Thursday, December 1, 2011

හොස්ටල් පාර්ටි


කැම්පස් එකේදි අපි මුලින්ම හිටපු හොස්ටල් එක තිබ්බෙ කැම්පස් එකට ටිකක් දුර තැනක,ඒක කලින් පොඩි හොටෙල් එකක් වගේ තිබ්බ තැනක්.පස්සෙ කැම්පස් හොස්ටල් එකකට අරන් තිබ්බ.ඔක්කොම ගෑණු ළමයි 34ක් හිටියා.ඊට අමතරව වෝර්ඩන්, සබ්වෝඩර්න් එක්ක තව ආන්ටි කෙනෙක් හිටියා අපේ උදව්වට.ආ LSO කෙනෙකුත් හිටියා.

මාස 6කට (මුල්ම සෙමෙස්තරයෙන්) පස්සෙ අපේ හොස්ටල් වල ළමයි  මාරු කරනව කියල නෝටිස් එකක් තිබ්බා.ඒක නිසා අන්තිම දවසේ, අපිලග තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම බැදගන අලුත් හොස්ටල් වලට දාල තමයි ගෙදර යන්න උනේ නිවාඩුවට.

සමහ‍රුන්ගේ ඒ හැටි කැමැත්තක් තිබ්බෙත් නෑ හොස්ටල් මාරු කරනවට,මොකද ඒ වෙද්දි යාලුවො සෙට් වෙලානේ හිටියෙ.වෙන් වෙන්න දුකයි නේ.ඒත් සමහරු කැමැත්තෙනුත් හිටියා,ඒ දුර හොස්ටල් වල අය,ඒ අයට ලග හොස්ටල් ලැබෙයි කියල හිතලා.


විභාගෙත් ඉවරවෙලා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න දවස්නේ ඉතින්,කට්ටිය කතා උනා ගෙදර යන්නෙ හෙට කියල පාර්ටියක් දාමු කියල.ඔන්න ඉතින් කට්ටියගෙම එකගතාවයෙන් කේක්ද, බිස්කට්ද, මාස්මෙලොස්ද, බීමද(පැණිබීම), සැන්විචස්ද අරවද මේවද කෑම ගොඩාරියක් එකතු කරගත්ත, කට්ටියම කලෙක්ශන් එකක් දාලා.

එදා රෑ 9.30 ට විතර පාර්ටි එක  පටන් ගත්ත,පාර්ටි එක තිබ්බෙ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ.අපේ හොස්ටල් එකේ හිටිය වෝර්ඩන්ටත් එන්න කියල කේක් අරව මේව කන්න දුන්න.විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න නිසා එයත් කිසිම අවවාද අනුශාසනාවකින් තොරව හැමෝටම සුබ පතලා කාල බීල රූම් එකට ගියා.අපේ කන බොන වැඩේ දිගටම කරගන ගියා.ඒ අස්සෙ හිමීට හිමීට සින්දුත් කියන්න පටන් ගත්තා.

ඒ දෙසැම්බර් කාලේ ,කියන්න ඔනේ නෑනේ ඒ කාලෙට අපි හිටපු පැත්තේ සීතල කොහොමද කියලා.කට්ටියම ජර්සි දාගන අයිස් කැප් දාගන තමා පාර්ටි එකට ඇවිත් හිටියේ.එළියට යන්න බෑ "කට කට..." ගාල ගැහෙන සීතල. 

ඒ අස්සෙ සල්ලි එකතු කරපු සෙට් එක අයිස් ක්‍රීම් ටබ් කීපයකුත් උස්සන් ඇවිත් තිබ්බා.

මේ සීතලේ මොන අයිස් ක්‍රීම් ද?...

එහෙම කියල කෑම අතැරියේ නෑ...කට්ටියම ඒකටත් වග කිව්වා.ඒ අස්සෙ සමහරුන්ට හෙම්බිරිස්සාව.

කාල බීලා සින්දු කියල හෙම්බත් වෙලා,ඒ වෙද්දී හරියටම 12ට විතර ඇති. මාත් එක්ක හොස්ටල් මාරුව ගැන ප්‍රශ්නයක් ඇතිකරගත්ත යාලුවෙක් ලගට ඇවිත්, කතා කරා.එයාට හෙන යාලුවො සෙට් එකකුත් හිටියා,අපිත් ඉතින් හොදට කතාබහ කරල තරහ මරහ ප්‍රශ්න තියාගන්න ඔනේ නෑ කියල මතභේද සමතයකට පත් කරා.

වරෙන්කො පොඩ්ඩක් කාමරේට...

කියල මෙන්න මුන් සෙට් එකම මාව කාමරේට එක්කන් ගියා.එක්කන් ගියා නෙමේ ඇදගන ගියා.6 දෙනෙක් විතර ඇදන් යද්දි කොහෙ නවතින්නද.මම් ඇදිලා කෙලින්ම ගිහින් නැවතුනේ එයාල කාමරේ තිබ්බ ඇටැච් බාතෲම් එකේ.මෙන්න එකපාරටම පුරවලා තිබ්බ වතුර බේසම් 2ක් 3ක් විතර ඔලුවෙ ඉදන් "තොස් තොස් තොස්" ගාලා වැක්කෙරුනා,අත් දෙක එහා මෙහා කරන්නත් හැටියක් නෑ.ඇයි 6 දෙනෙක් විතර අල්ලගනනේ.උනුත් බාගෙට නෑ වෙනව.එකෙක් බිඩේ ශවර් එකෙනුත් වතුර අල්ලනව.



මං හොදටම නෑවිලා. මාත් එක්ක හිටපු යාලුවො සෙට් එකත් හොදටම නෑවුනා.පස්සෙ අපි අනිත් අයවත් ටබ් එකට පුරවලා තිබ්බ වතුරෙන් බාල්දි, බේසම් පුරවලා ඇතිවෙනකම් නෑව්වා. පව්නේ නැත්තම්.එදා රෑ 1ත් පහුවෙනකම් හොස්ටල් එකේ 34 දෙනාම නෑව්වා.1 ෆ්ලොර් එකයි ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකයි දෙකේම වතුර.

අදින්න ඇදුනුත් නෑ, ඇදන් හිටපුව ඔක්කොම තෙමිලා,අනිත් ඒවා ඔක්කොම හෙට අරන් යන්න,අලුත් හොස්ටල් ගිහින් දාන්න බෑග්ස් වලට දාල ලොක් කරල.වෙව්ල වෙව්ලා ඉබ්බො ගලවන්න උනා බෑග්ස් වල ඇදුම් ගන්න.පුදුමේ කියන්නෙ ඔච්චර හරියක් කරනකම් වොර්ඩන් සද්දයක් දැම්මෙ නැති එක.






Tuesday, November 29, 2011

ගිල්ලද? අපි දන්නෙ නෑ බඩේ පැලවෙයි එහෙනම්

මේ කියන්න යන කතාව ගොඩක් ලගකදි සිද්ද වුන දෙයක්.ඔන්න දවසක් අපේ ගෙදරලග ඉන්න ආන්ටි කෙනෙක් එයාලගෙ ගෙදර තියන වෙරළු ගහේ ගෙඩි ඉදිලා කියල යන ගමන් ලොකු ශොපින් මල්ලක් පුරවලා වෙරළු ගෙනත් දුන්නා.අපිත් ඇරියේ නෑ රහ කරකර කෑවා.කොහොමත් ලුනුත් එක්ක වෙරළු වල රහ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මම රහ  කර කර කනව දැක්ක නිසා නැචුරල‍්ටත් ඔනේ උනා රහ බලන්න.

අක්කා නැචුරල‍්ට දෙන්න එපා කියල කිව්ව නිසා අපි කන එකෙන්ම පොඩ්ඩක් දුන්න කන්න කියල. කොහෙද එයාට එහෙම බෑ.තනියම කන්න ඔනෙ උනා.මම් 2ක් විතර කන්න දුන්නා.අවුලක් නැතුව යස අගේට අරන් කෑවා.ඇට ටික මට දුන්නා මදේ කාල ඉවර වෙලා..

අවසාන එක කන්න යද්දිම අම්ම ඇවිත් 

ආ...මෙයාට වෙරළු දුන්නද?... කිව්වනෙ කන්න දෙන්න එපා කියලා...

ඔහොම පොඩි සද්දයක් දැම්මා.එහෙම කිව්ව ගමන්ම නැචුරලුත් බය වෙලා වෙරලු ඇටේ ගිල්ලා.දැන් මොකද කරන්නෙ!...,කට්ටියම මට බනිනව කන්න දුන්නෙ ඇයි කියල.දොස්තර ලගට යන්නත් ලෑස්ති උනා.දොස්තර ඉන්නෙ අල්ලපු වැටේ නිසා හොදයි.

එයා අමාරුවක් පෙන්නුවෙත් නෑ.ගිලලා බඩටම යන්නැති.වතුර එකකුත් දුන්නා බොන්න.ම්...අවුලක් නෑ.ඊට පස්සෙ ඉතින් හෙට උදේ වෙනකම් බලාගන හිටියා කොහොම හරි එළියට එන්නෙනැතෑ කියල.එදත් නෑ...ටිකක් බයවෙලා හිටියෙ කට්ටියම.මෙන්න එදා ඉස්කෝලෙත් ගිහින් එහෙම, හවස කක්කි දාලා,අම්ම ඒක ටෙස්ට් කරද්දි කොමඩ් එකේ වෙරළු ඇටේ තියනව.

ආ...වෙලලු ඇටේ...අර...අර...අම්මත්තා ඒක අරන්...ඉහි ඉහි ඈ...

කෑගහන සද්දෙට මාත් ඒ පැත්තට ගියා.මෙන්න බොලේ නැචුරල් අර කක්කි එකේ තියන වෙරළු ඇටේ ඉල්ලලා අඩනව.

චී...චී...පොතේ ඒවා කක්කි!... 

අම්ම ඒක විගහට අයින් කරා.

මට පස්සෙ තමා කරපු වැඩේ බරපතලකම තේරුනේ.ඇයි දෙය්යනේ හිර උනා එහෙම නම්!...

මම් කිව්වෙ අම්මගෙ කෑගෑහිල්ලට තමා එයා වෙරළු ඇටේ ගිල්ලෙ කියල නැත්තම් යස අගේට කකා හිටියනේ මාත් එක්ක කිසි අවුලක් නැතුව.. එක්කො මට තිබුනේ මදේ හූරලා කන්න දෙන්න කොහෙද මම් කන විදියටම එයාටත් කන්න ඔනේ උනානෙ.

අනික අපිත් පොඩි කාලෙ සතේ, සතපහේ ඒවා, සියඹලා ඇට, රඹුටන් ඇට එහෙම කොච්චර ගිලලා තියනවද? ඒත් ඉතින් පරිස්සම් වෙන්න ඔනේ තමා මෙවගේ දේවල් හිර වෙලා අනතුරක් උනොත්!

Monday, November 28, 2011

ඒකට කියන්නෙ "බීඩීයක්" කියල | Operation BD


මේ සිද්දිය වෙනකොට මං 3 වසරේ විතර වෙන්න ඔනේ .ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කලින්.ඒ කාලෙ අපේ ගෙදරට වඩු වැඩ කරන කෙනෙක් ඇවිත් කණ්නාඩි මේසයක් හැදුවා,වඩුබාස් එක්ක තව ගෝලයෙකුත් හිටියා.

ඒ දවස් වල මගේ වැඩේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන්ම බත් කාලා,වඩු බසුන්නැහැ වැඩ කරන මඩුවට ගිහින් වැඩ කරන දිහා බලන් ඉන්න එක.ලී ගාන කොට එකතු වෙන හීනී සර්පිලාකාර ලී පතුරු එකතු කරන්න බලාගන ඉන්නවා.ඒවා ලස්සනයි එක එක විදියයි.වඩු බාසුන්නැහැ කිව්වට ඒ "සෙනවි අය්යා" අපේ ගමේ කෙනෙක්, එයාගෙ විශේෂයක් තිබ්බා,සමහර වෙලාවට කෝටුවක් වගේ එකක් කනේ ගහන් ඉන්නව ඔය උඩ පින්තූරෙ වගේ දිග පොඩි කෝටුවක්.


ආය දවල්ට එහෙම බත්කාල ඉවර උන හැටියේ වගේ ඒ කොටුවක්  පත්තු කරලා අරන් කටින් පිඹලා දුන් දානව,ඔය දෙවනි පින්තූරෙ වගේ.මේක මට පුදුම දෙයක් උනා.මටත් ආස හිතුනා.කොහොමද එහෙම දුන් එන්නෙ කියලා.පස්සෙ අහපුවාම එයාම කිව්ව ඒකට කියන්නෙ "බීඩීයක්" කියල.

දවසක් වෙලාවට වඩුමඩුවෙ එයාලා පාවිච්චික‍රණ උපකරණ තියන තැන තිබිලා මට පොඩි බීඩියක් හම්බුනා,ඒක එච්චරම දිගට තිබ්බෙත් නෑ,මම් හිතන්නෙ බාගෙට බීලා අයින් කරපු එකක් වෙන්න ඔනේ.මතක විදියට හොරෙන් ඒක ගේ ඇතුලට අරන් ගිහින් කනේ ගහගන  කණ්නාඩියෙනුත් බැලුවා,ගිනි පෙට්ටිය හොයාගන ගිනී කූරකුත් ගහලා පත්තු කරගන හිමින් සැරේ ගේ පිළිකන්න පැත්තටත් අරන් ගියා.

පස්සෙ මම් බයෙන් බයෙන් එක සැරයක් බීඩි කොටේ උරලා බැලුව මොකද වෙන්නෙ කියල.වේලිච්ච කොස් කොළ රහක් වගේ... ශික් මෙලෝ රහක් නෑ,.ඇත්තම කියනව නම් මට ඒ රහ මොකද්ද කියල දැන් මතක නෑ,මේක කොච්චර කාලෙකට කලින් වෙච්ච සිද්දියක්ද? 

ප්‍රියතාවක් දැනුනේ නෑ කියල නම් මතකයි.අහ් දුම් ආවෙත් නෑ.ඒ එක්කම කැස්සක් නම් ආවා.පස්සෙ ඉක්මනට බීඩි කොටේ පිළිකන්නටම විසික් කරලා මම් ගේ ඇතුළට ආවා,එදානම් ටිකක් බයේ හිටියා,කරපු වැඩේ අක්කටවත් මාට්ටු උනොත් ඉදලා ඉවර නිසා.මගෙ වාසනාවට එහෙම උනේ නෑ.එදාට පස්සෙ අද වෙනකම් ඒවගේ දේවල් නම් අත්හදා බලන්න ගියේ නෑ.