Wednesday, October 26, 2011

මට කුලුමිණියෙක් හොයලා...

මේ දවස් වල වැස්ස නිසා පොඩි පොඩි සත්තු වැස්සත් එක්ක ලයිට් එලියට ගේ ඇතුලටත් එනව.

මෙරු, සලබයෝ, එක එක කුරුමිණියො ජාතී....

එක එක සයිස් එකේ කුරුමිණියෝ තම ගොඩක් එන්නේ.

අපේ නැචුරල්ටත් මේ ටිකේ වැස්ස නිසා වෙනදට වඩා කරන්න වැඩ ගොඩක් එකතුවෙලා.

අම්ම පේන්න නැතිවෙලාවට මම් හදලාදෙන බෝට්ටු අරින්න... වැස්සට පනින්න...,අපිත් එක්ක මල් ගස් හදන්න...

ඇයි හදපු ගස් පැලවෙලාද කියල ගලවල බලන්න...ගොඩාක් වැඩ!.

ඊයේ දවසම රෑ මෙහෙට වැස්ස.මෙයා උදේ පාන්දර 3 ට විතර අම්මත්තට කියල කිරි එකක් හදාගන බිලා නිදාගන උදේම ආයෙත් නැගිටලා.ඇයි ඉස්කොලේ යන්න එපැයි.

ඒ අතරේ ගේ ඇතුලට ලොකු කුරුමිණියෙකුත් ඇවිත්.

ඒකා ම්ම්ම්ම්ම්ම්.................ම්................ම්ම්ම්ම්ම්ම්ම්ම්...............සද්දෙන් කාමරේ බිත්ති වල වැදි වැදී සද්ද දානව.

 මෙන්න මට අඩ නින්දෙන් ඇහෙන කතාව.

අම්මත්තා... අර මොකෙඩ්ඩ?

ඒ... පුතේ... කුරුමිණියෙක්.

කුලුමිනියෙක්...?

ඔව්.ඌ ලයිට් එළියට ඇවිල්ල තියෙන්නෙ එළියෙ ඉදන්.

එයාගෙ බබාල කෝ...?

බබාල ගෙදර තියල එන්ඩ ඇත්තෙ.

ආ....

ඔයා මෙහෙ එන්ඩ,ඌ කයි.

ඒ අස්සෙ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...ම්ම්.........ම්ම්....සද්දෙ ටිකකට නැවතුනා.

මේ....බිම වැටිලා....අම්මත්තා...මේ....

ඉන්ඩකො පුතේ මේ පිරිත් දානකම්!....

අර... අර... කුලුමිණියා මම් ටූටි කාලෙ වගේ අප්පුදි ගානවා...

අර... අර... 

අම්ම බලද්දි ඌ උඩුබැලි අතට වැටිලා අඩු හොලවනවලු.පස්සෙ කඩදාසියකට අරන් ඌ එළියට විසික් කරල.

අද නැගිට්ට වෙලේ ඉදන්  කරදරේ... පුංචී... පුංචී... මට  කුලුමිණියෙක් හොයලා...අනේ...අර උදේ වගේ ලොකු එකෙක් හලිඩ...අපලාදේ අම්මත්ත ඒකව එළියට දැම්මනේ...

අමාරුවෙන් බේරුනා ඉස්කෝලෙ ගිහිල්ල එද්දි හොයලා තියන්නම් කියල.

වෙලාව කියන්නෙ ඉස්කෝලේ ඇරිල එද්දි එයාට කුරුමිණියව අමතක වෙලා!...

Tuesday, October 25, 2011

කාල නැත්තම් ආ...මෙන්න පැණිමොර

මොර සූරන වැස්ස ගැන දන්නව ඇති ගොඩක් දෙනා...මොර කියන පළතුර ගැනත් අහල ඇති,ඒත් කාල තියන අය නම් අඩු ඇති.මේ පළතුර හැදෙන්නෙ අවුරුද්දෙ එකකාලෙකට එක සැරයක් විතර,විශේෂයෙන් වියළිකලාපීය ප්‍රදේශවල හැදෙන පළතුරක්.

ඉස්සර අපි පොඩි කාලෙ නම් ගොඩක් වෙලාවට ගම් වල මිනිස්සු පොළට එහෙම ගෙනල්ලා විකුනනවා දකිනව,ඒත් දැන් මේවගේ පළතුරක් උනත් දකින්නෙ කලාතුරකින් තමයි.

මොර කියන්නෙ අඩි 25ක් 30 විතර ගොඩක් උසට හැදෙන ගස් වර්ගයක් ,ඒවල අතු අග පොකුරක් විදියට තමා මොර ගෙඩි ඵල ගන්නෙ.ඒ නිසාම මොරගෙඩි කඩාගන්නත් ටිකක් විතර අමාරුයි.

මේ තියෙන්නෙ ඉදිච්ච මොර ගෙඩියක්

සියුම් පොත්තක් එක්ක පුංචි ගෙඩි විදියට තමා මොර හැදෙන්නෙ. මොර ගෙඩියට සාපේක්ශව මොර ඇට ටිකක් ලොකුයි,කළු පාටයි.

මදේ අමුතුම පැණි රහක් තියෙන්නෙ.රහ ගැන නම් කියන්න වෙන්නෙ කාල බලලම තමා ඉතින්.පැණිමොර, මස් මොර,ඇට මොර වගේ මොර ජාතිත් කීපයක්ම තියනව.

මේ සතිඅන්තෙදි මටත් මොර කන්න හම්බුනා.පොළේ ගිය වෙලාවේ මනුස්සයෙක් මොර ගෙනල්ල  පැණිමොර...පැණිමොර... කිය කියා කෑගගහ විකුනනව දැක්ක අහම්බෙන්.

දකින්න හම්බෙන්නෙත් කාලෙකින් නිසා ගාන අහන්නෙත් නැතුව මල්ලක්ම ගත්ත.ගානනම් ටිකක් වැඩී...ඒත් ආය කවදා කන්න හම්බෙයිද කවුද දන්නෙ?... 

ඒත් ඉතින් හිතේ හැටියට කන්න තරම් ප්‍රමාණයක් හම්බුනෙත් නෑ :).කාල කාල පොඩි පොඩි ගෙඩි ටිකක් ඉතුරු උනා.එතකොට තමයි බ්ලොග් එක මතක් උනේ.ඒ නිසා පින්තූරෙකුත් ගත්ත.

මේ තියෙන්නෙ කාල කාල ඉතුරු උන මොර ටික

Monday, October 17, 2011

භූමිකම්පාවක් වූ අනුකම්පාව

මීට මාස ගානකට කලින් කොහෙදෝ ඉදන් තුන්දෙනෙක් අපේ ගෙවල් පාරට ඇවිත් තිබ්බා.කවුරුත් කතා වුන විදියට උන් අපිව හොයාගන ඇවිත් නෙමේ.කවුරුහරි ඇවිත් මේ තුන්දෙනාව දාල ගිහින්.තුන්දෙනාව කවුරුවත් ගෙවල් අහලකටවත් ගන්න කැමති උනේ නෑ.කෑම ටිකක් දුන්නත් එක්කො පාරෙන් තියලා.ඒකටත් හේතුවක් තිබ්බ.හේතුව මුන් තුන්දෙනාම ගෑණු සත්තු වෙච්ච එක.

අය්යෝ!... බලන්ඩකො කරදරේ... කොහෙන් ගෙනල්ල දාලද මන්ද?...

කවුරුත් කිව්වෙ එහෙම.

හතර වටේටම තාප්ප ගහල තියන ගෙවල් වල අයනම් කරදරයක් නැතුව හිටිය,ඒත් අනිත්  අය බයෙන් හිටිය, අපෝ මුන් කොයි වෙලේ පැටව් දායිද දන්නෙ නෑ කියල.කාලයක් තුන්දෙනාම නැතුව හිටියා...විපරම කරල බලද්දි, බැරිම තැන අහල පහල ගෙදරක අය්ය කෙනෙක් උන්ව ගිහින් දාලා කොහෙටදෝ.

මෙන්න ටික දවසකින් දෙන්නෙක් ආයෙම ඉන්නව.ගෙවල්වල ඇතිකරන බල්ලො ටිකත් මුන් නිසා කාකොටා වැටෙනව :). සමහරදාට එකම කරච්චලයක් බුරනව... කෑගහනව... රන්ඩුවෙනව...ඒ බෙදාගන්න බැරුව.

හැබැයි එක වාසියක් තිබ්බ,බල්ලො පෙන්නල අපි බබාට කෑම ටික කවා ගත්ත,එයා කෑම කරන්න හොර නිසා ඒකත් ලොකු දෙයක් උනා.බල්ලො තුන්දෙනාට නමුත් වැටිලා තිබ්බ ඒ වෙද්දී,(සුදු බව් බව්,ගුරු බව් බව්,දුඹුරු බව් බව්.)මොකද ගේට්ටුව ඉස්සරහ ඉදන් බැලුවම උන් නිතර මෙහා යනව පාරෙ.පස්සෙ පස්සෙ අහක දාන බත් උන්ට දෙන්නත් පුරුදු උනා.ටිකකාලෙකට පස්සෙ මෙන්න මුන් දෙන්න ගේ පිටිපස්සට වෙලා ඉන්නව කන්ඩ දෙනකම්.

 සමහර වෙලාවට එලියට දාල තියන වේලිච්ච පොල්කටු ලෙවකනව බඩ ගින්නේ කර කර ගාල සද්දෙන්.ඉතින් ඉතුරුවෙලා තියන බත් ටිකක් මොනව හරි අනල දෙන්න හිතෙනව.ඔන්න ඔහොමයි අනුකම්පාව පටන් ගත්තේ...

වෙලාවකට ගෙදර අයත් බනිනව,ආ....අනලා දෙනවකෝ...කන්ඩ දීල පුරුදු කරගන්නවකො...පස්සෙ ඉතුරුවත් බාර ගන්ඩ වෙයි හැබැයි...කියල.

සමහර වෙලාවට ගේ පිටිපස්සට ඇවිත් අහිංසක විදියට මූණ දිහාබලන් ඉන්නව,දැන් කන්ඩ හම්බෙයි දැන් කන්ඩ හම්බෙයි කියන්නා වගේ...

තරහට නොදී හිටිය වේලුත් ඇති, ගෙදර අයගෙ බැනුම් නිසාම.ඒත් ඉතින් කුණුකූඩෙට විසිකරන කෑම වලින් මොකෙක්ට හරි බඩ පුරව ගන්ඩ පුලුවන්නේ කියල හිතෙනකොට ආයම කෑම දානව.

මාස ගානක් තිබ්බ පෑවිල්ලට පස්සෙ ටික දවසක ඉදන් වහිනව මේ පැත්තට.ඊයේ රෑ ඉදන් අද උදේ වෙනකම්ම වැස්ස.ලාවට ඇහැරීගන එද්දි අම්මගෙ කටහඩ.

අන්න...ලොකු දෑවැද්දක් හම්බවෙලා..

අම්මා උදේම නිවුස් එක කනේ තිබ්බ.

දඩබඩ ගාල ඇදෙන් නැගිටලා වැස්සෙම කුඩෙත් අරන් ගියා බලන්ඩ.

අප්පෝ 1ක් නෙමේ 5ක්ම.කන්ඩ දුන්න සුදු බව් බව් අපේ ගෙදර මඩුවේ පැටව් දාලා...

සුදුම සුදු පාට පැටව් 5ක් අම්මට ගුලිවෙලා නිදි,ඇස් ඇරලත් නෑ කටවල් රෝසම රෝස පාටයි.ඔක්කොමගෙම කන්දෙක විතරක් දුඹුරුපාට.(මම් හිතන්නෙ මුන්ගෙ තාත්ත දුබුරු පාට බල්ලෙක් වෙන්න ඔනේ.බැල්ලි අම්ම සුදුම සුදුයි නේ.) 

ඒක දැකලා අම්මගෙත් හිත උණුවෙලාද කොහෙද.

ඔන්න ඔහෙ හිටපුදෙන් දැන් ඉතින් මොනව කරන්ඩද?. අම්ම එහෙම කියනව.

මේ වෙනකම් තාම නම් මම් ඒ පැත්ත බලන්න ගියෙ නෑ.අම්ම හොරෙන් හොරෙන් ගිහින් බලනව දැක්ක.දවල්ට ඉතුරු වෙච්ච බත්, මාළුත් එක්ක අනල මඩුව ලගින් තියල.හොදම වැඩේ කියන්නෙ ඌට බොන්ඩ බිස්කට් ටින් එකකට වතුරත් තියල :).

පව් අරූට බඩගිනි ඇති!...බත් කාල පිගාන හෝදන්න යද්දි අම්ම මම් දිහා බලාගන කිව්ව.