Thursday, September 15, 2011

නජීම්


ගේට්ටුවෙ සද්දයක් ඇහෙනව නේද?

කවුද කියල බලනවකෝ වාඩි වෙලා ඉන්නෙ නැතුව, මම් මේ බබාගෙ ඇදුම් අයන් කරනව...

කාමරේ ඉදලා අක්ක හයියෙන් බෙරිහන් දෙනව.

නිල්පාට කොටු කොටු සරමක් ඇදලා දිරච්ච කමිසයක්  ඇදගත්ත මැදිවයසේ කැහැටු පිරිමියෙක් ගේට්ටුව ඉස්සරහ.

ආහ් නජීම්!... 

මූණපුරා රෑවුල වවාගන,වෙනදා වගේ කකුලක් ඇද ඇද ගේට්ටුව ඇරගන එනවා...

අම්මා ඉන්නවද...?

ආ... ඔව් නජීම්... එන්ඩ.

සෙරෙප්පු දෙකක්වත් නොදා දූවිල්ලෙන් පිරිලා තිබ්බ යටිපතුල් දෙක, ගේ ඉස්සරහ තිබ්බ පාපිස්සෙ උලලා උලලා,නජීම් සාලේ කොනේ තිබ්බ පුටුවක වාඩිඋනා.

අම්මේ!....අම්මේ!....

නජීම් ඇවිල්ලා... 

ආ...නජීම්!...දැක්ක කාලයක් හැබෑට?කතාකරන්ඩවත් විදියක් නෑනේ...ෆෝන් නොම්බරයක් වත් නෑනේ...


ඉතින්?...
අම්ම නජීම් එක්ක කතාවට වැටුනා,වෙනද වගේම මමත් පැත්තක ඇනතියාගන ඒ කතාවට ඇහුම්කන් දුන්න.
 
හෙහ්...වරදක් නෑ...ඔහෙ ඉන්නව!...

කුඹුරු වැඩ කොහොමද?

මේ සැරෙත් වතුර මදි උනා...,එච්චරම සරුවකුත් නෑ....

අපේ ඒව කොහොමද දන්නෙ නෑ...? බලන්ඩවත් යන්ඩ බැරිඋනා නජීම්...

පාර ළග කුඹුර නම්  හැම සැරේම පැහෙන එකනේ... මේපාරත් හොදයි.ඒකට නම් වතුර තියනව...නුගගහ අක්කරේට වතුර මදි උනාලු කිව්වෙ,මට එද්දි ඇඩ්ඩින් හම්බුනා...,ඇවිත් යන්ඩ එන්නම් කියල කියන්ඩ කිව්වා...

හ්ම්...

අපේ නංගි ඉස්පිරිතාලෙ නැවැත්තුවා...කහටද්දිලියේ මහ ඉස්පිරිතාලේ ඉදලා මෙහෙ දැම්ම...

ආහ්...ඒ මොකද?

කොන්දේ අමාරුවක්...ටිකක් අමාරුයි කිව්ව හින්දා අරන් ආව මෙහෙ. පරීක්ශණ වගයක් කරන්ඩ තියනව කිව්ව.

ම්...නංගි බැදලත් නෑනේ?

බැන්ද...

නංගි බැන්දද...? අපි දන්නෙවත් නෑනේ....

බැන්ද,ඒක දැන් අත් ඇරිලා වාගේ තමා ඉන්නෙ.නංගි ඉන්නෙත් අපිත් එක්ක...

නජීම් ඉතින් ඔය හැමදේම බලනව,එතකොට නෝනා...?

ඉදලා හිටලා කතා කරනව.එකසැරයක් ඇවිල්ලත් ගියා,මාත් එක්කත් රන්ඩුවෙලා කියන එක අහන්නෙ නැතුවනේ ගියෙ.

එහෙනම් සල්ලි එවනව ඇති?

මුලින් මුලින් එව්වා...ඇවිත් ගියාට පස්සෙ  තාම නෑ.දැන් මාස 2 - 3ක් ම වෙනව.

ළමයි ?

ගෙදර...,අපේ අම්ම ඉන්නවනෙ බලාගන්ඩ,නංගිත් ඉන්න හින්දා මේ ටිකේ අවුලක් නෑ...


...එහෙනම් හොදයි!.

තේ ටිකක් බීල ඉන්ඩ නජීම්!...

හ්ම්... 
හදලා දුන්න කිරිතේ එක නජීම් එක හුස්මට බීගන බීගන ගියා.

මේ ලගදී පොලිසියෙන් ආවනේ...ගෙදරට.

ආ...ඒ මොකද?

ලෙඩ ලමයා තනියම ගෙදර දාල යනව කියල කවුද පොලිසියට කියල, කුඹුරු වැඩට යනවනි.

අම්මයි නංගියි ඉන්නව කිව නේද? 

අම්මත් දැන් වයසයි ඇහැපේන්නෙත් නෑ.නංගිට ඇවිත් සතියක්වත් නෑ...ඊට කලින්...

ඉතින්?...

පොලිසියෙන් ඇවිත් ලියාගන ගියා.

කලින් ඔය දුව මෙහෙ ඉස්පිරිතාලෙටත් ගෙනාව නේද?

ඔව්,හරි ගියෙ නෑනේ.කන්නෙ නෑ...දියර ජාති බොනව.හිට්ටවල තිබ්බොත් ඉන්නව ඇවිදින්ඩ බෑ.

හ්ම්...

ඔහොම තමා ඉතින් ජීවිතේ ගෙවෙන්නෙ,කුඹුරු කෙරුවෙ නැත්තන් ලමයිට කන්ඩ නෑ,ගෙදර ඉදලා හරියන්නෙ නෑනේ.ගම් පැත්තේ ආවොත් එන්ඩ, මම් වැව් බන්ට් එක සුද්ද කරනව,ලූල්ලු නම් පොඩි උන් ඉන්නෙ,තෙප්පිලි වේලනව මේ දවස් වල.

ආ...ආවොත් එන්නම්කො.

අනේ නජීම් තරහ වෙන්ඩ එපා,පුංචිඅය්යගෙ පුතාල කීපසැරයක්ම ඉල්ලපු නිසා මේ කන්නෙ කුඹුරුටික එයාලට දුන්න.

මටත් වි මිටි 6ක් තියනව නෝනට දෙන්ඩ,ඉතුරු වෙච්ච රුපියල් 10,000 මේ කන්නෙ වී විකුනපුවහම දෙන්නන්.ඒ ටික කියන්ඩත් එක්ක තමා මම් මේ ඇවිත් යන්ඩ ආවේ.

හ්ම්...නජීම් කුඹුරු කරන කොට වී ටික හරියට දෙනවනේ...,වී ටික පුලුවන් නම් දෙන්ඩ මට සල්ලි ඕනේ නෑ.

ඒක කිව්ව විතරයි,නජීම් ගේ මූණට ලා හිනාවක් ගියා.

එහෙනම් යන්නන්,පරක්කු වෙන්ඩ බෑ.දෙකට බස් එක අල්ලගන්ඩත් ඕනේ...

පොඩ්ඩක් ඔහොම ඉන්ඩ නජීම්....!

අම්ම කුස්සිය පැත්තට ගියා...,මාත් ඒත් එක්කම අම්මගෙ පස්සෙන් වැටුනා...

ගෙදර ගෙනල්ල තිබ්බ බිස්කට් පැකට් එකකුයි, බබාගේ චොකලට් පෙති ටිකකුයි, අම්ම පාර්සලයක් වෙන්ඩ හැදුවා.

ආ නජීම්...පොඩි දුවට ගිහින් දෙන්ඩ...!

මට මතක් උනා එකාපාරටම දවසක් නජීම්ගෙ ගෙදර අපි ගිය වෙලාවක ජනෙල්,දොරවල් අතරින් එබුනු ලමයි රොත්ත.ඔක්කොම 10 වත් ඇති,පඩිපේළියක් වගේ. 

ඊයේ ගියා  අල්ලපු ගමේ කුලී වැඩකට වත්තක් සුද්ද කරන්ඩ.

පන්සලේ බණ...හාමුදුරුවො කෙනෙක් කියනව අපි කරපුවා විදවල ඉවර වෙනකම් මැරෙන්නෙ නෑලු...!

අපේ තාත්තා මැරුනේ 48න්.මට දැන් 40ක්.තව කොච්චර ඉන්ඩ වෙයිද...?

හිහ් නජීම් දැන් බණත් අහනවද?

නෑ,ඒ වත්ත අල්ලපු වැටේනේ පන්සල,එදා පෝයට හාමුදුරුවෝ බණ කියනව ඇහුනා.

Friday, September 2, 2011

කුමාරි


කුමාරි හිටියෙ අපේ අල්ලපු ගෙදර,දැන් ඒ ගෙදරිනුත් කුමාරි ගිහිල්ල ගොඩාක් කාලයක් වෙනව,මම් හිතන්නෙ අවුරුදු 10ක් විතර.

කුමාරි ඒ ගෙදර ඇවිත් හිටියේ අපි හිටපු පළාතට ගොඩක් දුර පළාතකින් නෙමේ.පැය 2කක විතර ගමනකින් එයාගේ ගම් ප්‍රදේශෙට යන්න පුලුවන්.

අල්ලපු ගෙදර ඉන්න කාලේ, ඕනේ නම් කුමාරිට වයස අවුරුදු 11ක් හෝ 12 විතර වෙන්න ඇති.

ඒ දවස් වල ඒ ගෙදර වත්තේ අයිනට වෙන්න හදලා තිබ්බ  ලිද ලග කුමාරි උදේ පාන්දරම දකින එක සාමන්‍ය දෙයක් උනා.

තඩිම තඩි රෙදි බේසම් දෙකක් විතර තියාගන උදේ වරුවේ සෑහෙන වෙලාවක් යනකන් කුමාරිගේ වැඩේ ගලේ ගහ ගහ ඒ ගෙදර අයගේ රෙදි හෝදන එක.

පාන්දරම කුමාරිට කරන්න නියම වෙලා තිබ්බෙ ඉදලත් අරන් ගෙදර වත්ත අතුගාන එක.ඊට පස්සෙ තමා රෙදි සේදීමේ කාරියට බහින්නේ.

කුමාරි කළුයි,තලෙළුයි කියන්න බෑ,ඇත්තටම කළුයි.තිබ්බෙ ගොඩක් කෙට්ටු ශරීරයක්.

හිතාගන්නවත් බෑ එක දවසකට එච්චර රෙදි කන්දක් කොහොම හෝදනවද කියල .

එයාට කලුම කලු කොන්ඩයක් තිබ්බ,කොන්ඩෙ කපල තිබ්බෙ "නෑබිලි කට්" එකක්.

දවසක් මම් කුමාරිව දකිද්දි එයාගේ කොන්ඩේ හිස් මුදුනේ ඉදන්ම සුදු වෙලා.මට මේක සෑහෙන ප්‍රශ්ණයක් උනා.

මොකද කුමාරි ඔය කොන්ඩේ???...

කුමාරි සුදුම සුදු පාට දත්ටික  පෙන්නල හිනා උනා...

එයාගේ දත් එච්චරම සුදු පාටට පේන්න ඇත්තේ ඇගේ පාටත් එක්ක දත් වලපාට කැපිලා පෙනුන නිසා වෙන්නැති කියල මට හිතුන.

මගෙ ඔලුවේ උකුණෝ...

ඉතින් ඔලුව සුදු උනේ???

උකුණෝ ඉන්න හින්ද නෝනා **තියන් ඉස්සා,...රෙදි හෝදන ගමන් කුමාරි උත්තර දුන්නා...

ඔළුවට....???

එහෙම කාලයක් යනකන් කුමාරි සුපුරුදු පරිදි ඒ ගෙදර වැඩ කටයුතු කරගන හිටියා.කාලෙකට පස්සෙ දැක්කෙ නැතුව ගියා.

ඒ ගෙදර හිටිය මගෙ වයසෙම යාලුවෙක්,දවසක් මම් ඇහුව මොකද කුමාරි පේන්න නැත්තේ කියල.

කුමාරිව ගෙදර ඇරලුවා...එච්චර වැඩකුත් නෑනේ... මෙහෙ තියාගන ඉන්න එකේ තේරුමක් නෑ!...

පස්සෙ ආරංචි උනා...අවට කෙනෙක් පරිවාසෙට දන්වලා,...පොඩි ලමයෙක් ඒ ගෙදර වැඩ කරනව කියල,ඒ නිසා තමයි කුමාරිව ගෙදර යවල තියෙන්නේ.

ඊට අවුරුදු 4කට 5කට  විතර පස්සෙ අපි ගෙවල් අවට කට්ටිය එක්ක ගියා සෝමාවතිය,දිඹුලාගල වැදපුදාගන්න.

දිඹුලාගල ගිහින් එන අතරමගදී අල්ලපු ගෙදර අන්කල් අපි ගියපු වාහනේ පොඩ්ඩකට නවත්තන්න කියල බැහැලා ගියා.

ගිහින් ගොඩ උනේ පාර අයිනේම ඈතට වෙන්න තිබ්බ පොඩි  ගේ පොඩ්ඩකට....පොල් අතුවහල මැටි ගහපු ගෙයක්,හරියට පොඩි මඩුවක් වගේ...

අපි අන්කල් එනකම් වාහනේටම වෙලා බලාගන හිටිය...තද පෑවිල්ල නිසා එළියකට බහින්ඩ තියා හිතන්නවත් බෑ.

අව් කාශ්ඨකේ...වේලිච්ච හුලං එක්ක එන දූවිලි ඇස් වලට රින්ගන්ඩ හදනව.

ටික වෙලාවකට පස්සෙ අන්කල් ආවා ...

කුමාරිලාගේ ගෙදර!... මම් ගියා බලලා එන්ඩ කියල ,කුමාරි දැන් බැදලා ලමයෙකුත් ඉන්නලු....මෙහෙ නෑලු දැන්...

එච්චර වයසක් තිබ්බද කුමාරිට??

මයෙ හිතේ දැන් 16ක් විතර ඇති.

Thursday, September 1, 2011

කුළු හරක්


නිකිණි මාසේ... ඒ කියන්නෙ අගෝස්තු මාසේ... නුවරකළාවියට හෙන කට්ටටම පායන කාලේ.ඉඩෝරය තදින්ම,ඒත් එක්කම වේගෙන් හමාගන යන වියළි හුළග ඒ කටුක තත්වය තවත් දෙගුන තෙගුන කරනවා.

හැමතැනම වේලිච්ච පදුරු,ගස් කොළං පරඩලා වගේ වෙනවා,වැව් වලත් වතුර හිදිලා පෑවිල්ල තදින්ම දැනෙන්නෙ නිකිණි මාසෙ අන්තිම කාලේ,සමහර විට පොඩි වැව්වල වලවල් කීපයක විතරක් වතුර ඉතුරු වෙනව,පොළව ඉරි තලලා යනව.

වැරදිලා හරි ගිනි පෙනෙල්ලක් වැටුනොත් හාත්පසම  එකදිගට ඇවිලීගන යන සයිස්.සමහරු හිතාමතාම එහෙම ගිනි තියන වෙලාවලුත් තියනවා.

ඉස්සර අය කියනව,  මේ ඉඩෝරේ තියන රස්නේට පලුගස්වල පොත්තත් පැලෙනව කියල.අමු කැලේ උනත් නිකම්ම ගිනි ගන්නත් පුලුවන් තියන කාෂ්ඨකේට.

මෙන්න මේ කාලෙට තමයි  කැලෑවල ඉන්න හරක් එහෙම ගම් පැත්තට එන්නෙ වතුර හොයාගන.

වැව් වල වතුර හිදිලා...  ඉතුරු වෙච්ච දිය කඩිති වල වතුර බොන්ඩ,නැත්තම් ඒ ලග වැවිලා තියන මොනවහරි කාලා බඩ පුරවගන්ඩ උන් ගම පැත්තට එනව.මේ හරක්ට තමයි මිනිස්සු කුළුහරක් කියල කියන්නෙ.

ගම්වල  ගොඩක් මිනිස්සු හරක් ඇතිකරනවා.මී හරක් ,එළහරක් දෙවර්ගයෙන්ම ඉන්නව,සමහර මිනිස්සු තමන්ට ඉන්න හරක් ප්‍රමාණය වත් හරි හැටි දන්නෙ නෑ.ඒතරම් හරක්!...

මී හරක් ගොඩක් වෙලාවට පාවිච්චියට ගත්තෙ කුඹුරු හාන්ඩ. එළ හරක් නිතරම ගමේ අවට හිටියත් මී හරක් සමහර වෙලාවට ගමෙන් ගොඩාක් ඈතට යන වෙලාවලුත් තියනව.

සමහර මී දෙන්නු එහෙම ගිහිල්ල කැලේම පැටව් දාන වෙලාවලුත් තියනව.එහෙම උනොත් උන් රැලෙන් තනිවෙලා කැලේටම පුරුදු වෙනව.

එහෙම කැලේම ඉපදිලා... කැලේම හැදිලා... වැඩෙන මේ මීහරක් පැටව් කාලයත් එක්ක කැලේටම පුරුදු වෙච්ච මී හරක් රැළක් වෙනව.

මේ හරක් මිනිස්වාසයෙන් ඈත්ව වැඩෙන නිසා මිනිස්සුන්ට බයයි,නිදහසේ කැලේ කකා ජීවත් වෙන නිසා ඇගපතත් හොදට ආරනව,ඒ වගේම වැඩපල නොගැනීම හින්දා දැඩි ශක්තියකින්ද යුක්තවෙනව.

ඒ නිසාම මේ හරක් මිනිස්සු විසින් ඉතාම දරුණුගනයේලා සලකන්නේ,ඒත් ඔය අතරේ කැලේ ගිහින් කුළුහරක් අල්ලලා දමනය කරන්ඩ හපන්කම් දක්වන අයත් ඉන්නව.

කුළු හරක් ඇල්ලීමට  යන කෙනාට ඉතාම හිතවන්ත මීහරකෙක් තමා සහයට යොදාගන්නේ.ඒකාව හදුන්වන්නෙ "දඩමීමා"  කියල.

කුළු හරක් ඇල්ලීම ඒ තරම් ලේසි පහසු කාරියක් නෙමේ,එක අතකින් නුහුරු නුපුරුදු කැලේ,අනිත් අතින් හරකුන්ගේ දරුණුකම.ඒ නිසාම කුළු හරක් අල්ලන්න යන කෙනෙක්ට දඩමීමා එක්ක "වරමන්ද"ත් අරන් යාම අනිවාර්ය අවශ්‍යතාවක්.

වරමන්ද හදාගන්නෙ  මයිල ගහේ පට්ටා වලින් නැත්තම් වල්බෙලිගස් වල පට්ටා වලින්.සමහර වෙලාවට මුව හම අඹරලා වේලලා ඒකෙනුත් වරමන්ද හදනව.

ගොඩක් ශක්තිමත් මෙහෙම අඹරාගන්න ලණු,ඒ වගේම වරමන්ද අරන් යන්නත් දෙන්නෙක් විතර ඕන වෙනව.

මේ විදියට කුළුහරක් අල්ලන්න කැලේ යන්න කලින් නුවරකලාවියේ මිනිස්සු  කැලේදී වෙන්න පුලුවන් අතුරු ආන්තරා වලින් ආරක්ශා කරල දෙන්න කියල,අය්යනයක දෙවියන්ට වගේම පුල්ලෙයාර් දෙවියන්ටත් භාරහාර වෙනව,.

ඒ විදියට කැලේට පිටත්ව ගිය අයගෙ ගෙවල් වල, පිටි කෙටීම,පිළිහුඩු ඉවීම - පිසීම කරන්නෙ නෑ...ගිය අය නැවත ගෙදරට එනකම්ම!.

වරමන්දට මතුරලා මුව හෝ ගෝන අගකින් හැදුව දෙබලක් වරමන්ද කෙරවල ගැට ගහලා, නිතර කුළු හරකුන් යන එන තැන් බලා ඉදලා මන්ද හරකෙකුගේ පයට තියනව.(මදු ගහනව.)

මන්ද ඇදගන කුළු හරකා කැලේ පීරගන දුවලා දුවලා යනකොට අග කටුපදුරු වල පැටලිලා,කරකියාගන්න දෙයක් නැතුව යනව.

ඔහොම ඉදලා හති වැටුනාම ගිහින් හරකව ඇදගන ඇවිත් දඩමීමාට ඈදලා දක්කාගන එනව.

කුළු හරක් ඇල්ලීමට දක්ශ යන්ත්‍ර මන්ත්‍ර දන්න හයි හත්තිය ඇති පිරිමි දෙන්නෙක් විතර අවශ්‍ය වෙනව, ඒ අයට කියන්නෙ මරික්කාර් කියල.

පොඩි කාලේ අපි හිටිය ගමට අල්ලපු ගම මුස්ලිම් ගමක්.මට තවත් මතකයි ඒ කාලේ අම්මල කියනව සාවෙල් කියල ඒ ගමේ හිටපු කෙනෙක් ගැන.එයා කැලේ ගිහින් කුළු හරක් අල්ලලා මරල,දුන් ගහලා, වේලලා,හරක් මස් ගම් වලට ගේනවලු විකුනන්න.