සාරියක් නැත්තම් ඔසරියක් ඇන්දම ඕනෙම ගෑහැණු කෙනෙක් හැඩයි තමා.වෙන ඇදුමක් අදිනවට වඩා ඒකේ අමුතුම ලස්සනක් තියනව.අනික සාරිය/ඔසරිය අනිත් ඇදුම් වලට වඩා ගොඩක් සංවරයි කියනවනේ.
ඒත් ඉතින් දැන් ඔසරිය/සාරිය අදින පිළිවලත් ටික ටික වෙනස් වෙලා... එක එක අය එක එක විදියට අදිනව,සමහරු "ඔබේ තීරය" කියන එක සෑහෙන ප්‍රමාණයක් තියලා අදිනව.ඒක සමහරුන්ට ලස්සනයි සමහරුන්ට නම් වස කැතයි.
සමහරු අදින්නෙ ඔසරිය විතරමයි.සමහරු සාරිය විතරයි ,සමහරු නම් ඕනේ ජාතියක් අදිනව.කැම්පස් ඉන්න කාලෙ එක යාලුවෙක් කිව්ව මතකයි ආහ්...අපි උඩරට නිසා පවුල් සම්ප්‍රදාය ආරක්ශා කරන්න අදින්නෙ ඔසරිය!...තව කෙනෙක් කිව්ව, අපේ පවුල් වල ගෑනු අය නම් අදින්නෙ සාරිය විතරයි!....කියල එක ඒ අයගෙ කැමැත්ත.
ඩෙනිම් & ටී ඇදපු කාලේ අහවරවෙලා ඔන්න මටත් ඔසරි ඇදන් වැඩට යන්න වෙලා.දැන් තමයි රගේ තේරෙන්නෙ.සති අන්තේ ඉරිදා දිනය වෙන්කරගන ඉන්නෙ සාරි ඔක්කොම හෝදලා රැළි හදලා(නැට්ටෙ) කටු ගහලා අයන් කරල තියන්න.
අම්මෝ එපා කරපුම වැඩේ ඒක.අයන් කරගත්තත් කියමු කොහොම හරි.ඇදින එක තවත් ටිකක් පණ යන වැඩක්.දැන් නම් ටිකක් ටිකක් පුරුදුයි මුල්ම කාලෙ කරන රස්සාවත් එපා වෙන සයිස් මේක ඇදගන ඇවිදින්න උනාම.ඇයි දෙයියනේ බස් එකේ ඇදන් ගියාම අරහෙන් ඇදෙනව, මෙහෙන් ඇදෙනව, ශූ එකට පෑගෙනව, වැටෙන්න යනව, හරියකට ඇවිදලා කරලා යන්න බෑ.
පොසොන් කාලෙ නිසා හුළගත් වැඩි මේ දවස් වල, ඒ නිසා හොදම ගනන්.හෑන්ඩ්ලූම් ඔසරිය අදින දවසට තමයි ගොඩක්ම එපා වෙන්නෙ, කකුලත් තියලා කකුලක් ගන්න බෑ හිරවෙනව වගේ.
බස් එකෙන් බැහැලා බැරිම තැන ත්‍රීවීල් වල ආපු වාරත් තියනව, ඒ නිසාම.ඇවිදින්න බැරුව කකුල පැටලෙනව.අනික බස් එකෙන් බහිද්දි සාරියෙ නැට්ට අතින් අල්ලගන එන්නත් ඕනේ නැත්තම් මහ වදයක් අනිත් මිනිස්සුන්ට, ඇදි ඇදී යනවනෙ.
යාර 6ක් දවටගන ඉන්නව කියන එකත් ලේසි නෑනේ හිතලා බලන්නකො.ඒ මදිවට කටුත් පෝළිමක්ම ගහනවනේ.සාරිය කඩාගන වැටෙයි කියල.ඒවත් ගහන්න ඔනේ පරිස්සමෙන් නැත්තම් සාරිය ඩැමේජ් වෙනව.ආය අදින්න වෙන්නෙ නෑ.
හොදට ඉනට හිර කරල පටියකුත් බදිනව ආය ටිකක් වැඩිපුර කෑම එහෙම කනව බොරු.රැළි දාද්දි පිටිපස්සෙන් රැළි හදන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ.ඇයි හැට්ට කට්ට ගහන්න!...
සමහර වෙලාවට වැඩකරන තැනට යද්දි සාරිය එහෙම මෙහෙන් ලෙහිලා... බුරුල් වෙලා...
මිස් ඔන්න සාරිය පෑගෙනව!...
මිස් ඔන්න පිටිපස්සෙ රැළි ටික ඇදිලා!...
මිස් තව ටිකක් සාරිය පහලින් අදින්න එතකොට ලස්සනයි!...
(*^*(&%(*&% )*&% මගුලක් කතාකරනව, මෙහෙම ඇදගන බස් වල එන්නෙත් බොහොම අමාරුවෙන්...මොකද පැය 1.5ක් යන්න එන්න එපැයි දවසට.
ඉතින් මාත් එක්ක ඉන්න අය ගොඩක් උදව් කරනව, සාරිය ආයම තිබ්බ විදියට හදාගන්න.බස් වල ගිහින් බහිද්දී ආය කියන්න ඔනේ නෑනේ චප්ප චුරුප්පම් වෙලානෙ යන්නෙ.
සාරි හැට්ට/ ජැකට් මහන එකත් ලේසි නෑ.සාරි ගනිද්දි හැට්ට රෙද්දත් තියන සාරිම ගන්න වග බලාගන්නව නම් ගොඩක් ලේසී.නැත්තම් ගැලපෙන හැට්ට රෙදි හොයන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනව.
රෙද්ද හොයාගත්ත කියමු ලයිනින් දාලනේ මහන්නෙ, ඉතින් ලයිනිනුත් අරන් ලයිනින් රෙද්ද හෝදලා අයන් කරලා එහෙම තමා මහන්නත් දෙන්න ඔනේ නැත්තම් මැහුවම හැට්ටෙ ඇකිලෙනව ලස්සනට තියෙන්නෙ නෑ ඇන්දම.
මහන්න ගන්න ගානත් ඒ වගේම තමා. අනික මාල, කරාඹු, සාරි කටු, බෑග්, සපත්තු ඒවට ගැලපෙන විදියට අදින්න එපැයි,එහෙම නැත්තම් ඒකත් හරි නෑ.ටිකක් හීල් එක තියන සපත්තුවක් වත් දාන්න ඔනේ නැත්තම් සාරිය පෑගිලාම ඉවර වෙනව.වැස්ස කාලෙට තාම සාරියෙන් මුහුණ දුන්නෙ නෑ.බලමුකෝ ඒ වෙද්දි කොහොමට හිටීද කියල.
අම්ම නම් කියන්නෙ කොයි දේත් ඔහොමයි පුරුදු උනාම හරි යයි කියල. අවුරුදු 37 ක්ම ඔසරිය ඇදන් ඉස්කෝලෙ ගිය නිසා අම්මට ඒක ජාතික ඇදුම වෙලා,ගෙදරින් එළියට යන්නෙත් ඔසරිය ඇදලා.ඒක පහසුම ඇදුම කියලයි අම්ම නම් කියන්නෙ.බලමුකෝ නේද?මට නම් ඩෙනිම & ටි එක තරම් පහසු ඇදුමක් තවත් නෑ.