Monday, November 14, 2011

ටික්කො එක්ක සෙල්ලම් කරල තියනවද?


මේ සතාට "ටික්කා" කියල කිව්වට හරියටම මුන්ගෙ නම සිංහලෙන් කිව්වොත් ක්ලික් බීටල් :).මුන්ට ටික්කා කියන නම හැදුනෙ නම් මේ සතාගෙ පිටිපස්ස කොටස ඇගිල්ලකින් තදකරගන හිටියහම ඌ ඔලුව ගහනව ටික් ටික් ගාලා,අන්න ඒක නිසා වෙන්නැති.කාඩ්බොර්ඩ් එකක් හරි පොතක් උඩ හරි තිබ්බම නම් හොදට ඒ සද්දේ අහගන්න පුලුවන්.එහෙමත් නැත්තම් ගිනි පෙට්ටියක් උඩ තියාලා බලන්නකො. :).

පෙනුම ගත්තම නම් එච්චර විශේෂත්වයක් පෙන්නන්නෙ නෑ.ශරීරය කොටස් දෙකක් විදියට පිහිටලා තියනව අර පින්තූරෙ පේන විදියට මතුපිට ටිකක් ගනකම් ආවරණයකුත් තියනව.ඌට උඩුබැලි අතට වැටුනම "ටික්" ගාලා සද්දෙ දාගනම ආය හරි පැත්තට එන්නත් පුලුවන්.

පොඩි කාලෙ මේක ගොඩක් ලොකු විනෝදයක් උනාට පස්සෙ තේරුම් ගියා ඒ සතා පව් ඌට රිදෙනව ඇති කියල.සමහර දවස් වලට අර ලොකු අලියා ගිනි පෙට්ට් වලට දාගන ඉස්කෝලෙත් අරන් ගිහින් මිස් නැති වෙලාවට හොරෙන් එළියට අරන් යාලුවො එක්කත් සෙල්ලම් කරනව.දැන් උනත් මේ සතෙක් දැක්ක වෙලාවක ඌව අරන් සෙල්ලම් කරන්න අමතක කරන්නෙ නෑ.

මේ තියෙන්නෙ ටික්කෝ ගැන විඩියෝ එකක්,ඒකෙ පොඩි විස්තරයක් තියනව බලන්නකො.

Friday, November 11, 2011

කුරු ඇඹරැල්ලා

අපේ ගෙවත්ත එච්චරම ඉඩකඩ තියන තැනක් නෙමේ.අනික තියන ඉඩත් ඇහිරිලා තියෙන්නෙ ලොකුවට හැදෙන අඹ,කොස්,පොල් ගස් ටිකක් හදලා තියන හින්දා.ඒ නිසා තවත් ලොකුවට හැදෙන ගස් හිටවන්න කොහෙත්ම ඉඩක් නෑ අපේ ගෙවත්තේ.ඔය අතරේ තමා මල් පැල හිටව හිටව ඉදලා එළවළු වාගේ දේවල් හදන්න ඕනේ කියල හිතුනේ.

මම් කලින් පෝස්ට් එකක දැම්මනේ කොහොමද තක්කාලි හැදුනේ කියල.මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක තමයි.

ඉඩත් ගොඩක් නැති නිසා පැල ගන්න මල්අය්යට කියල කුරු ඇඹරැල්ලා පැලයක් අරන් ඇවිත් හැදුවා.අව්වත් හොදට වැටෙන තැනක.

මේ  ඒ පැලේ පුංචි කාලේ.
මේක හිටවලා නම් දැන් මාස කීපයක් වෙනව.පායන කාලේ වතුර දම දමා කොහොම හරි පැලේ ලොකු කරගත්තා.පස්සෙ අතු කීපයකම මල් ඇවිත් පුංචි පුංචි ගෙඩි හැදුනා.ගොඩක් ආස හිතුනා,මොකද තමන් හිටවපු ගහක මල් හැදිලා ගෙඩි එද්දි ඒකේ අමුතුම සතුටක් දැනෙනවා.

වෙලාවකට එළවලු පැල වලට, පෝච්චි වලට, පොහොර වලට, ඇයි පැල වලට වතුර දාන කොට සමහරු ඇවිත් කියනව ඔවට යන වියදමට පොළෙන් සෑහෙන ප්‍රමාණයක් එළවළු ගන්න පුලුවන් කියල.ඒත් අපි සැලෙයි ඕවට,මොකෝ බිල් ගෙවන්නෙ මමයැ අම්මනේ,අනික හිටවපු ගහක මල් පිපිලා එක ගෙඩියක් හරි හැදුනම දැනෙන සතුට,ඒක තේරෙන්නෙ නෑ නේ එයාලට. :)

මෙයාගෙන් බේරගන්න තමා ටිකක් අමාරු උනේ. :D
මේ කාලේ ඇඹරැල්ලා සුලබයි.පොළේ උනත් ගොඩක් ඇඹරැල්ලා ගන්න තියනව.සමහරුන්ට මේ දවස් වල ඇඹරැල්ලා එක එක විදියට හදලා කාලත් එපා වෙලා ඇති.මම් හදපු ගහෙත් ඉස්සර වෙලාම ගෙඩි හැදිලා.ගෙඩිනම් පොඩීයි,කොහොමත් ඒ කුරු ඇඹරැල්ලා ගස් වල ගෙඩි පොඩියට නේ හැදෙන්නෙ.මේ ගස් වල ගෙඩි ඇඹුල වැඩිය නැති නිසා එච්චරම රහ නෑ කියල කියනව.

මේ තියෙන්නෙ ගෙඩි හැදිලා.
පිත් තාම ඇඹරැල්ලා කෑවේ නෑ මේ ගහේ ගෙඩි වලින්.කොහොමත් එච්චර ගෙඩි ලොකුත් නැති නිසා වෙළදපොලේ වටිනාකම නම් අඩුයි මේ ගෙඩි වලට.ඒත් ඉතින් ගෙවත්තක, ඉඩපාඩු අඩු තැනක ලස්සනට හිටවගන්න පුලුවන්.එළදාවත් හොදයි.සෑහෙන ගෙඩි ගොඩක් හැදෙනව.

Wednesday, November 9, 2011

ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


මේ මම් එන ගමන්...අද ටවුන් එක පැත්තෙ එනවද?

කාලෙකට පස්සෙ පුරුදු නොම්බරෙන් මැසේජ් එකක්.මැසේජ් එක එවල තිබ්බෙ උදේ 10.30ට විතර.මම් දකිද්දි 12ට විතර.ඒ අතරේම එක දිගට 4 පාරක් විතර රින්ග් කරලත් තිබ්බ.

මම් රිප්ලයි නොකර නිකන් ඉන්නත් හිතලා.පස්සෙ ආයම මැසේජ් එකක් දැම්ම,මම් දැන් දැක්කේ කියල.එතකොටම මෙන්න ආයම රින්ග් වෙනව.

හලෝ...

හලෝ...ආ... කොහොමද? මම් ටවුන් එකේ ඉන්නෙ.

ඉතින්!

මේ පැත්තෙ එනවද අද?

නෑ මම් එන්නෙ නෑ අද නම්.ඇයි ඇහුවේ?

නෑ නිකන්. 

එනව නම් එන්න ගෙදර ඇවිල්ල යන්න,අම්මත් ඉන්නව.

කමක් නැද්ද මම් ආවට,අම්ම මොනවත් හිතයිද?

මොනව හිතන්නද එන්න එනවනම්.

හා එහෙනම් මම් එන්නම්.එනව එහෙනම් හරිද?දැන් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙ.

හා හා එන්න.

එදා එයා අපේ ගෙදර ආව.අම්මත් එක්කත් ගොඩක් වෙලා කියව කියව හිටියා.ආ ගිය තොරතුරු,අලුත් රැකියා ස්ථානය,ගෙදර පවුලේ තොරතුරු...ගොඩක් දේවල්.ඒ අතරේ සයිලන්ට් දාල තිබ්බෙ නැතුව එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.කට් කරා,මෙන්න ආයම රින්ග් වෙනව.ඔහොම කීප සැරයක් කට් කරා.ඒ නිසාම එයා සෑහෙන අපහසුතාවයකට පත් වෙනව මම් දැක්ක.වෙනස මූණෙන් හොදට පෙනුනා.

ඒත් එක්කම මම නැගිටලා ගියා තේ එකක් හදන් එන්න.ඒ අතරේ කෝල් එකකට ආන්සර් කරනව ඇහුනා.ඒක කෙටි කතා බහක්.ආයෙත් අම්ම එයත් එක්ක කතා කර කර හිටියා.මම් ටිකක් වැඩිපුර සීනිත් දාල කිරි තේ එකක් හදල දුන්න,ගෙදර හදපු තල ගුලිත් එක්ක.

එයා දැන් මෙහෙලු වැඩ කරන්නෙ.සති 2කට පාරක් වගේ ගෙදර යනවලු.

ආගිය කතාවලට පස්සෙ තේ එකත් බීල යන්න හදද්දි මම් තල ගුලි කීපයකුත් ඔතලා දුන්න නැවතිලා ඉන්න තැනට ගිහින් කන්න කියල.මොකද එයා කිව්වෙ ගෙදර ගිහින් එන ගමන් කියල.බොරුවට එපා කිය කිය ඉදලා කොහොමහරි ඒක බෑග් එකට දාගත්ත.

යන්නම් කියල අම්මටත් දන ගහල වැදලා ගේට්ටුවෙන් එලියට ගියා මාත් එක්කම.අම්ම ගේන් එළියට ආවෙ නැතුව ඉස්සරහ දොර ලගට වෙලා බලාගන හිටිය.පස්සෙ ගේ ඇතුලට ගියා.එයා පාරෙ වංගුවෙන් හැරිලා මට අත වැනුව,මමත් හිනා වෙලා අත වැනුව,පස්සෙ නොපෙනී යනකම් බලාගන ඉදලා ගේට්ටුව වහගන ඇතුලට ආව.

අම්ම ඒ ගැන වැඩිය මොකුත් ඇහුවෙ නෑ.

දැන් මෙහෙලු නේද වැඩ කරන්නෙ?

හ්ම්...ඔව්.වැව් හදනවද මොකද්ද කීවනේ.හරියටම දන්නෙ නෑ.

මොකද ඔය අද මෙහෙ ආවේ?

මම් දන්නෙ නෑ, නිකන් එන්ඩැති! එන්ඩද කියල ඇහුවම මම් හා කිව්ව.එපා කියන්ඩැයි?.

හ්ම්...පිස්සු! බදින්නත් කෙනෙක් ඉන්නව කියන්නෙ.

ආ... ඔව් මටත් කිව්ව.

මෙලහට ඒ ළමය වෙන්ඩැති රින්ග් කරන්ඩ ඇත්තේ?

හ්ම්... ඔව් මටත් හිතුනා,ඒකයි මම් නැගිටලා තේ හදන්න ගියෙ.

දැක්කෙ නැද්ද නිකන් මූණ අමුතු උනා.

හ්ම්...

ෆෝන් එක බලද්දි රින්ග් එකකුත් එක්ක මට මැසෙජ් එකක් පුරුදු නොම්බරෙන්ම.

"මට ඔයා ගැන දුක හිතුනා"

මම් රිප්ලයි කරේ නෑ.ඒ වෙලාවෙ තරහක්වත් දුකක්වත් දැනුනෙ නෑ කිව්වොත් ඒ බොරුවක්.දුකද්ද තරහක්ද රීරිසියාවක්ද,මේ ඔක්කොගෙම මිශ්‍රණයක්ද මන්දා ඒ දැනුනේ...

මම් මැසේජ් එකක් යැව්වා මට ආය මැසේජ්, රින්ග් කරන්න එපා කතා කරන්න ට්‍රයි කරන්නත් එපා කියල,ඒකට කිසිම් රිප්ලයි එකක් ඇවිත් තිබ්බෙ නෑ.ඔහොම මාස ගානක් ගෙවෙන්න ඇති.මෙන්න දවසක් මම නැති වෙලාවක ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ඇවිත්.

ආ... දවසක් බැච් එකේ යාලුවෙක් කතා කරල ඔයා ඉන්නවද ඇහුවනේ?

මං??? මට පුදුම හිතුනා.ඇයි යකෝ මොබයිල් එක තියෙද්දි මොකටද ලෑන්ඩ් එකට ගන්නෙ කියල.කතා කරල තියෙන්නෙත් කෙල්ලක්ලු.

මොකද්ද නම කිව්වෙ?

අයේශාද මොකද්ද කිව්ව.මට දැන් මතක නෑ.

එහෙම නම් තියන යාලුවෙක් මට හිටියෙ නෑ.ඒ වෙලාවෙ නම් මම් අම්මටත් දොස් කිව්ව,නොදන්න අයට විස්තර කියන්න යන්න එපා කියල.මෙන්න කාලෙකට පස්සෙ අර නොම්බරෙන්ම මැසෙජ් එකක්.

"නංගි මම් කාර් එකක් ගත්තා!..."

රිප්ලයි නොකර ඉන්නත් හිතලා එහෙම කරොත් මොනව හිතයිද?කියල ආ නියමයි නේ.මොකද්ද වර්ගේ කියල මැසේජ් එකක් යැව්වා.ඊට පස්සෙ රින්ග් එකක්.ඕන එකක් කියල මමත් ආන්සර් කරා.එයාල අලුත් වාහනයක් අරන්,ඔයාගෙ යාලුවෙක් ඉන්නව දෙන්නද කියල කිව්වම කවුද කියල අහන්නත් කලින් මට ගෑණු කටහඩකින් හෙලෝ!...කියල කියනව ඇහුනා.

මම් හිතුවේ එයාගෙ නංගි කියල.ඒ එයා බදින්න ඉන්න කෙනා කියල දැණ ගත්තේ ගෑණු ළමයගෙම කතාවෙන්.අපි ආගිය තොරතුරු කතා කරා,"ඔහෙට වහිනවද?මෙහෙට නම් පායනව" වගේ දේවල්.එච්චර තමයි,මේ වෙනකම් මම් එයාගෙ නමවත් දන්නෙ නෑ,දැන ගන්න ඕනේ කමකුත් නෑ.

ඒ ගෑණු ළමය අපි ඉන්න පලාතට එහෙම ගොඩක් ආසයි කියල කිව්ව.මම් කිව්ව දවසක අය්ය එක්ක එන්න වැදලායන ගමන් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න කියල.

එන නොඑන එක කෙසේ වෙතත් එයා හිනා වෙලා හා...එන්නම්කො වෙලාවක කියල අපේ සංවාදේ නිමා කරා.මට එයත් එක්ක තරහෙන් ඉනන් ඕනෙ කමක් තිබ්බෙ නෑ.කතා කරපු විදියට එයාල සතුටින් ඉන්න බව පෙනුනා.

තවත් මාස කීපයක් ගෙවුනා.ඒ වෙනකොට එයත් එක්ක මම් කතා කරන එක සම්පූර්ණෙන් නවත්තලා ගොඩක් කල්,කරපු එකම දේ ඉදලා හිටලා මැසේජ් එකකට රිප්ලයි යවපු එක.මට හැම වෙලේම හිතුනෙ ඒකත් නොකලයුතු දෙයක් කියල.

ඉදලා හිටලා රින්ග් එකක් තියනව ඒ නොම්බරෙන්,මගෙන් රිප්ලයි නෑ.මැසේජසුත් නෑ.දවසක් මැසෙජ් එකක් එවල තිබ්බ මම් දන්නව දැන් ඔයා මෙහෙ නෑ කියල.මම් අම්මට කතා කරල විස්තර දැන ගත්ත කියල.ඒ කියන්නෙ එදා අයේශා කියල කතා කරල තියෙන්නෙ මෙයා.කාට හරි කියල කතා කරවන්නැති.

 ඔහොම දවසක් රින්ග් කරන කොට වැරදිලා මට ආන්සර් වෙලා.දැක්ක ගමන්ම මම් කට් කරා.ආයෙත් මැසේජ් එකක්.

"මට ඔයාගෙ කටහඩ ඇහුනා"

එදත් මම් නෝ රිප්ලයි.

ඔහොම කාලයක් ගෙවුනා,ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්.ජීවිත වලට අලුත් දේවල්  එකතු වෙලා.මාස කීපයක්ම කිසිම හැල හොල්මනක් නැතුව ගෙවුනා.

ආයෙත් අර නොම්බරයෙන් මැසේජ් එකක්!.

"නංගි මම් මෙහෙන් යනවා!"

මම් එදා රිප්ලයි කළා.

"හොදයිනේ :D " කියල.

එයා ආය රිප්ලයි කරේ නෑ.

ඇයි අපිට යාලුවො වගේ ඉන්න බැරි? ගොඩක් කාලෙකට ඉස්සර දවසක් එයා මගෙන් එහෙම ඇහුවා.ඒත් මම් නම් හිතන්නෙ නෑ එහෙම අපිට ඉන්න පුලුවන් වෙයි කියල,හොදම දේ තමා හිතින් අයින්ම කරල දාන එක.ඒත් එහෙම කරන්න පුලුවන්ද?


*************************************************************************************

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්... ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්...
අපට අප නැති හෙට දිනක දුක අරන්... හඩා කුමටද නොදරුවන් සේ ඉතින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්...සුසුම්ලන්නද අප ගැනකොයි ලෙසින්...
සුබ අසුබ පිරි සිහින විද තුන් සිතින්...සදා හමුවෙමු මග තොටේ මදහසින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...