Wednesday, September 28, 2011

මෝහිනී


මෝහිනී ගැන කවුරුත් අහල ඇති,සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.සමහර විට තවත් තේරුම් ඇති.

කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි,මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.

ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.වචනේ තේරුම හිතාගන්නකෝ ඔයාලම.

ඔය සමහරු වැඩ ඇරිලා,දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා...එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති!... අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.

හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන... සුදුසාරියක් ඇදගන... අත දරුවෙක් වඩාගන එන... ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු.අය්යා!... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද?,මගෙ මේ සාරිය හදාගන්න කියල.

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න,මම් සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.

ඔන්න ඔය විදියට  ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා... කෙට්ටු වෙලා... යනවලු.නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.

සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.

ඉස්සර කාලේ මිනිස්සු නම්  ඔහොම ලක්ශණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.ඒතකොට "ඔය ගතිය" එක සැරේටම සනීප වෙනවලු.

ඒත්...අලුත් පරම්පරාවේ අය කියන්නෙ මේ ලක්ශණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.

නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ  ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.

එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු.ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න. 

Friday, September 23, 2011

බී.. යූ.. ටී.. බට් ! සී.. යූ.. ටී.. කට්! පී.. යූ.. ටී.. ?


ඔන්න ඉස්සර කාලෙ භාශා කීපයක්ම දන්න කෙනෙක් හිටියලු.ඒ කාලේ ඉදලා තියනවනේ භාශා 6 ක් 7ක් දන්න හාමුදුරුවරු පවා.

මේ කියන කෙනත් ඔක්කොම භාශා ඉගන ගත්තෙ තනියමලු.ඒ තරම් හැකියාවක් තිබ්බලු.

ඔය අතරේ සිංහල, පාළි, සංස්කෘත, හින්දි, උර්දු, දෙමළ....ඔය වගේ භාශා වලට අමතරව එයාට ඕනේ උනාලු ඉංග්‍රීසි භාශාවත් ඉගන ගන්න.

ඒත් ඉතින් කාගෙන් උදව් ගන්නද?

ඉංග්‍රීසි දන්න කෙනෙක් හත්ගව්වක නෑලු.

කොහොමහරි පොතක් හොයාගන ස්ව‍යං අධ්‍යනය ( සෙල්ෆ් ස්ටඩි!! ) කරන්න හිතාගත්තලු. ඔන්න ඉතින් ඉංග්‍රීසි ව‍‍ය්‍යාකරණ පොතකුත් අරන් ඇවිත් කියවන්න ගත්තලු.

ඉංග්‍රීසි හෝඩිය එහෙමත් කියවලා...

අකුරු දෙක තුනේ පොඩි පොඩි වචන  කියවන්න ට්‍රයි කරාලු.

බී.. යූ.. ටී..  කියන්නෙ බට්

එතකොට සී.. යූ.. ටී..  කට්

පී.. යු.. ටි..
පුට් 

ඈහ් ...එහෙම වෙන්නෙ කොහොමද???

බී.. යූ.. ටී..  බට්      සී.. යූ.. ටී..  කට්  නම්
පී.. යු.. ටි..  පට් වෙන්න එපැයි!!!

මුන්ගෙ &*%*&^$&^$&^  අහවල් භාෂාව!!!

කියල ඒක ඉගනගන්න එක අතෑරල දැම්මලු.

පුල්ලෙයාර් කිරිබත්


නුවරකලාවිය පැත්තේ මිනිස්සු  ගොඩක් බාරහාර වෙන්නෙ අයියනායක දෙයියන්ට. අයියනායක දෙයියෝ වන්නිබංඩාර දෙය්යන්නාන්සේ කියලත් හදුන්වනව.

අය්යනායක දෙයියෝ තමයි වන්නි ප්‍රදේශයට අධිපති දෙවියන් විදියට සලකන්නෙ...

ඒ අතරේ තමන්ගේ ගොවිතැන්,ඇතිකරන ගවමහිෂාදී සත්තු ආදීය ආරක්ශා කරල දෙන්න කියලා නුවරකලාවියේ මිනිස්සු පුල්ලෙයාර් දෙවියන්ටත් බාරහාර වෙනව.

සමහරු පුල්ලෙයාර් දෙවියන්ට  "පුල්ලෙයාර් අත්තප්පා" කියලත් කියනව මම් අහල තියනව.

පුල්ලෙයාර් දෙවියන්ට බාරහාර වෙන්නෙ පොල්ගෙඩියක් වෙන්කීරීම මගින්.

බාරය ඔප්පු කිරීමට පුල්ලෙයාර් කිරිබතක් උයනව.පුල්ලෙයාර් කිරිබත් කිව්වම ගොඩක් දෙනෙක් අහල ඇති,අහල නැති අයත් ඒ අතර ඇති.

එහෙම වුන බාරේ අරින්නෙ කිරි උතුරුවල, කිරිබතක් එක්ක පළතුරු පුල්ලෙයාර් දෙවියන් උදෙසා පූජා කිරීමෙන්.

මේ විදියට බාර වීමට නිශ්චිත ස්ථානයක් නෑ...

ගොඩක් වෙලාවට  ගෙවත්තේ පිළියල කරපු ස්ථානයක්,එහෙම නැත්තම් වැවක් ආසන්නයේ,අස්වනු නෙලා ගත්තට පස්සෙ හේන,නැත්තම් කමත පිරිසිදු කරලා මේ කටයුත්ත සදහා යොදාගන්නව.

බාරය සදහා වෙන් කරපු පොල් ගෙඩියත්,ගොවිතැනින් ලබාගන්න මුල් පංගුවත්
පාවිච්චි කරලා හදාගන්න කිරිබත,පළතුරු,බුලත් පුවක් එක්ක දෙවියන්ට පූජා කරල ගොවිතැන් බත් ආරක්ශාකරල දෙන්න කියල පුල්ලෙයාර් අනුරුවක් ඉස්සරහ යාතිකා කරනව.

පුල්ලෙයාර් දෙවියන් අනිත් දෙවියන් වාගේ නෙමේ... ඉතා විනෝදකාමි දෙවි කෙනෙක් විදියට නුවරකලාවියේ මිනිස්සු අතර ප්‍රචලිතව පවතින්නේ...ඒ නිසාම බාරය ඔප්පු කිරීමේදි ගොඩක් විහිලු තහළුවෙන්ම කාලය ගතවෙනව.

විශේෂත්වයක් විදියට  පුල්ලෙයාර් දෙවියන් උදෙසා වන බාර වෙනුවෙන් කෑම පිසීම් සියල්ල කරන්නෙ පිරිමි අයවලුන් විසින්.

දෙවියන්ගේ කොටස වෙන්කරාට පස්සෙ පැමිණි සියලුදෙනාට කිරිබත් සංග්‍රහයක් භුක්තිවිදීමටත් ලැබෙනව.

ගොඩක් වෙලාවට  වටාපිටාවෙ ඉන්න පොඩි ලමයින් එක්කාසුකර ඔවුන්ට මේ දානය පිරිනමනව දකින්න පුලුවන්. 

කිරිබත් උයන්න පටන් ගත් වෙලේ ඉදන් පොඩි ලමයි පැදුරු එලාගන වාඩිවෙලා ඉන්නව,පුල්ලෙයාර් කිරිබත් කන්න.ඒ දවසේ ඇතිවෙනකම් සෙල්ලම් කරන්නත් පුලුවන් වටේ පිටේ පොඩි අය ඔක්කොම එකතු වෙන නිසා.

ගෑනු අයත් එකතුවෙලා ඉන්නව,හැබැයි ඒ අය බාරය වෙනුවෙන් උයන දේවල් වලට අතගැසීමක් සිද්දවෙන්නෙ නෑ. 

පොල් ගෑමේ ඉදලා සියලු කටයුතු සිද්ද වෙන්නෙ පිරිමි අයවලුන් විසින්.

පුල්ලෙයාර් කිරිබත පැණිරහ කිරිබතක්.ඒකට මුංඇට එකතු කරනව,සමහර වෙලාවට කඩලත් එකතු කරනව,සීනි, රටඉදි දානව.කජු,සුවදජාති එහෙමත් එකතු කරනව.

දෙවියන්ට බාරේ ඔප්පු කරලා ඉවරවෙලා තමයි සහභාගි වෙලා ඉන්න අනිත් අයට සංග්‍රහ කරන්නේ...

මුලින්ම පැදුරුවල වාඩිවෙලා ඉන්න අයට කෙහෙල් කොල බෙදාගන බෙදාගන යනව,තව කෙනෙක් දුම්දාන පුල්ලෙයාර් කිරිබතෙන් හැන්ද හැන්ද බෙදාගන යනව.

ඔය අතරේ  ඇතිපදමට අන්නාසි,කෙසෙල්ගෙඩි,උක්,ඇපල්... වගේ පළතුරුත් බෙදාගන යනව...

ඊට පස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ...

Friday, September 16, 2011

හොදට පාස් උනොත් අක්ක යන ඉස්කෝලෙට යන්න පුලුවන්


ඒ අනූව දශකයේ මැදභාගයට ආසන්න කාලසීමාව, ඒ වෙද්දි මම හිටියේ 5 වසරේ විභාගය සදහා සූදානම් වෙමින්.


අපි කෙසේ වෙතත් විභාගෙ වෙනුවෙන් අපිට ඉගැන්නුව ගුරුවරියගෙ නම් ලොකු සූදානමක් තිබ්බ කියල මතකයි.


ගෙදරින් ඒ තරම් බලපෑමක් නොතිබ්බත් විභාගෙ හොදට පාස් උනොත් අක්ක යන ඉස්කෝලෙට යන්න පුලුවන් කියල හැමෝම කිව්වා.


ඒනිසා අමතර ක්ලාස් එකකටත් ගියා. ඒ පන්තිභාර මිස්ගෙම ක්ලාස් එකකට.ඉස්කෝලේ ඇරුනම කොන්වන්ට් එක ඉස්සරහ තිබ්බ කෝසලගෙ ගෙදර තමයි මිස් ක්ලාස් එක කරේ.

මිස් ගොඩාක්... හොදයි,ලමයීන්ට ආදරෙයි... ඒවගේම සැරයි!.හිටපු ගමන් චට පට ගාල වැදෙනව පන්තියේ ගොඩක් අයට,මටත් එහෙම පාරවල් වැදිලා තියනව.ආය බොරු කියන්නෙ මොකටද?.

ඒ දවස් වල මට ශිෂ්‍යනායිකා තෝරන එකෙන් නායිකා පට්ටමකුත් හම්බ වෙලා තිබ්බ.ඒක නිසාම ටිකක් ලොකුවට තමා හිතන් හිටියේ.

මගෙ හොදම යාලුව උනේ හර්ශනී.තව හොදම යාලුවො වෙච්ච පිරිමි ලමයි රොත්තකුත් හිටියා.ළහිරු,ජනිත්,කෝසල,වරුණ,කල්හාර...ඔන්න ඔයවගේ කට්ටිය.

ඒ කාලේ ගැණූ පිරිමි භේදයක් කියල එකකුත් දැනෙන්නෙ නැනේ,ගොඩක් වෙලාවට ඉන්ටර්වල් එකට කාලාබීලා ඉවර වෙච්ච ගමන්ම කරන්නෙ පිට්ටනියට දුවන එක.

ඉස්කෝලෙන් පස්සෙ ඉස්කෝලෙදිම කාලා,ආයෙත් කෝසලලගෙ ගෙදරට යනව ක්ලාස් එකට මිසුත් එක්කම.

ක්ලාස් එක ඇරුනම අප්පච්චි එනව එක්ක යන්න. ඔන්න දවසක් අප්පච්චිට පැමිණිල්ලක්!...

දුවගෙ අකුරු පොඩ්ඩක් බලන්න ගෙදරදී...


ඔය ටික විතරයි මට ඇහුනේ...තව හිමින් හිමින් මොනාද කුටු කුටු ගෑවා අප්පච්චි එක්ක මිස්.


මම් පන්තියේ ඉදන් හොර බැළළී වගේ බලාගන හිටිය.

අප්පච්චිත් ගෙදර ගිහින් පාඩම් කියලා දෙන අතරේ මට හොදටම දෙහි කැපුවා...

ඒ සද්දෙට ගෙදර ඔක්කොම සෙට් එක වටවුනා,ඇවිත් මගෙ පොතේ අකුරු බලනව...,ඒ අස්සෙ හීන්අත්ත කණ්නඩියත් දාගන ඇවිත් ඉන්නව, පොත් බලන්න... අත්අකුරු අදුනගන්න...

මෙන්න බොලේ මුලින්ම තියන අකුරු රටාව නෙමේ පස්සෙ පස්සෙ තියෙන්නෙ. :O

පොතේ මැද හරිය වෙද්දි වෙන කෙනෙක් ලියපු  අකුරු!...

හත් දෙය්යනේ! මේ හෙට අනිද්දා 5 වසරේ විභාගෙට ලියන්න ඉන්න කෙල්ල...අම්ම කියවනව...

 අම්මේ...! මෙයා කාට හරි කියල ලියවගන්නව වගේ...මේ අකුරු ගොඩක්ම වෙනස්...

ඒ අක්ක...එයා බලාගන ඉන්නෙ මගෙ කොහෙන් හරි ඇදයක් හොයාගන අප්පච්චිට කියල ගුටියක් වද්දවන්න...

දවසක මිස්ම පන්තියේදි නඩුව විසදුවා...පොත් චෙක් කරලා...මටයි අරලියාටයි එන්න කියල තදින්ම අවවාද කරා...අරලියා තමයි මම් වෙනුවට මගෙ පොතේ ලියල තියෙන්නෙ....

ඒත් මේ වෙද්දි මට හරියටම මතකයක් නෑ...ඉස්කෝලෙදි ඒ පීරියඩ් වෙලාවට මම් මොකද කරේ කියල?....:O

ගෙදර කට්ටියම කිව්වෙ දීල තිබ්බ නායිකා පට්ටමේ  බලේට මෙයා ඒ ලමයට කියලා ලියවගන වෙන්නැති කියල.

කොහොම හරි අන්තිමේ මගේ හොදම යාලුවොත් එක්කම මම් සෙන්ට්‍රල් එකට යන්න තරම්  ලකුණු අරන් තිබ්බ.අරලියා ෆේල් වෙලා!...:(

පස්සෙ කාලෙක අරලියා ඕ ලෙවල් වලින් හොදට පාස් වෙලා අපේ ඉස්කෝලෙට ආව,කොමර්ස් කරන්න.

ප.ලි: අනුන්ට කියල ලියවගත්ත නිසාද දන්නෙ නෑ,මේ වෙනකම්ම කවුරුත් මගේ අත් අකුරු ලස්සනයි කියල නෑ.ඒව බැලුවහම එහෙම කියන්නත් බෑනේ ඉතින්!....:)

පීස්සෙ දිය ඇල්ල බලා...


මගෙ හොදම යාලුවෙක් එයාලගෙ ඇනිවසරි එක වෙනුවෙන්, අපි කට්ටිය එකතු වෙලා නිවාඩු වෙලාවක කොහෙ හරි යං!... කියල යෝජනා කරා. මගෙ උපන්දිනේත් යෙදිල තිබබේ එයාල දෙන්නගෙ ඇනිවසරි එක දවසෙමයි.ඒ නිසාම නෑ...බෑ... නොකියා මම් ඇතුලුව කවුරුත් එක පයින් කියා හිටිය, කොහෙහරි යං කියල.

මතක විදියට විභාගෙටත් ලග දවසක්.විභාග ආතතිය අඩු වෙන්නත් එක්ක යන්න හොද තැනක් ගැන කල්පනා කර කර ඉද්දි කට්ටිය ගෙම අදහස උනේ,අපි කවුරුත් ගිහින් නැති තැනකට යන්න තියනව නම් හොදයි කියල.

ඔන්න ඔහොමයි පීස්සෙ දිය ඇල්ල බලන්න යන්න කට්ටියව සෙට් කර ගත්තේ.

කට්ටිය කිව්වට අපි 6 දෙනෙක් විතරයි ගියේ. මමයි ශානීයි,ජනකයි,ගිටාරියි,පැතලියයි,පනුවයි. 

බෝඩිමේ හිටිය මගෙ යාලුවො දෙන්න තමයි ශානියි,ගිටාරියි.


ජනක අපි කට්ටියටම ඇති වෙන්න  කඩල තම්බලා හොදට මිරිස් දාලා,පොල් කෑලි එහෙමත් කපලා දාලා අරන් ඇවිත් තිබ්බා.කොල්ලො උනාට එයාල බොඩිමේ උයාගන එහෙමත් කෑව,අපි වගේ නෙමේ :) .


මමයි ශානියි ගිටාරියි එකතුවෙලා පෙතිපාන් අරන් මාගරින් ගාල හදාගත්ත,ඒක කෝකටත් ලේසිනේ.ලොකු වතුර බෝතල් කීපයකුත් ලෑස්ති කරගත්ත,මොකද වතුර ශුවර් නෑ ඒ පැති වල.


තව පෙන්ඩෝල්, සිද්ධාලේප...වගේ අත‍ය්‍යවශ්‍ය දේවල් ටිකකුත් පටවගත්තා, කියන්න බෑනේ මේ වගේ ගමනකදී හදිස්සියේ වෙන දේවල්... 

අපි කට්ටියම කැම්පස් එක ඉස්සරහට එකතුවෙලා බදුල්ල ටවුන් එකට ගියා.බදුල්ලේ ස්ටෑන්ඩ් එකෙන් පනුවවත් අල්ලගෙන පස්සර බස් එකට නැග්ගා.

ටිකක් දුර යද්දි ඔන්න මට අර ලෙඩේ...දැන් නම් ශුවර් එකට යන්නම එනව.කොහොම හරි වාවගන හිටියා බහිනකම්ම.

බහින්න ලංවෙද්දිම පැතලියා බුවෑක්...ගාල දැම්මෙ නැතෑ...එහෙම නොවෙනව නම් තමා පුදුමේ...යන වංගු වල හැටියට.

මම නම් එදා බේරුනා බුවෑක්...ලෙඩෙන් ඒත් බස් එකෙන් බැස්සට පස්සෙත් ටිකක් ඔලුව කෑරකැවෙන ගතිය තිබ්බා.

පාරත් සෑහෙන්න පාලුයි,කෙනෙක් දෙන්නෙක් ඉදලා හිටලා පාරේ එහෙ මෙහෙ යනව.වාහනත් නෑ.බැස්ස තැනම තිබ්බ බස් හෝල්ට් එකක් වෙනුවෙන් හදලා තිබ්බ,පොඩි ආවරණයකට වෙලා අපි උදේ කෑම ගත්තා,ඒ වෙද්දි ඔක්කොටම හෙනටම බඩගිනි හැදිලා තිබ්බෙ.


ගෙනිච්ච පාන් ටික කාල බඩ පුරවගන කට්ටිය තේ වත්ත මදින් පල්ලම් බහින්න පටන් ගත්තා...මග තිබ්බ කඩේකින් ලොකු බීම බෝතල් කීපෙකුත් ගත්තා.වතුර මදිවුනොත් කියල.


සෑහෙන දුරක් පයින් ගියාට පස්සෙ මෙන්න වතුර ගලන සද්දේ ඇහෙන්න පටන් ගත්තා.තෙතබරිත පරිසරයක් තමා තිබුනේ,අහන ආහන අය නම් කිව්වෙ මේ දවස් වල නම් ඇල්ල බලන්න යන එක එච්චරම හොද නෑ...,වතුරත් වැඩී අනික යන්න බෑ... ලිස්සනව! කියල.


මෙච්චර දුර ආපු එකේ හැරිල යන්නැයි,ඔන්න ඔහෙ ආව එකේ ගිහින්ම යන් කියල අපි ඇතුලටම ගියා.අපි දන්නවැයි ඉතින් ඒ කිව්ව එකේ භායානක කම.මගක් ගියාට පස්සෙ තමා වැඩේ බරපතලකම තේරුනේ.


යනකොටම පොඩි වානකින් වගේ එකකින් තමා ඇල්ල පැත්තට යන්න ඕනේ,වතුර ගලනව හෝ ගාලා කොහොමින් හරි අත් අල්ලගන ලිස්සලා යන්නෙ නැතුව එගොඩ උනා.

අම්මෝ ලිස්සලා ගියානම් කොහෙන්නවතීද කියල හිතාගන්නවත් බෑ. 

ඔහොම කැලේ ඇතුලෙන් ගිහින්... ගිහින්... යන්තම් පාර හොයාගන ගියා කැලේ ඇතුලටම.යනව... යනව... ඉවරයක් නෑ.ඇල්ලේ සද්දේ ඇහෙනව ඒත් පේන්නේ නෑ,වෙලාවකට අපිට හිතුනා පාර වැරදිලාවත් ද කියලත්.

අන්තිමට තිරණය කරා බැදලා තිබ්බ කානුව දිගේ යන් කියල,ඒක සෑහෙන ලොකු කාණුවක්, වතුර ගලා යන යනව පිරිලා ඉතිරිලා.ඕන එකක් වෙච්චාවේ කියල ගැට්ටෙන් අඩිය තිය තියා හිමීට හිමීට ගියා...,වැටුනා එහෙම නම් සෑහෙන පහතකට රූටල යනව.

ඔහොම ගිහින්... ගිහින්... කැලේ අස්සෙ  හැදිලා තිබ්බ පොඩි අඩි පාරක් දිගේ ඇවිත් අපි ගල් පොත්තක් ලගට ආව,ඇවිත් ගෙනාව බීම වලින් පිපාසේ නිවාගන,කඩල වලට වග කිව්වා,ඒ වෙද්දී සෑහෙන බඩ ගින්නකුත් තිබ්බා.

ඒ අස්සේ කූඩැල්ලොත්  සමහරුන්ගෙ කකුල් වල එල්ලිලා.සිද්ධාලේප අරන් ගිය එක හොදට ගියා.


ගමන පටන් ගද්දි තිබ්බ පොද වැස්ස එන්න එන්නම වැඩිත් කරනව.කරන්න දෙයක් නෑ,ලගටම ඇවිත් ආපහු හැරිලා යන්නත් බෑනේ.ඒ අස්සෙ ගස් එහෙමත් කඩාගන වැටිලා,අපේ ගමන අඩාල කරන්න ඒකත් හේතු උනා.බාගෙට තෙමිලා කට්ටියම.කැලේ ඇතුලේ කුඩ ඉහලගන යන්න කියලැයි!...

මෙන්න ඇල්ලේ සද්දි ටික ටික වැඩි වෙනව,එතකොටම  එකෙක් කියපි අන්න ඇල්ල කියල,එතකොටම අපි දැක්ක ඈතින් පීස්සෙ ඇල්ල!.


පුදුම හදිස්සියක් තිබ්බෙ ඇල්ල ලගට යන්න,ඇයි සෑහෙන කට්ටක් කෑවනේ මේක බලන්න එන්න.

මාර ලස්සනයි එකපාරටම උඩ ඉදන් වතුර කඩාගන වැටෙනව.එතන ඇල්ල බලන්න එන අයටත් ටිකක් උඩට නැගලා බලන්න ආරක්ශිත ආවරණයක් හදලා තිබ්බ.ඇල්ල බලන අයගේ ඇගවල් පිණිවලින් නෑ වෙනව.ඒ වෙලාවෙත් වැස්ස,අනික ඇල්ලෙන් වැටෙන වතුර වල පිණි.


ගොඩාක් වෙලා  අපි  ඇල්ල දිහා බලාගන හිටියා.එන්න සිහියක් නෑ එක්කෙනෙක්ට වත්.ඒත් ඉතින් හවස් වෙන්න කලින් එන්නත් එපැයි.ටික වෙලාවක් ඉදලා එන්න ආව.යද්දි බැහැගන බැහැගන ගියාට උඩට එද්දි සෑහෙන මහන්සියි.කන්දක්නේ නගින්න තියෙන්නෙ.බෑ කියල බෑනේ කොහොම හරි නැගලා නැගලා ආවා.



සෑහෙන වෙලාවකට පස්සෙ කැලෙන් එලියට ඇවිත් වානත් පහු කරලා එනවත් එක්කම,පොඩි වෙලාවකින් මෙන්න තඩි වැස්සක් පාත් උනා.කිලෝමීටර් ගානක් අපි වැස්සේ බාගෙට තෙමි තෙමී තේ වත්ත මැදින් වැටිලා තිබ්බ පාරේ ඇවිදගන ආවා.අවට ගොඩාක් ලස්සනයි,කදු...මීදුම...හැමදේම එක්ක අමුතුම ලස්සනක් එකතුවෙලා තිබ්බ.


ඔහොම සෑහෙම දුරක් පයින් ඇවිත් තමයි බස් එකකට නැග්ගේ ආයම බෝඩිමට එන්න.

පස්සරට ඇව්ත් බදුල්ල හරියට එද්දි ටිකක් විතර හවස් වෙලා.අපි කට්ටියම කැම්පස් එක ලගින් බැස්සා,පනුව බදුල්ලටම ගිහින් කොළඹ බස් එකක නැග්ගා කියල මැසේජ් එකක් එවල තිබුනා..ගියපු ගමන් වලින් සෑහෙන්න විනෝද වුන ඒවගේම බොහොම භයංකර ගමනක් තමා ඒක.

මෙන්න අපි ගිය පාර: අපි නම් බදුල්ල ටවුන් එකේ ඉදලා පස්සරට ගියා... බදුල්ල - පස්සර බස් එකේ,ගිහින් බිබිල පාරේ 10 කිලෝමීටර් විතර යන්න ඔනේ.එහෙම ගිහින් පීස්ස හන්දියෙන් බැස්සා.ඊට පස්සෙ ඉතින් පයින් සරණං ගච්චාමී කියල, තේ වත්ත මැද්දෑවෙන් යන්නයි තියෙන්නෙ උඩටම.


(ප.ලි: මට අමතක වෙලා තිබ්බ පාර මතක් කරලා දුන්නෙ ශානි.ස්තූතියි ඔයාට. )

Thursday, September 15, 2011

නජීම්


ගේට්ටුවෙ සද්දයක් ඇහෙනව නේද?

කවුද කියල බලනවකෝ වාඩි වෙලා ඉන්නෙ නැතුව, මම් මේ බබාගෙ ඇදුම් අයන් කරනව...

කාමරේ ඉදලා අක්ක හයියෙන් බෙරිහන් දෙනව.

නිල්පාට කොටු කොටු සරමක් ඇදලා දිරච්ච කමිසයක්  ඇදගත්ත මැදිවයසේ කැහැටු පිරිමියෙක් ගේට්ටුව ඉස්සරහ.

ආහ් නජීම්!... 

මූණපුරා රෑවුල වවාගන,වෙනදා වගේ කකුලක් ඇද ඇද ගේට්ටුව ඇරගන එනවා...

අම්මා ඉන්නවද...?

ආ... ඔව් නජීම්... එන්ඩ.

සෙරෙප්පු දෙකක්වත් නොදා දූවිල්ලෙන් පිරිලා තිබ්බ යටිපතුල් දෙක, ගේ ඉස්සරහ තිබ්බ පාපිස්සෙ උලලා උලලා,නජීම් සාලේ කොනේ තිබ්බ පුටුවක වාඩිඋනා.

අම්මේ!....අම්මේ!....

නජීම් ඇවිල්ලා... 

ආ...නජීම්!...දැක්ක කාලයක් හැබෑට?කතාකරන්ඩවත් විදියක් නෑනේ...ෆෝන් නොම්බරයක් වත් නෑනේ...


ඉතින්?...
අම්ම නජීම් එක්ක කතාවට වැටුනා,වෙනද වගේම මමත් පැත්තක ඇනතියාගන ඒ කතාවට ඇහුම්කන් දුන්න.
 
හෙහ්...වරදක් නෑ...ඔහෙ ඉන්නව!...

කුඹුරු වැඩ කොහොමද?

මේ සැරෙත් වතුර මදි උනා...,එච්චරම සරුවකුත් නෑ....

අපේ ඒව කොහොමද දන්නෙ නෑ...? බලන්ඩවත් යන්ඩ බැරිඋනා නජීම්...

පාර ළග කුඹුර නම්  හැම සැරේම පැහෙන එකනේ... මේපාරත් හොදයි.ඒකට නම් වතුර තියනව...නුගගහ අක්කරේට වතුර මදි උනාලු කිව්වෙ,මට එද්දි ඇඩ්ඩින් හම්බුනා...,ඇවිත් යන්ඩ එන්නම් කියල කියන්ඩ කිව්වා...

හ්ම්...

අපේ නංගි ඉස්පිරිතාලෙ නැවැත්තුවා...කහටද්දිලියේ මහ ඉස්පිරිතාලේ ඉදලා මෙහෙ දැම්ම...

ආහ්...ඒ මොකද?

කොන්දේ අමාරුවක්...ටිකක් අමාරුයි කිව්ව හින්දා අරන් ආව මෙහෙ. පරීක්ශණ වගයක් කරන්ඩ තියනව කිව්ව.

ම්...නංගි බැදලත් නෑනේ?

බැන්ද...

නංගි බැන්දද...? අපි දන්නෙවත් නෑනේ....

බැන්ද,ඒක දැන් අත් ඇරිලා වාගේ තමා ඉන්නෙ.නංගි ඉන්නෙත් අපිත් එක්ක...

නජීම් ඉතින් ඔය හැමදේම බලනව,එතකොට නෝනා...?

ඉදලා හිටලා කතා කරනව.එකසැරයක් ඇවිල්ලත් ගියා,මාත් එක්කත් රන්ඩුවෙලා කියන එක අහන්නෙ නැතුවනේ ගියෙ.

එහෙනම් සල්ලි එවනව ඇති?

මුලින් මුලින් එව්වා...ඇවිත් ගියාට පස්සෙ  තාම නෑ.දැන් මාස 2 - 3ක් ම වෙනව.

ළමයි ?

ගෙදර...,අපේ අම්ම ඉන්නවනෙ බලාගන්ඩ,නංගිත් ඉන්න හින්දා මේ ටිකේ අවුලක් නෑ...


...එහෙනම් හොදයි!.

තේ ටිකක් බීල ඉන්ඩ නජීම්!...

හ්ම්... 
හදලා දුන්න කිරිතේ එක නජීම් එක හුස්මට බීගන බීගන ගියා.

මේ ලගදී පොලිසියෙන් ආවනේ...ගෙදරට.

ආ...ඒ මොකද?

ලෙඩ ලමයා තනියම ගෙදර දාල යනව කියල කවුද පොලිසියට කියල, කුඹුරු වැඩට යනවනි.

අම්මයි නංගියි ඉන්නව කිව නේද? 

අම්මත් දැන් වයසයි ඇහැපේන්නෙත් නෑ.නංගිට ඇවිත් සතියක්වත් නෑ...ඊට කලින්...

ඉතින්?...

පොලිසියෙන් ඇවිත් ලියාගන ගියා.

කලින් ඔය දුව මෙහෙ ඉස්පිරිතාලෙටත් ගෙනාව නේද?

ඔව්,හරි ගියෙ නෑනේ.කන්නෙ නෑ...දියර ජාති බොනව.හිට්ටවල තිබ්බොත් ඉන්නව ඇවිදින්ඩ බෑ.

හ්ම්...

ඔහොම තමා ඉතින් ජීවිතේ ගෙවෙන්නෙ,කුඹුරු කෙරුවෙ නැත්තන් ලමයිට කන්ඩ නෑ,ගෙදර ඉදලා හරියන්නෙ නෑනේ.ගම් පැත්තේ ආවොත් එන්ඩ, මම් වැව් බන්ට් එක සුද්ද කරනව,ලූල්ලු නම් පොඩි උන් ඉන්නෙ,තෙප්පිලි වේලනව මේ දවස් වල.

ආ...ආවොත් එන්නම්කො.

අනේ නජීම් තරහ වෙන්ඩ එපා,පුංචිඅය්යගෙ පුතාල කීපසැරයක්ම ඉල්ලපු නිසා මේ කන්නෙ කුඹුරුටික එයාලට දුන්න.

මටත් වි මිටි 6ක් තියනව නෝනට දෙන්ඩ,ඉතුරු වෙච්ච රුපියල් 10,000 මේ කන්නෙ වී විකුනපුවහම දෙන්නන්.ඒ ටික කියන්ඩත් එක්ක තමා මම් මේ ඇවිත් යන්ඩ ආවේ.

හ්ම්...නජීම් කුඹුරු කරන කොට වී ටික හරියට දෙනවනේ...,වී ටික පුලුවන් නම් දෙන්ඩ මට සල්ලි ඕනේ නෑ.

ඒක කිව්ව විතරයි,නජීම් ගේ මූණට ලා හිනාවක් ගියා.

එහෙනම් යන්නන්,පරක්කු වෙන්ඩ බෑ.දෙකට බස් එක අල්ලගන්ඩත් ඕනේ...

පොඩ්ඩක් ඔහොම ඉන්ඩ නජීම්....!

අම්ම කුස්සිය පැත්තට ගියා...,මාත් ඒත් එක්කම අම්මගෙ පස්සෙන් වැටුනා...

ගෙදර ගෙනල්ල තිබ්බ බිස්කට් පැකට් එකකුයි, බබාගේ චොකලට් පෙති ටිකකුයි, අම්ම පාර්සලයක් වෙන්ඩ හැදුවා.

ආ නජීම්...පොඩි දුවට ගිහින් දෙන්ඩ...!

මට මතක් උනා එකාපාරටම දවසක් නජීම්ගෙ ගෙදර අපි ගිය වෙලාවක ජනෙල්,දොරවල් අතරින් එබුනු ලමයි රොත්ත.ඔක්කොම 10 වත් ඇති,පඩිපේළියක් වගේ. 

ඊයේ ගියා  අල්ලපු ගමේ කුලී වැඩකට වත්තක් සුද්ද කරන්ඩ.

පන්සලේ බණ...හාමුදුරුවො කෙනෙක් කියනව අපි කරපුවා විදවල ඉවර වෙනකම් මැරෙන්නෙ නෑලු...!

අපේ තාත්තා මැරුනේ 48න්.මට දැන් 40ක්.තව කොච්චර ඉන්ඩ වෙයිද...?

හිහ් නජීම් දැන් බණත් අහනවද?

නෑ,ඒ වත්ත අල්ලපු වැටේනේ පන්සල,එදා පෝයට හාමුදුරුවෝ බණ කියනව ඇහුනා.

Friday, September 2, 2011

කුමාරි


කුමාරි හිටියෙ අපේ අල්ලපු ගෙදර,දැන් ඒ ගෙදරිනුත් කුමාරි ගිහිල්ල ගොඩාක් කාලයක් වෙනව,මම් හිතන්නෙ අවුරුදු 10ක් විතර.

කුමාරි ඒ ගෙදර ඇවිත් හිටියේ අපි හිටපු පළාතට ගොඩක් දුර පළාතකින් නෙමේ.පැය 2කක විතර ගමනකින් එයාගේ ගම් ප්‍රදේශෙට යන්න පුලුවන්.

අල්ලපු ගෙදර ඉන්න කාලේ, ඕනේ නම් කුමාරිට වයස අවුරුදු 11ක් හෝ 12 විතර වෙන්න ඇති.

ඒ දවස් වල ඒ ගෙදර වත්තේ අයිනට වෙන්න හදලා තිබ්බ  ලිද ලග කුමාරි උදේ පාන්දරම දකින එක සාමන්‍ය දෙයක් උනා.

තඩිම තඩි රෙදි බේසම් දෙකක් විතර තියාගන උදේ වරුවේ සෑහෙන වෙලාවක් යනකන් කුමාරිගේ වැඩේ ගලේ ගහ ගහ ඒ ගෙදර අයගේ රෙදි හෝදන එක.

පාන්දරම කුමාරිට කරන්න නියම වෙලා තිබ්බෙ ඉදලත් අරන් ගෙදර වත්ත අතුගාන එක.ඊට පස්සෙ තමා රෙදි සේදීමේ කාරියට බහින්නේ.

කුමාරි කළුයි,තලෙළුයි කියන්න බෑ,ඇත්තටම කළුයි.තිබ්බෙ ගොඩක් කෙට්ටු ශරීරයක්.

හිතාගන්නවත් බෑ එක දවසකට එච්චර රෙදි කන්දක් කොහොම හෝදනවද කියල .

එයාට කලුම කලු කොන්ඩයක් තිබ්බ,කොන්ඩෙ කපල තිබ්බෙ "නෑබිලි කට්" එකක්.

දවසක් මම් කුමාරිව දකිද්දි එයාගේ කොන්ඩේ හිස් මුදුනේ ඉදන්ම සුදු වෙලා.මට මේක සෑහෙන ප්‍රශ්ණයක් උනා.

මොකද කුමාරි ඔය කොන්ඩේ???...

කුමාරි සුදුම සුදු පාට දත්ටික  පෙන්නල හිනා උනා...

එයාගේ දත් එච්චරම සුදු පාටට පේන්න ඇත්තේ ඇගේ පාටත් එක්ක දත් වලපාට කැපිලා පෙනුන නිසා වෙන්නැති කියල මට හිතුන.

මගෙ ඔලුවේ උකුණෝ...

ඉතින් ඔලුව සුදු උනේ???

උකුණෝ ඉන්න හින්ද නෝනා **තියන් ඉස්සා,...රෙදි හෝදන ගමන් කුමාරි උත්තර දුන්නා...

ඔළුවට....???

එහෙම කාලයක් යනකන් කුමාරි සුපුරුදු පරිදි ඒ ගෙදර වැඩ කටයුතු කරගන හිටියා.කාලෙකට පස්සෙ දැක්කෙ නැතුව ගියා.

ඒ ගෙදර හිටිය මගෙ වයසෙම යාලුවෙක්,දවසක් මම් ඇහුව මොකද කුමාරි පේන්න නැත්තේ කියල.

කුමාරිව ගෙදර ඇරලුවා...එච්චර වැඩකුත් නෑනේ... මෙහෙ තියාගන ඉන්න එකේ තේරුමක් නෑ!...

පස්සෙ ආරංචි උනා...අවට කෙනෙක් පරිවාසෙට දන්වලා,...පොඩි ලමයෙක් ඒ ගෙදර වැඩ කරනව කියල,ඒ නිසා තමයි කුමාරිව ගෙදර යවල තියෙන්නේ.

ඊට අවුරුදු 4කට 5කට  විතර පස්සෙ අපි ගෙවල් අවට කට්ටිය එක්ක ගියා සෝමාවතිය,දිඹුලාගල වැදපුදාගන්න.

දිඹුලාගල ගිහින් එන අතරමගදී අල්ලපු ගෙදර අන්කල් අපි ගියපු වාහනේ පොඩ්ඩකට නවත්තන්න කියල බැහැලා ගියා.

ගිහින් ගොඩ උනේ පාර අයිනේම ඈතට වෙන්න තිබ්බ පොඩි  ගේ පොඩ්ඩකට....පොල් අතුවහල මැටි ගහපු ගෙයක්,හරියට පොඩි මඩුවක් වගේ...

අපි අන්කල් එනකම් වාහනේටම වෙලා බලාගන හිටිය...තද පෑවිල්ල නිසා එළියකට බහින්ඩ තියා හිතන්නවත් බෑ.

අව් කාශ්ඨකේ...වේලිච්ච හුලං එක්ක එන දූවිලි ඇස් වලට රින්ගන්ඩ හදනව.

ටික වෙලාවකට පස්සෙ අන්කල් ආවා ...

කුමාරිලාගේ ගෙදර!... මම් ගියා බලලා එන්ඩ කියල ,කුමාරි දැන් බැදලා ලමයෙකුත් ඉන්නලු....මෙහෙ නෑලු දැන්...

එච්චර වයසක් තිබ්බද කුමාරිට??

මයෙ හිතේ දැන් 16ක් විතර ඇති.

Thursday, September 1, 2011

කුළු හරක්


නිකිණි මාසේ... ඒ කියන්නෙ අගෝස්තු මාසේ... නුවරකළාවියට හෙන කට්ටටම පායන කාලේ.ඉඩෝරය තදින්ම,ඒත් එක්කම වේගෙන් හමාගන යන වියළි හුළග ඒ කටුක තත්වය තවත් දෙගුන තෙගුන කරනවා.

හැමතැනම වේලිච්ච පදුරු,ගස් කොළං පරඩලා වගේ වෙනවා,වැව් වලත් වතුර හිදිලා පෑවිල්ල තදින්ම දැනෙන්නෙ නිකිණි මාසෙ අන්තිම කාලේ,සමහර විට පොඩි වැව්වල වලවල් කීපයක විතරක් වතුර ඉතුරු වෙනව,පොළව ඉරි තලලා යනව.

වැරදිලා හරි ගිනි පෙනෙල්ලක් වැටුනොත් හාත්පසම  එකදිගට ඇවිලීගන යන සයිස්.සමහරු හිතාමතාම එහෙම ගිනි තියන වෙලාවලුත් තියනවා.

ඉස්සර අය කියනව,  මේ ඉඩෝරේ තියන රස්නේට පලුගස්වල පොත්තත් පැලෙනව කියල.අමු කැලේ උනත් නිකම්ම ගිනි ගන්නත් පුලුවන් තියන කාෂ්ඨකේට.

මෙන්න මේ කාලෙට තමයි  කැලෑවල ඉන්න හරක් එහෙම ගම් පැත්තට එන්නෙ වතුර හොයාගන.

වැව් වල වතුර හිදිලා...  ඉතුරු වෙච්ච දිය කඩිති වල වතුර බොන්ඩ,නැත්තම් ඒ ලග වැවිලා තියන මොනවහරි කාලා බඩ පුරවගන්ඩ උන් ගම පැත්තට එනව.මේ හරක්ට තමයි මිනිස්සු කුළුහරක් කියල කියන්නෙ.

ගම්වල  ගොඩක් මිනිස්සු හරක් ඇතිකරනවා.මී හරක් ,එළහරක් දෙවර්ගයෙන්ම ඉන්නව,සමහර මිනිස්සු තමන්ට ඉන්න හරක් ප්‍රමාණය වත් හරි හැටි දන්නෙ නෑ.ඒතරම් හරක්!...

මී හරක් ගොඩක් වෙලාවට පාවිච්චියට ගත්තෙ කුඹුරු හාන්ඩ. එළ හරක් නිතරම ගමේ අවට හිටියත් මී හරක් සමහර වෙලාවට ගමෙන් ගොඩාක් ඈතට යන වෙලාවලුත් තියනව.

සමහර මී දෙන්නු එහෙම ගිහිල්ල කැලේම පැටව් දාන වෙලාවලුත් තියනව.එහෙම උනොත් උන් රැලෙන් තනිවෙලා කැලේටම පුරුදු වෙනව.

එහෙම කැලේම ඉපදිලා... කැලේම හැදිලා... වැඩෙන මේ මීහරක් පැටව් කාලයත් එක්ක කැලේටම පුරුදු වෙච්ච මී හරක් රැළක් වෙනව.

මේ හරක් මිනිස්වාසයෙන් ඈත්ව වැඩෙන නිසා මිනිස්සුන්ට බයයි,නිදහසේ කැලේ කකා ජීවත් වෙන නිසා ඇගපතත් හොදට ආරනව,ඒ වගේම වැඩපල නොගැනීම හින්දා දැඩි ශක්තියකින්ද යුක්තවෙනව.

ඒ නිසාම මේ හරක් මිනිස්සු විසින් ඉතාම දරුණුගනයේලා සලකන්නේ,ඒත් ඔය අතරේ කැලේ ගිහින් කුළුහරක් අල්ලලා දමනය කරන්ඩ හපන්කම් දක්වන අයත් ඉන්නව.

කුළු හරක් ඇල්ලීමට  යන කෙනාට ඉතාම හිතවන්ත මීහරකෙක් තමා සහයට යොදාගන්නේ.ඒකාව හදුන්වන්නෙ "දඩමීමා"  කියල.

කුළු හරක් ඇල්ලීම ඒ තරම් ලේසි පහසු කාරියක් නෙමේ,එක අතකින් නුහුරු නුපුරුදු කැලේ,අනිත් අතින් හරකුන්ගේ දරුණුකම.ඒ නිසාම කුළු හරක් අල්ලන්න යන කෙනෙක්ට දඩමීමා එක්ක "වරමන්ද"ත් අරන් යාම අනිවාර්ය අවශ්‍යතාවක්.

වරමන්ද හදාගන්නෙ  මයිල ගහේ පට්ටා වලින් නැත්තම් වල්බෙලිගස් වල පට්ටා වලින්.සමහර වෙලාවට මුව හම අඹරලා වේලලා ඒකෙනුත් වරමන්ද හදනව.

ගොඩක් ශක්තිමත් මෙහෙම අඹරාගන්න ලණු,ඒ වගේම වරමන්ද අරන් යන්නත් දෙන්නෙක් විතර ඕන වෙනව.

මේ විදියට කුළුහරක් අල්ලන්න කැලේ යන්න කලින් නුවරකලාවියේ මිනිස්සු  කැලේදී වෙන්න පුලුවන් අතුරු ආන්තරා වලින් ආරක්ශා කරල දෙන්න කියල,අය්යනයක දෙවියන්ට වගේම පුල්ලෙයාර් දෙවියන්ටත් භාරහාර වෙනව,.

ඒ විදියට කැලේට පිටත්ව ගිය අයගෙ ගෙවල් වල, පිටි කෙටීම,පිළිහුඩු ඉවීම - පිසීම කරන්නෙ නෑ...ගිය අය නැවත ගෙදරට එනකම්ම!.

වරමන්දට මතුරලා මුව හෝ ගෝන අගකින් හැදුව දෙබලක් වරමන්ද කෙරවල ගැට ගහලා, නිතර කුළු හරකුන් යන එන තැන් බලා ඉදලා මන්ද හරකෙකුගේ පයට තියනව.(මදු ගහනව.)

මන්ද ඇදගන කුළු හරකා කැලේ පීරගන දුවලා දුවලා යනකොට අග කටුපදුරු වල පැටලිලා,කරකියාගන්න දෙයක් නැතුව යනව.

ඔහොම ඉදලා හති වැටුනාම ගිහින් හරකව ඇදගන ඇවිත් දඩමීමාට ඈදලා දක්කාගන එනව.

කුළු හරක් ඇල්ලීමට දක්ශ යන්ත්‍ර මන්ත්‍ර දන්න හයි හත්තිය ඇති පිරිමි දෙන්නෙක් විතර අවශ්‍ය වෙනව, ඒ අයට කියන්නෙ මරික්කාර් කියල.

පොඩි කාලේ අපි හිටිය ගමට අල්ලපු ගම මුස්ලිම් ගමක්.මට තවත් මතකයි ඒ කාලේ අම්මල කියනව සාවෙල් කියල ඒ ගමේ හිටපු කෙනෙක් ගැන.එයා කැලේ ගිහින් කුළු හරක් අල්ලලා මරල,දුන් ගහලා, වේලලා,හරක් මස් ගම් වලට ගේනවලු විකුනන්න.