Monday, December 30, 2013

2013 අවසානය | End of the 2013



2013 අවුරුද්දත් ගෙවෙන්න තියෙන්නෙ තව දවසයි. :(.  මේ අවුරුද්ද මුල කරන්න හිතේ තියන් හිටපු වැඩ ගොඩක් තිබ්බ, ඒ වලින් සෑහෙන ලොර්ඩ් එකක් තව ඉතුරු වෙලත් තියනව. 

හැම අවුරුද්දෙම ඔහොමයි.අවුරුද්ද මුලදි කරන්න වැඩ ගොඩාක් ගොඩ ගහ ගන්නව ප්ලෑන් කරනවා අන්තිමට එයින් කීපයයි කරන්න පුලුවන් වෙන්නෙ.

මේ අවුරුද්දෙ අවසාන වෙද්දි සාර්ථක තුන්වෙනි රස්සාවෙ ස්ථිර වීම සිද්ද උනා.එක නම් ලොකු දෙයක්. :)

 ඒ ගැන නම් හිතල සතුටු වෙන්න පුලුවන්.විශේෂ වෙනසකට කියල උනේ එච්චරද මන්ද?... රස්සාව නිසාම  විවිධ ආයතන මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි ගැන ගොඩක් අද්දැකීම් ලැබුවා. 

2014 ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව. බලමුකෝ නේද?

Sunday, December 29, 2013

කොල්ලෙක් උනා නම්




අපේ  ගෙදර මට වැඩිමල් අක්කා ...එයා ඉපදිලා අවුරුදු 4කින් පස්සෙ තමා මම් ඉපදිලා තියෙන්නෙ... 

ඉතින් අපේ අම්ම අප්පච්චි දෙන්න වගේම හැමෝම හිතන් ඉදල තියෙන්නෙ මේ සැරේ නම් කොල්ලෙක් උනොත් හොදයි කියලා...

විශේෂයෙන් අප්පච්චි ගොඩක් කැමැත්තෙන් ඉදලා තියනව කොල්ලෙක්ට... 

ඉතින් ඒ නිසා නමක් එහෙමත් සූදානම් කරගන ඉදල තියනව...නම මිගාර :) ඒත් ඉතින් ඉපදිලා තියෙන්නෙ කෙල්ලෙක් කියල දැක්ක පාර අප්පච්චිගෙ මූණෙ ටිකක් දුක්  මූඩ් එකක් තිබුනා කියල පස්සෙ  කාලෙක මට කීවෙ අම්ම...

 ඒ නිසාමද මන්දා පොඩිම කාලෙ අප්පච්චිගෙ සරම් වලින් චූටි සරමක් මටත් අන්දලා තියනව මතකයි මමත් එහෙම ඇදගන ඉන්න ආසයි.

කෙල්ලො වගෙ සාරි ඇදලා බෝනික්කො තුරුලු කරන් හිටියද කියල ඒ හැටි මතකයක් නැ ...

ඔන්න ඔහොමයි කොල්ලෙක් වෙන්න මුලින්ම ආසාවක් ඇති උනේ...

කොල්ලෙක් උනානම් කියලා ආයම හිතුනෙ ඉස්කොලෙ යන්න පටන් අරගනත් සැහෙන කාලෙකට පස්සෙ .මික්ස් ස්කූල් එකකට ගිය නිසා හොදම යාලුවො ගොඩක් හිටියෙත් කොල්ලො.... ගැනු පිරිමි බේදයක් පොඩිම කාලෙදි එච්චර දැනෙන්නෙ නැනේ ඉතින් ....

6 වසරෙන් විතර තමා ඒක තේරෙන්නෙ...  :)

කොල්ලෙක් උනානම් කියල හිතෙන්නෙ ගෑණු ලමයින්ට වඩා පිරිමි ලමයින්ට ගෙවල් වලින් ලැබෙන නිදහස ගැන හිතද්දී...

ට්‍රිප් එකක් යන්න සෙට් උනත් කවුද යන්නෙ කොහෙද යන්නෙ කාත් එක්කද කොහොමද යන්නෙ කීයටද යන්නෙ එන්නෙ කීයටද වැඩිහිටියො කවුද යන්නෙ ඔය වගේ ප්‍රශ්ණ කෝටියක් අහල අන්තිමේට අහ් එහෙනම් එපා.... 

කොල්ලෙක්  උනා නම් එහෙම නෑ නෙ... මීට වඩා නිදහස් ! :(

Saturday, December 28, 2013

කෘමීන් අතරත් දිවි නසා ගැනීම්?



කෘමීන් අතරත් දිවිනසා ගැනීම් තියනවා. මේ ගැන මට මුලින්ම දැනගන්න ලැබුනේ අපිට ලගදි සම්බන්ද වෙන්න ලැබුන දේශනයකදි. 

එතනදි මී මැස්සොන්ගෙ ජීවන චක්‍රය ගැන අහන්න ලැබුනා.දේශනයේ ටයිටල්  එක උනෙ "මී මැසි රාජධානියක මී මැස්සා සතු කාර්‍යභාරය" :).

 එතනදි දැනගත්ත දෙයක් තමා මී මැසි රාජධානියක ඉන්න පිරිමි මී මැස්සගෙ කාර්යභාරය මී මැසි රැජින එක්ක සoවාසයේ යෙදිලා ඊලග පරම්පරාව බිහි කිරීම කියන  එක.

ඒක තමා එයාගෙන් මී මැසි ජනපදයට කෙරෙන ලොකුම වගේම එකම සේවය.ඒ කියන්නෙ එයාල පැණි එහෙම එකතු කරන්න යන්නෙ නෑ ලු.

 මැසි ජනපදයෙ ඉන්න පිරිමි මී මැස්සන්ගෙන් රැජින සිලෙක්ට් කරගන්න කෙනෙක් එක්ක මෙහෙම සoවාසයෙ යෙදෙනවා. ඒ රාජකාරිය කෙරෙන්නෙ මී මැසි ජනපදයට ආසන්නව අවකාශයෙදි. 

රැජින ජනපදයෙන් එලියට ඇවිත් මේ විදියට සoවාසයෙ යෙදෙන්න පිරිමි මීමැස්සෙක් හොයාගන්න පියාඹනව. පිරිමි  මී මැස්සෝ ඒ චාන්ස් එක ලබාගන්න ලොකු තරගයක යෙදෙනව... එයාගෙ වටේට පියඹ පියඹා...

අවසානයෙදි ශක්තිමත් ඒ වගේම නිර්භීත පිරිමි මී මැස්සෙක් ඒ සටන ජය ගන්නවා... රැජින එක්ක එකතු වෙන්න. 

එහෙම එකතු වෙලා අවසානයෙදී පිරිමි මී මැස්සා බිමට වැටිල මැරෙනවා!... එහෙම මැරෙන්නෙ රැජින ගේ ප්‍රජනක කලාපයෙ පිරිමි මීමැස්සා විසින් බීජ තැන්පත් කරල ඉවර වෙලා.

එහෙම මැරෙන්න හේතුව තමයි රැජිනගේ ප්‍රජනක කලාපයෙ ශුක්‍රාණු තැන්පත් කරන කොට ඇති වෙන බලය නිසා ශුක්‍රාණු තැන්පත් කරන නලයේ අග කැඩී වෙන්වී යාම.එහෙම කැඩිලා වෙන් වෙන කොටස රැජිනගෙ ප්‍රජනක කලාපයෙ  ඉතිරි වෙනවලු.

 පස්සෙ රැජින තවත් පිරිමි මී මැස්සො කීපදෙනෙක් එක්ක මේ විදියටම එකතු වෙනවා.එහෙම එකතු කරගන්න බීජ රැජිනගෙ ජීවිත කාලෙම ගබඩා කරල තියාගන්නවා කියල තමයි දැනගන්න ලැබුනේ.