Saturday, July 30, 2011

ආ යූ මෑඩ්? | NOT NOT


ආ...මේක නම් ටිකක් විතර පරණ කතාවක් අවුරුදු 3ක් විතර පරණ එකක්.කෙටියෙන්ම කියන්නම්කෝ.

ඔන්න දවසක් ගෙදර ආව කැම්පස් නිවාඩුවකට, ඒ කාලේ මම් පාවිච්චි කරේ කාඩ් දාල කතා කරන සිම් එකක් නේ.ඉතින් 100ක් දැම්මම,ඉක්මනින් ඉවර වෙනව.

ගෙදර ආවම කතාකරන්න සල්ලි නෑ,ෆෝන් එක වැඩ නෑ. රීලෝඩ් කරන්නත් කම්මැලියි.

ඔන්න ඉතින් අක්කත් ඇවිත් හිටිය දවසක අක්කගෙ ෆෝන් එක බැලලි බැබලී තියනව මේසේ උඩ.එයා ඩයලොග් මම් මොබිටෙල්.

දෙපාරක් හිතුවේ නෑ අක්ක නැතිවෙලාවක් බලලා ගත්ත කෝල් එකක්,අදාල කෙනාට.

අදුන්වල දෙන්න කාරියක් උනෙත් නෑ හෙලෝ කියපු ගමන් දන්නව කවුද මේ කතා කරන්නෙ කියල, ඒ තරම් සමීපයි යාලුව.ආගිය ගමන් විස්තර ,බ්ලා බ්ලා... තව දේවල් කියල ෆෝන් එක කට් කරා.

පස්සෙ නොම්බරෙත් මකලා දැම්මා.

මෙන්න දවස් 2කට විතර පස්සෙ හවසක අක්ක ෆෝන් එකෙන් හයියෙන් හයියෙන් කාත් එක්කද කතාව.මෙන්න දෙබස, මට අක්ක කියන ඒවා විතරනේ ඇහෙන්නෙ.

හෙලෝ
 ..................................
මම් නම් රින්ග් කරේ නෑ.
........................................
වැරදීමක් වෙන්න ඇති මම නම් රින්ග් කරේ නෑ.
.................................................
නැ..නැ...මම් රින්ග් කරේ නෑ.!.
.............................................

අක්කට හෙනට තරහ ගිහින් කට් කරා ෆෝන් එක.

ඇයි? කියල මම් ඇහුව.

මොන පිස්සෙක්ද මන්ද?...මම් රින්ග් කරල තියනවලු ඒකාට.වෙන වැඩ නෑනේ.!....කොහෙද යන පිස්සෙක්.හෙන කොල්ලො සෙට් එකකුත් ඉන්නව ඇහෙනව,මුන්ට වෙන වැඩ නැතුවට!...අක්ක බැනගන බැනගන යනව...

අන්න ආය රින්ග් වෙනව.
ආ ආයෙත් අරකා...

හෙලෝ!...
erwrw werww sdfsd efsdf .......... sfsdfsd sdfsfsdfs. werww sdfsd efsdf sfsdfsd .
අම්මට සිරි මෙන්න අක්ක කඩ්ඩෙන් අර කෝල් කරපු කෙනාට බනිනව.හයිස්පීඩ් එකෙන් බැනගන බැනගන යනව.
ඒ අස්සෙ ආ යූ මෑඩ්? කියලත් ඇහුවා.
මෙන්න බොලේ අක්ක හිනාවෙනව.ඇහ්... 

කට් කරා ෆෝන් එක.

කොහෙද යන පිස්සු සෙට් එකක්...මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා කරපු එකා කියනව,අයැම් මෑඩ්! නොට් නොට්! ලු.
ඒ අස්සෙ ලග හිටපු එකෙක් ඉල්ලනව දියන්කො මම් කතා කරන්නම් කියල.ස්පීකර් ඔන් කරලද කොහෙද?අනිත් අයත් හිනා වෙනව.

දෙනවකො බලන්න නොම්බරේ කියල,මගෙ ෆෝන් එකේ කන්ටෑක්ට් ලිස්ට් එකත් එක්ක ඒ නොම්බරේ චෙක් කරා.හෆොයි!...මේකා!...මලකෙලියයි!...

ඒ මම් එදා අක්කගෙ ෆෝන් එකෙන් කෝල් එක ගත්ත යාලුවා.කෑ ගහපු කෙනා Noisy වෙන්න ඕනේ.

එදා මම් ගත්ත කෝල් එක නිසා තමයි යාලුව ලග අක්කගේ නොම්බරේ තිබිල තියෙන්නෙ.ඒ වෙලාවේ සේව් කරගන්න නැතුව ඇති!....ෆ්‍රී ඉන්න වෙලාවක නිකන් රින්ග් කරල බලන්න ඇති කවිද කියල. 

රින්ග් කරාම කෙල්ලෙක්ගේ ගේ කටහඩ නිසා ආයෙත් ගන්න ඇති කියල තමා මට හිතුනේ.

ප.ලි: Noisy කියන්නෙ මගෙ යාලුවගේ අතිජාත මිත්තරයෙක්.ටිකක් කට වැඩි නිසාම තමයි  මම් එයාට ඔය නම දැම්මේ.සමහර විට මේ පැත්තෙත් එන්න ඉඩ තියන නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්.මළකඩයා කිව්වමත් හොදට තරහ යනව. මේ හැමදේම ලිව්වෙ විහිලුවට ඔන්න තරහ එහෙම ගන්නව නෙමේ!...

අනේ මගෙ මාලේ!... | I lost my necklace


කාලේකට ඉස්සර මාල වලලු දාගන අත කර පුරවගන යන එක කාන්තා පාශ්වයට විතරක්  වෙන්වෙච්ච සිරිතක්ව තිබ්බ.ඒත් කාලය ගතවෙනවත් එක්ක දැන් දැන් පිරිමි අයත් නොයෙකුත් කනකර විලාසිතා කරනව.

මේ පෝස‍්ට් එක ලියන්න හිතුනේ මේ විලාසිතා ගැන නම් නෙමේ.ඒව නිසා වෙන අකරතැබ්බ ගැන කියන්න.

අපි ලස්සනට ඉන්න ඕනෙ තමයි ,ඒ වගේම ඒ වෙනුවෙන් විවිද ආභරණ විලාසිතා වලින් හැඩ වෙන්නත් ගොඩක් අය කැමතියි.ඒත්...

ඔය දේවල් නිසාම විවිද අකරතැබ්බ වලටත් මූණපාන අය ඉන්නව.විශේෂයෙන් රන් ආභරණ වගේ වටිනා කියන ආභරණ පැලදීම නිසා.

මේ ලගදී දවසක අපේ ගෙදර පාර ඉස්සරහිනුත් පොඩි බබෙක් එක්ක ගිය අම්ම කෙනෙක්ගෙ මාලයක් කඩාගන ගිහින් තිබ්බා,ඒ එයා ගෙදර ඉදන් ගේ ලග කඩේට යන ගමන්.

ඒක පෙන්ඩන්ට් එකක් එක්ක තිබ්බ මාලයක්,සෑහෙන ගානක් වෙනව කියල තමා කිව්වෙ.

පාරේ යන ගමන් ඉස්සරහින් ආව මෝටර්සයිකලයක නැගලා ආව දෙන්නෙක් තමයි මාලේ කඩාගන ගිහින් තිබ්බෙ,කෑගහන සද්දෙට අපි ගිහින් බලද්දි වැඩේ වෙලා ඉවරයි.

බෙල්ලත් තුවාල වෙලා.පොඩි එකත් හොදටම බයවෙලා වෙච්ච දේට.

ඔය සිද්දිය වෙලා සතියක්වත් නැ,මම් කලින් පෝස්ට් එකක් ලිව්වනේ ප්‍රේමයෙන් උමතුවිය හැකිද? කියල,එයාගෙ මාලයත් මෙහෙම කඩාගන ගිහින් තිබ්බා.

කට්ටිය නම් කිව්වෙ එයාට කොච්චරවත් කිව්ව ඔය මාලයක් දාගන ඉන්න එපා කියල,කෝ ඇහුවද අපරාදේ මාලේ, ලොකු පෙන්ඩන්ට් එකකුත් තිබ්බ කියල.

දන්න විදියට මේ වෙනකම්  ඒ මාලේත් හම්බවෙලා නම් නෑ.පොලිසියේ "ඇන්ට්‍රියක්" එහෙමත් දාලා කියලයි ආරංචි.

පොසොන් ඒකට කලින් දවසෙත් ඔය වගේම සිද්දියක් උනානේ,වැඩ ඇරිලා යන මගෙ යාලුවෙකුට.

අර විදියටම මෝටර්සයිකලේක ඇවිත් ඒකෙන් බිමට බැහැලා මාලෙ කඩාගන ගෑණුලමයව කාණුවටත් තල්ලු කරලා දාල ගිහින් තිබ්බ.

ඒක වෙලා තිබ්බෙත් පොඩි කඩයක් එහෙම තියන හතරමංහංදියක,කොහොමද හොරුන්ගෙ බය නැතිකම!...

එයාගෙත් බෙල්ල හීරිලා මාලෙ ඇද්ද පාරට,හොදටම බයවෙලත් තිබ්බා.

එයානම් කිව්වෙ ඒක ඉමිටේශන් මාලයක් කියල.

ඔයවගේම දෙයක් වෙලා පස්සෙ දවසක ඉමිටේශන් මාලෙ මූනට දමලාගහල ගිය සිද්දියකුත් ආරංචිඋනා කියල යාලුවෙක් කිව්වා.

මෙහෙම බලද්දි කන්වල තියන කරාම්බු කපාගන යන දවසත් වැඩි ඈතක නෙමේ කියල මට නම් හිතෙන්නෙ.

වෙඩින් එකකට වගේ ලස්සනට සැරසිලා යන්න ඕනේ අත‍ය්‍යවශ්‍ය කාරණේකට ඇර, එදිනෙදා ගමන් වලට වටිනා කියන  ආභරණ දාගන යන එකෙන් මේ විදියේ අකරතැබ්බ ඇතිවෙන්න පුලුවන්.

සමහරු පොළට එන්නෙත් ගෙදර තියන සියලු ආභරණ වලින් සැරසිලා.වැරෑද්දකුත් කියන්න බෑ ඒ එයාලගෙ කැමැත්තනේ.

අනික කාගෙන් තහනමක් ද තමන්ගේ දේ ඇදගන පැලදගන යන්න.

ඒත් ගොඩක් අය දැන් එදිනෙදා පාවිච්චියට රත්තරන් වගේ වටින කියන දේවල් දානව අඩුයි.ඒ වෙනුවට ඕන තරන් ආදේශකත් තියනවනේ.

දාන අයට කියන්න තියෙන්නෙ ඉතින් අර කවුද කිව්ව වගේ තමන්ගේ ආරක්ශාව තමන්ම බලාගන්න ඕනේ නිසා පරිස්සම් වෙන්න කියල තමා.

Friday, July 22, 2011

ගිලෙන්න යාම | Can't you see I'm drowning


ඒ අපේ වාර්ශික චාරිකාව යෙදිලා තිබ්බ කාල සීමාව,10 වසරේ ලමයි නිසා අපිව දින දෙකක චාරිකාවක් අරන් යන්න තමා සූදානම් කරලා තිබ්බෙ. 

බලන්න යන්න ලෑස්ති කරල තිබ්බ තැන් වලින්, සිංහරාජ වනාන්තරය තමා මූලිකත්වයක් ගත්තෙ.තව ගොඩක් තැන් බලන්නත් එක්ක ගියා.

වෙන සැරවල් වල එක්ක යන්නෙ එක දවසෙන් ගිහින් එන්න පුලුවන් ට්‍රිප්.ඒ උනත් මේ සැරේ ට්‍රිප් එකට දවස් 2ක්ම.ඒ නිසාම ගොඩක් ආසාවෙන්  ලෑස්ති උනා.

අපරාදේ කියන්න බෑ,6 වසරේ ඉදලා 13 වසරට යනකම්ම හැම අවුරුද්දකම කොහෙහරි එක්ක ගියා අපිව ඉස්කෝලෙන්.

ආය ගෙදරින් ඔය යන හැමතැනම එක්ක යනව කියලැ.

ඒ නිසා ගෙදර අයත් තහංචි දැම්මෙ නෑ.යාලුවො යනව නම් යන්න කියල තමා කිව්වේ.අපි හිටියේ මිශ්‍ර ඉස්කෝලෙකනේ,ඒ නිසා පිරිමි ලමයිනුත් අපිත් එක්ක ට්‍රිප් එක යන්න එකතු උනා.

මට මතකේ හැටියට දවසක්ම වාගේ වෙන කරල තිබ්බා සිංහරාජ වන චාරිකාව වෙනුවෙන්.ඊට කලින්දා රාත්‍රිය ගතකරේ කලවාන සෙන්ට්‍රල් එකේ. සර්ලා මිස්ලා එක්ක කට්ටියම එකතුවෙලා උයාපිහාගන කාලා සෑහෙන්න විනෝදෙන් ගතකලා.

හැබැයි මට නම් පොඩි අකරතැබ්බයක් උනා ඊට කලින්දා හවස් ජාමේ.ඉස්කෝලෙ නැවතෙන්න එන්න කලින් අපි ගියා බෝපත් ඇල්ල බලන්න.ඒත් සෑහෙන උපදෙස් මැද්දේ,වතුරට එහෙම බහින්නෙ නෑ...උඩටම යන්නෙ නෑ...බ්ලා බ්ලා...ඔයවගේ නොයෙකුත් උපදෙස්.

අපි ඕව අහන එකක් යෑ අනික අපිත් එක්ක ගිය පිරිමි ලමයිනුත් ඉන්නවනේ මොකට බය වෙනවද කියල.ටිකක් උඩට ගියා.

මොන යනවද දවල් වරුවෙ නිසා ගල් රත් වෙලා කකුලුත් හොදටම පිච්චෙනව,සපත්තු ගලවලානේ වතුරෙ හිටියේ.

එ අතරේ එක තැනක අපි දැක්කා පිරිමි කට්ටියක් කනව බොනව.අපේ ලමයින්ටත් මොනාද කියල සර් කෙනෙකුත් බැන්නද කොහෙද එයාලට.ඒ නිසා මිස්ලත් කිව්වෙ ලමායි... පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කියල.

මතකේ හැටියට අපි දවල් කෑම ගත්තෙත් එතනදි.ඉක්මනින්ම කාලා ඇල්ල බලන්න ලගට යන්න තමා අපිට ඕනෙ උනේ.ගිහින් ටිකක් වෙලා ඉදලා අපි සර්ල එක්කම එන්න ආව.

ඉක්මනට ගල්  උඩින්  අඩිය තිය තිය තමයි ආවේ ,ඒ තරම් රත් වෙලා,කකුල් පිච්චෙන තරමටම..

එක පාරටම අඩිය තියනව විතරයි මතක, මාව වතුර ඇතුලකට ඇදිලා ගියා.කිසිම දෙයක් හිතාගන්න කාලයක් තිබ්බෙ නෑ.හරියටම සුලියක් වගේ කැරකිලා කැරකිලා... ඇතුලටම යනව.උඩට එනව තියා හිතන්න වත් තේරුමක් නෑ.

ඒ අතරේ කවුද කෙනෙක් මගෙ අතින් අල්ලනව වගේ මතකයි.

එක පාරටම මම් උඩට ඇදිලා ආවා. 

කලන්තේ වගේ... ටික වෙලාවකින් මම් ගලක් උඩ වාඩිවෙලා ඉන්නව වගේ දැනුනා.,මුලු ඇගම තෙමිලා.වතුර බේරෙනවා...හුස්ම ගන්නත් අමාරුයි වගේ.

ඇස් ඇරල බැලින්නම් යාලුවො ටිකත් වට වෙලා.සරුත් බයවෙලා වගේ බලාගන ඉන්නව.

ඒ අස්සෙ නනා හිටපු පිරිමි කෙනෙක් මගෙ ඉස්සරහට වෙලා බලන් ඉන්නව.,.එයා කියන ඒව මට යාන්තමට වගේ ඇහුනා...

අත අහුවෙච්ච නිසා හොදයි.මම් මේ සද්දෙට මේ පැත්තෙ බැලුවෙ නිකන්.

එයා තමයි මාව බේරගන තිබ්බෙ,අපි ඇල්ල බලන්න එද්දි මග කකා බිබී හිටපු අය්යලා කට්ටිය ගෙන් කෙනෙක්.ඒ වෙද්දි එයාලත් එතන නනා ඉදලා.

අපේ සර් මුලදී එයාලට බැන්නත් එක්ක,ලමයින්ට අරව මේවා කියනව කියල,පස්සෙ නොසෑහෙන්න ස්තූතියි කියල,නොවැන්ද එක විතරයි.

එදායින් පස්සෙ ඉස්කෝලෙන් යන ට්‍රිප් වලට ටිකක් තහංචි වැටුනා,කොහෙ ගියත්,

වතුරට එහෙම බහින්නෙ නෑ හරිද!... කියල කමාන්ඩ් එක දීල තමයි ගෙදරින් යවන්නෙ.

පස්සෙ යාලුවොත් එක්ක ඒ ගැන කියව කියව ඇතිවෙනකම් අපි හිනා උනා.කට්ටිය මම් වැටුන හැටි,බේරගත්ත හැටි ඉස්කෝලෙ ඇවිල්ලා රගපපා කිව්වා.ඒ අස්සේ බේරගත්ත කෙනාගෙ ලස්සනත් වර්ණා කරා.

ඒත් වෙච්ච දේ බරපතලකම තේරෙන්නේ ඒ දේට මුහුන දීපු කෙනාට.ඒත් ලග හිටපු අයත් හොදටම බයවෙලා තිබුනා,එයාලට පෙනි පෙනීනේ ගිලිලා තිබ්බෙ,අනික ඔලුවත් පේන්නෙ නැතුව ගියාම!ඉවරයි කියල හිතෙන්න ඇති!.

බේරගන්න ආව කෙනා නිසා තමයි අද මම් ජීවතුන් අතර ඉන්නෙ,නැත්තම් මේ වෙද්දි මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.

Wednesday, July 20, 2011

මේක වෙනස්නේ | Sir...Two papers are different?


මේ කතාව අපේ Maple ලැබ් සෙශන් එකක වෙච්ච දෙයක්,ඒ දවස් වල අපි 2වෙනි අවුරුද්දේ ඉගන ගන්නව.අපිට උගන්නන්න හිටියේ, අපිත් එක්ක ඉගන ගත්ත පිරිමි ලමයි ගොඩකටත් වඩා පොඩිම පොඩි සර් කෙනෙක්.

එයා වැඩිය කතා බහක් නෑ.විශේෂයෙන් ගෑණු ලමයි එක්ක.ආවා ඉගැන්නුව ගියා.වැඩිය හිනාවීම් නෑ.පාඩුවේ තමන්ගේ වැඩ ටික කරලා යනවා.

එයාට ඒ හැටි වයසක් තිබ්බෙත් නෑ.ලමයින්ට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් ඇති සමහර විට.මේ වෙද්දි නම් එයා උසස් අධ‍‍ය්‍යාපන කටයුතුවලට රටින් පිට ගිහින්.

 ඔන්න කතාව කෙටියෙන්ම කියන්නම්කෝ.මේක උනේ මගේ හොදම යාලුවෙකුට,එයා ගෑණු ලමයෙක්.සහතිකෙන්ම කියනව මේ මම එහෙම නෙමේ.

ඒ දවස් වල තියරි ඉවර කරල ලැබ් සෙශන් එහෙමත් කරලා,ආවා මිඩ් සෙමෙස්ට්ටර් එක්සෑම් කාලේ.මිඩ් එකට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ලැබෙන නිසා කට්ටිය හොද සූදානමකිනුත් හිටියා.

තිබ්බෙ ප්‍රශ්ණ කීපයක් පැය 1 1/2කින් කරලා ඉවර කරන්න.ඔන්න ලමයි ටික ඇඩ්මිශන් නම්බර්ස් පිලිවෙලට වාඩි වෙලා ඉන්නව.

සර් වෙලාව බල බලා ඉන්නව පේපර් ටිකත් අතේ තියන්.ලමයි මැශින්ස් එහෙමත් ඔන් කරන්. Maple open කරගන ඉන්නවා.

ඔන්න සර් පේපර් බෙදාගන බෙදාගන යනව.පෙපර් අතට ගත්ත අය වැඩ හෝ ගාලා,කෝක කරන්නත් පැය 1 1/2 නේ තියෙන්නෙ.

ඔහොම බෙදද්දි අර යාලුවටත් පේපර් එක ලැබිලා, හදන්න කලින් පොඩ්ඩක් කියෙව්වලු.

හ්ම්...එකපාරක් කියෙව්වා මුල්ම ගණන...ඒත් හරි හැටි මීට‍ර් උනේ  නෑලු කරන්න කියල තියන දේ.(මඤ්ඤං)

එහා පැත්තේ ඉන්න කෙනාගේ පේපර් එකට පොඩි ඇහැක් දැම්මලු.

ඈ...සර්ට වැරදිලාවත් ද?මට දීල තියෙන්නෙ වෙන පේපර් එකක් නේ....

ඔහ්...අනිත් පැත්තෙ එකාටත් එහෙමයි...උන් දෙන්නටම එකම පේපර්...

මගෙ එක විතරක් වෙනස්!... 

බැරිම තැන ඉස්සිලා බැලුවලු ඉස්සරහ එකාට මොකද්ද දීල තියෙන්නෙ කියල.

ශික්!...පේන්නෙ නැනේ.කතා කරල අහන්නත් බෑ.විභාගයක් නේ.

ඒ අස්සෙ සර්ට පෙනිලා එකෙක් ඇඹරෙනවා එහෙට මෙහෙට.බැරිම තැන ආවලු ඒ පේලිය දිගේ ලමයි ලියන ඒවා බලාගන.


 මේ යාලුවත් සර් එයා ලගට එනකම් ඉදලා, එහා පැත්තෙ එක්කෙනාව පෙන්නලා කිව්වලු,

Sir...Two papers r different!...කියලා.

සර් තරහ මූඩ් එකකින් කියාගන ගියාලු

Don't look at others කියලා.

ඕනේ දෙයක් වෙච්චදෙන් කියල මෙයා දැන් මැශින් එකේ වැඩලු.

එක පාරටම වැඩ කර කර හිටපු වින්ඩො එකද කොහෙද මිනිමයිස් වෙලා.තිබ්බ විදියට එන්නෙ නැලු කොච්චර කරත්.ඒ අස්සෙ සෑහෙන වින්ඩෝ ගානක් ඕපන් වේගන වේගන යනවලු.

බයවෙලා දාඩියත් දාගන එනවලු.ඇයි වෙලාවත් ඉවර වෙන්න යනවනේ.

බැරිම තැන අත ඉස්සුවලු.

සර් බලන් ඉදල ඉක්මනින් ලගට ඇවිල්ලා. 

Yes!... කියල ඇහුවලු.

මේකා එකපාරටම කිව්වලු සර් මේ...මේක චූටි උනානේ...කියලා.සර් දන්න වැඩ ටික දාලා ඒක හදලා දීලා ගිහින්.

පස්සෙ ටික දවසක් යනකන් දැක්ක තැනක, ඒ ලමය එක්ක සර් හිනා වෙනවලු.

ප.ලි: අපේ අයගෙ හැටි දන්න නිසා, සර්  එකම වාගේ ප්‍රශ්න තියන පේපර්ස් සෙට් දෙකක් හදලා ප්‍රශ්ණ වල නම්බර්ස් එහෙම මාරු කරලා තමයි දීලා තියෙන්නෙ, කියල පස්සෙ තමා දැන ගත්තේ.ඒවත් බෙදලා තියෙන්නෙ එක්කෙනෙක් ඇර එක්කෙනෙක් වෙන විදියට.එතකොට ලග ඉන්න දෙන්නෙක්ට එකම පේපර් ලැබෙන්නෙ නෑනේ.


Saturday, July 16, 2011

කාඩ් එක


මුල්ම දවස් වල අපේ කාමරේ හිටිය 6 දෙනෙක්,ඒක තමා හොස්ටල් එකටම තිබ්බ ලොකුම කාමරේ.සිංහල අය 4යි.අනිත් දෙන්නා ටැමිල්.

කැම්පස් ඇවිල්ල මාසයක් වත් ගිහින් නෑ,අපිත් එක්ක හිටිය ටැමිල් ගර්ල්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක්ට ටිකක් විතර අමුතු,හැසීරීමක් තියනව කියල,අපිත් එක්ක හිටිය ශානි කිව්වා.

එයා පාඩම් කරන්න ගියත්, පොත අරන් ඇදට ගිහින් පොත පැත්තක තියාගන, සිවිලිම දිහා බලාගන හිනා වෙනව.

ශානි දවස් කීපයක්ම ඕක දැකල තිබ්බ,අපිටත් පෙන්නුව.මමත් ඕක දවස් කීපයක්ම දැක්කා.

මොනවත් නොකියා ඉදලා,ඉවසලා ඉවසලා බැරිම තැන,දවසක් කට්ටියම ඉන්න වෙලාවක ශානි විහිලුවට වගේ ඇහුව,මොකද ප්‍රියා...!... Auto C....ද සිවිලිම දිහා බලාගන තනියම හිනාවෙන්නෙ?.... කියල.

එයා එහෙම කිව්වෙ ප්‍රියා හිටපු ගමන් කල්පනාවට වැටිලා තනියම හිනා වෙන නිසා.

කට්ටියටම හිනා වැඩේට.ඔය සිද්දිය කාමරෙන් එලියට ප්‍රසිද්ද කරේ නෑ.පව්නේ...ඒත් හොස්ටල් එකේ නම් පොඩ්ඩක් කියවුනා පස්සෙ අමතක වෙලා ගියා.

කැම්පස් එකේ මුල්ම අවුරුද්දෙ අපිට තිබ්බ, Communication Skills & Development කියල සබ්ජෙක්ට් එකක්.

ලමයින්ගේ Personality Development කරන්න තමයි ඒක ගොඩක් වැදගත් උනේ.අපි යන කාලෙ නායකත්ව පුහුණුවක් තිබ්බෙත් නෑනේ.

ඔන්න ඕකෙදි එක දවසක් ස්ටේජ් එකට ගිහින් කතාවක් කරන්න පුරුදුවෙලා එන්න කිව්ව.

ඒ කියන්නෙ, එක එක්කෙනා තනියම කතාව කරන්න ඕන ස්ටේජ් එකට නැගලා,මයික් එකත් අරන්.අනික Main Lecture Theater එකේ.

කතා බෝරින් වෙන නිසා විහිලු කතාවක් සූදානම් කරගන එන්න කියලත් කිව්ව.මම් නම් ගිහින් කිව්වෙ මේ පොඩි එකාගෙ වැඩ කියන කතාව.

තටම තටම කොහොම හරි කිව්වා, කඩ්ඩෙන්නෙ කියන්නත් ඕනේ,අනික ගිය මුල්ම දවස් වල අනිත් අය හරියට අදුරන්නෙත් නෑ,බයයිත් වගේනේ.

කට්ටිය ඔහොම එක එක කතා කියාගන ගියා.සමහර ඒවා නම් හරියකට තේරුනෙත් නෑ,ඒත් කට්ටියම හිනා වෙන නිසා අපිත් හිනා වුනා.

අර ටැමිල් යාලුවත් කතාවක් කිව්වා.අවසාන වේගන එද්දි අපේ කාමරේ හිටිය තවත් යාලුවෙක් ස්ටේජ් එකට නැග්ගා.එයා ජීවා,රත්නපුරේ කෙනෙක්.

ඒ නිසාම අපි ලොකු Clap එකකුත් දුන්න,මොකද අපේ රූමා නේ.. එයා කාමරේදිවත් කතාවකට කිසිම සූදානමක් තිබ්බෙ නෑ .ඔන්න ඔහෙ මොකක් හරි කියනව බන්!...කියල නිකන් හිටිය.

මෙන්න එක පාරටම අර  Auto C... කතාව කියනව,ටැමිල් යාලුව " ඕ..කඩවුලේ!... " කිය කියා ඇඹරෙනව අපි ඉන්න තැන ඉදන්.හෙනට බය වෙලා,ඔක්කොම විස්තරේ කියලා අන්තිමට එයාගෙ නම කියයිදෝ කියල.

ඒත් ජීවා නමක් කිව්වෙ නෑ,හොස්ටල් එකේ යාලුවෙක් කියල විතරයි කිව්වෙ.කිව්ව විස්තරේට අදාල උනේ නම්, කාමරේ අපිත් එක්ක හිටිය ශානි ගෙ,හැඩහුරුකම්,හැසිරීම්,ගම පළාතට. එහෙම කියද්දි ඔක්කොම හිතුවෙ ආහ්....එහෙනම් මේ ශානිගෙ වැඩක් තමා!... කියල.

ඔන්න ඔහොමයි අන්තිමට කොහෙවත් ගිය නමක් එයාට වැටුනේ.

අන්තිමට කතාව කියපු ජීවා, මැනුවල් C...උනා. විහිලු කරපු ශානි ඔටෝ C...උනා.

ප.ලි: "ඕ කඩවුලේ!.." කියල මුලින් එයාල කිව්ව එක, අපි සිංහලට හදලා දුන්නා, "අයියෝ දෙය්යනේ!.." කියන්න කියල.පස්සෙ එයාල ඒක පාවිච්චිකරා.කවීප්‍රියා, ප්‍රියන්තී දෙමළ යාලුවො දෙන්න එක්ක ගතකරපු ඒ මාස 6 නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.සෑහෙන විනෝදෙන් ගතකරපු කාලයක්.

Thursday, July 14, 2011

ඇලිස් බෑන්ඩ් | Alice Band


කාලෙකට පස්සෙ සති අන්තෙ නිවාඩුවකට ගෙදර ගියා.යනකොට ගේ ඉස්සරහ කීපදෙනෙක්ගෙ සෙරෙප්පු.හ්ම්...ගෙදරට කවුරුහරි ඇවිල්ලා...

ඒත් රබර් සෙරෙප්පු දාගන!...?

කුස්සිය පැත්තෙන්  කතා සද්දෙකුත් ඇහුනා.
සාලෙ වාඩිවෙලා පොඩි ගෑණු ලමයෙකුයි, එයාගෙ මල්ලියි කියන්න පුලුවන් දෙන්නෙක් පත්තර බලනව.මම් හිනාවක් දාගනම බෑග් අඩුම කුඩුම ටික කාමරෙන් තියල කෙලින්ම කුස්සිය පැත්තට ගියා. 

ආ නංගියෝ...දැක්ක කාලයක්...

ආ...මම් ඒත් බැලුව කවුද කියල. මට අදුර ගන්න බැරි උනා.දුවයි පුතයි දෙන්නත් ඇවිල්ලානේ.

ඔව් නංගියෝ හදිස්සියෙ ආවේ.
මොකුත් හදාගන එන්නත් බැරිඋනා.

ඒකට මොකද කාලෙකින් හරි මේ පැත්ත බලාගන යන්න ආවනේ.

මේ සැරේ තල ඉස්සනේ, තලගුලි ටිකක් හදන් ආවා.

ආ...නියමයි මරු කෑම. 
ඉතින්...

නංගියා නම් මහත් වෙලා වාගේ.කාලෙකින්නේ දැක්කේ. 
හැබෑට කොච්චර කාලෙකින්ද නේද?

හෙහෙ...ඒ මගෙ හැටිනේ.කෑම දැක්කත් මහත් වෙනව.

ආය කීවට ඒ හෑටි මහතකුත් නෑ. 



එපා වෙනව අප්ප බස් වල ආවහම හරි මහන්සියි.

ගොඩක් දුරනේ නේද?

හ්ම්...පැය 8ක් විතර එන්න එපැයි.
අම්ම ආව අයට කෑම හදන්න ලෑස්ති කරනව.මම් හිමීට ගිහින් ෆිල්ටර් එකෙන් වතුර එකක් කෝප්පෙට දාගන එක හුස්මට බීගන බීගන ගියා.


අම්මේ ලාවට සීනි දාලා තේ එකක්!...
කියන ගමන් මම් වොශ් එකක් දාන්න නාන කාමරේට ගියා.
එද්දි තේ එකත් එක්ක තලගුලි ටික බැබලි බැබලි තියනව කුස්සියෙ.


තලගුලියක් කාල තේ එක බොන ගමන් ආය කතාවට වැටුනා.

පොඩි උන් දෙන්නත් පත්තර බැලිල්ල පැත්තකින් තියල කුස්සියට ඇවිත් කටදිහා බලාගන ඉන්නව.ගෑණු ලමය ඇලිස් බෑන්ඩ් එකකුත් දාලා,පෙනුමෙන් එච්චර වයසක් කියන්නත් බෑ,කොල්ල නම් ටිකක් මෝරල පාටයි.


මේ දෙන්නත් යන්නෙ ගමේ ඉස්කෝලෙටද?

ඔව් පුතා නම් තවම ඉස්කෝලෙ යනව,මෙයාගෙ ඉස්කෝලෙ ගමන නැවතුනානේ.

ඒ ඇයි? කියන්නක් වගේ මට  ගෑණු ලමය දිහා බැලුන.
ඒ ලමය කිසිදෙයක් නොකිය බිම් බලාගත්ත.


ලමයගෙ අම්ම දිගටම කියවනව.


කරදරයක් උනානේ නංගියෝ...
මම් අම්මට නම් විස්තරේ කිව්වා,නංගියා දන්නව නේද අර ගමේ හිටිය අබේකෝන්?

හ්ම්...මට මතකයි.
හැබයි එච්චරටම මතකයක් නෑ,නමින් දන්නව,මම් ගමෙන් එද්දි අවුරුදු 4ක් වත් නෑනේ.

ආන්...ඒකාගෙන් මෙයාට කරදරයක් උනානේ.
මෙහෙ උසාවි දාල තියෙන්නෙ දැන්.

අහ්...

ලොකු නංගියා හම්බවෙලා මොනාද කරන්ඩ ඕනෙ කියලා බලන්ඩ මේ ආවේ.

හ්ම්...එහෙමද?

එන්ඩ කියල තියනව උසාවියට.
අපිනම් කැමති සමාදාන වෙන්ඩ, ආය නඩු කිව්වා කියල ඔව්වට දෙන්න ඔය හැටි සල්ලියක් කොහෙ තියනවද?.
වෙච්චි දේ උනානේ.නේද?
ඒකා ගන්ඩම හිතාගන කොරානම් කමක් නෑ.වෙන ගමක ගෑනියක් එක්ක හුටපටයක් තියනව කියල කියන්නෙ.ඒකා ඒ ගෑනි ගනී.

මාර මිනිහෙක්නේ!...එච්චර වයසකුත් නෑ නේද?

ඔව් ලොකු නංගියාලට වඩා අවුරුද්දක් දෙකක් විතර ඕනෙනම් වැඩිමල් ඇති.


අපරාදේ නේද ඉස්කෝලෙ ගමන.

ටික කාලයක් ගියා,පස්සෙ පස්සෙ ලමයි අරව මේවා කියනව කියල නැවතුනා.
දැන් ගාමන්ට් එකක වැඩට යනව.ඒකෙන් හම්බවෙච්ච කොල්ලෙක් එක්ක යාලුවෙලානේ ඔය ඉක්මනට බලන්ඩකො.

 ආහ්...

ඒ ලමයත් හොදයි.සේරෝම විස්තර දැනගනයි කැමතිවෙලා තියෙන්නෙ.
එ හින්ද වන්දි නැතත් කමක් නෑ,මේක බේරුමක් කරගන්ඩයි ඕනෑ කරන්නෙ දැන්.

හ්ම්...


පලි: ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් ගමේ ගියා.ආසාවට වැව බලන්නත් යන්න ඕනෙ කියල හිතුනා, බන්ටෙක දිගේ ඇවිදගන යද්දි රෙදි පුරවගත්ත බාලදියකුත් අරන්,හූනූ පැටියෙක් වගේ ලමයෙකුත් කර ගහගන පොඩි ගෑනු ලමයෙක් එනව ඉස්සරහට,නාන මංකඩට යන්න වෙන්නැති.මාව දැකල කතා කරා,ඒ අර ගෑණු ලමය.

Monday, July 11, 2011

ගැහැණු නිසා වෙන අවාසි


ඒ දවස් වල මම් වැඩ කරන තැනට අලුතින් කට්ටිය ගන්නව.ඒ නිසා ඉන්ටවිව් එහෙමත් තියනව හෝ ගාලා.

මාත් එක්කම අහල පහල හිටපු අයට තමා වගකීම පැවරිලා තිබ්බෙ ඉන්ටවිව් එකට කලින් දෙන පේපර් එකට ප්‍රශ්න හදන්න.

ෆ්‍රී වෙලාවට ඔන්න එයාල ප්‍රශ්ණ ගැන කියනව,අරව දාමු,මේවා දාමු කියකිය.

අපි වැඩකරපු තැන හිටියෙ ඔක්කොම පිරිමි අය,ඒ නිසා කොල්ලො ටික විහිලුත් කරගන්නව,අනේ මේ පාරවත් කෙල්ලෙක් ආවොත් හොදයි කියල.

ආ කියන්න බැරිඋනානේ ඒක Networking Stuff වලට සම්බන්ද තැනක්.

ප්‍රශ්ණ ටික හදලා ඔක්කොම ටික පිලිවෙලක් කරලා අපේ ප්‍රධානියට කියල,හොදනරක හොයල බලලා ප්‍රින්ට් කරල වෙලාවට අරන් ගියා,තිබ්බෙ නම් පොඩි පොඩි Networking ප්‍රශ්ණ.

වෙලාව කියන්නෙ එදා එකම එක ගෑණු ලමයෙක් ඇවිත් හිටිය. 

මට නම් සුවර් එකක් තිබ්බෙ නෑ,ගෑණු ලමය ගැන,අනිත් ඔක්කොම කොල්ලොනේ,ඒ නිසා එයාට චාන්ස් එක අඩුවෙයි කියලමයි හිතුනේ.

ඔන්න ඉතින් වෙලාවට ආව අයට පේපර් එක ලියන්න දීල,වෙලාව අවසාන වෙද්දි අය්ය කෙනෙක් ගියා බලන්න.

ටික වෙලාවකින් මෙයා එනව,දන්නවද වැඩක්!, අර ගර්ල්ගෙ තමා වැඩිම හරි උත්තර තිබ්බෙ,මම් හිතුවෙවත් නෑ,වෙලාවට කලින් කරලත් ඉවර උනානේ පේපර් එක!...

අනිත් අයත් උත්තර දෙනව,හා...හා...එහෙනම් මේ සැරේ අපේ හීනෙ හැබෑ වෙන්නයි යන්නෙ,කෙල්ලෙක් එක්ක වැඩ කරන්න පුලුවන්.

ඒත් එක්කෙනෙක් කියනව ඇහුන, අපෝ වාත වෙනව කොල්ලො එක්ක වැඩ කරන්න බෑ...ඥාව්  ඥාව් ගානව කොයි වෙලෙත්,අනික එක්කන් යන්නයි ගිහින් දාන්නයි...නිදහසත් නැතිවෙනව බන්...

ඒ අතරෙ එක්කෙනෙක් කියපි, එහෙමමත් නෑ බන්,බලහන්කො අර....එකේ ඉන්නෙ කෙල්ල,තනියම සර්වර්ස් එක්ක වැඩ කරන හැටි!

අරව මේව කතා ගොඩයි.කොහොමින් හරි අන්තිමට,සතියකට විතර පස්සෙ පිරිමි ළමයෙක් අරන් තිබ්බ.

Thursday, July 7, 2011

භාෂා ගැටලුව I A problem with the language.


මේකත් කැම්පස් එකේ පළමු වසරේ වෙච්ච සිද්දියක් ඕං. ගිය මුල්ම කාලෙ අපිට තිබ්බෙ Broad General Education නේ.ඒ නිසා ඔක්කොම Departments වල අයට, ගොඩක් එකම සබ්ජෙක්ට්ස් ඉගනගන්න තිබ්බා.

විශේෂයෙන් දෙමළ අයට සිංහල භාෂාවත්,සිංහල අයට දෙමළ භාෂාවත් හදාරන්න උනා.ගොඩක් දෙමළ අයට සිංහල මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.අපිට දෙමළ බෑ.


ඒ නිසා ගුරුවරු කිව්වෙ කතාකරලම තමා හුරු වෙන්න ඕනෙ කියල.ඒ දවස් වල දෙමළ යාලුවො කතා කරද්දි, අපි ගිහින් කට දිහා බලන් ඉන්නව,කොහෙද එයාලා කතා කරන ස්පීඩ් එකට, එක වචනයක් අල්ලගන්න බෑ.

බස බස ගාල කියවනව.හොද වෙලාවට අපි හිටිය කාමරේට ටැමිල් යාලුවො දෙන්නෙක් වැටුනා.ඒ නිසා ගොඩක් නැතත්,කියන එක ටිකක් තේරුම් ගන්න තරම් හැකියාවක් ආවා.


එයාලත් අපි කතා කරද්දි ලගට ඇවිල්ල,ඒ මොකද්ද කිව්වෙ?... කියල අහනව,අපිත් පුලුවන් කඩ්ඩෙන් කියල දෙනව.ඔය අතරෙදි සමහරු මෙයාලට වෙන වෙන දේවලුත් උගන්නල. ඒ කියන්නෙ හොද තේරුම් ඇති දේවල් කියල, නරක වචන උගන්නලා.පිරිමි ලමයින්ගෙ හැටි!...

එයාලත් එහෙම කරා අපිට, දවසක් සිංහල ගෑණු ලමයෙක්ට කියල, "ඔරු මුත්තම් තාන්ගො" කියන්නෙ "එක උදව්වක් කරන්න" කියන එක කියල.ඒ ලමයා දෙමළ පිරිමි ලමයෙක් ලගට ගිහින් එහෙම කියල තිබ්බ.


ආ....අපේ හිටියා Bio Lecturer කෙනෙක්,එයා ලමයින්ට පොදුවේ කතාකරන්නෙ පුතා කියල.(ex: නිශාදී පුතා,ප්‍රසාද් පුතා,තර්ශන් පුතා.....ඔන්න ඔය විදියට).අපේ Agri එකේ හිටියා උද්දික කියල යාලුවෙක්.අපේ සමහර සිංහල අකුරු හරියට දෙමළ අයට ශබ්ද කරන්න බෑ.එයාලගෙ හෝඩියේ ඒවට අකුරු නෑ.

ඉතින් උද්දික කියන එක එයාලට උච්චාරණය කරන්න බෑ,කියන්නෙ වෙන විදියකට.බොරු නම් දෙමළ යාලුවෙක්ට කියල කියවලා බලන්නකො..ඉස්සර අපේ කට්ටිය දෙමළ අයට කියල "....සර්! උද්දිකට කතා කරන්නෙ කොහොමද?" කියල අහනව.එයාලත් හොදට කට ඇරල කියනව .....පුතා!... කියල.

ඒ උනාට එයලා සිංහල කතා කරන විදිය හරිම අමුතුයි,ආස හිතෙනව අහගන ඉන්න.


තවත් දවසක්  Stat කුප්පියකදි Modulus (මාපාංකය) ගැන කතාවක් ඇදිලා ආව.ඔක්කොම වගේ හිටියෙ සිංහල අය නිසා, දැන් Modulus වෙනුවට මාපාංකය කියවෙනව දිගට හරහට.

මම් ලගම හිටිය මගෙ දෙමළ යාලුවා(එයා Jaffna වල) රමා,.නදී....What's .......ය කියල අහල,කුප්පිය සෑහෙන වෙලාවකට නවත්තන්න උනා.මම් හිනා වෙලා ඉවර වෙනකම්,අනිත් උන් කට ඇරන් බලන් ඉන්නව, මේ මොකද කියල.

ප.ලි: එයා කිව්වෙ මොකද්ද කියල නම් අහන්න එපා.ලියන්න පුලුවන් දෙයක් නම් මම් ලියනවනේ.

Sunday, July 3, 2011

ලෙක්චර් එක | Game Playing Game Playing ha ha...


කැම්පස් එකේ අපිට හිටියෙ ගොඩක් ගැහැණු Lecturers ලා, එහෙමත් වෙලාවක තමයි බෙහෙතකට වගේ පිරිමි Lecturer කෙනෙක් උගන්නන්න ආවෙ.ඒ අය අතරේ නුවර පැත්තෙ ප්‍රසිද්ධ විශ්වවිද‍ය්‍යාලයක ඉදලා ආව Lecturer කෙනෙක් හිට්යා.

එයා අපිට Credits 3නේ සබ්ජෙක්ට්ස් 2ක් ඉගැන්නුවා,දෙකම Credits 3නේ ඒවා, ඒ කියන්නෙ GPA එකට සෑහෙන්න බලපානව ඒ Subjects වල ලකුණු.එකක් Intelligence Systems අනික Digital Image Processing.

Digital Image Processing Lab Session එක නම් එච්චරම බොරින් නෑ.ඒත් Theory කරන්න ගියාම පැය තුනක් එපා වෙනව එක දිගට.ඊට හපන් Intelligence Systems කියන Lecture එක.මුලදී මෙලෝ සංසාරයක් තේරුනේ නෑ.

පිරිමි ලමයිට නම් ටිකක් අල්ලලා යනව වගේ තේරුනා, අපිට නිකන් මඤ්ඤං වගේ.සර්ගේ ඉගැන්වීමේ රටාවේ අවුලක්ද අපිට තේරුම් ගන්න බැරිකමද මන්දා එතන තිබ්බෙ.

කොහොම හරි අනිත්ම වෙද්දි ppt ගොඩක් එකතු උනා.Reference කරන්න දීල තිබ්බ E Book එකත් පිටු 2000කට ලං වෙන්න තිබ්බ.

ඔය මොනා උනත් අන්තිමේදි ගොඩක් අයට A,B+,B අකුරු ඇවිල්ල තිබ්බ.ස්ටඩීලීව් එකට දෙන සති දෙකේම කරේ E Book එක කියව කියව Discussion & Kuppi දාපු එක.


Theory වෙලාවට ගොඩක් අය අහගන ඉන්නෙ නෑනේ,නිදියන එකනේ කරන්නෙ,ඒත් අපිට Lectures තිබ්බෙ ලැබ් එකේ නිසා ඒ වෙලාවටත් මැශින්ස් ඔන් කරන් ඉන්නව.


නෙට් යනව,ඕක දැනගත්තට පස්සෙ සර් Lecture එක පටන් ගන්න කලින් නෙට් ඩිසේබල් කරනව.ආ...දැන් පලයල්ලකො නේට්!... කියල.ඒක නිසා අපි කරන්නෙ උබුන්ටු වලට ලොග් වෙලා ගේම් ගහන එක.


සර් ඉස්සරහ ඉන්න නිසා පේන්නෙ නෑ.එක දවසක්  ඔහොම සර්ට තරහ ගිහින් ඉන්න වෙලාවක දෙවනි පේලියෙ ලමයෙකුගෙ මොනිටර් එකේ කේබල් එක ගැලෙව්වා,ඒකාත් හොරෙන් ගේම් එකක් ගහල. දැන් කට්ටියම බයවෙලා.


ගෑනු පිරිම් භේදයක් නෑ,ඔක්කොම කට්ටිය (90% විතර අය) ගේම් ගහනව, දැන් සට සට ගාල කට්ටිය මොනිටර් ඔෆ් කරනව .සමහරු මැශින් එකම ඕෆ් කරනව,සර්ට පේන්නෙ නැතිවෙන්න.


ඒ අතරේ එකෙක් නොසෙල්වී මොනිටර් එක ඔන් කරන් ඉන්නව,Screen එක පිටිපස්සෙ පේලියෙ ඉන්න අපිට පේනව,"උබුම්ටු ගේම් එකක් Pause"කරල.


සර් එකපාරටම, ඉශාන්!...Shut Down කරනව මැශින් එක!...කියපි.
අපිට පුදුමයි කොහොමද සර් ඉස්සරහ ඉදන් එහෙම දෙයක් දැක්කෙ කියල.අර ලමයත් බයවෙලා පට් ගාල Shut Down කරා.


පස්සෙ සර්ම කීව, මෝඩ ලමයිනේ!!!...හොර වැඩක් කරන්නත් මොලේ ටිකක් තියෙන්න ඕනේ.ඔය දාගන ඉන්න කන්නාඩි දෙක ගලවලා ඔන් කරගන්නව ඕන එකක්!!!....


ඒත් සර් කීව දේ, එක පාරට අපිට මීටර් උනේ නෑ,පස්සෙ තමා තේරුනේ,ඉශාන් දාගන හිටිය කන්ණාඩි දෙකෙන්, එයාගෙ Monitor එකේ Screen එක, ඉස්සරහ ඉන්න සර්ට පේන විත්තිය.

Saturday, July 2, 2011

මෙහෙමත් තාත්තලා


කාලෙකට පස්සෙ ඉස්කෝලෙ යාලුවෙක් අපේ ගෙදර ආවා.ආගිය කතා ඉවරයක් නෑ.ඔන්න ඔය අස්සෙ මේ කතාවත් කියවුනා.

මේ ඔයා දන්නවද මාර වැඩක් වෙලා,අපේ අම්මල උගන්නන ඉස්කෝලෙ.

ඉස්කෝලේ?

ඔව්.ඉස්කෝලෙ ගෑණු ලමයෙක්ට!...
ඒ ලමයගෙ අම්ම රට ගිහින්ලු.ඉදල තියෙන්නෙ තාත්තත් එක්ක ගෙදර.

 ඉතින්!...

ඉස්කෝලෙ එනව හොර නිසා අපේ අම්ම අහල තියනව මොකද කියල, එතකොට තමා ටික ටික කියල තියෙන්නෙ.ඒ තාත්තා බීගනලු එන්නෙ හැමදාම රෑට.ඇවිත් ලමයට කරදර කරලා.

නෑ...අනේ මන්ද මෙහෙමත් තාත්තලා!...මුන්ට හෙන ගහන්න එපැයි!...

අනික ඒ පැත්තෙ ඉන්නෙ ගොඩක් දුප්පත් ලමයිලු,අගහිගකම් කියල වැඩක් නෑලු,අම්ම නිතරම ඇවිත් කියනව,අවාරෙට පොල් වැටෙනව වගේලු ඉස්කෝලෙ එන්නෙත් කියල.

ඔව් අපේ අම්ම ඉන්න ඉස්කෝලෙත් එහෙම තමා,එක්කො අම්ම රට,එක්කො ලමයි ටික දාලා අම්ම වෙන කෙනෙක් එක්ක ගිහින්,එක්කො තාත්ත නෑ,එහෙම නැත්තම් තාත්ත බීල ඇවිත් ගහන නිසා ලමයි වෙන ගෙවල් වල නවත්තලා.

අන්තිමට ඕං වෙන දේ!
පව් ලමයි!

වැඩියෙන් හම්බ කරන්න ගිහින් අවසානේ පවුලත් විනාසවෙලා දන්නෙම නැතුව.

එහෙමමත් නෙමේ ඉතින්, කීයක් හරි හොයාගන්නනෙ ඔහොම යන්නෙ,කොහොමහරි ගොඩ එන්න කියල හිතාගන.

ඇයි ඔහොමමම එකක් උනා අපේ අම්මලගෙ ඉස්කෝලෙත්, බොරුනම් අහල බලන්නකො.ඒ කෙල්ල අඩලා අඩලා අම්මල එක්ක කියල තියනව.

ඈ...ඉතින්!...

දක්ශ ලමයෙක්ලු.ශිෂ්‍ය නායිකාවකුත්ලු.ඒ ඉස්කෝලෙ තියෙන්නෙ 11 වසරට විතරනේ.අම්ම රට ගිහින් ඔය වගේම දෙයක් තමා වෙලා තියෙන්නෙ.එතකොට ඒ ලමය 11 වසරේ.බැරිම තැන නෑදෑ ගෙදරක ඉදලා ඉස්කෝලෙ ඇව්ත් තියෙන්නෙ,එහෙත් කරදරලු.

අම්මලත් උඩපැනගන යනවනෙ,ලොකු ගෑණු ලමයිනුත් තනියම දාල.අනේ මන්දා!

පස්සෙ ඒ ඉස්කෝලෙම හිටපු,O/Lවත් පාස් නැති කොල්ලෙක් එක්ක පැනල ගිහින් විභාගෙ ලියන්නත් කලින්. 

නෑ...මහ මෝඩ කෙල්ලක්,විභාගෙ ලියල යන්න තිබ්බනේ,යන දේවාලෙක.

ඒක ආරංචි වෙන්න කලින්,ටික දවසක් ඉස්කෝලෙ ඇවිත්, ගුරුවරු අනම් මනම් කියන නිසා  නැවතිලා,අපේ අම්මට දවසක් කතා කරා,අනේ මිස්, මට එන්න හිතෙන්නෙ නෑ ඉස්කෝලේ! කියල.

දවසක් අම්ම අවුරුදු 10ක විතර Maths Marking Schemes ටිකක් දුන්න, ගෙදර ආව ඒ ලමය අරන් යන්න.

දැක්ක නම් ඒ කොල්ලගෙ හැටි අප්පෝ...
ඒ කෙල්ලට පිස්සුද කියල හිතුනා.ඒත් ඉතින් වෙලාවෙ හැටියට ඒ තීරණේ හොදයි කියල හිතන්න ඇති.ඒ කොල්ල මේ ලමයව භාර ගත්ත එකම මදෑ නේද?

හ්ම්....බැලුවම ලමයින්ට තියන ප්‍රශ්න නේද?
අපිට මොන ප්‍රශ්නද තියෙන්නෙ!
අනේ ඒ අතින් අපේ අප්පච්චිල දෙවිවරු!
එක අතකින් කරුම තමා...ඔහොම දේවල් වෙන්නත්..

හ්ම්...ඒ ලමය විභාගෙ ලියල, මැත්ස් වලට A අකුරකුත් අරන් තිබුනා,ප්‍රතිඵල ආවට පස්සෙ අපේ ගෙදර ආව, අම්මව හම්බවෙලා දුන්න Maths Marking Schemes ටික දීල යන්න.

අනේ පව්,දෙන්නත් එක්කම ආවෙ,බිස්කට් පැකට් එකක් එහෙමත් ගෙනල්ලා වැදලා ගියා.මිස් නැත්තම් මම් විභාගෙ ලියන්නෙත් නෑ කියල,ඒ කොල්ල දැන් ත්‍රීවීල් එකක් එලවනවලු.

දවසක් අපි දැක්ක දෙන්න පොලේදි  පළතුරු වගයක් ගන්නව,දැන් එයාට බබෙක් හම්බවෙන්නත්.

Friday, July 1, 2011

නම් වලට හිනා වෙන්න එපා | Don't Laugh @ Others Names!....


මධුරංග මල්ලි බ්ලොග් එකේ නම් ගැන පෝස්ටුවක් දාලා තිබ්බ නිසා මටත් කතාවක් මතක් වුනා.ඒ අපි කැම්පස් ඉන්න කාලේ.අපිත් එක්ක හිටිය යාලුවෙක්ගෙ වාසගමක් තිබ්බා,ඒක හරියට කියවගන්න කාටවත් බෑ,අඩුමගානේ ලෙක්චර්ස්ලට වත්.

නම් ලිස්ට් එකේ නම් ටික පිලිවෙල කරන්නෙ මුලකුරු සමග නම, වාසගමත් එක්කනේ (ex: D.B.Dissanayake ).එයාගෙ නමේ අවුල එන්නෙ ඉංග්‍රීසියෙන් ලියලා තියනකොට.සිංහලෙන් නම් සුටුස් ගාලා උච්චාරණය කරනවනේ.

දවසක් මුල්ම Computer Lab Session එකේදි,ගුරුවරය නම් ලිස්ට් එක කියාගන කියාගන යනව,ඊට අදාල ලමයා ඉන්නවද කියල බලන්න.

Department එකේ ලමයි කට්ටියම ලැබ් එකේ වාඩි වෙලා.සර් නම් කියවගන යද්දි අදාල ලමය අත උස්සනවා.සර් එතකොට නෝට් කරගන්නවා.ඔහොම ගිහින් ගිහින්,අර ලමයගෙ නම ලගින් නතර වුනා.

"N.I.K..........." .කියල සර් හිනා වෙනව.ඒ නිසා ලමයිනුත් හිනා වෙනව.නම අයිති එකාට "මල පැනලා" හොදටම.

Don't Laugh @ Others Names!....

එහෙම කියලත් සර් හිනාවෙනව.ලමයින්ටත් හිනා. ඇත්තටම ගොඩක් අයට(නම අයිති කෙනා ඇරෙන්න අනිත් අයට),ඒ නම උච්චාරණය කරන්න බෑ.සමහර විට එයා නම ලියන විදියෙ වරදක්ද කියලත් හිතෙනව,ඒත් නම් තමන්ට ඕනේ විදියකට ලියන්න පුලුවන්ලුනේ.

ඒක නිසාම එයාට නම් ගොඩකුත් පට බැදුනා. වෙලා...,වේලෙ...,වලා...,වැලා...ඔය වගේ.එක දවසක් බස් එකේ යද්දිත් අපිව දැක්ක පිරිමි ලමයෙක් ආ වැලා... කියල බස් එකේදිම කෑගැහුව.බස් එකේ සමහරු හැරි හැරී බලනවා.මෙයා ගෑණු ලමයෙක්!


තවත් දවසක්,එක ලමයෙක් "ඒ එයාගෙ නම අමුතුයි නේ,මොකද්ද බන් උන්ගේ කුලේ? කියල ඇහුව!...

ප.ලි: දන්න කෙනෙක් කියන්නකො බලන්න "වැලෑ" කියල ඉංග්‍රීසියෙන් ලියන්නෙ කොහොමද කියල?...

ස්තූතියි හැමෝටම!


හ්ම්... මේ මම ලියන 101 වෙනි පෝස්ට් එක.දන්නෙම නැතුව බ්ලොග් එකේ පෝස්ට් 100ක්ම දාලා.බ්ලොග් එක පටන් ගත්තෙ හරියටම ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 12 වෙනිදා.


ඒ වෙද්දි මට කිසිම අදහසක් තිබුනේ නෑ, බ්ලොග් එකක් ලියන්න කියල.අනික යුනිකෝඩ් ගැන දැනන් හිටියට, සිංහලෙන් ලියන්න කිසිම සූදානමක් තිබ්බෙ නෑ,සිංහලෙන් ලියන්න හැකියාවත් තිබ්බෙත් නැ.

අහ්...සින්ඩිකේටරයක් කියන්නෙ මොකද්ද කියලා අහල තිබ්බෙත් නෑ.තාමත් හැබැහින් දැකල නැති යාලුවෙක් තමයි,ඔයත් සිංහල බ්ලොග් එකක් ලියන්න කියල මාව උනන්දු කරලා අවශ්‍ය අඩුම කුඩුම හොයලා කරල දුන්නෙ.


මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක කියල,එයා ලියන බ්ලොග් එකත් පෙන්නුව,මට එයාගෙ බ්ලොග් එක දැක්කම හිතුන ලියන්න ඕනෙ කියල.ඒ අතරේ තව බ්ලොග් කීපයකුත් පෙන්නුව.

මතකෙ හැටියට දුමී අය්යගෙ,මාරෙ අය්යගෙ, දුකා අය්යගෙ,කතන්දර අය්යගෙ බ්ලොග්.ඒවා කියවද්දි මට ගොඩක් ආස හිතුන,ඉතින් ඔන්න ඔහොමයි ලියන්න ගත්තෙ,මේ වෙද්දි සෑහෙන දුරක් ඇවිත්.මාස 8ක් වෙද්දි පෝස්ට් 100කුත් ලියලා.


බ්ලොග් ලිවීමෙන් ගොඩක් යාලුවොත් අදුරගත්තා.හැබැහින් දැකලා තියෙන්නෙ නම් තුන් දෙනෙක් විතර(හාවා, හාවගෙ යාලුවා.පොඩ්ඩා). බ්ලොග් එක ලියන මුල්ම දවස් වල කොමෙන්ට් දාමු කෙනෙක් හැටියට, අපෙන් වෙන්වෙලා ගිය ඉලංදාරි මලයත් ඉන්නව.ඒ නිසා එයාවත් මතක් නොකරම බෑ.

මූණුපොතේ ගතකරපු කාලය අඩුවෙලා ගිහින්, බ්ලොග් වලට දැන් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි.අනිවාර්යෙන් දවසෙ වෙලාවක් වෙන්වෙනව අලුතින් ලියල තියන පෝස්ට් කියවල කොමෙන්ට් දාන්නත්.

බ්ලොග් එක මෙච්චර දුරට අරන් එන්න ගොඩක් අය උදව් උනා.මූලිකවම බ්ලොග් එක හදන්න කියල උනන්දු කරපු ළමයා මල්ලි.සමහර දවස් වල නොතේරෙන කාරණා අහන්න ගිහින්,එයාට එපාවෙන වෙලවලුත් තියෙන්න ඇති.

ටෙම්ප්ලේට් දාන්න,අරව මේව ගොඩක් දේවල් අහගත්තෙත් එයාගෙන් ,ඒ නිසා එයාට ස්තූති නොකරම බෑ.අනිත් අය තමයි සින්ඩි කරන උදවිය,එයාල නිසානෙ අපිට, බ්ලොග් අප්ඩේට් කරපු ගමන්ම වගේ අලුත් බ්ලොග් පෝස්ට් බලන්න පුලුවන් වෙන්නෙ.

ඒත් එක්කම් බ්ලොග් පෝස්ටුවක් බලලා කොමෙන්ට් කර,නොකර යන යාලුවො හැමෝටමත් ස්තුති වෙන්න ඕනෙ,එයාල නිසා තමයි.මෙච්චර දුරක් එන්න පුලුවන් උනේ!...

ස්තූතියි හැමෝටම!