොර භාවිතය අවම කරල කොම්පෝස්ට් යොදාගන මේක කරන්න තමා අපිට උපදෙස් ලැබුනේ...

…නගර සීමාවේ අඩු ඉඩ ප්‍රමාණයක් තියන අයත් මේ විදියට පොලිතින් බදුන් වල මිරිස් වගා කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නව.


පුහුණු වැඩසටහනකුත් තියනව, කොම්පෝස්ට් හදාගන්න තැන ඉදන් පොලිතින් බදුන් පුරවන හැටි... අපිට දෙන මිරිස් ඇට තවාන් දාන හැටි... පැල හිටවන හැටි... හිටෙව්වට පස්සෙ පැල රැකබලාගන්න විධිය... ඔක්කොම කියල දෙනව. 


කොම්පෝස්ට් හදලා අලෙවි කරන තැන් ගොඩක් තියන නිසා ඒකත් ලේසියි. කොම්පෝස්ට් හද හද ඉන්න ඕනේ නෑනේ...ගියා ගත්තා....

මමත් ගොඩක් ආසාවෙන් මේ වැඩසටහනට සම්බන්ද උනා. පැල හදන්න වගේම මඩ අනන්නත් ආසා නිසා වගේම නොමිලේ දෙන දෙයින් වැඩක් ගන්නත් පුලුවන් නිසා :).  

ඊයෙ ඔෆිස් ගිහින් එන ගමන්ම තවාන් තැටි, කොම්පෝස්ට් පොහොර, කොහුබත් එහෙමත් අරන් ආව.

මට දැන් ඕනෙ ඉක්මනට මිරිස් ඇට තවන් දාල පැල එනව බලන්න!

…කොහෙද පුහුණු වැඩසටහන 16 නෙ තියෙන්නෙ එතකන් ඉවසලා ඉන්න වෙනව. ලොකු වැඩක් නිසා තාකෂණික දැනුම, උපදෙස්...එකතු කරගනම වැඩ පටන් ගන්න එක කොකටත් හොදයි නේ.


Tuesday, April 26, 2011

වවමුද?

කෘෂිකර්මය,ගෙවතු වගාවන් ගැන සිංහලෙන් ලියවුනු බ්ලොග් එකකට මම් දැක්කෙ නුවන් අය්ය ලියන  NUWAN"s lane බ්ලොග් එක,සමහර විට තවත් ඒවා ඇති.ඒකෙ දාලා තියන සමහර එලවලු හදන හැටි දැක්කම මටත් හිතුන නිකන් ඉන්න වෙලාවට ඒව හදල බලන්න.අපේ ගෙවත්ත නම් ටිකක් ඉඩකඩ අඩුයි.ඒක නිසා පොඩි ගස් තමයි හිටවන්න වුනේ. මල් වවල තිබ්බ පෝච්චි තමා එලවලු හදන්න පාවිච්චි කරේ,මල් පැල ගලවනව කියල අම්මගෙන් පොඩ්ඩක් බැනුනුත් ඇහුව,ඒක නිසාම මට ගනකම්,කලු පොලිතින් උර ගෙනත් දුන්න,එලවලු හදන්න කියල.

මේ බීජ තමයි හිටවන්න ගත්තෙ

එලවලු බීජ ගෙනල්ල දුන්නෙ නම් රජරට විශ්වවිද්‍යාලගෙ කෘෂිකර්ම පීඨයෙ අවසාන වසරේ ඉගනගන්න,මම් අදුරන මල්ලි කෙනෙක්.තවත් පැල වර්ග ගත්තෙ අපි හැමදාම උපදෙස්,මල් ගස්,එලවලු, පොහොර එහෙම ගන්න "මල් අය්ය"ගෙන්.

"රෙඩ් ලේඩි"

 මේ තියෙන්නෙ මම් හිටවපු රෙඩ් ලේඩි පෑපොල් ගහ,තාම පොඩියි.මම් හිතන්නෙ මේ ගස් එච්චර උස යන්නෙ නෑ.කොහොමත් ඉතින් ඉඩකඩ අඩු නිසා පොඩි පැල තමයි හිටවන්න වෙන්නෙ.

කුරු ඇඹරෑල්ලා
 මේ තියෙන්නෙ කුරු ඇඹරෑල්ල පෑලේ.හිටවල නම් දැන් ටිකක් කල් වෙනවා. ටිකක් විතර උස ගිහින්.

මුරුංගා
 මේකත් වැඩිය උසයන්නෙ නැති මුරුංගා වර්ගයක් කියල තමයි මල් අය්ය දුන්නෙ,දැන් චූටි මලකුත් ඇවිල්ල තියනව.

තිබ්බටු
 මේ තියෙන්නෙ තිබ්බටු පැලේ, රතු කූබින්ගෙන් බේරගන්න එක තමයි දැනට මේකට තියන එකම ප්‍රශ්නේ....කොලවල යටි පැත්තෙ උන් බිත්තර දාල කොල ඇකුලනව.පස්සෙ ඉතින් ගහ මැරෙනව,ගස් දෙකක් තිබ්බ,ඒත් දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මේක විතරයි.

බණ්ඩක්කා
බණ්ඩක්කා 
 බණ්ඩක්කා නම් හැදුවෙ මල් හදල තිබ්බ ලොකු පෝච්චි වල.අද මුල්ම ඵලදාවත් ගත්ත.මේ තියෙන්නෙ චූටි කරලක් ඉතුරුවෙලා.

තක්කාලි
 තක්කාලි ගස් ටික හිතුවට වඩා උසට හැදෙනව වගේ,ඒ නිසා කෝටු ටිකකුත් හොයාගන හයිකරල දැම්මා,කදට ටිකක් හයියක් වෙන්න.  නැචුරලුත් ගොඩක් ආසයි තක්කාලි කන්න,විශේෂයෙන් අමුවෙන් කන්න.ඒ නිසා තමයි තක්කලි ගොඩක් හැදුවෙ.බෝංචිත් කන්න එයා ගොඩක් ආසයි, ඒනිසාම බීජ ගෙනල්ල පැල කරත් පැල වුනේ නැ.

සුදු පාට ඉරි
 තක්කාලි ගස් වල කොළවලට ලෙඩක් හැදිල, "ලීෆ් මයිනර්" ද මොකද්ද කියල තමයි මට උදව් කරපු මල්ලි කිව්වෙ,කොහොඹ ඇට තලල දැම්මොත් හරියනවලු,තාම නම් දාල බැලුවෙ නැ.තව දාස්පෙතිය මල් ගස් හදන්නත් කිව්වා.ගෙදර හදන නිසා කොම්පොස්ට් ඇරෙන්න වෙන මොනවත් රසායනික දේවල් දාන්නෙත් නැති නිසා මේක නම් වලක්වගන්න එක ප්‍රශ්නයක් වෙයි වගේ.ඒත් එච්චරම ලොකු බලපෑමකුත් නෑවගේ පේන්නෙ.

වැටකොලු මල්
වැටකොලු කරල්
 වැටකොලුත් හැදුවා,ඒවත් තාම පොඩියි.මුල් කාලෙ පොඩි කරල් කහපාට වෙලා නරක් වෙන්න ගත්තා,පස්සෙ තමයි සුදු පාට ඉටි කවර දැම්මෙ ඒවා ආවරණය වෙන්න,අර මල්ලිගෙ උපදෙස් අනුව,එයා කිව්වෙ නම් පළතුරු මැස්ස ඇවිල්ල පොඩි කරල් හිල් කරල බිත්තර දාන නිසාලු එහෙම වෙන්නෙ.

සුදුපාට ඉරි
 මේ බලන්නකො වැටකොලු වලත් අර සුදු පාට ඉරි තියනවා.

කරවිල
 කරවිල නම් තාම පොඩි පැල තියෙන්නෙ.

මිරිස්
මාලු මිරිස්
 මිරිසුයි,මාලු මිරිසුයි පැල ගොඩක්ම පොඩියි තාම.මේවා ඔක්කොම පෝච්චි වලයි,පොලිතින් උර වලයි හිටවන්න උනේ බිම හිටෙව්වොත් ගොලුබෙල්ලො ඇවිත් එක දවසින් කාල දාන නිසා.

කංකුන්
අගුන කොල
කිරි අගුන
කංකුන් කන්න මම් එච්චර ආස නැ.ඒත් අනිත් අය කනවනේ ඒ නිසා හැදුවා.මේ අගුන වැල යවල තියෙන්නෙ තාප්පෙ දිගට,සමහර අයනම් මේ කොළවල තිත්ත රසට ආස නැ.මම් නම් ගොඩක් ආසයි.සම්බෝලෙ වගේම මැල්ලුමත් ගොඩක් රහයි.කිරි අගුන පැලයක් හම්බුනේ මේ ලගදි.ඒවා නම් තිත්ත නැ.

තෙබු
සාරණ
නිවිති
අලුතෙන්ම හැදුවෙ තෙබු,සාරණ, නිවිති ටික.මේවා කන්නත් මම නම් වැඩිය ආසනෑ,ගෙදර අනිත් අය කන නිසා හිටෙව්වා.තව බෝංචි,වට්ටක්කා,බුශිටා මෑ බීජත් හිටවල තියනව.තාම පැල ඇවිත් නෑ.ගස් හිටවන්නත් ලේසියි අමාරුම වැඩේ තමයි, නැචුරල්ගෙන් බේරගන්න එක, වෙලාවකට එයා එවයෙ මල් කඩනව.