Wednesday, November 9, 2011

ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


මේ මම් එන ගමන්...අද ටවුන් එක පැත්තෙ එනවද?

කාලෙකට පස්සෙ පුරුදු නොම්බරෙන් මැසේජ් එකක්.මැසේජ් එක එවල තිබ්බෙ උදේ 10.30ට විතර.මම් දකිද්දි 12ට විතර.ඒ අතරේම එක දිගට 4 පාරක් විතර රින්ග් කරලත් තිබ්බ.

මම් රිප්ලයි නොකර නිකන් ඉන්නත් හිතලා.පස්සෙ ආයම මැසේජ් එකක් දැම්ම,මම් දැන් දැක්කේ කියල.එතකොටම මෙන්න ආයම රින්ග් වෙනව.

හලෝ...

හලෝ...ආ... කොහොමද? මම් ටවුන් එකේ ඉන්නෙ.

ඉතින්!

මේ පැත්තෙ එනවද අද?

නෑ මම් එන්නෙ නෑ අද නම්.ඇයි ඇහුවේ?

නෑ නිකන්. 

එනව නම් එන්න ගෙදර ඇවිල්ල යන්න,අම්මත් ඉන්නව.

කමක් නැද්ද මම් ආවට,අම්ම මොනවත් හිතයිද?

මොනව හිතන්නද එන්න එනවනම්.

හා එහෙනම් මම් එන්නම්.එනව එහෙනම් හරිද?දැන් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙ.

හා හා එන්න.

එදා එයා අපේ ගෙදර ආව.අම්මත් එක්කත් ගොඩක් වෙලා කියව කියව හිටියා.ආ ගිය තොරතුරු,අලුත් රැකියා ස්ථානය,ගෙදර පවුලේ තොරතුරු...ගොඩක් දේවල්.ඒ අතරේ සයිලන්ට් දාල තිබ්බෙ නැතුව එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.කට් කරා,මෙන්න ආයම රින්ග් වෙනව.ඔහොම කීප සැරයක් කට් කරා.ඒ නිසාම එයා සෑහෙන අපහසුතාවයකට පත් වෙනව මම් දැක්ක.වෙනස මූණෙන් හොදට පෙනුනා.

ඒත් එක්කම මම නැගිටලා ගියා තේ එකක් හදන් එන්න.ඒ අතරේ කෝල් එකකට ආන්සර් කරනව ඇහුනා.ඒක කෙටි කතා බහක්.ආයෙත් අම්ම එයත් එක්ක කතා කර කර හිටියා.මම් ටිකක් වැඩිපුර සීනිත් දාල කිරි තේ එකක් හදල දුන්න,ගෙදර හදපු තල ගුලිත් එක්ක.

එයා දැන් මෙහෙලු වැඩ කරන්නෙ.සති 2කට පාරක් වගේ ගෙදර යනවලු.

ආගිය කතාවලට පස්සෙ තේ එකත් බීල යන්න හදද්දි මම් තල ගුලි කීපයකුත් ඔතලා දුන්න නැවතිලා ඉන්න තැනට ගිහින් කන්න කියල.මොකද එයා කිව්වෙ ගෙදර ගිහින් එන ගමන් කියල.බොරුවට එපා කිය කිය ඉදලා කොහොමහරි ඒක බෑග් එකට දාගත්ත.

යන්නම් කියල අම්මටත් දන ගහල වැදලා ගේට්ටුවෙන් එලියට ගියා මාත් එක්කම.අම්ම ගේන් එළියට ආවෙ නැතුව ඉස්සරහ දොර ලගට වෙලා බලාගන හිටිය.පස්සෙ ගේ ඇතුලට ගියා.එයා පාරෙ වංගුවෙන් හැරිලා මට අත වැනුව,මමත් හිනා වෙලා අත වැනුව,පස්සෙ නොපෙනී යනකම් බලාගන ඉදලා ගේට්ටුව වහගන ඇතුලට ආව.

අම්ම ඒ ගැන වැඩිය මොකුත් ඇහුවෙ නෑ.

දැන් මෙහෙලු නේද වැඩ කරන්නෙ?

හ්ම්...ඔව්.වැව් හදනවද මොකද්ද කීවනේ.හරියටම දන්නෙ නෑ.

මොකද ඔය අද මෙහෙ ආවේ?

මම් දන්නෙ නෑ, නිකන් එන්ඩැති! එන්ඩද කියල ඇහුවම මම් හා කිව්ව.එපා කියන්ඩැයි?.

හ්ම්...පිස්සු! බදින්නත් කෙනෙක් ඉන්නව කියන්නෙ.

ආ... ඔව් මටත් කිව්ව.

මෙලහට ඒ ළමය වෙන්ඩැති රින්ග් කරන්ඩ ඇත්තේ?

හ්ම්... ඔව් මටත් හිතුනා,ඒකයි මම් නැගිටලා තේ හදන්න ගියෙ.

දැක්කෙ නැද්ද නිකන් මූණ අමුතු උනා.

හ්ම්...

ෆෝන් එක බලද්දි රින්ග් එකකුත් එක්ක මට මැසෙජ් එකක් පුරුදු නොම්බරෙන්ම.

"මට ඔයා ගැන දුක හිතුනා"

මම් රිප්ලයි කරේ නෑ.ඒ වෙලාවෙ තරහක්වත් දුකක්වත් දැනුනෙ නෑ කිව්වොත් ඒ බොරුවක්.දුකද්ද තරහක්ද රීරිසියාවක්ද,මේ ඔක්කොගෙම මිශ්‍රණයක්ද මන්දා ඒ දැනුනේ...

මම් මැසේජ් එකක් යැව්වා මට ආය මැසේජ්, රින්ග් කරන්න එපා කතා කරන්න ට්‍රයි කරන්නත් එපා කියල,ඒකට කිසිම් රිප්ලයි එකක් ඇවිත් තිබ්බෙ නෑ.ඔහොම මාස ගානක් ගෙවෙන්න ඇති.මෙන්න දවසක් මම නැති වෙලාවක ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ඇවිත්.

ආ... දවසක් බැච් එකේ යාලුවෙක් කතා කරල ඔයා ඉන්නවද ඇහුවනේ?

මං??? මට පුදුම හිතුනා.ඇයි යකෝ මොබයිල් එක තියෙද්දි මොකටද ලෑන්ඩ් එකට ගන්නෙ කියල.කතා කරල තියෙන්නෙත් කෙල්ලක්ලු.

මොකද්ද නම කිව්වෙ?

අයේශාද මොකද්ද කිව්ව.මට දැන් මතක නෑ.

එහෙම නම් තියන යාලුවෙක් මට හිටියෙ නෑ.ඒ වෙලාවෙ නම් මම් අම්මටත් දොස් කිව්ව,නොදන්න අයට විස්තර කියන්න යන්න එපා කියල.මෙන්න කාලෙකට පස්සෙ අර නොම්බරෙන්ම මැසෙජ් එකක්.

"නංගි මම් කාර් එකක් ගත්තා!..."

රිප්ලයි නොකර ඉන්නත් හිතලා එහෙම කරොත් මොනව හිතයිද?කියල ආ නියමයි නේ.මොකද්ද වර්ගේ කියල මැසේජ් එකක් යැව්වා.ඊට පස්සෙ රින්ග් එකක්.ඕන එකක් කියල මමත් ආන්සර් කරා.එයාල අලුත් වාහනයක් අරන්,ඔයාගෙ යාලුවෙක් ඉන්නව දෙන්නද කියල කිව්වම කවුද කියල අහන්නත් කලින් මට ගෑණු කටහඩකින් හෙලෝ!...කියල කියනව ඇහුනා.

මම් හිතුවේ එයාගෙ නංගි කියල.ඒ එයා බදින්න ඉන්න කෙනා කියල දැණ ගත්තේ ගෑණු ළමයගෙම කතාවෙන්.අපි ආගිය තොරතුරු කතා කරා,"ඔහෙට වහිනවද?මෙහෙට නම් පායනව" වගේ දේවල්.එච්චර තමයි,මේ වෙනකම් මම් එයාගෙ නමවත් දන්නෙ නෑ,දැන ගන්න ඕනේ කමකුත් නෑ.

ඒ ගෑණු ළමය අපි ඉන්න පලාතට එහෙම ගොඩක් ආසයි කියල කිව්ව.මම් කිව්ව දවසක අය්ය එක්ක එන්න වැදලායන ගමන් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න කියල.

එන නොඑන එක කෙසේ වෙතත් එයා හිනා වෙලා හා...එන්නම්කො වෙලාවක කියල අපේ සංවාදේ නිමා කරා.මට එයත් එක්ක තරහෙන් ඉනන් ඕනෙ කමක් තිබ්බෙ නෑ.කතා කරපු විදියට එයාල සතුටින් ඉන්න බව පෙනුනා.

තවත් මාස කීපයක් ගෙවුනා.ඒ වෙනකොට එයත් එක්ක මම් කතා කරන එක සම්පූර්ණෙන් නවත්තලා ගොඩක් කල්,කරපු එකම දේ ඉදලා හිටලා මැසේජ් එකකට රිප්ලයි යවපු එක.මට හැම වෙලේම හිතුනෙ ඒකත් නොකලයුතු දෙයක් කියල.

ඉදලා හිටලා රින්ග් එකක් තියනව ඒ නොම්බරෙන්,මගෙන් රිප්ලයි නෑ.මැසේජසුත් නෑ.දවසක් මැසෙජ් එකක් එවල තිබ්බ මම් දන්නව දැන් ඔයා මෙහෙ නෑ කියල.මම් අම්මට කතා කරල විස්තර දැන ගත්ත කියල.ඒ කියන්නෙ එදා අයේශා කියල කතා කරල තියෙන්නෙ මෙයා.කාට හරි කියල කතා කරවන්නැති.

 ඔහොම දවසක් රින්ග් කරන කොට වැරදිලා මට ආන්සර් වෙලා.දැක්ක ගමන්ම මම් කට් කරා.ආයෙත් මැසේජ් එකක්.

"මට ඔයාගෙ කටහඩ ඇහුනා"

එදත් මම් නෝ රිප්ලයි.

ඔහොම කාලයක් ගෙවුනා,ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්.ජීවිත වලට අලුත් දේවල්  එකතු වෙලා.මාස කීපයක්ම කිසිම හැල හොල්මනක් නැතුව ගෙවුනා.

ආයෙත් අර නොම්බරයෙන් මැසේජ් එකක්!.

"නංගි මම් මෙහෙන් යනවා!"

මම් එදා රිප්ලයි කළා.

"හොදයිනේ :D " කියල.

එයා ආය රිප්ලයි කරේ නෑ.

ඇයි අපිට යාලුවො වගේ ඉන්න බැරි? ගොඩක් කාලෙකට ඉස්සර දවසක් එයා මගෙන් එහෙම ඇහුවා.ඒත් මම් නම් හිතන්නෙ නෑ එහෙම අපිට ඉන්න පුලුවන් වෙයි කියල,හොදම දේ තමා හිතින් අයින්ම කරල දාන එක.ඒත් එහෙම කරන්න පුලුවන්ද?


*************************************************************************************

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්... ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්...
අපට අප නැති හෙට දිනක දුක අරන්... හඩා කුමටද නොදරුවන් සේ ඉතින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්...සුසුම්ලන්නද අප ගැනකොයි ලෙසින්...
සුබ අසුබ පිරි සිහින විද තුන් සිතින්...සදා හමුවෙමු මග තොටේ මදහසින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


Friday, November 4, 2011

දැන් කොහොමද මම් පාරේ බැහැල යන්නෙ :(


එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලන්න හිතෙනවනේ අපිට.ඔන්න මගෙ යාලුවෙකුටත් මේ ලගදී ඉදන් කොන්ඩෙ ගැන එක එක පිස්සු හැදිලා.එක අතකින් ඒක පිස්සුවකුත් නෙමේ.ගෑණු ලමයි ඉතින් ස්භාවයෙන්ම ලස්සනට ඉන්න එක එක දේවල් කරන්න ආසයිනේ.විශේෂයෙන් බියුටි කල්චර් :).කැම්පස් ආව කාලෙ එයාට තිබ්බෙ හොද කර්ල් කොන්ඩයක් ලේයර් කරපු.අවුරුදු 4ම එහෙම ලේයර් එකම තියාගන හිට්යා කොට කර කර කප කපා.

පස්සෙ ක්‍රේල් කොන්ඩෙ හොද නෑ කියල කෙලින් කරන්න ඔනේ උනා.හා යමන්කෝ එහෙනම් කියල මමත් ඉතින් තනියට පස්සෙන් ගියා.එදා එයා කොන්ඩෙ කෙලින් කරා.රීබොන්ඩින්ද මොකද්ද කියල එකක් තමා කරේ.ඒ ගැන ලිව්ව විස්තරේ මෙන්න මෙතන ඇති.

ඒක නම් කාලයක් යනකම් ඒ කියන්නෙ මාස 10 ක් විතර හොදට මේන්ටේන් කරගන හිටියා.මේ වෙද්දි හොදට දිගට කොන්ඩෙ වැවිලා තිබ්බ.රිබොන්ඩින් එක කරේ ලේයර් එක අයින් කරල,ඒ නිසා කොන්ඩෙ එක ගානට දිගට තිබ්බා.

මෙන්න ආය ටික දවසකට කලින් කියනව,අනේ මේ කොන්ඩෙ මට දැන් ඇති වගේ...කොන්ඩෙත් ටිකක් වැවිලා නේද?...ආය ලේයර් එකක් කරන්න ඕනේ... කියල.මටත් මොකද එයාගෙ ආසාවනේ කියල, තනියට ගියා මේ සැරෙත්.කොන්ඩෙ කපාගන එනකම් සැලූන් එකේ තියන පත්තර බල බලා වාඩිවෙලා ඉන්නනේ තියෙන්නෙ,අහ් ඇයි සැලූන් එකට එන යන අය නරඹ නරඹා ඉන්නත් පුලුවන්නේ.

තිබ්බ කොන්ඩෙ ලේයර් කරන කම් පැය 1/2 ක් විතර බලන් හිටියා.

මෙන්න බොලේ මූණ නරක් කරන් එළියට එනව.පස්සෙ සල්ලිත් ගෙවල හිනාවක් දාගනම අපි දෙන්න එන්න ආව.කිසි කතා බහක් නැතුව ඔහේ යනව.මම් වැලමිටට ඇනල මොකද...කියල ඇහුව.

බලන්නකො මම් කිව්වෙ ලෙන්ත් එක තියල කපන්න කියලනේ.එයත් හා කිව්ව.දැන් කොහොමද මම් පාරෙ බැහැල යන්නෙ?හොදටම කොට කරලනේ.මේ...මට බකස් ගාල හිනා යන්න ආවත් ආයාසයෙන් වලක්ව ගත්ත.හොද වැඩේ කියන්නත් හිතලා....පස්සෙ එච්චරටම කැතක් නෑ... ඔය හොදට තියෙන්නෙ... කියල කිව්ව මොකටද නිකන් හිත රිදවන්නෙ.

ඒ සැරේ ආය කියපි කොන්ඩෙ උඩ හරියෙ කර්ල් ගතිය පේනව,දැන් වැවිලනේ...මම් ඉරිදට දාගත්ත රිලැක්සින් එකක් කරන්න කියල.එතකොට කොන්ඩෙ හොදට සෙට්වෙයි.මමත් ඉතින් හා එහෙනම් එතකොට හරියයි කියල නිකන් හිටිය.ඒ කියන්නෙ මේ ඉරිදා මටත් එයත් එක්ක රිලැක්සින් එකට යන්න වෙනව.

Thursday, November 3, 2011

ඔලුවක් පැලීමි


මතකේ හැටියට එතකොට මට වයස 5ක් විතර අති.අපි හිටියෙ ගමේ ගෙදර.වත්තෙ එක පැත්තකින් වැව,වැවටම අල්ලලා කුඹුරු යාය.අනිත් පැති දෙකෙන් තමයි ගමේ ගෙවල් වලට අපේ වත්ත සම්බන්ධ වෙලා තිබ්බෙ.අපි ගමේ ගෙදර දාලා ආව කතාව ගැන අසූ නමය අවුරුද්ද පෝස්ට් එකෙ මම් දවසක් කිව්වා මතක ඇති.

ඒ වැලෑනවැවේ බන්ට්එක සුද්ද කරන කාලේ... අපිටත් හෙන ජොලි.බන්ට් එක දිගේ දුවන්ඩ.උණබට තුවක්කු වලින් වෙඩි තියාගන්ඩ.අහ්... ආය පොල්පිති හරක් හදාගන බන්ට් එකෙන් පහලට රූටන්ඩ. රූටල ගිහින් වත්තෙ කොනේ තිබ්බ ගහෙන් තිඹිරි කන්ඩ...ඔය වගේ ගොඩක් වැඩ තිබ්බා.

ඒ දවස් වල අක්කටයි මටයි සෙල්ලම් කරන්න හිටියෙ අපේ අල්ලපු වත්තෙ ළමයි දෙන්න,එක්කෙනෙක් ඉන්දුල,එයා මම් හිතන්නෙ අපේ අක්කගෙ වයසෙ විතර.ඕනෙ නම් මට වඩා අවුරුදු 4ක් වත් වැඩිමල් ඇති.එයාගෙ මල්ලි ලලිත්.එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.

දවසක් අපි කට්ටියම බන්ට් එකට වෙලා සෙල්ලම් කර කර හිටියා...මොකක් හරි හේතුවකට මට තරහ ගියා කියල මතකයි. අන්තිමට පෙනුනේ ලලිත් ඔලුවත් අත් දෙකෙන් අල්ලන් බන්ට් එකේ බිමට පාත් වෙන එක!

ලලිත් අඩනවා...එයාගෙ ඔලුව පැලිලා... ලේ ගලනව...ඒත් එක්කම අක්ක අප්පච්චී!...අප්පච්චි!... කිය කිය කෑගහගන බන්ට් එකේන් රූටලා ගේ පැත්තට දිව්වා.මම් තනිවෙලා...හිටගන අඩනවා...ලලිත් වාඩිවෙලා... ඔලුව අල්ලගන කෑ මොර දෙනවා...ඉන්දුල-ලලිත්ගෙ අය්යා,ලලිත් ලගට වෙලා ලලිත්ව අල්ලගන ඉන්නව.


අප්පච්චි ආව ගමන්ම මට ඩෝංගාලා ශොට් එකක් දුන්නා පස්සට.මම් අඩාගන අම්ම ලගට දුවගන ගියා.එයාලගෙ අම්මයි-ගෙදර කට්ටියයි,අපේ අම්මලයි  ඔක්කොම වට උනා... මොකද උනේ? කොහොමද උනේ? කවුද ගැහුවේ? ප්‍රශ්ණ කෝටියයි.අක්ක හැම ප්‍රශ්ණෙකටම යහමින් උත්තර සපයනව.ඒ එක්කම අප්පච්චි ලලිත්ව ඉස්පිරිතාලෙ එක්ක ගියා...මමත් වැඩි වැඩියෙන් ඇඩුවා...ඉකි ගහ ගහ ඇඩුවා...අනිව අප්පච්චි ගෙදර ආව ගමන් මටත් ආය ගුටි පූජාවක් හම්බෙනව ශුවර්!.අනික ලලිත්ට මොනව වෙලාද කවුද දන්නෙ! මොනව හරි වෙලා තිබ්බොත්!

පැය කීපෙකට පස්සෙ ලලිත් බෙහෙත් දමාගන ගෙදර එක්ක ආවා.ඒ වෙද්දි මාමත් අඩලම හෙම්බත් වෙලා.තරහ වෙච්ච පාර මම් ගහපු ගල් පාරක් වැදිලා එයාගෙ ඔලුව පැලිලා තිබ්බ.කවුද හිතන්නෙ වමත් ශොට් එකක් ඔච්චර නිවරදිව ඉලක්කෙ අල්ලයි කියල.

අපේ අම්මයි අප්පච්චියි මට හොදටම දෙහි කැපුව.ලලිත්ගෙ තාත්ත කිව්වෙ පොඩි උන්නේ...ඔහොම තමා සෙල්ලම් කරනව...ගහගන්නව...වැටෙනව...අඩනව... කියල.ගෙදර ගිහින් මොනව කිව්වද මම් දන්නෙ නෑ.සමහර විට මහ වසවර්ති කෙල්ලක් කියල පලු යනකම් බනින්න ඇති!...