Saturday, January 21, 2012

*ක පල්ලෙන් බේරෙන කලිසම්


එක දවසක ,ඒ කියන්නෙ මට හරියටම දිනේ මතක නෑ.දවසක් බස් එකේ යනව,එච්චර දුරකුත් නෙමෙයි හරියටම කියවනව නම් රුපියල් 10ක විතර දුර.සීට් වල පිරෙන්න සෙනග හිටියා,තව කීපදෙනෙකුත් හිටගන යනව.

මෙන්න එක පාරට තරුණ පහේ "කොල්ලෙක්" බස් එකට නැග්ගා.සීට් නැති නිසා එයා බස් එකේ ඉස්සරහම සීට් හරියෙ හිටගන පොල්ලෙ එල්ලිලා යනව.තව කීපදෙනෙක්ම එහෙම හිටගන ගියා.ඉතින් ඕක ඔය හැටි දෙයක් යෑ නේද?.ඒකයෑ කාරණාව...

ටික වෙලාවකින් බස් එක යන අතරමග මේ කොල්ලා නැමි නැමී  ඉස්සරහ බලන්න ගත්තා හරියට අර බහින්න තියන තැන මග ඇරෙයි... මග ඇරෙයි...වගේ.අම්මපා එතකොට තමා බස් එකේ සෙනග නොසන්සුන් උනේ.ඔයාල හිතන්නෙ මොකක් නිසා කියලද ?ඔහොම ඉන්නකො කියන්න.

මේකා අර * පල්ලෙන් බේරෙන ඩෙනිම් කලිසමක් ඇදලා හිටියෙ.ඉතින් නැමෙන නැමෙන ගානට ඒක තව තව පහලට යනව.සෑහෙන ප්‍රමාණයක් පහලට බැහැලා,හරියට තව ටිකකින් බිම වගේ.මම් හිතන විදියට  යටට වෙන ඇදුම් ඇදලා හිටියෙත් නෑ.ඒක සෑහෙන අපහසුතාවක් උනා බස් එකේ අයට.ඔක්කොටම පේනව,අපහසුතාව බස් එකේ වාඩිවෙලා යන මිනිස්සුන්ට.ඒ කොල්ලට ගානක් වත් නෑ.අඩුගානෙ කලිසම පහළට ගිහින් කියල දැනුනෙ වත් නැති ගානයි.

ඉස්සරහ සීට් එකක හිටිය පොඩි පුතෙක් අම්මට පෙන්න පෙන්න හිනා වෙනව.අම්මේ! අම්මේ! අර...අර... කිය කියා.අම්ම නොදැක්කා වගේ අහක බලාගන ඉන්නව.:).

පස්සෙ ටික වෙලාවකින් "ශෝ එක" පෙන්නලා කිසිම ගානක් නැතුව ඒ කොල්ල බැහැල ගියා.බස් එකේ අය මූණෙන් මූණ බලාගන හිනා උනා.

Friday, January 20, 2012

දේවාලයකට ගියෙමි.



කාලෙකට පස්සෙ යන්න යෙදුන චාරිකාවෙ එක ස්ථානයක් විදියට මට දේවාලයකට යන්න ලැබුනා.මගෙ ජීවිතේ ඔය තරම් ලොකු දේවාලෙකට ගිය මුල්ම වතාව.ඒ නිසා ඒක මට අමුතුම අද්දැකීමක් උනා.ඒක කවුරුත් නම කිව්ව පමණින් දන්න සුප්‍රසිද්ධ දේවාලයක්.අපි එහෙ යන කොට තරමක් දවල් වෙලා, කට්ටිය හොදටම හෙම්බත් වෙලා බඩගිනී බඩගිනී කිය කිය හිටියේ.දේවාලය ලං වෙද්දිම පාරේ අයිනක හිටගන හිටිය මනුස්සයෙක් වාහනයට අත දාල වාහනේ නවත්තන්න, හරවන්න,වාහනේ සුදුසු තැනක පාර්ක් කරන්න පවා උදව් උනා.

"වාහනේ නැවැත්තුවට සල්ලි ගන්නෙ නෑ මහත්තයා නවත්තන්න.ඇතුලටම දාන්න.හෙවණට ගන්න.ආ...හා... හරි ඔහොම ගන්න... හරි හරි තව ගන්න"

ඔහොම කිය කියා සෑහෙන කරුණාවක් පෑවා.වාහනේ නවත්තලා ටිකක් වට පිට බලද්දි තමා තේරුනේ එයාට අයිති පුංචි කඩයක් අයිනකට වෙන්න තියන විත්තිය,.පළතුරු වට්ටි,දේවාලෙට යන්න අවශ්‍ය කරන අනෙකුත් දේවල්(හදුන්කූරු, පහන්, පහන්තිර...) එතන විකුණනවා. හොද හෙවනකුත් තිබ්බා ඒ හරියේ,කට්ටියගෙම ඉල්ලීම පිට අපි එතන ඉදන් දවල් ආහාරය ගත්තා.අනේ අර මනුස්සයා වාඩි වෙන්න පැදුරු,අත හෝදන්න සබන් හිට ගෙනත් දුන්න.බලන්න කරුණාවක මහත.

ඇත්තටම ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න අපේ නඩේ වයසක කට්ටිය සැහැල්ලුවෙන් විඩාව නිවාගන අතපය දිගෑරගන සුවසේ දවල් ආහාරය ගත්තා.වෙන අත්‍යවශ්‍ය පහසුකම් පවා තිබුනා,ඒවත් නොමිලේම.:)

පස්සෙ යන්න ලෑස්ති වෙනකොට එතුමගෙ ආරාධනය පිට කැමති අයට පළතුරු වට්ටි ගන්න කිව්ව,පවුනේ ඉතින් අපිට හොදින් සැලකුව නිසා බාර හාර වෙන්න හිතාගන ආවෙ නැති අයත් හිස් අතින් දෙවියන් ලගට යන්න අකමැත්ත නිසාදෝ පළතුරු වට්ටි ගත්තා.බලද්දි හැමෝම අත පළතුරු වට්ටි.:)

 ඒවත් අරන් දේවාලෙ ලගට යනකොට ඊටත් වඩා බොහොම අඩුවට පළතුරු වට්ටි තිබුනා ඒ ප්‍රමාණයේම ඒවා.මටත් වයසක අත්තම්ම කෙනෙක්ගෙ පළතුරු වට්ටියක් අරන් යන්න සිද්ද උනා ඒ බර උස්සන් උන්දෑට පඩි නගින්න බැරි නිසාම.අත් වාරුවකුත් වෙන්න උනා.


ලගට යද්දිනේ දැක්කේ අම්මේ... තියන පෝළිම.සෑහෙන්ඩ දිගයි.විශේෂත්වයකුත් තිබුනා.වැඩිහිටි ගෑණු පිරිමි අයට අමතරව මාස 6ක්වත් නැතු පොඩි දරුවොත් වඩාගන අම්මලා තාත්තලා ඒ පෝළිමේ හිටියා  ගිනි කාෂ්ඨකේ කිසි ගානක් නැතුව.පොඩි දරුවන්ට නම් ඉවසුම් නැතුව තමා හිටියේ.ගොඩක් අය අඩනව විටින් විට.

පෝළිමත් ඉස්සරහට යන්නෙ ගොඩක් හිමීට.ඒ අස්සෙ ඉහින් කනින් දාඩිය බේරෙනව.ආපු ගොන්කම කිය කිය මටම හිතින් බැන බැන අත්තම්මගෙ පළතුරු වට්ටියත් අතේ තියන් මමත් පෝළිමේ හිටියා.ඔහොම ටික ටික ඉස්සටහට ගියා.ගිහින් ගිහින් අවසානේ දේවාලේ තිර රෙද්ද පෙනෙන මානේ දොර ලගින් තනිකරම සුදු ඇදගත්ත කෙනෙක් ඇවිත් දම්වැලක් දාල ලොක් කරා යන්න තියන පාරට.කොටස කොටසලු යවන්නේ,ඇත්තටම ඔක්කොම එක පාර යවන්න බෑනේ ඉතින්.එතන්ටත් වෙලා සෑහෙන වෙලාවක් හිටගන හිටියා,ඒ අතරේ අතේ කැක්කුම ඉවසන්න බෑ පලතුරු වට්ටියෙ බරට.අත්තම්මට ගන්න කියන්නත් බෑ වයසක මනුස්සයනේ.

ටික වෙලාවකින් අනික් පැත්තෙන්  5දෙනෙක්ගෙන් විතර හැදිච්ච කණ්ඩායමක් ආවා ලොකු පළතුරු වට්ටියකුත් ඉස්සර කරගන.සෑහෙන පඩුරකුත් වට්ටිය උඩ තිබ්බ දැක්කා.විශේෂ කෙනෙක් නිසා දේවාලෙ ඇතුලෙ හිටපු අය පිට උනාම එයාලව ඇතුලට ගත්තා අපිට කලින්.ඒ එක්කම අපේ පැත්තෙන් සද්ද දාන්න ගත්තා, කලින් ආව අයව ඉස්සර වෙලා ඇතුලට යවන්න තිබ්බනේ කිය කිය.කට්ටියටම ඇතිවෙලා.

සුදු ඇදගන හිටපු මහත්තුරු ඒවා ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ, ඇහුනේ නෑ වගේ හිටියා. ඉවසල ඉවසලා අන්තිමේ ඇතුලට ගියා,අප්පා කට්ටිය කට කපල හරියට සැමන් ඇහුරුවා වගේ,මාර රස්නයක් තිබ්බෙ ඒකේ ඇතුලේ.කට්ටිය ඔක්කොම දෙයියන්ගෙ ඉස්සරහට යන්න ෆුල් ට්‍රයි එක දෙනව ඒ නිසාම කට්ටියම හොද හැටි තෙරපෙනව.

ඒ නිසාම  සුදු ඇදගන දේවාලෙ ඇතුලෙ හිටිය මහත්තයටත් ටිකක් තරහ ගිය පාටක් පෙනුනා.මමත් කොනක් අල්ලලා හිටගන හිටියා.අනිත් අය පළතුරු වට්ටි සුදු ඇදගත්තු මහත්තයා අතේ තියනව දෙය්යන්ට භාර දෙන්න.ඒ අතරේ සමහරු එතන තියන පහනට තෙල් දාන්ඩ පොර කනව.

ඔය අතරේ කට්ටියටම වාඩි වෙලා වැදගන්න කීව, කොහෙ වාඩි වෙන්නද හැරෙන්න ඉඩක් නෑ. ඒත් තද වෙවි තදවෙවී කට්ටිය කිටි කිටියේ එක පොදියට වාඩි උනා.ඔක්කොට හිමි හිමීට නැමුනා සමහරු වාඩි වෙලා වගේ බොරුවට නැමිලා හිටියා.මට කර කියා ගන්න දෙයක් නෑ බලාගන හිටපු පාරට මට වාඩි වෙන්න කොහෙත්ම ඉඩක් ගන්න විදියක් නෑ.ඒත් මමත් අර විදියටම බාගෙට නැමිලා වැදගන හිටියා. කවි වගයක් කියාගන ගියා, මම් හිතන්නෙ දෙවියන්ට කිව්වෙ අපිව ආරක්ශා කරල දෙන්න ,අපේ ලෙඩ රෝදුක් දුරු කරල බලාපොරොත්තු ඉටු කරල දෙන්න කියල වෙන්න ඕනේ.

මට තිරය ඇතුලේ තියෙන්නෙ මොනාද කියල බලනකම් නොඉවසිල්ලක් තිබ්බා.යාතිකා අවසානයේ තප්පර 5කට විතර තිරය ඉවත් කරා කට්ටිය හෝ ගාල වදිනව.මමත් නැමිල බලන්ඩ හැදුව විතරයි ආයම තිරය වැහුවා. ඔහොම දෙවතාවක් දෙවියන්ව පෙන්නුව අපිට බලාගන්න.අඹපු රූපයක් තිබ්බෙ මතක හැටියට.චායාවක් විතරයි හරියටම මතකයක් නෑ.එකදිගටම පෙන්නන්නෙ නැත්තෙ අගේ වැඩි කරන්න වෙන්නැති.

එතන ගොඩක් "හාස්කම්" තියන තැනක් ලු,දරුඵල නැති අය එහෙම ගොඩක් ඇවිත් බාර වෙනවලු.බාර ඔප්පු කරන්න වෙන්නැති පුංචි දරුවො වඩාගන අම්මලා අප්පච්චිලා ඇවිත් හිටියේ.

පස්සෙ එක එක වට්ටි අරන් ලග හිටපු හිටපු අයට දුන්න,සමහර වට්ටි වල යතුරු පවා තිබුනා,ඒ වාහන වලට ආරක්ශාව වෙනුවන් බාර උන අයගෙ වට්ටි වෙන්න ඔනේ.ඒ පළතුරු වට්ටිනම් අදාල අයටම දුන්න අනික්වා ඔහෙ අහුවෙන අහුවෙන අයට බෙදලා දැම්මා.

ඒ අස්සෙ සමහර අත්තම්මලා තමන්ගේ පළතුරු වට්ටි හොයනව.ඒ එක්කම නිවේදනයක් නිකුත් උනා ඉක්මනින් අයින් වෙන්න අනිත් අයට එන්න ඉඩ දෙන්න කියල මමත් පුලුවන් ඉක්මනින් එතනින් එළියට ඇවිත් පපුව පුරවලා හොද හුස්මක් ගත්තා,අම්මෝ ඇති යන්තම එළියට ආව කියල හිතාගන.

Thursday, January 19, 2012

දැකල තියනවද මෙහෙම දෙයක්



මේ වගේ දෙයක් මම් දැක්ක පලවෙනි වතාව,සමහරු මීට කලින් දැකලා ඇති.මුලින්ම හිතාගන්න බැරිඋනා මේ මොකද කරල තියෙන්නෙ කියල.දකින්න ලැබුනේ රිදී විහාරේදි.රිදී විහාරේ වැදපුදාගන්න ඇවිත් හිටිය අත්තම්මා කෙනෙක්ට ලං වෙලා ඇහුව පාර තමා ඒක මොකද්ද කියල දැනගත්තේ.

පින්තූරෙ නම් හරියට පේනවද මන්දා?ඒක නිසා මම් කියන්නම්කො.රිදී විහාරේ ගොඩක් ගල්ලෙන් තියනවනේ, ඒ ගල්ලෙන් කීපෙකම මේ විදියට කෝටු ගෙනත් හිටවල තිබුන එක එක සයිස් ඒවා,හරියට මුක්කු ගහල වගේ.

මිනිස්සු මෙහෙම කරන්නෙ අපල දුරු කරගන්නලු.එහෙම කෝටුවක් හිටවලා ගල්ලෙන ඉන්න තත්වෙන් පිහිටලා පවතින්න ආධාරයක් වෙන එකලු මේකෙන් කරනවා කියල හිතන්නෙ.එහෙම කරාම අපල දුරු වෙනව කියල පුරාණ කාලෙ ඉදන් මිනිස්සු විශ්වාස කරනවලු.

මටනම් මේක කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.මට විහාරේ බලන්න ගොඩක් දේවල් තිබ්බ නිසා.ආය බලන්න යන්න පුලුවන් වෙයිද කියල කවුද දන්නෙ.ලගපාතක කෝටුවක් හොයාගන්න තිබ්බෙත් නෑ,ලගපාත තිබ්බ ඒව ඔක්කොම අරවිදියට හිටවලා වෙන්න ඔනේ.